Main Logo

Thursday 21 January 2016

දෙවියන් හා ගුරුත්වාකර්ෂණය (2016 ජනවාරි 20 විදුසර ලිපිය)

දෙවියන් හා ගුරුත්වාකර්ෂණය

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය ජනවාරි 13 වැනි දින විදුසර ලිපියෙන් ජීවිතය පිළිබඳ ඊනියා අරුත ගැන තම අදහස් සම්පිණ්ඩනය කර දක්වා ඇත. එසේ කිරීම පිළිබඳ ඒ මහතාට අපේ ස්තුතිය හිමිවන අතර ඒ කරුණු අප මෙහි උපුටා දක්වන්නේ ඒ ලිපිය නොකියවූ අයට ඒ ගැන දැනුමක් ලැබීමටත් ඒ මහතා සිංහල බෞද්ධ චින්තනයෙන් කෙතරම් ඈත් වී තිබේ ද යන්න පාඨකයනට දැනගැනීමත් සඳහාත් ය. ඒ මහතා සිංහල බෞද්ධයකු බව පිළිගන්නේ යැයි මම උපකල්පනය කරමි. අද මෙරට බොහෝ දේශපාලනඥයන් තමන් සිංහල යැයි ද  බෞද්ධ යැයි ද කියමින් සිංහල බෞද්ධ විරෝධී ක්‍රියාවල නිරත වන ආකාරයට අමරතුංග මහතා ද ක්‍රියාකරන්නේ යැයි සිතිය හැකි ය. ඒ මහතා ඉහත සඳහන් ලිපියෙහි මෙසේ කියයි. 


“1. අප ගේ ජීවිතයේ අරුත කුමක්‌ ද යන්න අප නිතර අසන ප්රශ්නයකි.
2. අප එසේ අසන්නේ එහි තේරුමක්‌ නැතැයි අපට හැඟෙන නිසා ය.
3. අප සතුටින් හැම දා ජීවත් වනවා නම් එම ප්රශ්නය අප අසන්නේ නැත.
4. අප එම ප්ර්ශ්නය අසන්නේ අප ටික කාලයක්‌ දුකින් සිට මරණයට පත් වන නිසා ය.
5. තව ද එම ප්රහශ්නය අසන්නේ අප සඳහා වූ අරුතක්‌ ජීවිතයෙන් බලාපොරොත්තු වන නිසා ය.
6. අප ජීවත් වන්නේ අප සඳහා ය යන මතයේ පිහිටා ය, එම ප්ර ශ්නය අසන්නේ.
7. එහෙත් අප ජීවත් වන්නේ අප සඳහා නො වන්නට පුළුවන.
8. මුළු මහත් විශ්ව ක්රිායාදාමයේ කුමක්‌ හෝ කාර්යයක්‌ අප විසින් සිදු කරනවා විය හැකි ය.
9. අප මරණයට පත් වන විට අප ඉතිරි කරන්නේ අපගේ ජාන (DNA, RNA, ප්රොටීන) වන්නේ ය.
10. අප සහ අනෙකුත් ජීවීන් නිර්මාණය වී ඇත්තේ මේ කාර්ය කිරීමට ය.
11. අප ගේ ඥානය, නිර්මාණශීලිත්වය සහ ආශාව මේ කාර්යය ඉටු කිරීම සඳහා වර්ධනය වී ඇත.
12. අප සිදු කරන සියලු ක්රිියා ඥානය, නිර්මාණශීලිත්වය සහ ආශාව විසින් පාලනය කෙරෙයි. එම ක්රියා සිදු කරන විට අප ගේ ජානවල වෙනසක්‌ ඇති වේ. අප ඉතිරි කර මරණයට පත් වන්නේ එසේ දියුණු වූ ජාන වන්නේ ය.
13. එම සේවය කිරීමට ආශාව විසින් අප වහළුන් සේ බැඳ තබනු ලැබ ඇත.
14. අප ගේ ජීවිතයේ අරුත වන්නේ විශ්වයට අවශ්ය  DNA, RNA, ප්රොටීන   නිෂ්පාදනය කිරීම ය. එය ප්රොටීන ලෝකයක්‌ ලෙස හැඳින්වේ.
15. විශ්වයට මේ දේවල් අවශ්යන වන්නේ ඇයි දැයි අපි නො දනිමු. විශ්වය පිළිබඳ තවත් බොහෝ දේවල් අපි නො දනිමු.” 

අමරතුංග මහතා කියනු ඇත්තේ අපට කියාගන්නට දෙයක් නොමැති කමින් අප ඔහුගේ ලිපිවලින් කොටස් උපුටා දක්වන බව ය. එහෙත් අප උපුටා දක්වන්නේ අපේ කරුණු දැක්වීමට අදාළ කොටස් ය. ඉහත සඳහන් සියල්ල උපුටා නොදක්වා අමරතුංග මහතාගේ සිංහල බෞද්ධ විරෝධී චින්තනය පැහැදිලි කර දිය නො හැකි ය. ජීවිතයේ අරුත කුමක් ද යන්න සාධාරණ වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියේ නොඇසෙන ප්‍රශ්නයකි. බටහිර දැනුම කටගාගත් එහෙත් නව සංකල්පයක්, ප්‍රවාදයක් (ප්‍රමාදයක් නො වේ) මගින් හෝ වෙනත් ආකාරයකින් හෝ බටහිර දැනුමට කිසිම ෙසෙද්ධාන්තික එකතුවක් කර නොමැති උගතුන් අතර නම් එවැනි ප්‍රශ්න සාකච්ඡාවට බඳුන් වනවා ඇත. එහෙත් සිංහල බෞද්ධයන් නම් වෑයම් කරන්නේ මේ සසරින් මිදීමට ය. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට ය. ත්‍රිලක්‍ෂණය වටහා ගැනීමට ය. සිංහල බෞද්ධ අපට එතෙරවිය යුතු සසරක් ඇත. අපේ ජීවිත මේ භවයෙන් කෙළවර නො වේ. එවැනි විටෙක ජීවිතයේ අරුත කුමක් දැයි ඇසීම ම අරුත් සුන් වූවකි. 

අමරතුංග මහතාට අනුව අප ජීවත්වන්නේ ජාන ඉතිරි කර මිය යෑමට ය. සසරක් ගැන කතා නොකරණ මේ අදහස් එක් පැත්තකින් ගත්කල උච්ඡෙදවාදී ය. අමරතුංග මහතා ඇතැම් විට කරන පරිදි උච්ඡෙදවාදය, නාස්තිකවාදය සමග පටළවා ගත යුතු නො වේ.   අමරතුංග මහතාට අනුව අපට ඇත්තේ විශ්වයට හෝ ස්වභාව ධර්මයට හෝ වෙනත් යමකට හෝ සේවය කිරීමට ජාන වෙනස්කර ඉතිරිකිරීම ය. ජාන වෙනස් නොකළහොත් අපෙන් සේවයක් ඉටු නොවන්නේ යැයි අමරතුංග මහතා කියන බව ගම්‍ය වෙයි. එසේ නම් ජාන වෙනස් නොකර මිය යන්නන්ගෙන් එකී විශ්වයට හෝ වෙනත් යමකට හෝ සේවයක් ඉටු නො වෙයි. එවිට ඔවුන්ගේ ජීවිතවල ඊනියා අරුත කුමක් ද? අමරතුංග මහතාට අනුව මේ ඊනියා සේවය කිරීමට අප වහළුන් සේ බැඳ තබා ඇත. මෙහි දී ප්‍රශ්නයක් මතුවෙයි. අප එසේ බැඳ දමනු ලැබ ඇත්තේ කවුරුන් විසින් ද? අමරතුංග මහතා ඒ ප්‍රශ්නයට පිළිතුරක් නො දෙයි. එලෙස බැඳ දමනු ලැබ ඇත්තේ ඊනියා මැවුම්කරු විසින් ද?   

සිංහල බෞද්ධ සංස්කෘතිය පැත්තකින් තබන්න. අමරතුංග මහතා දක්වන අදහස් ඩාවින්ගේ පරිණාමවාදය සමග එකඟ වන්නේ ද? ජාන වෙනස් කර ඉතිරි කිරීම හා ප්‍රෝටීන ගැන කතාකර ඇති එකම පුද්ගලයා අමරතුංග මහතා නො වේ. බටහිර ජීවත්වන යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට අයත් බටහිර විද්‍යාඥයෝ ද ඒ ගැන කතාකරති. උදාහරණ වශයෙන් රූපට් ෂෙල්ඩ්‍රේක්ගේ පොතපත කියවන්න. එහෙත් ඔවුහු තමන් කියන්නේ කුමක් ද යන්න ගැන ප්‍රවේසම් වෙති. ජාන වෙනස්කර එකතුකිරීම යන්න ඩාවින්ගේ පරිණාමවාදයට විරුද්ධවන බව ඔවුහු දනිති. එබැවින් ඔවුන් තම අදහස් ඉදිරිපත් කරන්නේ ඒ ගැන ද සඳහන් කරමිනි. අමරතුංග මහතා ජාන විකෘතිකිරීම් හා ස්වාභාවික වරණය ගැන නො කියයි. අමරතුංග මහතා ප්‍රකාශ කරන අදහස් ලැමාක්ගේ පරිණාමවාදයට නම් එකඟ ය.

මට ලැමාක්ගේ පරිණාමවාදයත් ඩාවින්ගේ පරිණාමවාදයත් පට්ටපල් බොරු පමණ ය. මම ඒ දෙකෙන් එකක්වත් ඇත්තක් ලෙස නො සලකමි. එහෙත් අමරතුංග මහතා එසේ නොකරයි. ඔහු බටහිර විද්‍යාවට හරිහමන් යමක් එකතු නොකළ ද ඩී එස් සී උපාධිධාරියෙකි. සම්මානිත දන්තවිද්‍යා මහාචාර්යවරයෙකි. ඔහු තමන් කියන දේ සම්මත බටහිර විද්‍යාව සමග එකඟවන නොවන බව ගැන සැලකිලිමත් විය යුතු ය. අවසාන වශයෙන් අමරතුංග මහතා කියන්නේ ජීවිතයේ ඊනියා අරුත ඪණං, ූණං ප්‍රෝටීන නිෂ්පාදනය කිරීම බව ය. එහෙත් එසේ කරන්නේ ඇයි ද යනු ඔහු නො දනියි. ඉංගීිරිසි පොතකින් ඒගැන යමක් කියන තුරු අමරතුංග මහතාට පරිවර්තනය කර විදුසරට ලිවීමට නො හැකි ය. 

අමරතුංග මහතාගේ සම්පිණ්ඩනය ඔහුගේ ජීවිතයේ ඊනියා අරුත ගැන කීමට ප්‍රමාණවත් ය. එහෙත් ඔහු ජනප්‍රිය පොතපතින් තමන්ට නොතේරෙන කරුණු පරිවර්තනය කරමින් ප්‍රෝටීන නැමුම ගැන කතාකරයි. ප්‍රෝටීන නැමුම ගැන ඉදිරිපත් කර ඇති ගණිත ආකෘතිවලින් කියැවෙන්නේ කුමක් ද? මේ සියල්ල ආකෘති පමණ ය. එය ඊනියා යථාර්ථය යැයි අමරතුංග මහතාට කීමට නො හැකි ය. එයට හේතුව ආකෘතියක් ඊනියා යථාර්ථය විය නොහැකි බැවිනි. ඒ කුමක් වුවත් අපේ සාකච්ඡාව බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් ය යන්න අරභයා ය. අමරතුංග මහතා හැකි ඉක්මනින් එතැනට පැමිණන්නේ නම් මැනවි.  

බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි මා කියන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වෙමිනි. අපේ පෘථග්ජන දැනුම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත වෙයි. ඒ සෘජු ප්‍රත්‍යක්‍ෂ දැනුම සහ ප්‍රත්‍යක්‍ෂ නොවන වක්‍ර දැනුම වශයෙනි. ප්‍රත්‍යක්‍ෂ දැනුම පංචෙන්ද්‍රිය ගෝචර ය. එයින් කියැවෙන්නේ ඒ දැනුම මනසෙන් ස්වායත්ත බව නො වේ. මනස හා ප්‍රත්‍යක්‍ෂ එකතුවී සංස්කරණය කරන දැනුම ප්‍රත්‍යක්‍ෂ දැනුමෙන් ඉතා වැඩි කොටස වෙයි. එයට අමතර ව පංචෙන්ද්‍රිය සහභාගි නොවී මනසින් පමණක් සංස්කරණය කෙරෙන ප්‍රත්‍යක්‍ෂ දැනුම් ද වෙයි. මනස දියුණු කරගත් පෘථග්ජනයන්ට එවැනි ප්‍රත්‍යක්‍ෂ වෙයි. ඒ සියල්ල ප්‍රත්‍යක්‍ෂ වෙයි. ප්‍රත්‍යක්‍ෂ ලෙස ඒ මනසෙහි සංස්කරණ වෙයි. ඒ සියල්ල ද බොරු ය. 

ඒ බොරු වුවත් ඉන් වැඩගත හැකි ය. එපමණට අපි ප්‍රත්‍යක්‍ෂ ගැන අවබෝධයකින් පසු වෙමු. මේ ප්‍රත්‍යක්‍ෂවලට අමතරව ප්‍රවාදාත්මක දැනුම් වෙයි. ඒ වක්‍ර දැනුම් ය. ප්‍රචාදාත්මක දැනුම් ද සංයුක්ත හා වියුක්ත යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැකි ය. චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් කියැවෙන්නේ ප්‍රවාදාත්මක දැනුම් ගැන නොව, ප්‍රත්‍යක්‍ෂ ගැන විශ්වාසය තබන ලෙස ය. අපට ඇතකු ගිය බව උගේ වර්චස්වලින් ඌ ගස්වල ඇතිල්ලී ඇති බව නිරීක්‍ෂණය කීිරීමෙන් නිගමනය කිරීමට හැකි වුවත් චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් කියන්නේ ඇතා දැක ම ඇතා ඇත යන්න නිගමනය කරන ලෙස ය. ඇතා ඇත යනුවෙන් වර්චස් මගින් ගන්නා නිගමනය ප්‍රවාදාත්මක දැනුමක් යැයි අපි කියමු. ප්‍රත්‍යක්‍ෂය ද බොරු වුවත් වක්‍ර දැනුම එයටත් වඩා බොරු වීමට ඇති ඉඩකඩ බොහෝ ය. 

බටහිර විද්‍යාවේ කෙරෙන්නේ  පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ තේරුම් කිරීමට වියුක්ත ප්‍රවාද හෙවත් කතන්දර යොදා ගැනීම ය. ඒ පට්ටපල් බොරු යැයි අපි කියමු. ප්‍රත්‍යක්‍ෂ ද බොරු වූ කල වියුක්ත ප්‍රවාද ගැන කියනුම කවරේ ද? ඇතැමුන්ට අප කියන දෙය වටහාගැනීමට තවමත් නොහැකි වී ඇත. ඔවුහු ඇතැම් විට අප පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත ප්‍රවාද පට්ටපල් බොරු යැයි කියමින් පංචෙන්ද්‍රිය ගෝචර නොවන දෙවියන්, භූතයන් ගැන කියන්නේ කෙසේ දැයි අසති. ඒ පණ්ඩිතමානීච බටහිර දැනුම කටගාගෙන අසන ළාමක ප්‍රශ්නයකි. අපට එය අනෙක් පැත්තට ඇසිය හැකි බව මේ ඊනියා උගත්තු අවබෝධ කර නො ගනිති. මේ උගතුන් පංචෙනද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකර්ෂණය වැනි දේ ඇති බව විශ්වාස කරමින් පංචෙන්ද්‍රිය ගෝචර නොවන දෙවියන්, භූතයන් නැතැයි කියන්නේ කෙසේ ද? 

පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාවේ වියුක්ත ප්‍රවාද හා දෙවියන්, භූතයන් අතර ඇති වෙනස මේ උගතුන්ට නො තේරෙයි. ඊනියා ථෙරවාදී උගතුන්ට සියුම් වෙනස්කම් අවබෝධ කරගත නො හැකි ය. ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතයේත් නැත, යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේත් නැත. ඔවුහු ගන්ධබ්බයෝ වෙති. මේ ගන්ධබ්බයන් සියුම් වෙනස්කම් අවබෝධ කරගන්නේ කෙසේ ද? මා දෙවියන් දැක නැත. ගුරුත්වාකර්ෂණය ද දැක නැත. එහෙත් මට දෙවියන් දැක ඇති ඔවුන් සමග සන්නිවේදනය කළ හැකි පුද්ගලයන් හමු වී ඇත. ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්‍රිය ගෝචර වන්නේ යැයි කියන එක් අයකු පමණක් මුණ ගැසී ඇත.  ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙහි රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ඔහු මේ උගතුන් මහත් සේ අගයන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ද ඉගෙන ගෙන ඇතැයි කියැවෙයි. මේ ඊනියා උගත්තු තම කතා යුක්තියුක්ත කිරීමට කේම්බ්‍රිජ් යොදා ගනිති. 

කලකට පෙර කොළඹ විශ්වවිද්‍යාලයෙහි සේවය කළ එක් රසායන විද්‍යා ආචාර්යවරයකු තමා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි දී ඩිරුක්ගේ භෞතික විද්‍යා දේශනවලට සහභාගි වී ඇතැයි මහත් උජාරුවෙන් කීවේ වැරදි අදහසක් ප්‍රචලිත කිරීමට ඒ උපකාරයක් වේය යන බලාපොරොත්තුවෙනි. ඩිරුක්ගේ දේශනවලට සවන් දුන් පමණින් ඒ තේරුම්ගත් බවක් කියන්නේ කෙසේ ද? කෙසේ වෙතත් ඔහු ඉදිරිපත්කළ අදහස වැරදි බව පැහැදිලි විය. අද කැනඩාවේ එක් මහාචාර්යවරයකු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි තමා යම්තමින් දැනසිටියේ යැයි කියන පෝකින්හෝන් ගැන කියයි. මේ මහාචාර්යවරයා ද කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි ඉගෙන ගත්තේ රසායන විද්‍යාව ය. පෝකින්හෝන් පසු කලෙක ක්‍රිස්තියානි පූජකවරයකු වූ ෙසෙද්”ධාන්තික භෞතික විද්‍යාඥයකු විය. පෝකින්හෝන් සියළු විද්‍යා ගුප්ත විද්‍යා යැයි කියා ඇති බව මහාචාර්යවරයා කියයි. පෝකින්හෝන් දෙවියන් වහන්සේ විශ්වාස කරයි. මහාචාර්යවරයා ද දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ දැයි නො දනිමි. 

ඒ කෙසේ වෙතත් දෙවියන් (දෙවියන් වහන්සේ නොව) හා ගුරුත්වාකර්ෂණය අතර වෙනසක් වෙයි. දෙවියන් ගැන ඇත්තේ ප්‍රත්‍යක්‍ෂ දැනුමකි. ගුරුත්වාකර්ෂණය ප්‍රත්‍යක්‍ෂ දැනුමක් නො වේ. එය පොල් වැටෙන්නේ ඇයි ද යන ප්‍රත්‍යක්‍ෂය තේරුම් කිරීම සඳහා නිවුටන් ගෙතූ පට්ටපල් බොරුවකි. ප්‍රත්‍යක්‍ෂයක් නොවූවත් ගුරුත්වාකර්ෂණය මගින් පොල් පොළොවට වැටෙන්නේ ඇයි දැයි තේරුම් ගත හැකි බැවින් ගුරුත්වාකර්ෂණය පවතී යැයි ඊනියා උගතුන් කීමට ඉඩ ඇත. එහෙත් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය  යොදා ගෙන පොල් පොළොවට වැටෙන බව නිගාමි තර්කයෙන් නිගමනය කර පෙන්වන මෙන් මම මේ උගතුන්ට අභියෝග කරමි. 

ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය වියුක්ත ය. ඉන් නිගාමි තර්කයෙන් ලබාගත හැක්කේ වියුක්ත නිගමන ය. වියුක්ත අවයවයක් (premise) යොදා ගනිමින් වියුක්ත නිගමනයක් මිස සංයුක්ත නිගමනයක් ලබාගත නො හැකි ය. වියුක්තයකින් සංයුක්තයක් ලබාගන්නේ කෙසේ ද? අප මෙය කලින් ද කියා ඇති නමුත් ඊනියා උගතුන්ට ඒ අවබෝධ වී නොමැති බව පැහැදිලි ය. පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත නිගමනයක් සංයුක්ත පොල්ගෙඩියක වැටීමක් තේරුම් කිරීමට යොදාගත නො හැකි ය. බටහිර විද්‍යාවේ කිසිම වියුක්ත ප්‍රවාදයකින් සංයුක්ත නිගමන ලබාගත හැකි නො වේ. බටහිර විද්‍යාඥයෝ මේ තර්ක විරෝධී නිගමනය නො සලකති. මෙරට ඊනියා විද්‍යාඥයන් තම අනවබෝධය නිසා ඒ නොසලකන බව පෙනෙයි. 

ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය හා අනෙක් බටහිර දැනුම් එලෙස ගත්කල වක්‍ර දැනුම්වත් නො වේ.  ඒ වියුක්ත කතන්දර පමණ ය. එහෙත් කලින් සඳහන් කළ පරිදි දෙවියන් ගැන ප්‍රත්‍යක්‍ෂ දැනුම් ඇති පුද්ගලයෝ වෙති. දෙවියන් යනු ප්‍රත්‍යක්‍ෂ දැනුමක් මිස පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් තේරුම් ගැනීමට යොදාගන්නා වියුක්ත ප්‍රවාදයක් නො වේ. ඊනියා උගතුන්ට මේ වෙනස තේරුම් ගැනීමට තරම් බුද්ධියක් නොවීම ගැන අපට කළ හැකි කිසිවක් නැත. ශාන්ති කර්මයකින්වත් ඒ බුද්ධිය ලබා දිය නො හැකි ය. 

ඊනියා උගතුන් කීමට ඇත්තේ දෙවියන් තමන්ට ප්‍රත්‍යක්‍ෂ වන බව ප්‍රකාශ කරන්නන් බොරු කියන බව ය. දෙවියන් ප්‍රත්‍යක්‍ෂ වන්නේ මනස යම් අවස්ථාවකට දියුණු කරගත් අයට ය. එය පංචෙන්ද්‍රිය නොමැති ව හුදෙක් මනසින් ලබාගන්නා ප්‍රත්‍යක්‍ෂයකි. ඒ සඳහා පුහුණුවක් අවශ්‍ය වෙයි. එක්ස් කිරණ ඡායාරූප මගින් යම් යම් දේ දකින අයට ද පුහුණුවක් අවශ්‍ය වෙයි. ඒ පුහුණුව නොලැබූ අයට එකී ඡායාරූපවලින් ඒ ඒ දේ දැකිය නො හැකි ය. එලෙස යම් යම් දේ දැකිය හැක්කේ පුහුණුවක් ලත් අයට පමණ ය. පූහුණුව නොලද්දෝ පුහුණුව ලත් අය එක්ස් කිරණ ඡායාරුපවල දකින දේ නැතැයි පවසත් ද? යම්කිසිවකු දෙවියන් දැක ඇති අය කියන්නේ බොරු යැයි කියන විට දෙවියන්ට ධර්මය දේශනා කර ඇති බුදුන්වහන්සේ ද බොරු කී බව කියන්නේ ද? 

නලින් ද සිල්වා

2016 ජනවාරි 18