මිරිස්ස හෝටල්වල වර්ණබේදවාදය | Apartheid in Mirissa Hotels


මිරිස්සේ පොඩි හෝටල් හිමියන් කණ්ඩායමක් ලාංකික ගණුදෙනුකරුවන් හට සිය සේවා සැපයිම ප්‍රතික්ශේප කොට ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කලේ දින දෙකතුනකට කලිනි. අද ඩේලි මිරර් පුවත්පත මේ තත්වය පිලිබඳව පරීක්ශණයක් පැවැත්වීමට සංචාරක අධිකාරිය (SLTDA) තීරණය කොට ඇති බව වාර්තා කොට තිබේ.

මිරිස්සේ කුඩා සංචාරක නවාතැන් පොලවල් වලට හෝටල් යයි කීවද ඒවා හෝටල් නොව, පිට පලාත්වලින් පැමිණෙන්නවුන්ට තාවකාලිකව නවාතැන්දෙන ලොජ් හෙවත් ලැගුම් හල් මෙන් මිරිස්සේ තල්මසුන් නරඹන්නට පැමිණෙන විදේශිකයින්ට නවාතැන් දෙන ලැගුම්හල් හා ආහාර පාන දෙන ආපනශාලා පමණකි. සංචාරක අධිකාරිය පවසන අන්දමට මින් බොහෝ ආයතන එම ආයතනයේ ලියාපදිංචිය පවා ලබාගෙන නොමැත.

මෙම කුඩා ලැගුම්හල් හා ආපනශාලා පවත්වාගෙන යන මුදලාලිලා දේශීය ගණුදෙනු කරුවන්ට සේවා කෙසේවෙතත් අඩුම ගණනේ කෝපිකෝප්පයක් හෝ නොසපයන්නට තීරණය කොට ඇත්තේ ඔවුන් වෙත පැමිණෙන ගණුදෙනුකරුවන්ගෙන් ඉතා සුළුතර කිහිපදෙනුකු ඔවුන්ගේ නවාතැන් පොල්වල්වල සිටි විදෙස් තරුණියන්ට හිරිහැර කිරීම නිසාය.

මිරිස්සේ පොඩි පොඩි ලොජ් අටවාගෙන ඩොලර් ටිකක් අතගාගෙන සිටින මුදලාලිලා මෙයට විසඳුම ලෙස ජනතාවට දඬුවම්කිරීම තෝරාගෙන ඇත. රත්තරන් බැඳි කටුස්සගේ කතාව සිහිවෙන්නේ මෙවිටය.

ලංකාව කාන්තාවන්ට ඉතාමත් අනාරක්ශිත රටක් බව ඇත්තය. සුදු තරුණියකට නොව පාසැල් ගවුම ඇඳගෙන යන පාසැල් සිසුවියකගේ වුවද ඇඟපත අතගාන්නට, ඇයව රවටාගෙන ගොස් කුමක් හෝ අතරවයක් කරන්නට බැරිනම් ඇයව මනසින් නිරුවත් කරගෙන එම සිතුවිලි ඇයට ඇසෙන්නට කුණුහරුප ලෙස පිටකරන දරුණු ලිංගික පීඩනයකින් ජීවත්වන මිනිසුන් කොටසක් ජීවත්වන රටකි මෙය. එහෙව් රටකට විදෙස් තරුණියන් බුරුතුපිටින් පැමිණීමද පුදුමයකි.

කරුණු එසේවුවත් මිරිස්සේ සංචාරක ලොජ් කාරයින්ට නීතිය අතට ගෙන ජනතාවට දඬුවම් කිරීමට මේ කරුනු කිසිදු අවසරයක් ලබා නොදෙයි. මෙරටේ ව්‍යවස්ථාවට අනුව කිසිදු පුද්ගලයෙකුට ජාතිය, ආගම, භාෂාව, සමේ වර්ණය අනුව වෙනස් ලෙස සැලකීමට කිසිදු අවකාශයක් නැත. 

මිරිස්සේ තල්මසුන් බලන්නට එන හැම ලාංකිකයාම ස්ත්‍රී දූෂකයකයෙකු ලෙස සිතාගෙන කටයුතු කරන්නට මේ අමනයින්ට ඉඩදිය යුතු නොවේ. මේ රටේ බොහෝ පුරවැසියන් ලිංගික පීඩනයෙන් පෙලෙන අසහනකාරයින් නොවේ. අසහනකාරයන් නීතියේ රැහැනට හසුකිරීමට ඕනෑතරම් පහසුකම් අද තිබේ. CCTV තාක්ශණය අද සිල්ලර කඩවල පවා භාවිතාවන, මිලෙන් ඉතා අඩු, අසහනකාරයින් ලෙහෙසියෙන් කොටුකරගත හැකි තාක්ශණයකි. එමෙන්ම කොතෙක් අඩුපාඩු හා චෝදනා තිබුණද ශ්‍රී ලංකා පොලීසියේ 119 හදිසි ඇමතුම් සේවාව බොහෝ අවස්ථාවලදී ඉතා ඉක්මණින් ප්‍රතිචාර දක්වයි.

විදෙස් කාන්තාවකට හිරිහැරයක් වූ බවට පැමිණිල්ලක් ලැබුණු විට වහා 119 අමතා අදාල කාන්තාව සිටි ප්‍රදේශය ආවරණය වන CCTV දර්ශණ පොලිසියට භාරදී ඔවුනට රාජකාරිය කරන්නට ඉඩදීමයි. පොලීසියට කිව්වට වැඩක්නෑ, පොලීසිවල රස්තියාදුවෙන්න අපිට වෙලාව නෑ, වැනි කතා අදාල නැතුවා මෙන්ම නීතිවිරෝධීය. කාන්තාවකට අතවරයක්වූ විට පොලීසියට පැමිණිල්ලක් සිදුකල යුතය. පොලීසිය සිය රාජකාරිය ඉටු නොකරන්නේ නම් ඒ සඳහා පැමිණිලි කිරීමට පොලිස් කොමිසමක් පිහිටුවා ඇත. ඒවායින් වැඩගත යුතුය.

ඩොලර් ටිකක් අතමිට සැරිසරන ලොජ් මුදලාලිලාට රටේ නීතියෙන් පලක් නැත. රටේ පුරවැසියන්ට සේවය කලයුතු යැයි අදහසක් නැත. යුද්ධය පවතින කාලයේ මිරිස්සට ආපු සුද්දෙක් නැත. පැමිණියේ කොල්ලන් සොයාගෙන එන සමලිංගික නාකි සුද්දන් පමණකි. එකල දැන් අපට පුප්පන මේ ලොජ් මුදලාලිලා ජීවිකාව කරගත්තේ අපේ රටේ මිනිසුන් සමග ගණුදෙනු කිරීමෙනි. දැන් සුද්දන් එන්නට පටන්ගත්විට මුල අමතකය. කොහොමත් අපේ රටේ හැටි එහෙමය.

කෙසේ වෙතත් මේ වර්ණබේධවාදී ප්‍රවණතාවය වහා වනසා දැමිය යුතුය. නැතිනම් වැඩිකල් යන්නට පෙර සංචාරක හෝටලයක නවාතැන් ගන්නා ශ්‍රී ලාංකිකයින්ට හෝටලයේ පිහිණුම් තටාකය තහනම් වනු ඇත, හෝටලය අවට මුහුදු වෙරලද තහනම් වනු ඇත. හෝටලයේ ආපනශාලාවද තහනම් වනු ඇත. "ආවානම් කාමරයට වෙලා ඉඳලා පලයල්ලා  .... " කියා සංචාරක කරුමාන්තයේ මහත්තුරු මේ රටේ පුරවැසියන්ට කියන දවස එන්නට පෙර මෙම ප්‍රශ්ණය විසඳාගත යුතුය.





Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments