01 February 2016

මෙහෙම ගියොත් දහම් ගේ ඉරණමත් ඕකම තමයි

මෙහෙම ගියොත් දහම් ගේ ඉරණමත් ඕකම තමයි

"මහින්දලා බලයෙන් මත්වෙලා කරපු නොකරපු දේවල් වල ප්‍රතිඵල තමයි මේ," යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කැකිරිලන්තයේ අද දින විපක්ෂ නායක රතනජෝති වාසුභූති මහතා කැකිරි එෆ් එම වෙත ප්‍රකාශ කළේය. වාසුභූති මහතා එම සිද්ධිය තව දුරටත් විග්‍රහ කලේ මෙසේය:

"මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පුතාලා නොයෙකුත් අකටයුතු වල යෙදෙන්න පටන්ගත්තේ ඔහු ජනාධිපති වී අවුරුදු ගානක් ගත වුනාට පසුවයි. එත් වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඔහුගේ පුතා දහම් වැරදි පාරේ යන්න පටන් ගත්තේ ඔහු බලයට පැමිණ සති දෙකක් යන්නත් පෙරයි. යෝෂිත ගිය පාරේ යෝෂිත ට හිතාගන්න වත් බැරි වේගෙන් දහම් ගමන් කරන බව පැහැදිලියි. කොහේ හරි හැප්පෙන්නේ නැත්තම් පුදුමයි. හැප්පුනේ නැතත් ඔය යන විදිහට නම් තාත්තගේ ධූර කාලය අවසන් වෙන කොට හිරේ ලගින්න වෙයි කියල තමයි හිතන්න වෙන්නේ."

සම්බන්දන්ලා ට ගූගල් ගැන කියා දෙන්න කැකිරිලන්තය සූදානම් 

"ඕනෑම රටක දේශපාලන ක්‍රමය ගැනද ඒ ඒ රටවල බලය පිලිබඳ ප්‍රශ්න විසඳු ආකාරයන් ගැනද ඉගෙන ගැනීමට ඒ රටවලට යායුතුම නැතිබව තවමත් ටී.එන්.ඒ සංවිධානය නොදන්නේ එම සංවිධානය ගූගල් වැනි අන්තර්ජාල සර්ච් එන්ජින් ගැන අසා නැති නිසා විය යුතුයි."

මේසේ පවසන්නේ කැකිරිලන්තයේ අද දින අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කැකිරිඇල්ල මහතා ය. එම මහතා මෙසේද පවසයි:

"බලය බෙදීම ගැන අධ්‍යයනය කිරීම සඳහා සම්බන්දන්, සුමන්දිරන් සහ ශ්‍රීධරන් යන ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකයින් බ්‍රිතාන්‍යය ට යාමට නියමිත බව පුවත්වත් වලින් දන ගෙන ය. එහෙම යන්න අවශ්‍ය නැහැ නේ. අදාළ කරුණු කාරනා සියල්ලම අන්තර් ජාලයේ තියෙනවා. සමහරවිට මේ මහත්වරු දන්නේ නැතුව ඇති. එකයි ඔවුන්ට අන්තර්ජාලය ගැන නොමිලේ කියාදෙන්න අපි තීරණය කෙරුවේ."

තොරුතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ පනත ට මක්කැයි වුනේ?

මාධ්‍ය වේදීන් ට දෙහි කපන එක කරන අතරේ රනිල් වික්‍රමසිංහ මහතා තොරුතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ පනත සම්මත කරන්න මහන්සි වුනොත් ඉතා වටිනා බව කැකිරිලන්තයේ අද දින මාධ්‍ය ඇමති කරුණාවතී අලුත්විතාරණ මහත්මිය පවසයි. එම මහත්මිය මෙසේද ප්‍රකාශ කර ඇත:

"රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යවේදීන් මෙන්ම පොදුවේ මාධ්‍ය භාවිතය ද විවේචනය කිරීම 'නිවුස්' නොවේ. එයට දිග ඉතිහාසයක් ඇති බවත් ඔහු සතු බලයේ ප්‍රමාණයට අනුරූපව දඩයමේ යෙදෙන බවත් පහුගිය වසර 37 තුල ඔහුගේ දේශපාලනය පිලිබඳ ව අවදියෙන් සිටින අය දනී. කැකිරිලන්තයේ මාධ්‍යවේදීන්ට ඔය විදිහට කිසිම දේශපාලනඥයෙක් බැණ වදින්නේ නැහැ. අපේ රටේ තොරුතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ පනත සම්මත කරගත්තේ මීට වසර 2600 කට පෙරයි. ශ්‍රී ලංකාවේ වගේ දේශපාලන බලවතුන්ට, නිලධාරීන්ට සහ එන්ජීඕ තක්කඩින්ට හොරකම් කරන්න සහ පොර ටෝක් දෙන්න අපේ රටේ ඉඩක් නැත්තේ ඒ නිසයි. අපි බලාපොරොත්තු වෙනවා රනිල් මහත්තයා ඉක්මනටම තොරුතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ පනත සම්මත කරන්න කටයුතු කරාවි කියලා."

පෙබරවාරි 4 දා ට පසුව සාමාන්‍ය "වැඩ දිනය" ප.ව. 8 සිට පහුවදා පෙ.ව. 4 දක්වා!

ඉහත "වෙනස" සිදුකිරීමට නියමිත ව ඇත්තේ ශ්‍රී ලංකා වේ නොව කැකිරිලන්තයේ ය. කැකිරිලන්තයේ අද දින ජනමාධ්‍ය ඇමති ජයන්ත කරුණාරත්න මහතා මෙම තීරණය මෙසේ සාධාරණය කළේය.

"ශ්‍රී ලංකාවේ නිදහස් දිනය කොටස් දෙකකින් සමරන්න තීරණය කල බව අපර ආරංචි වුනා. ඒ කියන්නේ උදේ පය දෙක තුනක් සහ සවස පැය දෙක තුනක්. මේක එක අතකට ඉතාම ඥානාන්විත තීරණයක්. දවල් ට අව්ව සැරයි නේ. ඉතින් මොකෝ නිකරුනේ පිච්චෙන්නේ, නේද? නිදහස් උත්සවය මේ විදිහට ඛණ්ඩනය කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රභූවරු ගේ පසහුව උදෙසා ලු. අපි නම් එහෙම ප්‍රභූන් ගැන ඔය විදිහට විශේෂයක් කරන්නේ නැහැ. එත් කතාවේ ඇත්තක් තියෙනවනේ. ඉතින් අපි මෙහෙම හිතුව. මොකටද මහා දවල් කට්ට අව්වේ පිච්චි පිච්චි වැඩ කරන්නේ? ඊට වඩා හොඳයි නේද දවල්ට නිදාගෙන රෑට වැඩ කරන එක? අපි ට මේ අදහස ආවේ ශ්‍රී ලංකාවෙන්. ඉතින් ශ්‍රී ලංකාවට කරන ගෞරවයක් හැටියට අපි ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වන පෙබරවාරි 4 දා සිට "වැඩ දිනය" ප.ව. 8 සිට පහුවදා පෙ.ව. 4 අතර කාලයට සීමා කරන්න තීරණය කෙරුවා."

ශ්‍රී ලංකා වේ ආණ්ඩුව සන්ස්ක්‍රීන් වෙළෙන්දන්ට යටවුනා වත්ද?

"මෙවර නිදහස් දින උත්සවය ඛණ්ඩනය කිරීම සම්බන්ධයෙන් සාගල රත්නායක කල ප්‍රකාශයෙන් පැහැදිලිවන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවට "කුරුඳුවත්තේ බංගලා සන්නිය" සැදී ඇති බව නොව ආණ්ඩුව සන්ස්ක්‍රීන් සමාගම් වල අතකොලුවක් වී ඇති බවයි."

මෙසේ පවසන්නේ කකිරිලන්තයේ අද දින පාරිභෝගික අධිකාරියේ සභාපති භූමි මර්සි මහතා ය.
රත්නායක මහතා මාධ්‍යයට පැවසුවේ මධ්‍යාහ්නයේ පවතින දැඩි හිරු රශ්මිය සලකා බලා එලෙස නිදහස් දිනය කොටස් දෙකකට කඩන්නට ආණ්ඩුව තීරණය කළ බවයි.

"වසර 68 ක් තිස්සේ ශ්‍රී ලංකාව තුල මෙවැනි ප්‍රශ්නයක් තිබුනේ නැති බවයි අපගේ වැටහීම. 2015 පෙබරවාරි 4 දා සහ 2016 ජනවාරි 28 අතර ගෝලීය උෂ්ණත්වය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහල ගොස් ද නැත. එහෙත් මෙම ප්‍රකාශය හේතුවෙන් දහවල් කාලය තුල හිරු එලියට විවෘත වන්නට ශ්‍රී ලංකා වාසී ජනතාව බිය වනු ඇත. ඒ කෙසේ වෙතත් එදිනෙදා කටයුතු සඳහා ඔවුනට ඉන් වැලකී සිටීමට ද නොහැක. මේ නිසා ඔවුනට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ සන්ස්ක්‍රීන් භාවිතා කිරීමට සිදුවනු ඇත," මර්සි මහතා වැඩි දුරටත් මෙසේ විස්තර කරමින් පැවසුවේ මැයි මාස යේ 22 දා සමරන කැකිරිලන්තයේ නිදහස් දිනය හරියටම දහවල් 12 ට සමරන බවයි.

උත්සවයට සහභාගී වන දේශපාලනඥයින්ට තොප්පි සහ කුඩා තහනම් බවද ඔහු පැවසුවේය.



මෛත්‍රී-රනිල් සමයේ තවත් කැකිරි පැලෙන නිවුස්:

 ඥානසාර හිමි සහ ජනපති එක කූඩුවක  

"උමතුවේ සම්මුතිය" ජනගත කෙරේ


0 comments: