2016 එන අලුත්ම චිත්‍රපට

-



BATMAN V SUPERMAN: DAWN OF JUSTICE


2016 මාර්තු මස තිරගතවීමට නියමිත බැට්මෑන් වර්සස් සුපර්මෑන් චිත්‍රපටයේ තේමාව ගොතැම් නගරයේ විරුවාවන බැට්මෑන් මෙට්‍රොපොලිස් නගරයේ විරුවාවන සුපර්මෑන් සමග වන ගැටුමක් වටා ගෙතී ඇත. ඒ සුපර්මෑන්ගේ යම් යම් ක්‍රියාකාරකම් වලින් ලොවට සිදුවිය හැකි හානිය සළකාගෙනය. මේ සුපිරි වීරයින් දෙදෙනාගේ කළහය අතරතුර මහත් ව්‍යසනයක් ලොවම වෙළාගනී.

INDEPENDENCE DAY 2 : RESURGENCE


1996දී තිරගතවූ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස ඉදිරිපත්වන මෙය 2016 ජූනි තිරගතවීමට නියමිතය. 1996 සිදුවූ පිටසක්වල ආක්‍රමණයෙන් වසර 20කට පසුව, සිදුවන දෙවන ආක්‍රමණය මේ ච්ත්‍රපටයට තේමාවෙයි. පලමුවැනි ආක්‍රමණයේදී පිටසක්වලයින්ගේ යෝධ මව් යානය විනාශවන අතර එහි සිටින පිටසක්වලයින් උදව් ඉල්ලා පණිවුඩයක් යැවීමට සමත්වෙයි. 

දෙවන ආක්‍රමණය එම උදව් ඉල්ලීමේ පණිවුඩයට ප්‍රතිචාරයක් ලෙසිනි. පලමුවන ආක්‍රමණයෙන් පසුව මානව වර්ගයා, එම පිටසක්වලයින්ගේ අතිශය දියුණු තාක්ශණය ප්‍රතීන්ජිනේරුකරණය කොට ලබාගත් අතිශය දියුණු තාක්ශණය උපකාරීකරගෙන ලොව සියලු රාජ්‍යයන් එක්ව පිටසක්වල ආක්‍රමණ සඳහා මුහුණදීමට ලෝකව්‍යාප්ත දැවැන්ත ආරක්ශක ජාලයක් නිර්මාණය කරගෙන සිටී. දෙවන ආක්‍රමණය මැඩපැවැත්වීමට එම ජාලය සමත්වේද?

CAPTAIN AMERICA: CIVIL WAR


2016 මැයිමස තිරගතවීමට නියමිත කැප්ටන් ඇමරිකා සිවිල් වෝ චිත්‍රපටයේ සිදුවීම් මාලාව ආරම්භවන්නේ ඇවෙන්ජර්ස්: ඒජ් ඔෆ් අල්ට්‍රෝන් චිත්‍රපටය අවසන්වූ අවස්ථාවේ සිටය. ටෝනි ස්ටාර්ක් (අයන් මෑන්) ගේ නොසැළකිලිමත් ක්‍රියාවන් නිසා බිහිවන අල්ට්‍රෝන් කෘතිම බුද්ධි රොබෝවාගේ ක්‍රියාකාරකම් නිසා අතිවිශාල අහිංසක මිනිසුන් පිරිසක් මරණයට පත්වන අතර ප්‍රකෝටි ගණනක මූල්‍යමය විනාශයක් සිදුවේ. මේ හේතූන් නිසා ලොව පුරා රජයන් ඇවෙන්ජර්ස් සුපිරි මිනිසුන්ගේ ක්‍රියාකාරකම් දැඩිලෙස පාලනය කිරීමට නීතිරීති හඳුන්වාදෙයි. 

තමන්ගේ නොසැළකිල්ල නිසා සිදුවූ ජීවිත හානිවලින් මහත්සේ කම්පාවන ටෝනි ස්ටාර්ක්, මෙම නීතිරීති වනට දැඩි සහයක් පලකරන අතර කපිතාන් ස්ටීව් රොජර්ස් (කැප්ටන් ඇමරිකා) ඇතුලු ඇවෙන්ජර්ස් කණ්ඩායමේ පිරිසක් මෙම නීතිරීති වලට විරුද්ධ වෙයි. මේ අනුව ටෝනි ස්ටාර්ක් ගේ කණ්ඩායම හා කපිතාන් ස්ටීව් රොජර්ස්ගේ කණ්ඩයම ලෙස ඇවෙන්ජර්ස් සුපිරි බලඇණිය දෙකඩවී මහා ගැටුමකට මුල පුරයි.

KUNG FU PANDA 3


කන්ග් ෆූ පැන්ඩා චිත්‍රපටමාලාවේ තුන්වැනි කොටස වන මෙය 2016 ජනවාරි 29 තිරගතවීමට නියමිතය. පෝ හෙවත් කන්ග් ෆු පැන්ඩාට සිය පියා හමුවේ. පියා සමග පැන්ඩාවන්ගේ සැඟවුනු ජන්මභූමියට යන පෝ මහත් අකරතැබ්බ රාශියකට ගොදුරුවේ. මේ අතර බොහෝ කලකට පෙර චීනයෙන් පලවා හැරතිබූ කායි නමින් හැඳින්වෙන රුදුරු භූතාත්මයක් නැවතත් චීනය පුරා ජනතාව භීතියට පත්කරන්නට පටන් ගනී.

ASSASSIN'S CREED


2016 අගභාගයේ එලිදැක්වීමට නියමිත ඇසසින්ස් ක්‍රීඩ් චිත්‍රපටය, අතිශයින්ම ජනප්‍රිය ඇසසින්ස් ක්‍රීඩ් පරිගණක ක්‍රීඩා තේමාව යටතේම නිමවා ඇත. ඇසසින්ස් ක්‍රීඩ් පරිගණක ක්‍රීඩා නිර්මාණ සමාගම වන යුබිසොෆ්ට් සමාගමේ චිත්‍රපට අංශය විසින් නිශ්පාදනය කරන මෙය කැළම් ලින්ච් නම් 21 වැනි ශතවර්ශයේ ජීවත්වන චරිතය වටා ගෙතී ඇත. 

කැළම් ලින්ච්, තමා 15වැනි ශතවර්ශයේ ස්පාඤ්ඤයේ ජීවත්වූ සටන්කාමියෙකු වන ඇගියුලා ගේ පරම්පරාවෙන් පැවත එන බව දැනගන්නා අතර ඔහු මෙන්ම සටන්කාමියෙකු ලෙස පුහුණු වන්නට ඉටාගනී. ඇගියුලාගේ ප්‍රධාන සතුරා වූයේ  ස්පාඤ්ඤය පාලනය කල නයිට්ස් ඔෆ් ටෙම්ප්ලාර් ලෙසින් හැඳින්වුනු, ධනවත් හා දූෂිත ක්‍රිස්තියානු පූජක ගණයක් වන අතර ඇගියුලා ඔවුන්ගේ දූශිත පාලනයට විරුද්ධව සටන්වැදුනු විරුවෙකි. අදටත් ලොව බලසම්පන්න පිරිසක් වන ටෙම්ප්ලාර් හි නයිට්වරු හා සටන්වැදීමට කැළම් ලින්ච්ට සිදුවෙයි.

X-MEN: APOCALYPSE



2014 තිරගත්වූ X-Men: Days of Future Past චිත්‍රපටය අවසන්වූ කාලයෙන් ආරම්භවන X මෙන් - ඇපොක්ලිප්ස් චිත්‍රපටයේ තේමාව, ඉපැරණි විකෘතියෙකු (මියුටන්ට්) වූ ඇපොක්ලිප්ස් වටා ගෙතී ඇත. අතිශයින්ම බලසම්පන්න, කිසිලෙසකින් හෝ විනාශකල නොහැකි සුපිරි ජීවියෙකු වන ඇපොක්ලිප්ස් වසර දසදහස් ගණනක සිට මියුටන්ට්වරුන් හා මිනිසුන්ද දෙවියෙකු ලෙස අදහයි. වසර තුන්දහසකට පමණ පෙර භාවනායෝගී සමාධියකට සමවැදෙන ඇපොක්ලිප්ස් 20වැනි ශතවර්ශයේදී සිය ධ්‍යානයෙන් අවදිවී ලොව පිරික්සයි. නූතන ලෝකයේ ගමන් මග දෙස අප්‍රසන්න හැඟීමක් ඇතිකර ගන්න ඔහු පවතින ලොව විනාශ කොට අලුත් ලොවක් ගොඩනැගීම සඳහා සූදානම් වේ. 

MARVEL'S DOCTOR STRANGE


කැප්ටන් ඇමරිකා, ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි, ඇවෙන්ජර්ස්, හල්ක්, අයන් මෑන්, එක්ස් මෙන් යනාදී සුපිරි කතාමාලා ඇතුලත්වන මාවල් සිනමැටික් යුනිවර්ස් හෙවත් මාවල් සිනමා විශ්වයේ තවත් එක් චරිතයක් වන්නේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් නම් චරිතයයි. මාවල් චිත්‍රකතාමාලාවකින් එලිදැක්වුනු ඩොක්ටර් ස්ට්‍රේන්ජ් චිත්‍රපටයක් ලෙස ප්‍රේක්ශකයිට ඉදිරිපත් කිරීමට මාවල් සමාගම 2016 වසරේදී සැරසෙයි.

බී.බී.සි ආයතනයේ ශර්ලොක් හෝම්ස් රූපවාහිණී කථාමාලාවෙන් හා ස්ටාර් ට්‍රෙක් - ඉන් ටු ද ඩාර්ක්නස් චිත්‍රපටයෙන් ජනප්‍රියත්වයට පත් ඩේවිඩ් කම්බර්බැක්, ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් චරිතයට පණපොවන අතර ඩොක්ටර් ස්ට්‍රේන්ජ් යනු කලක් අති දක්ශ ස්නායි ශල්‍ය වෛද්‍යවරයෙකුව සිට බිහිසුණු මෝටර් රථ අණතුරකින් පසු රැකියාව අහිමවන්නෙකි. 

ඔහුට ඒන්ෂන්ට් වන් ලෙස හැඳින්වෙන ඉපැරණි මායාකරුවෙකු හමුවන අතර එම මායාකරු ඔහුට සිය ජීවිතය නැවත සකස්කරගැනීමටත් අසරණයින්ට පිහිටවීමටත් උපකාර කරයි. එන්ෂන්ට් වන් ලෙස හැඳින්වෙන මායාකරුගේ මගපෙන්වීම යටතේ ඉන්ද්‍රජාලිකයෙකු ලෙස පුහුණු වන ඔහු ඩොක්ටර් ස්ට්‍රේන්ජ් යන නමින් ප්‍රසිද්ධ වන අතර බිහිසුණු මායාකරුවන්ගෙන් හා නපුරු භූතාත්මවලින් මානව වර්ගයා ආරක්ශා කිරීමට කැපවෙයි. 

WARCRAFT


තවත් ජනප්‍රිය පරිගණක ක්‍රීඩා මාලාවක සිනමැටික ඉදිරිපත් කිරීම වන වෝක්‍රාෆ්ට් චිත්‍රපටය මානවයින් හා විනාශවෙමින් පවතින ලෝකයක ජීවීන් වන ඕර්ක් නම් සටන්කාමී ජනකොටසක් අතර ඇතිවන ගැටුමක් නිරූපණය වේ. ඩ්‍රැනිනොර් ලෙසින් හැඳින්වෙන ඕර්ක් සටන්කාමීන්ගේ මවු ග්‍රහලෝකයට ආදේෂකයක් ලෙස පෘථිවිය ආක්‍රමණය කිරීමට ඕර්ක් සටන්කාමීන්ගේ නායකයා වන ඩුරෝටාන් තීරණය කරයි. ආක්‍රමණය සඳහා ඔවුන් තෝරාගන්නේ ඇසිරොත් රාජධානිය වන අතර ඇසිරොත් රාජධානිය වෝක්‍රාෆ්ට් ප්‍රබන්ධ ලෝකයේ පවතින මානව රාජධානි 4කින් එකකි. එහි නායකයා වන්නේ ඇන්ඩුයින් ලෝතාර්ය. ඇන්ඩුයින් ලෝතාර් හා ඩුරෝටාන් අතර සිය වර්ගයාගේ පැවැත්ම සඳහා වන අරගලය වෝක්‍රාෆ්ට් චිත්‍රපටයෙන් පිලිබිඹු වේ.

THE LEGEND OF TARZAN


ටාර්සන් ලෙස කොන්ගෝ වනයේ සැරිසැරූ වනසැරියා මේ වනවිට ජෝන් ක්ලේටන් නමින් ලන්ඩනයේ ධනවත් සාමිවරයෙකු ලෙස සුඛෝපභෝගී ජීවිතයක් ගතකරයි. කොන්ගෝ වනයේදී ඔහුට හමුවන සුරූපී ජේන් පෝටර් ඔහුගේ ප්‍රියාදර බිරිය බවට පත්වී ඇත. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආරාධනයෙන් වෙළඳ දූතයෙකු ලෙස නැවතත් කොන්ගෝවේ රාජ්‍යත්‍රාන්ත්‍රික සංචාරයකට යෑමට ජෝන් ක්ලේටන් සාමිවරයා එකඟවන අතර ඔහු නොදැනුවත්වම ඔහුගේ පැරණි සතුරෙකු වන කපිතාන් රොම් ඔහුගෙන් පලිගැනීම සඳහා මෙම ගමන යොදාගැනීමට සැළසුම් කරයි.

ICE AGE: COLLISION COURSE


අයිස් ඒජ් චිත්‍රපට මාලාවේ පස්වන දිගහැරුම වන කොලිෂන් කෝස්, 2016 ජූනි මාසයේදී තිරගතවීමට නියමිතය. මෙවරද ස්ක්‍රැට් ලේනාගේ ක්‍රියාකලාපය නිසා පෘථිවියේ ජීවත්වන මැනී හා ඔහුගේ මිතුරන්ගේ ජීවිත අවදානමකට ලක්වේ.

LONDON HAS FALLEN


2016 මාර්තු මස  තිරගතවීමට නියමිත ලන්ඩන් හැස් ෆෝලන්, 2013දී තිරගතවුනු ඔලිම්පස් හැස් ෆෝලන් චිත්‍රපටයේ අනුප්‍රාප්තික චිත්‍රපටයකි. බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා හදිසියේ මිය යන අතර ලෝක නායකයින් ඔහුගේ අවමංගල උත්සවයට සහභාගීවීම සඳහා ලන්ඩනයට රැස්වේ. ලෝකයේ සියලු බලසම්පන්න රටවන නායකයින් එක් ස්ථානයකට රැස්වෙන මෙම අවස්ථාවේ ඔවුන් සියලුදෙනා ඝාතනය කිරීමට බලසම්පන ත්‍රස්ත නායකයෙකු ලන්ඩන් නුවරට දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකරයි.

THE 5TH WAVE


ෆිෆ්ත් වේව් චිත්‍රපටය එම නමින්ම එලිදැක්වුනු ලාබාල තරුණ තරුණියන් () වෙනුවෙන් ලියැවුනු ෆිෆ්ත් වේව් නම් විද්‍යාප්‍රබන්ධ නවකතාවේ සිනමා නිමැවුමයි. පෘථිවියට ඉහලින් ස්ථානගත වන දැවැන්ත පිටසක්වල යානක සිටින අත්භූත පිටසක්වලයින් පෘථිවිය විනාශකිරීමට දැවැන්ත ප්‍රහාර රැළි 4ක් මෙහෙයවයි. ඔවුන්ගේ අවසාන ප්‍රහාරය වන 5වැනි රැළ්ල මානව වර්ගයා සහමුලින්ම විනාශකරනු ඇත. මුල් ප්‍රහාර හතරෙන් බිලියන ගණනකගේ ජීවිත් අහිමිවන අතර දිවිගලවාගන්නා කැසී සලිවන්ගේ ඒකායන අරමුණ සිය ලාබාල සොයුරා රැක ගැනීමයි. 

ලඟ ලඟ එන 5වැනි ප්‍රහාරයට පෘථිවි වාසීන් මුහුණ දීමට සූදානම් වන අතර කැසී ඇතුළු දිවිගලවාගත් ළමයින් පිටසක්වලයින්ගෙන් රැකගැනීමට රහසිගත කඳවුරු වලට ගෙනයයි. ප්‍රහාරය පැමිණෙන්නට පෙර සූදානම්වීම පෘථිවි වාසීන්ගේ සැලැස්මවුවත් ඔවුන් නොදැනුවත්ම 5වැනි ප්‍රහාර රැල්ල දියත්වී ඇත.

FANTASTIC BEASTS AND WHERE TO FIND THEM


හැරී පොටර් රචනාකල ජේ කේ රොලින්ස් විසින් රචිත ෆැන්ටෑස්ටික් බීස්ට්ස් හැරි පොටර් කතාමාලාවට අනුරූප එහෙත් වෙනත් මගක යන ඉන්ද්‍රජාල තේමාවේ ප්‍රබන්ධයකි. හැරී පොටර් කතාමාලාව බ්‍රිතාන්‍යය මුල්කොට ලියැවුනත් ෆැන්ටෑස්ටික් බීස්ට්ස් ප්‍රබන්ධය ලියැවී ඇත්තේ අමෙරිකාවේ නිව් යෝක් නගරය මුල්කොට ගෙනය.

මෙය 2016 නොවැම්බර් තිරගත කිරීමට සැළසුම් කොට ඇත.
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments