Sunday 14 February 2016

ඉංජිනේරු හාමුදුරුවරු ගැන අසා නෑ නේද? - Fake monks and the real ones


මා දින දින කිහිපයකට පෙර ලියා පල කළ "නානසාරලාට පිස්සු ද නැතිනම් අපට පිස්සු ද?" යන ලිපිය සඳහා භාවිතා කළ ඡායාරූපය මතක ද?

ඒ මා එක්තරා දවසක සිවුරක් පෙරවූ හෝරාවක දී ගන්නා ලද එකකි.

නමුත්, එය නිකම්ම නිකං විහිළුවට කළ සිවුරු පෙරවීමක් නොවේ. උපන් භුමිය හෙවත් ශ්‍රී ලංකාව හෙවත් සිංහ-ලේ හෙවත් සිව්-හෙළය හෙවත් මව්බිම හෙවත් සිරි ලංකාව වෙනුවෙන් කළ සිවුරු පෙරවීමකි.

මෙහි ඇත්ත ම ඇත්ත කතාව මෙසේය.

මා තායිලන්තයේ පිහිටි ආසියානු තාක්‍ෂණික ආයතනය නම් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටි සමයේ අපට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි පැවැත්වුණු විවිධ ප්‍රසංගයකට සහභාගී වීමට සිදුවිය. අප එදා ඉදිරිපත් කළ ග්ලිම්ප්සස් ඔෆ් ශ්‍රී ලංකා නම් කෙටි විචිත්‍රාංග රංගනයේ මට පැවරුණේ බෞද්ධ භික්‍ෂුවක ගේ චරිතය නිරූපණය කිරීමයි.

ඒ මා සහජයෙන් ලබා ඇති මගේ ශාන්ත දාන්ත අහිංසක සුපේශල ශික්‍ෂාකාමී පෙනුම නිසා යැයි සිතමි.

අසල හන්දියේ බාබර් සාප්පුවකින් සල්ලි සල්ලි කියා නොබලා බාට් දහයක් දී කොණ්ඩය කොටට කපා ගත් මම, හොඳ වර්ගයේ තායි සිවුරක් ද පොරවා ගෙන සියම් රටේ දී මම මා ම, මහණ වීමි.

මගේ අභාග්‍යයට සහ බුද්ධ ශාසනයේ භාග්‍යයට ඒ ඉංජිනේරු විද්‍යාවේදී බක පණ්ඩිත පරකන්දෙනියේ රසිකාභිධාන ස්ථවිර නම් සුපේශල ශික්‍ෂාකාමී භික්‍ෂූ චරිතය මෙලොව පැවතුණේ පැය කිහිපයක්, එනම් විවිධ ප්‍රසංගය අවසාන වෙනතුරු, පමණි.

ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති වැනි කලා උපාධි නාමධාරී භික්‍ෂූන් ගැන නිරතුරු අසා ඇතිමුත්, ඉංජිනේරු විද්‍යාවේදී භික්‍ෂුවක ගැන කෙරෙන සඳහනක් ඔබ මීට පෙර අසා නැහැ නේද?

නමුත් මා දන්නා පරිදි එවැන්නෝ, එනම් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිධාරී බෞද්ධ භික්ෂූන්වහන්සේලා, දෙනමක් ම අද ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරති.

මේ ඉන් පළමුවැන්නා ය.


ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් 1981 දී සිවිල් ඉංජිනේරු උපාධිය ලබා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කලක් සේවය කිරීමෙන් පසුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කර, මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරුපති පශ්චාත් උපාධියක් ද, වික්ටෝරියානු විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද ලබා, ඕස්ට්‍රේලියාවේ විවිධ ආයතන කිහිපයක ම කලක් සේවය කළ සුනිල් දයාරත්න ය.

මා දන්නා තරමින් පසුගිය වසරේ දී, මාකොළ ධම්මදින්න නමින් ශ්‍රී ලංකාවේ දී පැවිදි බව ලැබූ උන් වහන්සේ දැන් මීතිරිගල ආරණ්‍යයේ වැඩ වාසය කරයි.

මේ දෙවැන්නා ය.


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ම යාන්ත්‍රික ඉංජිනේරුවෙකු ලෙස සුදුසුකම් ලැබූ සංජීව නම් වූ ඔහු, දශකයක් පමණ කාලයක් ලංකාවේ සේවය කිරීමෙන් අනතුරුව උඩුදුම්බර කාශ්‍යප නමින් පැවිදි බව ලබා මහව ඉහළගම ගල්ලෑවවෙහෙර ආරණ්‍ය සේනාසනාධිපති ලෙස වැඩ වාසය කරයි.

එසේ ම උන්වහන්සේ ලංකාවේ ද, විදේශයන් හි ද ප්‍රචලිත සුමධුර ධර්ම දේශකයෙකි. උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්වහන්සේ පසුගිය ජනවාරියේ ඕස්ට්‍රේලියාවේ දී ද ධර්ම දේශනා පැවැත්වූවේය.

රට, ජාතිය, ආගම වැනි බැටළුහම්වලට මුවා වී, ජාතිවාදය, ආගම්වාදය, ගෝත්‍රවාදය යනාදී වෛර චේතනා, ක්‍රෝඩ චේතනා වපුරන, ජඩ, අවලං, මැර ක්‍රියාවෙහි යෙදෙන සිවුරු දරාගත් පඩත්තලයින් පිළිබඳව නිබඳව අසන්නට ලැබෙන මෙවන් කාලයක, දීපයක, දේශයක මාකොළ ධම්මදින්න සහ උඩුදුම්බර කාශ්‍යප වැනි භික්‍ෂුන්වහන්සේලා ගැන අසන්නට ලැබීම පමණක් වුවද සිත සන්සුන් කරන්නේයැයි පැවසීම කිසිසේත් ම අතිශයෝක්තියක් නම් නොවේ!

ඔබ සැමට යහපතක් ම වේවා!!

සාධු, සාධු, සාධු!!!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉංජිනේරු විද්‍යාවේදී, විනයාචාර්ය, කම්මට්ටනාචාර්ය, විචිත්‍ර ධර්ම කථික උඩුදුම්බර කාශ්‍යප භික්‍ෂූන්වහන්සේ ගේ ධර්ම දේශනාවකට දැන් සවන් දෙමු.



මේ උන්වහන්සේ ගේ වත්පොත් පිටුවයි.
https://www.facebook.com/u.kashyapa

ප/ප/ලි:
මාකොල ධම්මදින්න හිමියන් බරපතල ලෙස රෝගාතුර වුණු බවත්, එනිසා උපැවිදි වීමට සිදුවුණු බවත් දැන ගන්නට ලැබුණා.
ඒ ගැන දැන්වූ සමන්ට මගේ ස්තුතිය.

75 comments:

  1. //ඒ මා සහජයෙන් ලබා ඇති මගේ ශාන්ත දාන්ත අහිංසක සුපේශල ශික්‍ෂාකාමී පෙනුම නිසා යැයි සිතමි.// සභාවේ තදින් සිනා :)

    ReplyDelete
  2. රසික,
    ඔබ සදහන් කලේ සිංහල ස්වාමීන් වහන්සේලා දෙනමක් පිළිබදයි, මා දන්නා පරිදි ඉන්ජිනේරු උපාධි ඇති විදේශීය ස්වාමීන් වහන්සේලා කිපනමකුත් වාසය කරනවා.
    නමුත් මේ සියලුම ස්වාමීන් වහන්සේලා ජනප්ප්රිය බුදුධහම අදහන ස්වාමීන් වහන්සේ ලා නෙමෙයි, තම මනස තුල ඇති නිවාරණ ඉවත් කිරීමට දැඩි වෙහෙසක් ගන්නා පිරිසක්.

    ReplyDelete
    Replies
    1. වැඩිහිටි වී මහණ වීම කුඩා කාලයේ මහණ වීමට වඩා අති බහුතරයක් අවස්ථාවල දී හාත්පසින්ම වෙනස් දෙයක්!

      Delete
  3. සාදු සාදු සාදු.. හැබැයි අර කලින් දවසේ ෆොටෝ එකනම් මන් දැක්කේ ෆොටෝ ෂොප් කරලා වගේ එකේ හැටියට රසිකගේ බෙල්ල හින්ගක් දිග වෙන්නොනේ.. :)

    මගේ ක්ලාස් එකේ එකෙක් ඉන්නවා.. BSc නම් නෙවෙයි මොරටුවේ NDT කරලා කාලයක්ම ඉංජිනේරුවෙක් විදියට වැඩ කරලා ඉඳලා මහන වෙච්චි.. ඒ වගේම IT පකීර්.. මම කොම්පියුටර් ගැන ඇහුවෙත් ඌ නිසා.. 90 මුල් කාලෙම ටෙක් එකේ කොම්පියුටර් ඉගැන්නුවා.. ඉංග්‍රීසිත් ඒ වගේම.. පට්ට කඩ්ඩ.. දැන් මහන්වෙලා මොකක්ද මහමෙව්නා ද මොකක්ද කියල එහෙක ඉඳන් රට වටේ ගිහින් බණ කියනවා.. බදුල්ලේ සුරියරතන කියුවම හෙන ප්‍රසිද්ධයි මෙහේ..

    ReplyDelete
    Replies
    1. කළා මේ කියන්නේ අපේ වීරකෝන් ටීචර්ගේ ලොකු පුතා හෙවත් ලොකු වීරකෝන් ගැන නම් උන්වහන්සේ දැන් නිව්යෝක් වල

      Delete
  4. දැනට සෝවාන් ඵලය ලබා තියනවායයි කියන පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවොත් ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිලිබඳ උපාධිධාරියකු නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් සිරිධම්ම හාමුදුරුවො ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිලිබඳ උපාධිධාරික්. සෝවාන් ඵලය නෙමේ දැන් නම් අරහත් මගේ හිතේ.

      Delete
    2. රහත් වෙලායැ, ඔය නිතර පෙන්න ඉන්නේ!
      ;-)

      Delete
  5. ගොනා හැරෙන්නේ පොල්පැලේටම කිව්වාලු.
    කවුද දන්නේ මේ එන්නේ ...

    ආසයි බයයි
    රසිකාභිධාන ස්ථවිරයි
    පින් බත් කන්නයි
    අපිටම කෙලින්නයි

    හිලට මොනාද අපේ හාමුදුරුවනේ .......පාන් එපා

    ReplyDelete
    Replies
    1. මහණ වුනත් මං නං සිඩ්නිවලින් උතුරට එන්නේ නෑ, එනිසා කළබළ වෙන්න එපා!

      Delete
    2. අපේ ගම්පලාත පැත්තෙත් ඇනෝලා ඉන්නවද?

      Delete
    3. දන්න අඳුනන ඇනෝලා තමයි!

      Delete
  6. ඉංජිනේරුවෝ මහන වෙනවා ඇහුවමයි. 88 AL බැච් එකේ අපිත් එක්ක GELT කරපු හාමුදුරුවරු 30ක් විතර හිටියා. මහපොළ ශිෂ්‍යත්ව දෙන දවසේ තුන්දෙනෙක් ඇවිත් හලෝ මචන් කියල කතා කරනකොට තමා අඳුන ගත්තේ අර සෙට් එකේ තුනක් සිවුරු ඇරලා කියල.
    අද වෙනකොට කී දෙනෙක් සිවුරේ ඉන්නවද දන්නේ නැහැ

    ReplyDelete
  7. මෙවන් අය ගැන අසන්න ලැබීමත් සතුටක්

    ReplyDelete
  8. දැනුවත් කිරීම ගැන ස්තුතියි .සිවුර ගැන කලකිරෙන කතා ඇහෙන මේ කාලේ !

    ReplyDelete
    Replies
    1. රට, ජාතිය, ආගම වැනි බැටළුහම්වලට මුවා වී, ජාතිවාදය, ආගම්වාදය, ගෝත්‍රවාදය යනාදී වෛර චේතනා, ක්‍රෝඩ චේතනා වපුරන, ජඩ, අවලං, මැර ක්‍රියාවෙහි යෙදෙන සිවුරු දරාගත් පඩත්තලයින් පිළිබඳව නිබඳව අසන්නට ලැබෙන මෙවන් කාලයක, දීපයක, දේශයක මාකොළ ධම්මදින්න සහ උඩුදුම්බර කාශ්‍යප වැනි භික්‍ෂුන්වහන්සේලා ගැන අසන්නට ලැබීම පමණක් වුවද සිත සන්සුන් කරන්නේයැයි පැවසීම කිසිසේත් ම අතිශයෝක්තියක් නම් නොවේ!

      Delete
  9. මට දැන ගන්න ලැබුණු විදිහට පේරාදෙනි ඉංජිනේරු පීඨයට 90, 91 හා 92 වසර තුනේදී ඇතුළු වූ බැච් තුනෙන් තුන් දෙනෙක් මහණ වී සිටිනවා. ඉන් එක් අයෙකු මහණ වී ඇත්තේ සිය බිරිඳ හා දරු දෙදෙනාද සමගින්. මේ පවුලේ හතර දෙනා දැන් හතර තැනකට වී ආරාමික ජීවිත ගෙවනවාලු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලකසිරි
      මං හිතන්නේ ඉන් එක් අයෙකු තමයි මේ උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවන්. රාජ් නිල්මිණි විජේවික්‍රම නමින් ගිහි ජීවිතය ගත කළ පේරාදෙනියේ ඉංජිනේරුවෙකු දැන් මඩකඩ ආරණයේ මහණ වී ඇති බව දැනගන්නට ලැබුණා.

      Delete
    2. මා දන්නා තරමින් E92 කිසිවකු මහන වී නැහැ.
      නමුත් E91, කෑගල්ලෙන් බිහිවූ සිවිල් චාර්ටඩ් ඉන්ජිනියර් කෙනෙක් ආරන්යගතව කිසිදු ප්‍රසිද්දියක් හෝ නැතුව සිටින බවත් දන්නවා.

      Delete
    3. ඔවු තිලකසිරි, ඔය පැවිදි බවට පත්වුණ පවුල ජීවත්වුණේ ඕස්ට්‍රේලියවෙ, ඇඩිලේඩ් වල. කට්ටියම ලංකාවට ගිහින් මහණ වුණේ අවුරුද්දකට විතර කලින්. අපිට අව්රුදු දෙකක් junior batch එකේ(92 entry), නමින් ආරි සහ
      දම්මි.
      90 enter වුණු batch එකේ රාජ් විජේවික්‍රමත් මහණ වුණා.උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගෙ ධර්ම දේශ්නයක් තිබුණා අද හවස faculty එකේ.

      Delete
  10. @All
    මාකොල ධම්මදින්න හිමියන් බරපතල ලෙස රෝගාතුර වුණු බවත්, එනිසා උපැවිදි වීමට සිදුවුණු බවත් දැන ගන්නට ලැබුණා.

    ඒ ගැන දැන්වූ සමන්ට මගේ ස්තුතිය.

    ReplyDelete
  11. අපේ බැජ් එකේ අපිත් එක්කෙ එකට ඉගනගත්ත යාළුවෙකුත් පැවිදි උනා, ඉන්ජිනේරු උපාදිය අරගන්නට කලියෙන් තුන්වෙනි වසරෙදි විතර. දැන් ස්වාමීන් වහන්සේ බන බාවනා කරනව නිවන් අවබෝධකරගැනීම පිණිස...

    ReplyDelete
  12. ශාන්ත දාන්ත??? ඈ? අර පැය කිහිපයක් පැවති කතාව නම් සහතික ඇත්ත ඈ.
    ඉංජිනේරු උපාධිධාරී හැම භික්ෂුවක්ම ඒ උපාධිය අරං තියන්නේ මහණ වෙන්න කලින් නේද?

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගන්න අතරේ මහන වෙන්න යනවා කියන්නේ බොහෝ විට ඒ ඉගෙනීම අතහැර ධර්මය ඉගෙනීම කරන්න වෙනවානේ!

      මේ දෙදෙනා සහ පසුව මට ආරංචි වුණු අය උපාධිය ලබා වැඩ කරමින් සිට මහණ වූ අයයි. සුනිල් දයාරත්න ගේ නම් ළමයි විශ්ව විද්‍යාලයට ගිය පසුවයි ඔහු සසුන් ගත වී ඇත්තේ.

      Delete
  13. රට, ජාතිය, ආගම වැනි බැටළුහම්වලට මුවා වී, ජාතිවාදය, ආගම්වාදය, ගෝත්‍රවාදය යනාදී වෛර චේතනා, ක්‍රෝඩ චේතනා වපුරන, ජඩ, අවලං, මැර ක්‍රියාවෙහි යෙදෙන සිවුරු දරාගත් පඩත්තලයින් පිළිබඳව නිබඳව අසන්නට ලැබෙන මෙවන් කාලයක, දීපයක, දේශයක මාකොළ ධම්මදින්න සහ උඩුදුම්බර කාශ්‍යප වැනි භික්‍ෂුන්වහන්සේලා ගැන අසන්නට ලැබීම පමණක් වුවද සිත සන්සුන් කරන්නේයැයි පැවසීම කිසිසේත් ම අතිශයෝක්තියක් නම් නොවේ++++++ Sadu sadu sadu

    ReplyDelete
    Replies
    1. ඒ කතාව කියන්නත් එක්ක තමයි මේ විස්තර සේරම ලිව්වේ!

      Delete
  14. http://www.forestdhamma.org/images/panya/panya2-dropshadowමෙ ස්වාමිත් වහන්සේ තායිලන්තයේ හිටිය ඉතාමත් සරල ආරන්‍ය වාසි බිරිත්‍යාන්‍ය ඉන්ජිනේරුවරයෙක්

    ReplyDelete
  15. දන්නේ නැති හන්දා අහන්නේ, ශිෂ්‍ය භික්ෂුවකට ඉන්ජිනේරු උපාධියක් හදාරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මම දන්න විදිහට ලංකාවෙදිනම් බැහැ...

      Delete
    2. පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමනේර නමකට විද්‍යාව ගණිතය ඉගෙන ගැනීමට පහසුකම් අඩුයි නේද? හැබැයි ස්ව උත්සාහයෙන් හෝ ටියුෂන් මගින් ඉගෙන ගන්න හැකි වේවි.

      විශ්ව විද්‍යාලට ඇතුලත් වීමට නම් සිවුර තහනමක් නෑ. අඳින දේ විස්තර කරලා නෑ කිසිම විශ්ව විද්‍යාල නීතියක.

      Delete
    3. අපේ මැත්ස්,ෆිසික්ස් ටියුශන් ක්ලාස් වලට හාමුදුරුවො ආවා.. ඉස්සරහම පේලියේ වාඩි වෙලත් උන්නා

      Delete
  16. ඉංජිනේරුවන් මහණවීම 'මැජික්' වෙන්නේ නැත්තේ, මම දන්නා ගොඩ දෙනෙක් එහෙම ඉන්නා නිසා. සමහර භික්ෂුන් වහන්සේලා ඉතාම නිරාමිස ජිවිත ගතකරන්නේ. ගිහි කාලයේ කරපු හෝ හදාරපු උගත්කම් වලින් බැලුවම මහණකම කියන්නේ ඉතාම උතුම් දෙයක්. කොටිම්ම ගිහි කාලේ 'ඉන්ජෙක්' කියන්නේ නොගිනියහැකි තරම් දුහුවිල්ලක්. මගේ බැච් එකේ එක්කෙනෙක් පැවිදි උනා රැකියාවක් කරමින් ඉන්නකොට. මට පහල බැච් එකේ හිටපු බැච් ටොප් පැවිදි උනා, ඔහුට ඒ දිනවල ලාභ ලබන මෘදුකාංග කොම්පැනියක් තිබුනා. උදාහරණ ඕනේ තරම්. දොස්තර, ඉංජිනේරුකම අතහැර පැවිදිවෙනවා කියන්නේ අරුමයක්ද?

    ReplyDelete
    Replies
    1. I think u r fro IT fac, UOM

      Delete
    2. අරුමයක් හෝ මැජික් එකක් ගැන නොවේ මං ලියා ඇත්තේ.

      ඔබ එකතු කළ විස්තරයට ස්තුතියි!

      Delete
    3. රසික: ඔබේ පෝස්ටුවේ මාතෘකාව ගැන හිතුවොත් මම කීවේ කුමක්ද කියා වැටහෙනු ඇත.

      Delete
    4. ස්තුතියි උපේක්‍ෂා.

      ඔබට එතරම් සමීප අත්දැකීම් තිබුණාට මට නෑ.

      මට දෙනම ගැන අසන්නට ලැබුණේත්, සුනිල් දයාරත්න ඕස්ටේ‍ර්ලියාවේ බසර විස්සක් පමණ වාසය කළ අයෙකු නිසාත්, උඩුදුම්බර කාෂ්‍යප ජනවාරියේ සිඩ්නි නුවරට පැමිණීමත් නිසායි.

      ඒ සමගම, මා ඒ දෙදෙනා ගැන ලියුවේ ඔවුන් උපාධිය ලබා ඇත්තේ මා උගත් විශ්ව විද්‍යාලයේ ම, ඒ පීඨයේ ම වීමත් නිසායි.

      ඇස්බැන්දුම යන අරුතෙන් හෝ පුදුමය යන අරුතෙන් හෝ මට එය මැජික් එකක් වුනේ නෑ. එසේම, සසර කලකිරීම මහණ වෙන අය ගැන මා අසා ඇති නිසා මට එය ලොකු අරුමයක් වුනේත් නෑ.

      මෙවැනි වෙනත් අය ගැන මෙහි ඇතුළත් කමෙන්ටු සහ මට පුද්ගලිකව ලැබී ඇති පණිවිඩ අනුව, අරුමයක් සේ යම් හැඟීමක් තිබුණා නම් එවැනි අංශු මාත්‍රයක්වත් දැන් නෑ!

      නැවතත් ස්තුතියි.

      Delete
    5. මාතෘකාව ගතහොත් විශාල නොගැලපීමක් පෙනෙනවා. එය දැකීමත්, දැකීමට නොහැකිවීමත් යනු කෙනෙකුගේ සීමාව. රසික වැනි උගත් ප්‍රවීනයෙක් එය නොපිළිගන්නේ ඇත්තටම ඔහුට එය දැකීමට නොහැකිවීම නොහැකි වීම නිසා යයි මම සිතන්නේ.

      Delete
    6. ඔව්, මා නොදකින මට නොවැටහෙන දෙයක් මට පිළිගන්න බෑ. එවිට එය ඇදහීමක් වෙනවා. මා ඇදහීම් කරන්නේ නෑ.

      මා ලියන දේවල ඇති වැරදි කියවන අය පෙන්වා දුන් හැම විටම මා ඒ වැරදි නිවැරදි කරගෙන තියෙන බව මේ බ්ලොගය සහ මගේ වෙනත් ලියවිලි කියවා ඇති අය දන්නවා.

      මේ මාතෘකාවේ නොගැලපීමක් මට නම් පේන්නේ නෑ.

      1. "ඉංජිනේරු හාමුදුරුවරු ගන අසා නෑ නේද" යන්න මා නගන ප්‍රශ්නයක්. උත්තරයක් හෝ ප්‍රකාශයක් නොවෙයි.

      2. ඉංගිරිසියෙන් "Fake monks and the real ones" හි ෆේක් මන්ක්ස් යනු මා කළ ආකාරයට සිවුරු පෙරවූ අයයි.

      මගේ ලිපිවල මාතෘකාවේ ඉංගිරිසි කොටස යොදන්නේ සිංෑල කොටසේ අරුතේ පරිවර්තනයක් දෙන්න නොවෙයි. බොහෝ විට වෙනත් කාරණාවක් කියන්නයි!

      Delete
  17. අපේ ජුනියර් බැච් එකේ සිසුවෙක් මහණ වෙලා ආරන්නයක වනවාසීව බාහිර සම්බන්ධතාවන් ඉතාම අවම කරගෙන දැඩි ලෙස ආගම වෙත නැඹුරු වෙලා භාවනා කරමින් හිටියා, ටික කාලෙකට පස්සේ පත්තරේක තිබ්බා ආරන්නයක මහණ වෙලා භාවනා කර කර හිටපු හාමුදුරු නමක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන කියලා...
    මම විස්තර හොයල බලනකොට ඒ සියදිවි හානි කරගෙන තිබුනේ අපෙ පහළ කණ්ඩායමේ ඉඳල පසුව මහණ වූ හාමුදුරුවෝ...

    ReplyDelete
    Replies
    1. මගේ උසස් පෙළ පන්තියේ මිතුරෙකු ගැනත් මට අසන්නට ලැබුණේ ඔය කතාවමයි!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මහන වෙන්න හිතන ගොඩක් දෙනෙක් ඒ ගැන තියෙන සිහින ඇත්ත ජීවිතේදී මුහුණදෙන්න බැරි ඒවා. එයාල මුලාවක වැටිලා මහණ වෙන්නේ. එතනයි ප්‍රශ්නේ. මගෙත් යාලුවෙක් එහෙම කළා. එදා වගේම අදත් ඒ ගැන දරන්නේ එකම මතයයි. මෙතනින් කියවන්න ඒ කතාව.

      Delete
    4. ස්තුතියි උපේක්ෂා

      ඒක හරිම දුක්බර කතාවක්.

      මගේ උසස් පෙළ පන්තියේ මිතුරා ගේ අවසානය ද ඒ වගේමයි.

      කලකිරී මහණවීමත්, දහම් හදාරා යම් අවබෝධයක් ඇතුව මහණවීමත් වෙනස්.

      Delete
  18. බෞද්ධ යැයි කියාගන්න පවුලක උපත ලබා, අපොස සා පෙළ දක්වා බුද්ධාගම ඉගෙනගත්, උසස් පෙළ කාලයේදී ම නිරාගමිකයෙක් වුනු මට බොළඳ (කාල් මාක්ස් උන්නැහෙට නම් බොළඳ නැතුව ඇති) පැනයක් ඇත. එනම් :

    පැවිදි බව ලැබීම උතුම් කාර්යයක් නම් හිත කය වෙහෙසා ලොවෙහි ආර්ථිකයට දායක වන සියලු දෙනා හෑල්ලු වෙනවාද ? සියල්ලම මහණ වුනොත් දානය පිළියෙළ කරන්නේ කවුද? බස් එලවන්නේ, ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නේ, කුණු කසල ඉවත් කරන්නේ, තේ දළු නෙලන්නේ කවුද ? පැවිද්දන් සමාජයක් තුල පරපෝෂිතයන් වෙන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. සියළු පැවිද්දෝ පරපෝෂිතයෝ වෙති. (කේන්දර බලන, මන්ත්‍ර ගුරුකම් කරන පැවිද්දෝ හැර)
      සියළු පරපෝෂිතයෝ පැවිද්දෝ නොවෙති.

      Delete
    2. එකඟ වෙමි. පාසැල් සහ විශ්ව විද්‍යාල වල පැවිදි ගුරුවරුන් පරපෝෂිතයන් නොවේ. ප්‍රාග්ධනය හිමියන් අනිවාර්යයෙන්ම පරපෝෂිතයන් ද වේ.

      Delete
    3. අසංක
      සියලු දෙනාටම මහණ වෙන්නට කියා කිසිවෙකු කියා නෑ. බුද්ධ ශාසනය පැවතෙන්නට භික්කු, භික්කුණී, උපාසක, උපාසිකා යන සිව් පාර්ශවයම අවශ්‍යයයි.

      රාහුලව, නන්දව මහණ කර ගත්තාට මුදු සාදු වුනත්, අනේපිඬුට මහණ වෙන්න බළ කළේ නෑ නේ. ප්‍රජාපතීි ගෝතමී ගේ කරදරේ බැරි තැන මහණ වෙන්න අවසර දුන්නාට, යශෝදරාට මහණකම දුන්නාට විශාකාව මහණ වුනේ නෑ නේද?

      ඒ කියන්නේ දානේ දෙන්න අයත් ඉන්න ඕනෑ!

      Delete
    4. පැවිද්දන් කියන්නේ මෙතන භික්ෂුන් වහන්සේලා වෙන්න ඇති නේද?

      අසංක:
      ඔබට දෙන්න ඇති පිළිතුර අංග කිහිපයකින් සමන්විතයි.

      පළවෙනියට:
      මේ පොස්ට් එකේ තියෙන බණ කොටසේ ඔබේ ප්‍රශ්නයට සාමාන්‍ය උත්තරයක් ලැබෙනවා.

      දෙවනියට:
      බුදුන් වහන්සේ වරක් එක බ්‍රාහ්මණයෙක් වගාකරන වේලකට හැමදාම වගේ වඩිනවා. ඒ බ්‍රාහ්මණයා අකමැත්තෙන් ඒ ගැන ඉන්නේ. අවසානෙදි අස්වනු නෙලන දවසෙත් උන්වහන්සේ පාත්තරේ අරගෙන වදිනවා දැකල ඔහු කිව්වලු "මොකද්ද හාමුදුරුවනේ හැමදාම අපෙන් කන්න බලාගෙන ඉන්නේ. ඔබවහන්සේත් මොකක් හරි හරි හම්බ කරගෙන හරි වගාකරගෙන හරි කන්නකෝ" කිව්වලු. ඔහුට බුදුහාමුදුරුවන් දීපු පිළිතුර තමයි ඔබට දෙන්න තියෙන්නේ.

      ඔය නිරාගමික වෙන එකත් දැන් එක ජාතියක ආගමක් නේද?

      Delete
    5. වෙන්න පුළුවන්. මෙය වැඩවසම් ආකෘතියක්. මහණ කම මහණ නොවන අය මත යැපෙන එකක් නොවන්නේ නම් යහපති.

      Delete
    6. Upeksha නැහැ.ආගම් කියන්නේ රුුපවාහිනි යන්ත්‍ර ය‍ේ විවිධ චැනල් කියා සිතන්න. නිරාගමික කියන්නේ off switch එක වග‍ේ.

      Delete
    7. Upeksha නැහැ.ආගම් කියන්නේ රුුපවාහිනි යන්ත්‍ර ය‍ේ විවිධ චැනල් කියා සිතන්න. නිරාගමික කියන්නේ off switch එක වග‍ේ.

      Delete
    8. උපේක්ෂ වෙත, නිරාගමික ජාතියක,රටක ආගමක් හෝ ඇදහීමක් නෙමේ. මං හිතන්නේ දර්ශනයක්වත්,බුද්දාගම වගේ ,ලෞකික බහවයකට හරව ගත්ත ශුද්ද දර්ශනයකුත් නෙමෙඉ.
      අසංක කියනවා වගේ,ඇදහීම්වලින් තොරව, ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න වැර දරන උත්සහායක්.

      Delete
  19. හැබැයි දැන් නං විචිත්‍ර ධර්ම කතිකයෙක් වීමට සුදුසු හිසක් හා සුදක් ලැබී තිබේ.. මොකද කියන්නෙ ස්වයං මහණවීමක් වෙලා පොටො එකක් හෙම දාන්න බැරිද??

    අර බුදු වෙච්චි හාමුරුවොත් විද්‍යාෙව්දියෙක් නේද?

    ReplyDelete
    Replies
    1. මහණවෙන්න නම් පුළුවනි. උපාසකම්මලාත් කැමති වේවි නේ. නමුත්, පාරාජිකා නොවී ඉඳීම තමයි ප්‍රශ්නය!

      Delete
    2. නූතන බුද්ධා බුදු වුණු දවස සමරන්න ලොකු කේක් එකකුත් කැපුවා නේද එයා ගේ විශාකාව යි අනේ පිඬුලායි එකතුවෙලා?

      Delete
  20. රසික හිමිගේ බණක් අහන්න බැරි වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඒ බණ රසිකොලොජි ලෙස හැඳින්වෙයි.
      දැන් වග්ග කිහිපයක්ම සයිබරාරූඪ කොට ඇත!

      Delete
  21. පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ 2009 කණ්ඩායමේ කෙනෙක් මහණ වුනා මීට වසර 2කට විතර කලින්. සිවිල් ඉංජිනේරු උපාධීධාරියෙක්. අපේ බැජෙක්...

    ReplyDelete
    Replies
    1. බැචා ගැන විස්තර දෙන්න හැකිද?

      බැච් = batch = කණ්ඩායම
      බැජ් = badge = පදක්කම

      Delete
  22. බොහොම වටිනා ලිපියක් . අපේ මිනිස්සු දවසින් දවස කාම තන්හාවෙන් ලෝකය බදාගන්නා කාලෙක ලෝකය දිනපු උදවිය සුළුතරයක් කාමය අතාරින්න හදනවා කියලත් අපේ මිනිස්සු දැනගත යුතුයි. සිවුර පාවිච්චි කරගෙන උසස් අද්යාපනයට ඇවිත් සිවුර විසික් කරලා දාන කාලෙක මේ පරමාදර්ශී චරිත වන්දනීයි.
    මේ ඉවරයක් නැති සංසාරය ගැන නොතේරුන කාලෙක ජීවිතේ භාරගත්තු වගකීම් තිබ්බේ නැත්තම් මමත් අද කොහෙහරි වනගත ආරණ්‍යයක මහණවෙලා.. එත් දැන් මේ භාරග්ත්තු වගකීම් ඉෂ්ට කරලා ඉන්න එපයි.

    ReplyDelete
    Replies
    1. වගකීම් පැහැර හැරීමේ වරද, පමණවී ලබාගත හැකි පිණට වඩා ලොකුයි!

      සුනිල් දයාරත්න මහණ වුනේ ළමුන් විශ්ව විද්‍යාලයට ගිය පසුව බව ආරංචි වුනා!

      Delete
  23. පේරාදෙනියෙන් පිට උන පරිගණක ඉන්ජිනේරුවෙකු උන මගේ මිතුරියකගේ සහෝදරයෙකුත් ඉන්නවා මහමෙව්නාවේ පැවිදි වෙලා. ඔහු උපාධිය ලබා ගත් පසු, වසර දෙකක් පමණ ජපානයේ රැකියාවක් කලා. හදිසියේම එයින් ඉවත් වී ලන්කාවට පැමින මහණ උනා.මොහු 2007 පමණෙ පීඨයට ඇතුලු උනේ මට මතක විදියට.

    ReplyDelete
  24. ආරන්‍ය සේනාසන වල බොහොම අප්‍රසිද්ධියේ වැඩ වසන දොස්තර වරුන්,ඉංජිනේරු,ආචාර්ය,මහාචාර්ය වරු කොටින්ම බුද්ධිමතුන් කොතෙක් සිටිත්.. ඔවුන් එලියට එන්නෙත් නෑ.ආ යුතුත් නෑ.ආරන්චියක් වත් දෙන්නෙත් නෑ.ඒ අතින් ඔබේ පෝස්ටුව වටිනවා.
    ජයවේවා..!!

    ReplyDelete
  25. වලස්මුල්ලේ අභය හාමුදුරුවන්නුත් එහෙම කෙනෙක් නේද??

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.