ලංකාවේ වසරකට ලිංගික උත්තේජක පෙති මිලියන 20ක් පමන විකිණේ



ලිංගික උත්තේජන ඇති කිරීමේ ඖෂධ පෙති වසරකදී මිලියන විස්සකට අධික ප්‍රමාණයක් මෙරට අලෙවි වන බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසනවා. එහි සභාපති වෛද්‍ය චමීර නිලංග සඳහන් කරන්නේ එම ඖෂධ, වේදනානාශකයක් වන පැරසිටමෝල් පෙති අලෙවි වන ප්‍රමාණයට සමාන අගයකින් වෛද්‍ය නිර්දේශයකින් තොරව අලෙවි වන බවයි.

නියමිත මාත්‍රාවට වඩා එම ඖෂධ භාවිතා කිරීමෙන් එහි අතුරු ආබාධ උත්සන්න වී පුද්ගලයෙකු මියයාමටද ඉඩ ඇති බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර නිලංග ප්‍රකාශ කළා.

පසුගිය කාලසීමාව තුළ ලිංගික උත්තේජන ඖෂධ භාවිතා කිරීම නිසා හදිසියේ පුද්ගලයන් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා. ඊයේ දිනයේදීද මාරවිල - මුහුදුකටුව ප්‍රදේශයේ ලැගුම්හලක සිටි යුවලක් අතුරෙන් 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු හදිසියේ රෝගාතුරවී මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී යම් අධිශක්තිකරණ ඖෂධයක ඇසුරුමක් හමුවූ බවයි. අදාළ මරණය එම ඖෂධය භාවිතා කිරීම නිසා සිදුවූවක්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Comments