Tuesday, March 15, 2016

කමාන්ඩර් බොන්ඩ් තුළින් දුටු ඉයන් ෆ්ලෙමින්ගේ ලෝකය

මා නැරඹූ පළමු ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය ගයි හැමිල්ටන් අධ්‍යක්ෂණය කළ ඩොක්ට නෝ බව දැන් යාන්තමින් මතකය. ඒ නැරඹුවේ 1980 දශකයේ අග භාගයේදී නැවත තිරගත කිරීමක් ලෙසින්. එදා මෙදා තුර නිකුත්වූ සෑම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක්ම නරඹා ඇති හා ජේම්ස් බොන්ඩ් නවකතා මාලාවේ පොත් වැඩි ගණනක් කියවා ඇති බොන්ඩ් රසිකයෙක් ලෙස මේ චරිතයේ නිර්මාතෘ ඉයන් ෆ්ලෙමින් ගැනද යමක් සඳහන් කිරීමට කැමතියි.

ඉයන් ෆ්ලෙමින් හා ගෝල්ඩ්න් අයි,ජැමෙයිකාව 


වංශවත් ස්කොට් ජාතික බැංකුකාර පවුලක උපත ලැබූ ඉයන් ෆ්ලෙමින්ගේ පියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් . ඔහු‍ට එක් වැඩිමහල් සොහොයුරෙක් සිටි අතර ඔහුගේ පියා පළමු ලෝක සංග්‍රාම සටන් බිමේ මිය යන්නේ 1917දීය. එංගලන්තයේ වංශවත් ධනවතුන් සඳහා ඇති ඊට්න් කොලීජියේ මූලික අධ්‍යාපනය හදාරන ඉයන් ෆ්ලෙමින් ඒ අවදියේ සිටම තම සෙල්ලක්කාර දිවි පෙවත නිසා පාසල් අධිකාරියෙන් දැඩි අවවාද ලැබූවෙක්. පාස‍ල් දිවිය‍ේ නිමාවත් සමග සැන්ඩ්හර්ස්ට් හමුදා නිලධාරි පුහුණු පාසලට ඇතුළත් වන ෆ්ලෙමින් හට  වසරක් ඇතුළත් ඉන් ඉවත් වීමට සිදුවෙනවා. පසුව තම මවගේ දැනහැඳිනුම්කම් මත රොයිටර් පුවත් සේවයට සම්බන්ධ වන ඉයන් ෆ්ලෙමින් සේවය කරන්නේ ජෝසප් ස්ටාලින් ගේ පාලන සමයේ මොස්කව් නගරයේ. එවකට ස්ටාලින් විසින් කොමියුනිට් පක්ෂය තුළ සිදු කළ ශුද්ධ කිරීම් (purges) ගැන වාර්තා කිරීමට අවස්ථාව ලැබෙනවා. 
කමාන්ඩර් ඉයන් ෆ්ලෙමින් 

දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වෙමින් 1939 දී බ්‍රිතාන්‍ය අක්ෂයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. පවුල් සබඳකම් මත ඉයන් ෆ්ලෙමින් රාජකීය නාවුක හමුදාවේ අද්මිරල්තියට සම්බන්ධ නාවික රහස් ඔත්තු සේවයට සම්බන්ධ වෙනවා - පසුකාලීනව බොන්ඩ් චරිතය නිර්මාණය කිරීමට අවශ්‍ය මූල බීජ ඔහුට ලැබෙන්නේ මෙම කාලය තුළදී. නාවික හමුදාවේ කමාන්ඩර් ධුරය දක්වා ඔහුට උසස් වීම් ලැබෙනවා. 

දෙවන ලෝක යුද්ධයෙන් පසු කෙම්ස්ලි පුවත් පත් සමාගමට බැ‍ෙඳෙන ෆලෙමින්, දිගුකලක් තමන් අනියම් සබදතාවක් පැවැත්වූ රොදර්මෙයර් ආර්යාව සමඟ විවාහ වෙනවා . විවාහයෙන් පසු ඉයන් ෆ්ලෙමින් එවක බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ජැමෙයිකවේ මූදට ආසන්න කඳු ගැටයක පිහිටි Goldeneye නිවසේ පදිංචි වෙනවා - ඔහු ජේම්ස් බොන්ඩ් නම් චරිතය නිර්මාණය කරන්නේ මේ නිවසේ සිටියදී. 

‍ජේම්ස් බොන්ඩ් නිර්මාණය වූ හැටි 

1950 දශකය වන විට බටහිර ධනවාදී රටවල් හා සෝවියට් දේශය ප්‍රමුඛ කොමියුනිස්‍ට් රටවල් අතර සීතල යුද්ධය උත්සන්න වී තිබුනා. මේ අතර ඔවුන් අතර රහස් ඔත්තු සේවා මඟින්ද විවිධ මෙහෙයුම් දියත් වුනා -

 දක්ෂිණාංශික අදහස් දැරූ ඉයන් ‍ෆ්ලෙමින් මේ කොමියුනිස්ට් තර්ජනයට මුහුණ දෙන බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය (British Secret Intelligence Service or  SIS ) නොහොත් එම් අයි 6 (MI6) හි නිලධාරියෙක් ලෙස තමයි බොන්ඩ් නිර්මාණය කරන්නේ - හැබැයි සැබවින්ම බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ සතුරන් මරා දැමීමට "බලපත්‍රයක්" සහිත 00 අංශයක් නම් තිබුනේ නැහැ. රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා සාමාන්‍යයෙන් අත්සන් කරන්නේ  C ලෙසයි - ෆ්ලෙමින් මේ සම්ප්‍රදාය අනුව යමින් බොන්ඩ් ගේ ප්‍රධානියා M ලෙස හැදින්වූවා. බොන්ඩ් ගේ පුද්ගලික රුචි අරුචිකම් මෙන්ම නාවික හමුදා ධුරයද බොහෝ දුර‍ට ෆ්ලෙමින්ගේ ප්‍රතිරූපයක් වුනා. 

මෙලෙස ඔහු නිර්මාණය කළ පළමු බොන්ඩ් නවකතාව Casino Royale . ප්‍රංශ මුහුදු බඩ සූදුවට ප්‍රසිද්ධ මනස්කල්පිත නගරයකදී, ප්‍රබල කොමියුනිස්‍ට් නායකයෙක් කොටු කරගැනීමේ මෙහෙයුමක් මේ නවකතාවට පදනම් වෙනවා . නවකතාව ජනප්‍රිය වීමට ගතවූයේ කෙටි කාලයක් . ඉන්පසුව ෆ්ලෙමින් දෙවැනි බොන්ඩ් නවකතාව ලෙස ඇමරිකාවේ හාලම් නගරයේ මූලික කරගෙන ඇමරිකාවේ මෙහෙයුම් කරන කලු ජාතික කොමියුනිස්‍ට් ඔත්තුකරුවෙක් හඹායෑම විස්තර කෙරෙන Live and Let Die රචනා කළා. මේ සෑම මුල් බොන්‍ඩ් නවකතාවකම කොමියුනිස්ට් ඒජන්තයන් මෙහෙයවන රහස් සංවිධානය වූයේ SMERSH නම් සෝවියට් ඝාතන සංවිධානය. එය ස්ටාලින්ගේ අවදියේ සැබවින්ම තිබූ නමුත් පසුව විසිරුවාහරින ලද සංවිධානයක්. 


එහෙත් ඉන්පසු චිත්‍රපට තිරනාටකයක් ලෙස ෆ්ලෙමින් ලියූ Thunderball නවකතාවේ අලුත් සතුරෙක් හදුන්වා දෙනවා. ඒ ලෝක ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හැඳින්විය හැකි SPECTRE ( Special Executive for Counter-intelligence, Terrorism, Revenge and Extortion) පසුව බොන්ඩ් On Her Majesty's Secret Service හා You Only Twice යන නවකතාවල මේ SPECTRE සංවිධානයේ ප්‍රධානියා වන Ernest Starvo Blofeld ලුහු බඳිනවා 



මෙලෙස ජේම්ස් බොන්ඩ් නවකතා 12ක් හා කෙටිකතා පොත් 2ක් ලියන ඉයන් ෆ්ලෙමින් 1964 දී සදහටම නිහඩ වනවා. 
එසේ වුවත් වසරක් පාසා තිරගත වන බොන්ඩ් චිත්‍රපට නිසා ඔහු නිර්මාණය කළ චරිතය අදත් අප අතර නොනැසී පවතිනවා 
ඉයන් ෆ්ලෙමින් පළමුවෙන් තිරයේ  ජේම්ස් බොන්ඩ් චරිතය නිරූපණය කළ ෂෝන් කොනරි සමග 




No comments:

Post a Comment