Monday 22 February 2016

ප්‍රශ්නය හරි තැනින් අල්ලා ගනිමු.


ඉන්දියාව සමග එළඹීමට නියමිත වෙළඳ ගිවිසුම පිලිබඳ සැම තුල පවතින්නේ විරෝධයකි. එය විවිධාකාර හේතුන් මතය. බොහෝ පිරිස් කියනුයේ ඉන්දියානුවන්ට ලංකාව තුල රැකියා කිරීමට ඉඩ ලැබීම තුලින් ලාංකිකයන්ට රැකියා අවස්ථා අහිමි වන බවය. හේතු වශයෙන් පසනුයේ, ඉන්දියානුවන් ලංකාවේ සුළු වැටුපකට රැකියා වල නිරත වීම නිසා ඔවුන්ට වැඩි වාසියක් ඇතිවන බවය. කතාව ඇත්තය. නමුත් ඔනෑම රැකියාවක වැටුප තීරණය වනුයේ කරුණු කිහිපයක් මතය. රටේ ජීවන වියදමය, අයදුම් කරුගේ හැකියාව හා නිපුණත්වය, එම රැකියාවට තිබෙන ඉල්ලුම මින් කිහිපයකි. ඉන්දියානුවන් ලංකාවට අඩු වැටුපකට පැමිණියහොත් ඔවුන් ජීවත් වියයුත්තේ ලංකාවේය. ලංකාවේ කොයි ප්‍රදේශය බැලුවත් (ඉන්දියාවේ සමහර නගර හැර) ලංකාවේ ජීවන තත්වය උසස්ස්ය, වියදමත් ඉහලය. මා ඉන්දියානු පරිගණක ශිල්පින් සමග වැඩ කිරීමට පටන් ගත්තේ, 2002 වර්ෂයේදීය. වරෙක ලංකාවට පැමිණි ඉන්දියානු පරිගණක ඉංජිනේරුවරයෙක් ලංකාවේ සිගරට් මිල අධික නිසා ඔහු සිගරට්ටුව බීවේ තුනකට කඩාය. එවිටත් ඔහු මට වඩා දෙගුණයක පමණ වැටුපක් ලබන පුද්ගලයකි. මේ නිසා ලංකාවේ ඉන්දියානුවන්ට ජීවත් වීම සිතන තරම් පහසු නොවනු ඇත. රුපියල් 50,000 වැටුප හිමි ශ්‍රී ලාංකිකයත්, රුපියල් 25,000 හිමි ඉන්දියානුවත් සීනි කිලෝවකට ගෙවිය යුත්තේ එක මිලකි. ලංකාවේ මාසික වැටුප් හිමියන්ගේ බැංකු ශේෂය ගෙන බලන්න. ඔවුන්ට එදිනෙදා ජිවත් වීම හැර ඉතුරුවක් වන්නේ සුලුවශයෙනි. අඩු මිලට ලංකාවට පැමිණි ඉන්දියානුවෙකුට මෙය වෙනස් වන්නේ කෙසේද?

අනිත් කාරණය දැනට තිබෙන නිදහස් වෙළඳ අවස්ථාවන් නිසා ඉන්දියානු සමාගම් වලට ලංකාව තුල ව්‍යාපාර ආරම්භ කලහැක. BOI ව්‍යාපෘතියකට 30% විදේශ ශ්‍රමිකයන් ගෙන්නවා ගත හැක. උදාහරණයක් ලෙස, ලංකාවේ ක්‍රියාත්මක වන Huawei චීන දුරකථන සමාගමේ චීන ශිල්පින් ඕනෑ තරම් සිටිති. මේ ආකාරයට ලංකාවට ඉන්දියානු සමාගම් පැමිණ තම රටේ ශිල්පින් ගෙන්වා ගත හැක. මෙපමණක් නොවේ. පරිගණක ලෝකයේ නව ප්‍රවනතාවයන් අනුව ශිල්පින් රැකියා ස්ථානයට පැමිණිය යුතු නැත. ලෝකයේ WFH (work from home) හා BYOD (bring your own device) ක්‍රම දැන් ප්‍රචලිතය. ඉන්දියානු සමාගම් වලට ලංකාව තුල ව්‍යාපාර අරඹා ඉන්දියාවේ සිට ශිල්පීන්ගේ සේවය ලබා ගත හැක. අවශ්‍ය වන්නේ අන්තර්ජාල පහසුකම් පමණි. එසේම ලංකාවේ සමාගම් වලට අඩු වැටුපට ශිල්පින් අවශ්‍ය නම් ඉන්දියාව තුල ව්‍යාපාර ආරම්භ කල හැක. ලෝකයේ ඕනෑ තරම් ජාත්‍යන්තර සමාගම් තම සේවාවන් වෙනත් රටවල සිට සපයනු ලබයි. උදාහරණ ලෙස ආචාර්ය හර්ෂ ඇමතිවරයා පෙන්වන කෝට්ටේ පිහිටි HSBC දත්ත මධ්‍යස්ථානය ගත් හැක. මේ ආකාරයට ඉන්දියානු සමාගම් වලට මෙන්ම ශ්‍රී ලංකාවේ සමාගම් වලටද ඉන්දියානු ශ්‍රමය ලබා ගත හැක.

ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවට හිමි තැන කුමක්ද යන්න පළමුව තේරුම් ගත යුතුය. ලෝකයේ හොඳම තේ නිෂ්පදිත්යා ශ්‍රී ලංකාවය. ඉස්තරම් හෝටල් වල Sri Lankan lagoon crab අති විශේෂිත ආහාරයකි. ලංකාවේ කකුළුවන් ඒ තරම් ප්‍රනිතය. මුහුදු මාළු ද එසේමය. ලංකාවේ විශේශිතත්වය ඉහල ගුණාත්මක (quality) නිෂ්පාදනය. මෙය සේවා අංශයේද එසේමය. ලාංකික ශිෂ්‍යා ගේ සිට දොස්තර දක්කවා සැම ක්ෂේත්‍රයකම ලාංකික ලකුණ ගුණාත්මක බවය. උදාහරණයක් ලෙස ලංකාවේ ඇඟලුම් කරමාන්තය ගනිමු. ලෝකයේ ඉහලම නාම සහිත ඇඟලුම් ලංකාවේ නිපදවයි. ඒ සියල්ල අපනයනය කරනුයේ එක්සත් ජනපදයට හෝ යුරෝපයටය. චීනය, ඉන්දියාව, බංගලාදේශය වැනි රටවල නිෂ්පාදනය කරන එම නාමය සහිත ඇඟලුම් විකුණනු ලබන්නේ සින්ගපුරුව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව වැනි රටවලය. ඉහලම ගුණාත්මක බව හිමි නිෂ්පාදන හොඳම වෙළඳපොළට යන අතර ඊට වඩා පහල ගුණාත්මක බවෙන් යුතු භාණ්ඩ සෙසු වෙළඳපොළට යවනු ලබයි. අපට වැඩිම නිෂ්පදිතයා විය නොහැක. ලංකාවේ මුළු මධ්‍යම කඳුකරයම තේ වගා කලත් අපට තේ නිෂ්පාදනයේ ප්‍රමුඛයා විය නොහැක. මුළු ලංකාවම ඇඟලුම් කම්හලක් කරත් අපිට ලෝකයේ ප්‍රමුඛයා විය නොහැක.ලෝකය සමග සංසන්දනය කල විට අපේ සේවා වැටුප අනෙකුත් අපගේ සම මට්ටමේ රටවලට වඩා ඉහලය. උදාහරණයක් ලෙස ඉන්දියාවේ හෝ චීනයේ  ඇඟලුම් සේවකයන්ගේ වැටුපට සාපේක්ෂව අපේ සේවකයන්ගේ වැටුප් ඉහලය. ජාත්‍යන්තර සමාගම් ලංකාව තුල ව්‍යාපාර කරනුයේ මේ ගුණාත්මක කාරණය නිසාය.

පරිගණක රැකියා වුවද මෙසේය. ඔනෑම ජාත්‍යන්තර තලයේ සමාගමකට ඉන්දියාවට ගොස් ඒ සේවාවන් අඩු මිලකට ලබා ගත් හැක. ලංකාවේ සමාගම් වලටද මේ තත්වය මෙසේමය. ලාබ ශ්‍රමය අවශ්‍ය නම් ඉන්දියාවට යා හැක. නමුත් විදේශ ආයෝජකයින් හා ශ්‍රී ලංකික ව්‍යාපාරිකයන් ඉන්දියාවට නොයන්නේ ගුණාත්මක සේවාවක් එරටින් නොලැබෙන නිසාය. මේ කාරණය අපට වඩා හොදින් ඉන්දියානු රජය හා එරට මිනිස්සු දනී. තාක්ෂණය අතින් ඉන්දියාව සිටිනුයේ අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන්ය. උදාහරණ ලෙස අපට හුරු මරුති මෝටර් රථය හා සුමිට් ඇඹරුම් යන්ත්‍රය ගනිමු. ශ්‍රී ලංකාව මෙවන් නිෂ්පාදන ගැන තවම සිතාවත් නැත. එහෙත් ඉන්දියාව මීට වසර 20-30 කට පෙර සිට මෙවන් නිෂ්පාදන කරයි. අවාසනාවකට තවම ඔවුන්ට එම නිෂ්පාදන වල ගුණාත්මක බව දියුණු කිරීමට නොහැකි වී ඇත. ප්‍රධාන වශයෙන් ඉන්දියානුවන් සොයනුයේ ලාබ දෙයක් මිස ගුණාත්මක දෙයක් නොවේ. මේ කාරණය නිසා ඉන්දියානු ව්‍යාපාරිකයින් ලාබ දේ ලබා දෙනු විනා ගුණාත්මක බව ගැන උනන්දුවක් නැත. ඒ සඳහා කලයුතු පර්යේෂණ සඳහා කරන වියදම ඉන්දියානු වෙළඳපොළේදී මිලක් කල නොහැක.
 සේවා ක්‍ෂේත්‍රයේ තත්වය මෙයට දෙවෙනි නොවේ. යමක් කමක් ඇති ඉන්දියානුවෙක් රජයේ රෝහලක හෝ සාමාන්‍ය පුද්ගලික රෝහලකට සැත්කමකට නොයයි. එක්කෝ ඉන්දියාවේම සුපිරි රෝහලකට හෝ අඩුම ගන්නේ බංගලාදේශය හෝ ශ්‍රී ලංකාවට සැත්කමක් සඳහා යොමු වීමට ප්‍රධාන හේතුව මේ ගුණාත්මක බවේ තිබෙන බරපතල ප්‍රශ්නය ය. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනයා මේ තත්වයෙන් සම්පුර්ණයෙන් වෙනස් ය. රජයේ රෝහලේ නොමිලේ බෙහෙත් දුන්නද, හන්දියේ පුද්ගලික බෙහෙත් ශාලාවට රෝගියා යොමු වෙන්නේ දොස්තරගේ ගුණ නිසාවත්, බෙහෙත්වල විශේෂත්වයක් නිසා නොව රජයේ රෝහලින් ලැබෙන සේවාවට වඩා ගුණාත්මක සේවාවක් පුද්ගලික බෙහෙත් ශාලාවෙන් ලැබේය යන විස්වාසය අනුවය. ඒ නිසා මහාචාර්ය සමරජීව කියන ආකාරයට ඉන්දියානු දොස්තරලා හන්දියක් ගානේ පුද්ගලික බෙහෙත් ශාලා ලංකාවේ ආරම්භ කලද ඔවුන්ට තරගයක් දීමට අපේ දොස්තර වරුන්ට පුළුවන. පරිගණක කේෂ්ත්‍රයේද මෙසේය.

පසුගිය දිනක හරින් ඇමතිවරයා 'ඉන්දියාවට මොනවද විකුනන්න බැරි' යනුවෙන් ඇසිය. සරලව කිවහොත් ලංකාවට කිසි දෙයක් ඉන්දියාවට විකුණන්න බැරිය. ප්‍රධාන වශයෙන් අපගේ නිෂ්පාදන පිරිවැය ඉහල වීමත්, ඉන්දියානුවන් ගුණාත්මක දෙයක් බලාපොරොත්තු නොවීමත් හේතු කොට ගෙන අපට කිසිදෙයක් ඉන්දියාවට විකිණිය නොහැක.අපගේ වෙළඳපොල තිබනුයේ ඉහල මධ්‍යම පන්තිය පුළුල් වූ යුරෝපය, ඇමෙරිකාව වැනි රටවල් සමගය. දැනුදු අපගේ නිෂ්පදයන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපනයනය කරනුයේ ඒ රටවල්වලටය. පරිගණක කේෂ්ත්‍රයේද ලංකාව තුල ආයෝජනය කර ඇති බොහෝ ආයතන ද ඒ කලාපයට අයත් රටවල් ය.

අන්තර්ජාතික වෙළඳපොළේදී ඉන්දියාවට නැගෙන ප්‍රධාන චෝදනාව මේ ගුණාත්මක බව පිලිබඳ චෝදනාවය. මෙහිදී ඉන්දියාව සමගම නිරන්තරයෙන් කියවන නම ශ්‍රී ලංකාවය. ගුණාත්මක භාණ්ඩයක් හෝ සේවාවක් අරමුණු කරගත් ඕනෑම පාරිභෝගිකයෙක් ඉන්දියානු දෙයට වඩා ලංකාවේ දේ ගැන වැඩි තක්සේරුවක් ලබා දේ. ඉන්දියාවට මෙය මහත් අවාසි තත්වයකි. ඉන්දියාවට අවශ්‍ය අපගේ මේ ප්‍රධන විකුණුම් තුරුම්පුව (selling point) ඔවුන් අතට ගැනීමය. ඒ සඳහා ශ්‍රී ලංකාව තුල ඔවුන්ට ඕනෑ ආකාරයට ව්‍යාපාර වලට ඇතුලත් වීම තුලින් එය ඉන්දියාව සතු කර ගැනීමත්, ලංකාවේ ගුණාත්මක බව විනාශ කිරීම සඳහා ඉඩ සලසා ගැනීමත් ඔවුන්ගේ අරමුණු විය හැක. මේ ගිවිසුම තුලින් ඉන්දියාව මරුති රථය ලංකාවේදී නිෂ්පාදනය කිරීමට උත්සහ නොකරයි. දැනටමත් ලෝක ප්‍රසිද්ධ ඉන්දියානු පරිගණක ආයතන වන TATA computers හෝ INFOSYS ලංකාව ඔවුන්ගේ සේවා සපයන ස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට උත්සහ ගනියි සිතිය නොහැක. බොහෝ විට සිදුවනු ඇත්තේ ලංකාවේ නම යොදා ගනිමින් ජාත්‍යන්තර වෙළඳපොලේ ඔවුන්ට නොලැබෙන ස්ථානය ට ලඟා වීම සඳහා ඉඩ සලසා ගැනීමය.

ලංකාව ගතහොත් පරිගණක කේෂ්ත්‍රයේ ප්‍රශ්නයක් පවතී. ප්‍රධාන ප්‍රශ්නය ජාත්‍යන්තරය ඉල්ලන ප්‍රමිතීන් හිමි ශිල්පින් හිඟවීමය. උදාහරණ ලෙස සමහර විශාල පරිගණක ව්‍යාපෘති සඳහා විදේශ ආයතනයක් PMP සහතික ලත් පුද්ගලයින් 100 ක් පමණ බලාපොරොත්තු වන අවස්ථා ඇත. ලංකාව තුල මේ ප්‍රමාණය සොයා ගැනීමට අපහසුය. එසේ නැති නම්  සමහර අවස්ථාවලදී වසර 10-15 programing පළපුරුද්ද සහිත පුද්ගලින් ගේ අවශ්‍යතාවයක් පවතී. ලංකාවේ වසර 5 කට වඩා programming කරන්නන් ඉන්නේ සීමිත පිරිසකි. ඔනෑම රැකියාවක් වසර ගණනාවක් කිරීම තුල ඇතිවන නිපුණත්වය නැති වීම  ලංකාවේ පරිගණක ක්‍ෂේත්‍රයේ  පවතින ප්‍රබල අඩුපාඩුවකි. අපගේ ආයතන නිර්මාණය වී ඇත්තේ වසර ගණන සම්පුර්ණ වූ පසු ඉබේටම ඉහල යන ආකාරයේ ක්‍රමයට හා ආකල්ප වශයෙන් manager කෙනෙක් වීම expert කෙනෙක් වීමට වඩා අගේය යන සිතුවිල්ල මෙයට බලපා ඇත. සරල ලෙස කිවහොත් වසර පහකට වඩා තාක්ෂණික පලපුරුද්ද හිමි පුද්ගලයින් වැඩි පිරිසක් රට හැර ගොස් ය. නැති නම් ඔවුන් එම ආයතනයේම කළමනාකරුවන් වී ඇත.

තවත් කරුණක් ලෙස අපගේ වෙළඳපොල ඉලක්ක කරගත් නිෂ්පාදන බිහි නොවීම සැලකිය හැක. එසේ නොමැති නම් end product development නොමැති වීමය. ලංකාවේ ශිල්පින් දක්ෂය; නිර්මනශිලිය. නමුත් මේ නිර්මාණ වෙළඳපොළට යන්නේ සුළු වශයෙනි. මෙය බොහෝ විට අලවිකරණය පිලිබඳ ගැටලුවකි. සේවා අලවිකරණය හා පරිගණක නිෂ්පාදන අලවිකරණය ගැන ලංකාවේ ආයතන මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුය. පරිගණක ආයතන ලෙස බොහෝවිට end product එකක් නිෂ්පාදනය කිරීමට වඩා වෙන රටක නිෂ්පාදනයක් ලංකාවේ ආයතනයකට සැකසීම වැනි දේ වලට සිමා වී ඇත. ඇත්තන්ම මේ පරිගණක ආයතන කරනුයේ අතරමැදියෙකු ලෙස ක්‍රියාත්මක වීමය. බොහෝ විට නිෂ්පාදන ආයතනයේ technical support අංශය ඉන්දියාව විසින් කරනු ලබයි. මෙයින් ලංකාව තුල රැකියා උත්පාදනයට වැඩි ප්‍රමාණයක් ඉන්දියාව තුල ඇති වේ.

පරිගණක කේෂ්ත්‍රයේ වුර්තිකයන්ගේ ප්‍රමිතියක් නොමැති වීම විශාල ගැටලුවකි. බොහෝ රටවල ශිල්පීන්ගේ සුදුසුකම් හා පළපුරුද්ද මත ප්‍රමිති ගොඩ නගාගෙන ඇත. ලංකාවේ ඒ ආකාරයේ ක්‍රම වේදයක් නොමැත. මේ නිසා උක්ත ගිවිසුම මගින් ලංකාවට ඉන්දියාවෙන් ශිල්පින් ආවද ඔවුන්ව තෝරා බේරා ගැනීමට ක්‍රම වේදයක් ලංකාව තුල නැත. විවිධ ආයතන මගින් ජාත්‍යන්තර සහතික පිරිනමයි. නමුත් මේවා ඇතුලත සිදුවන අඩුපාඩුකම් හා හොරකම් බොහෝමය. ඉන්දියාව මේ අතරින් ප්‍රමුඛ වේ. විවිධ ආයතන විසින් පිරිනමන සහතික 10-15 සහිත ඉන්දියානු පුද්ගලයින් මා හට හමු වී ඇත. නමුත් ඔවුන්ට ඒ නිෂ්පාදනය හෝ සේවාව ගැන ප්‍රථමික දැනුමක්වත් නැත. ඉන්දියානු ක්‍රිකට් විනිසුරුවන් අනුව ඒ සහතික සඳහා වන විභාග විනිශ්චයන් සිතාගත හැක.

ගිවිසුමකට එළඹෙන්නේ එක පිලකට පමණක් වාසි සලසා ගෙන නොවේ. ලංකාවට 100% වාසි සැලැස්වීමට ඉන්දියාවට වුවමනාවක් නැත. එය එසේ සිදුවිය යුතුයැයි කෙනෙකු සිතන්නේ නම් ඔවුන් වඩාත් ගැලපෙන්නේ ගෝත්‍රික යුගයකටය. ගිවිසුමකදී 50-50 සමබර තාවයක් පැවතිය යුතු වුවත් සමහර විට ඉහළ වටිනා කමක් යුතු දේ ලබා ගැනීමට වැඩි කැපකිරීමක් කල යුතුය. ජාත්‍යන්තර ගිවිසුමකට එළඹීමට ප්‍රථම අපගේ අඩුපාඩු කම් හා හිස්තැන් සාදා ගත යුතුය. පළමුව දේශීය යාන්ත්‍රණ නිර්මාණ වියයුතුය. ඒවා දවසින් දෙකෙන් කල හැකි දේවල නොවේ. යාන්ත්‍රණයක් හෝ සැලැස්මක් නිර්මාණය වූ පසුව එහි අඩුපාඩු සකසා ගැනීමට කාලයක් ගතවේ. දේශීය යාන්ත්‍රනය හුදෙක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා ජනතාව සුරක්ෂිත කිරීම සඳහා නිර්මාණය කල යුතුය. එය රැකියා බඳවා ගැනීමේ සිට සේවා සැපයීම දක්කවා සියළු කේෂ්ත්‍ර ඇතුලත් වියයුතුය. එසේම එය නැවත නැවතත් වෙනස් වෙමින් වැඩි දියුණුවට ලක් වියයුතුය. ඕනෑම ජාත්‍යන්තර ගිවිසුමකදී දේශීය ක්‍රම වේදය හෝ සැලස්ස්ම වෙනස් නොවන ආකාරයට ගිවිසුම් ගත වීමට පාලකයන් වගබලා ගතයුතුය. ඉන්දියාව සමග ගිවිසුමකට එළැඹීමේදී අපගේ භාණ්ඩ වල ගුණාත්මක බව ගැන ප්‍රශ්න මතු විය හැක. මේ සඳහා ගිවිසුම් වේලට එළඹීමට ප්‍රථම ඒ ඒ භාණ්ඩ වල තිබිය යුතු ප්‍රමිතියන් ගැන අප තුල තක්සේරුවක් තිබිය යුතුය. එය ජාත්‍යන්තර පිළිගත් නිර්ණායකවලට පමණක් සිමා නොවේ. ශ්‍රී ලංකාවටද ජාතික ප්‍රමිතියක් ගොඩ නගා ගත හැක. කවුරුන් ලබා දුන්නත් ලංකාව තුල නිපදවන හෝ සපයන කුමන සේවාවක ලාංකික ගුණාත්මක බව තිබිය යුතුය.

ඉන්දියාවෙන් ලාබ දේ ගත හැක. නමුත් හොඳ දේ සොයා ගැනීම තරමක් අපහසුය. දැනුදු විවිධ රටවලින් පැමිණි පිරිස් සංවිධානාත්මකව නොවුවද ලංකාවේ සේවය කරයි. සංචාරක විසා රැගෙන පැමිණි චීන, තායි, රුසියානු කාන්තාවන් ගණිකාවන් ලෙස සේවය කරයි. සංචාරක විසා රැගෙන පැමිණි චීන මිනිස්සු කෝකියන් ලෙස මෙන්ම සංචාරක මාර්ග උපදේශක වරුන් ලෙසද රැකියා කරයි. මේ කිසි කෙනෙකුට ලංකාවේ කාගෙන් හෝ සහය නැතිව මේ දේවල් කල නොහැක. කොපමණ ආරක්ෂණ නීති තිබුනද ඒවා හරි හැටි ක්‍රියාත්මක නොවේ. සංචාරක වෙසින් පැමිණෙන ඉන්දියානුවන් මොනවා කරනවාද, යන්න කවුරුත් නොදනී. මෙරට භාණ්ඩ හා සේවා ඉන්දියනුකරණය වීමෙන් නැතිවන්නේ අපගේ ගුණාත්මක බවය. එය විනාශ වූ පසු නැවත පිළිසකර කිරීමට නොහැක. වැට බැඳිය යුත්තේ ඉන්දියාව සමග ගිවිසුම් ගත වීමට නොවේ.අපගේ භාණ්ඩ හා සේවා වල තිබෙන ගුණාත්මක බව විනාශ වීමටය. පළමුව අපි අපේ දොර අගුළු හරි හැටි පිළිසකර කර ගනිමු. පසුව දොර අරින්නේ කාටද යන්න තීරණය කරමු.

1 comment: