අප සටන් කල යුත්තේ මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මිස “සල්ලි තියෙන එස් තුනක් ගත්තවුන් ” ගැන වෛරයකින් නොවේ [නෙළුම් යාය]

මෙම ලිපිය නෙළුම් යාය වෙබ් අඩවියෙන් උපුටාගෙන, එහි වැදගත් යයි සැළකෙන කොටස් පමණක් මෙහි පළකොට ඇත. සම්පූර්ණ ලිපිය මෙතනින් කියවන්න

......... දැන් අපි ඩිප්ලෝමා ගැන කතා කරමු. ප්‍රංශයේ අවුරුදු හතරක පාඨමාලා වලට ඩිප්ලෝම දෙන අතර ඒවා ඩිග්රි (උපාධි) වශයෙන් නම් කිරීමට නම් එහි අධ්‍යපාන අමාත්‍යංශයේ සහතිකය ගත යුතුය. රැකියා සඳහා එසේ සහතික කිරීම අනවශ්‍යය. ජර්මනියේද ඩිප්ලෝමා දෙන අතර අවුරුදු 4-5 දක්වා ඇති පාඨමාලා උපාධි හා සම තත්වයේ සැලකේ. ඇත්තේ නමේ වෙනස් වීමක් පමණි. ඩිග්රි හෙවත් උපාධි ඇත්තේ බොහෝ විට ඉංග්‍රීසි කතා කරන රටවල පමණි.ඒවායේ ඩිප්ලෝමා ප්‍රදානය කරන නමුත් ඩිප්ලෝමා උපාධි වලට වඩා අඩු තත්වයක ලා සැලකේ. නමුත් බොහෝවිට ඩිප්ලෝමාවට රැකියා ලැබෙන අතර උපාධියක් තිබීමම රැකියාවක් ලැබීමේ හේතුවක් නොවේ. මයික්‍රොසොෆ්ට්, සිස්කෝ වැනි ආයතන වල විභාග සමත් වී හා පරිගණක පාඨමාලා සම්පුර්න කර ඩිප්ලෝමා සහතික රැගත් ඉංජිනේරුවන් ඩිග්රි ඇති අය සමග සමව හෝ වඩා උසස් රැකියා කරනු මා දැක තිබේ.

ප්‍රංශය අනුව යමින් සාර් රුසියාවේ උසස් විද්‍යාල වල දුන්නේ ඩිප්ලෝමාය. සෝවියට් දේශයද එම ක්‍රමයම අනුගමනය කළේය. අපට ලැබුණු උපාධියේ රුසියානු භාෂාවෙන් හා (ප්‍රංශ බස කතා කරන අප්‍රිකානු සිසුන් හට එම ප්‍රංශ භාෂාවෙන්ද) උපාධි සහතිකය ඩිප්ලෝමා කියා නම් කෙරුණු අතර ඉංග්‍රීසියෙන් Master of Science degree කියා සඳහන් කර තිබුණි. මෙය ඉන්පසු ප්‍රංශයේ මෙන්ම සෝවියට් උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා විදේශ අමාත්‍යංශය මගින් උපාධියක් ලෙස සහතික කරන ලදී. ලංකාවේ උපාධි ලැබූ බහුතරයකින් සමන්විත වෛද්‍ය වරුන්ගේ සංගමය මෙන්ම ඉංජිනේරු සංගමයද මේ සෝවියට් උපාධි වලට විරුද්ධ වු. ඔවුන්ගේ මුලික තර්කයන් වුයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල අඩු අය මේ උපාධි ලබා පැමිණෙන බව හා මේවා ඩිප්ලෝමා බවයි. (කවුදෝ අර රුසියානු භාෂාවේ සඳහන් ඩිප්ලෝම වචනය අහුලාගෙන ඇත) ඒ දවස් වල අපේ සෝවියට් උපාධි ලැබුවෙක් “ලුමුම්බා උපාධිය කුරුම්බා කඩන්නද” යන මැයින් දිවයින් පුවත් පතට ලියු ලිපියක්ද දුටුවෙමි. මෙහිදී සෝවියට් උපාධිධාරීන් රජයට පැහැදිලි කලේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට යාමට සුදුසුකම් ලබා නමුත් ඉඩ නැතිවීම, දිස්ත්‍රික් ක්‍රමය නිසා අත්වුණු අසාධාරණය නිසාද සිසුන් නැගෙනහිර යුරෝපිය රටවලට හා චීනයට ගිය බවයි.

මා වැනි තවත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුළුවීමට සුදුසුකම් ලබා (ලිපිත් නිවසට පැමිණ පසු) ඉගෙනීමට සෝවියට් දේශයට ගිය අයද බොහෝ විය. රුසියන් භාෂාවෙන් ඩිප්ලෝමා කියා කීවද එය ඩිග්රියක් බව ඔප්පු කරන්නට අපේ මුල් උපාධිධාරීන් විෂය නිර්දේශ ගෙනවිත් පෙන්වූහ. එසේම අපේ සෑම උපාධියක්ම Master of Science degree ලෙස නම් කර සෝවියට් උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් වෙන් වෙන්ව සහතික කර තිබුණි. මම සමස්ත සෝවියට් ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස පත් වී සිටියදී විදුලි ඉංජිනේරු හා වෙනත් පාඨමාලා වල විෂය නිර්දේශ ඉංජිනේරු සංගමයට මෙන්ම අදාල අමාත්‍යවරයා ටද භාර දුනිමි. විෂය නිර්දේශ සන්සන්දනය කිරීමේදී සෝවියට් දේශයේ බොහෝ උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ පාඨමාලා වලට වඩා වැඩියෙන් විෂයයන් උගන්වන බව මෙන්ම වඩා ගැඹුරට උගන්වන බවද පැහැදිලි විය. පුහුණුව අතින්ද සෝවියට් ක්‍රමයේ උසස් කම් දැකිය හැකි විය. මා උගත් මොස්කව් බලශක්ති විශ්ව විද්‍යාලයේ තමන්ගේම තාප විදුලි බලාගාරයක් තිබුණි. අප මුලික පුහුණුව ලැබුවේ එහිය. එවන් තමන්ගේම විදුලි බලාගාර තිබු විශ්ව විද්‍යාල ලෝකයේම ඇත්තේ අතලොස්සකි. සිවිල් ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජිනේරු වැනි අනිත් පාඨමාලාද උසස් තත්වයේ විය. මා මේ කියන්නේ ශ්‍රී ලංකා වේ උපාධි පහතට දැමීමට නොවේ. ඒවායේ හොඳින් උගන්වන අතර සිසුන් මහන්සිවී ඉගෙන ගන්නා බවද පිලිගනිමි.

කෙසේ හෝ සෝවියට් උපාධිධාරීන්ගේ පැහැදිලි කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් එම උපාධි සම තත්වයේ ලා සලකන ලදී. සෝවියට් දේශයේ නමය පන්තියෙන් පාසල් හැර ගිය සිසුන් හා විශ්ව විද්‍යාලයකට යාමට සුදුසුකම් අඩුවූ සිසුන් සඳහා හෙද විදුහල්, කාර්මික විද්‍යාල ආදිය පිහිටුවා තිබුණි. නමුත් කාර්මික විද්‍යාලයක අවසන් කල කෙනෙක් කාර්මික නිලධාරියෙක් ලෙස විනා ඉංජිනේරුවකු ලෙස හඳුන්වනු නොලබයි. ඒවායේද ඩිප්ලෝමා දෙන නමුත් එහි තත්වය පහලය. ඒවායේ අවුරුදු හතර අවසන් කර රැකියාවකට යාමට හෝ අවශ්‍ය නම් විශ්ව විද්‍යාලයකට ඇතුලු වී තව අවුරුදු තුනක් හෝ දෙකක් (පාඨමාලාවට අනුව) උගෙන උපාධිය ලබා ගත හැකිය. ලංකාවේ කාර්මික විද්‍යාල හා වෙනත් පාඨමාලා බොහොමයක අපොස උසස් පෙළ සමතුන් උගනිති. ඔවුන්ගෙන් සමහරු විශ්ව විද්‍යාල වලට යාමට සුදුසුකම් ලබා නොගිය අයය. මේ පාඨමාලා වලට උපාධියක සම තත්වය දීමට නම් ඉගැන්වීමේ තත්වය, ලැබෙන රැකියාවට අදාල පුහුණුව ආදී නිර්ණායකයන් සොයා බලා, විෂයට අදාල වෘත්තිකයන් හා අධාපන වේදීන්ට තීරණයක් ගැනීමට ඉඩ හල හැකිය. සිසුන් පෙළපාලි ගොස් බල කල පලියට රජයකට එය කල නොහැක. එයින් බාල්දු වන්නේ එම රටේම අධ්‍යාපන ක්‍රමයයි. මොරටු විශ්ව විද්‍යාලයේ NDT නම් පාඨමාලාවක් තිබේ. මා දන්නා විධිහට එහි විදුලි අධිකාරී පාඨමාලාව හදාරා විදුලි අධිකාරී විය හැකිය. අවුරුදු 15 රැකියා කර ඉංජිනේරුවරයෙකු හා සම තත්වයට පත් විය හැකිය. එසේ නැතුව ඔවුන්ට ඉංජිනේරු උපාධියම දෙන්න යයි එම සිසුන් ඉල්ලීම් කරනවා දැයි මම නොදනිමි. එසේ ඉල්ලීමක් තිබේ නම් කල යුත්තේ එම වසර තුන හොඳින් අවසාන කල අයට අන්තිම අවුරුද්ද හෝ දෙක ඉංජිනේරු පාඨමාලාව කරන්නට අවසර දී උපාධිය ලබා දීමය. එච් එන් ඩි සිසුන් සඳහා වුවද එවැනි ක්‍රියා මාර්ගයක් ගත හැකිය.

පොලිසියට ගල් ගැසීමෙන් එවැනි තත්වයක් ලබා ගත හැකිවේ යයි සිතීම මිත්‍යාවකි. මේ තිබෙන්නේ ත්‍රිමා විතාන වැනි සිසුන් පුද්ගලික විද්‍යා විද්‍යාල වලට එරෙහි උද්ඝෝෂණ පෙලේ සිටියදී මරා දැමුණු පසු ඒවාට චෝදනා ලැබුවන් පසුව රජයන් කීපයකම අමාත්‍ය වරුන් වූ රටකය. එම චෝදනා පවා ඔප්පු කර ගැනීමට නොහැකිවී ඇත. විශ්ව විද්‍යාල යාමට නොහැකි වුනු සිසුන් බොහෝමයක අධ්‍යාපන තත්වය උසස්ය. ඔවුන්ට හැදෑරීමට කාර්මික විසුහල් හෙද විදුහල් පමණක් නොව පරිගණක පාඨමාලා ගණකාධිකරණ පාඨමාලා ආදියද තිබේ. මම පෞද්ගලිකව මුදල් අය කරන විශ්ව විද්‍යාල වලට කැමති නැත. මම බ්‍රිතානයේ කම්කරු පක්ෂයේ ජෙරෙමි කෝබින් ට සහ දෙන එක හේතුවක් නම් ඔහු විශ්ව විද්‍යාල වලින් මුදල් අයකිරීම අහෝසි කර නිදහස් අධ්‍යාපනයක් ලබා දීමට පොරොන්දු වීමයි. එසේ වතුදු බ්‍රිතාන්‍යයේ පෞද්ගලික පාසල් හා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට මගේ නම් විරුද්ධත්වයක් නැත. සමාජවාදී ක්‍රමයක එවැනි විද්‍යාල රජයට පවරා ගත හැකි වුවත් දැනට ඇති යථාර්තය හමුවේ එවැන්නකට විරෝධය පෑමෙන් වෙන්නේ තවත් අතිරේක සිසුන් ප්‍රමාණයක් අතරමං කිරීමක් පමණකි.
අප සටන් කල යුත්තේ මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මිස “සල්ලි තියෙන එස් තුනක් ගත්තවුන් ” ගැන වෛරයකින් නොවේ. 

අඩු ලකුණු ගත් සිසුන් නොයෙකුත් ක්‍රම හරහා සෝවියට් දේශයටද පැමිණියහ. එය ශ්‍රී ලංකාවේ සමාජයේ වැරැද්ද මිස සිසුන්ගේ නොවේ. අනික වරක් එස් තුනක් ගත්තා කියා මේ කට පාඩම් කර පාස් වෙන විභාග වලින් දෙවනුව හෝ තෙවැනිව හොදින් සමත් වෙන අයද සිටිති.

කියුබාව වැනි රටවල දොස්තරවරුන්ට හොඳ පඩි ලැබෙන්නේ නැත. එවන් එක දොස්තර කෙනෙක් ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන කඩයක් පවත්වා ගෙන යන බව රූපවාහිනී වාර්තාවක දුටුවෙමි. අවශ්‍යතාවයට වැඩියෙන් දොස්තර වරු හා ඉංජිනේරුවන් සිටින රටකි කියුබාව. කියුබාවේ ඒ තත්වය ළඟදීම වෙනස් වනු ඇත. කියුබාවේ හෝ වෙනිසියුලාවේ ඇති පරිදි සමාජවාදී රජයක් අද හෙටම නොඑළඹෙන නිසා අන්තරයට පවතින නීතියට යටත්ව දැනට කටයුතු කිරීමට සිදුවනු නොවැලැක්විය හැකිය. අන්තරේ ඉහත සිද්ධියේදී පොලිසියේ කිරිපල්ල අතගාන්නට සිසුන්ට පවරා තමන්ට හොඳ ප්‍රසිද්ධියක් ලබා ගත් බව මගේ හැඟීමයි.

සිසුහුද ඒ වෙනවට පොලිසියෙන් හොඳටම ගුටි කෑවෝය. පොලිසිය සුපුරුදු පරිදි හොඳටම අනා ගත්තේය. අවුරුදු ගණනක සිටම මෙලස හැසිරෙන ලංකාවේ පොලිසිය යහපාලන ආණ්ඩුවක් ඇවිත් මාස කීපයකින් වෙනත් විධිහකට හැසිරෙන්නේ යැයි බලා පොරොත්තු වීමම බොළඳ කමකි. ස්වාධින කොමිසම් ආවේ යන්තම් මාසයකට කලින්ය. මිට වඩා මර්දනකාරී ආණ්ඩුවක් පලවා හැරි යහපාලන ලැදි ජනතාවට කුමාරසිංහලා, රණතුන්ගලා දැන්මම තියා කොකා පෙන්වමින් සිටිති. සිසුන්ට පහර දීමට විරෝධය පාමින් ලිපියක් නිකුත් කළ මංගල සමරවීර මහතා මෙන්ම, කරුණාරත්න පරණවිතාන මහතාද යහපාලනයට සහය දුන් බොහෝ අයද ඉදිරියට පැමිණ පොලිස් පහරදීම හෙලා දැක ඇත. ඔවුන් විසින් මේ ප්‍රශ්නය සාකච්චාවෙන් විසඳා ගන්නා මෙන් දෙපාර්ශ්වයටම බල කල යුතුය. යහපාලන ලැද්දන්ට තවත් මර්දනකාරී ආණ්ඩුවක් අවශ්‍ය නැත.


Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------
VISITORS ON විද්‍යා ගවේෂණ NOW!





Comments