Tuesday, October 13, 2015

කෝට් එක ගලවලා යනවා - OIC හබරාදුව.

නීති විරෝධී මිනිස් ජාවාරමකට ඉඩ දෙන්න බැරිවෙලා. මිනිසුන් නොවන මිනිසුන් ඉන්න රටක පොලීසිය !! ළමා අධිකාරිය අහෝ !!

මේ සියල්ල හෙළිවන්නේ හබරාදුව පොලිස් වසමේ, අවුරුදු 03 ක දැරියක් ඇතුලූ දරු පවුලක් හිරකරගෙන සිටි ඉඩම් හිමියකුට එරෙහිව පොලීසියට ගිය මවකගේ කථාවෙනි.

හබරාදුව පොලීසියේ ස්ථානාධිපති මෙම අසරණවූ කාන්තාවට සහය වීමට පැමිණි පුද්ගලයට බැන තර්ජනය කර එලවාගෙන තිබෙන බවද, ආණ්ඩුවේ ප‍්‍රබලයකු සතුටු කරන්න මෙම නීති විරෝධී ක‍්‍රියාවට ස්ථානාධිපති සම්බන්ධ වු බව ද වාර්තා වේ.

එක් පැත්තකින් ආණ්ඩුවේ ප‍්‍රබලයාගේ දුරකතන ඇමතුම්වලට ද අනෙක් පැත්තෙන් මානව හිමිකම් කොමිෂමේ විමසීම්වලට ද මැදි වූ මොහු කෝට් ගලවා ගෙදර යන බවට ප‍්‍රකාශ කරන්නට තරම් නිවට වී තිබෙන බවට ද වාර්තා වේ.  

මේ රටේ සිදුවන මිනිස් ජාවාරම හා කිසිදු හැඳුනුම්පතක් නොමැතිව සිටින මිනිසුන්, වහල්කමේ යොදවාගෙන සිටින අයුරු හෙළි දරව් වූ කථාවකි මේ.

කන්දයියා ඉන්ද්‍රානි, මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිට කරන ලද පැමිණිල්ලේ පිටපත් ළමා අධිකාරියට ද, ජනාධිපති හා අගමැති ලේකම්වරුන්ට ද යවා තිබේ.

කන්දයියා ඉන්ද්‍රානි ගේ (අවු: 49යි, විවාහක, දරුවන් 05යි, කුලී වැඩ) 
2015.10.12 දාතමින් යුත් සම්පූර්ණ පැමිණිල්ල පහත දැක්වේ.


හබරාදුව පොලීසය, මිනිස් ජාවරම්කරුවකු හා වහල් හිමියෙකු ආරක්ෂා කිරිමට පියවර ගැනීම හා අයුතු සහ නීති විරොධි බලපෑම් සිදුකිරිම, පිඩාවට පත්කිරිම

1. පිටබැද්දර, දැරංගල, තැපැල්වත්තේ සේවය කරමින් සිටින විට, එහි අයිතිකරු විසින්, මා ඇතු`ඵව, පහත නම් සඳහන් පවුලේ සියලූ දෙනාව, හබරාදුව, පොලිස් වසමට අයත්, දිව්ලාන, කලහේ, වංචාවල පිහිටි UGK වත්ත නමින් හඳුන්වන වත්තට බාරදෙන ලදි.

2. එහි අයිතිකරු U.K.G සම්පත් නැමත්තාය.

3. දැනගන්නට ලැබී ඇති පරිදි, අප පවුල U.K.G සම්පත් නැමත්තා විසින් ලබාගෙන ඇත්තේ රුපියල් ලක්ෂ එකහමාරකටය.

4. මෙම UKG වත්තේ, අපට පදිංචියට කුඩා නිවසක කනි කාමරයක ලබාදුන්නා.

එහි - 
1. මාගේ සැමියා  - එම් රාජේන්ද්‍ර, අවු: 52යි
2. මාගේ වැඩිමහල් පුතා - තම්බිරාජා, අවු: 21යි
3. මාගේ දෙවන පුතා - සසී, අවු: 19යි
4. මාගේ තෙවන පුතා - ගනේෂන්,  අවු: 15යි
5. මාගේ සිව්වන පුතා - සෙල්වකුමාර, අවු: 12 යි
6. මාගේ පස්වන පුතා - සිවකුමාර, අවු: 07යි
7. මාගේ මිණිපිරිය (තම්බිරාජා ගේ දියණිය) නදීශා,  අවු: 03යි 

5. අප සිවි දෙනා ( 1 සිට 4 දක්වා) UKG වත්තේ 2015.09.15 දින වැඩ ආරම්භ කලා. පෙ:ව: 7.00 සිට ප:ව:5.30 දක්වා වැඩ කලවිට දිනකට රු: 500/= බැගින් ගෙවන බවට පොරොන්දු වුනා.

6. 2015.09.26 දින, දෙවන පුතා වන සසී, කොටපල පිහිටි, ගැටබරු දේවාලයේ උත්සවයට ගොස් සිටින විට, අසනීප වී, 2015.09.28 දින දෙනියාය රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

7. මා, පුතාව බලන්න යන්න නිවාඩු ඉල්ලූවා. නමුත් දුන්නේ නැහැ.

8. 2015.09.04 දින උදේ පඩි සල්ලි අරන්, එදින රාත‍්‍රී 2.00ට පමණ මම, ලොකු පුතා තම්බිරාජා සමග වත්තෙන් පිටව, දෙනියායට ගොස්, ටිකට් කපා සිටි පුතාව නැවත වත්තට රැගෙන එන්න සූදානම් වුනා.

9. සවස 4.30 පමණ, වත්ත බලා ගන්නා ”චූටි මහත්තයා” කෝල් කරලා කිව්වා, උඹලා වරෙල්ලා, හොඳ පාඩමක් උගන්වනවා කියමින් බැණ තර්ජණය කලා. 

10. එම තර්ජනය කිරීම නිසා, මමත් තම්බිරාජාත්, සසීත් වත්තට යාමෙන් වැළකුනා. ගියොත් පහර දෙන බව දැනගෙන හිටියා.

11. එම නිසා, මමත් හා පුතාලා දෙන්නා වත්තට ගියේ නැහැ.

12. මම ඔවුන් දෙන්නා සමග ඥතීන්ගේ ගෙවල්වල රැඳී සිටිමින්, අවුරුදු 03 දැරියව හා අනෙක් දරුවන්ව එවන්න කියා මම වත්ත බලන චූටි මහත්තයාට දැනුම් දුන්නා. 

13. ”චූටි මහත්තයා” මගේ සැමියාව හා දරුවන්ව, ඉන්න ගෙයින් බංගලාවේ ‘වී වේලන’ කාමරයට ගෙන ගොස් හිරකරගෙන තිබෙනවා. අඩුම වශයෙන් ඔවුන්ට ඇඳුම් මාරු කර ගන්න ඉඩ දීලා නැහැ. නිදාගන්න පැදුරක්වත් දීලා නැහැ.

14. දින තුනක් බලා සිට, 2015.10.07 වන දින මම හබරාදුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කිරීමට ගියා.

15. මම පොලිසියට යන විට, මාගේ සැමියා - රාජේන්ද්‍රව පොලිසියට ගෙනවිත් සිටියා. ඔහුගෙන් ප‍්‍රකාශයක් ලියවා ගත්තා. මට සැමියා සමග කතාකරන්න ඉඩ දුන්නේ නැහැ. ඔහුව ගෙනවිත් තිබුනේ මෝටර් රථයකින්.

16. ඔහු ව රැගෙන ගිය පසුව මම පැමිණිල්ල ලියන්න යයි ඉල්ලා සිටියා. නමුත් ලියා ගත්තේ නැහැ. මට බැණ පන්නා ගත්තා.

17. නමුත් මම එතැන හිටියා. එවිට මාව ස්ථානාධිපතිවරයා ලඟට කැඳෙව්වා. මට ඔහු දෙමලූන්ගේ හැටි මම දන්නවා, කියමින් නින්දා අපහාස කරමින් මට බැන්නා. පැමිණිල් ලියා ගත්තේ නැහැ.

18. ඉන්පසු මා, මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිට, දකුණූ පළාත් නියෝජ්‍ය පොලිස්පති, ගාල්ල ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීට ලිඛිතව ෆැක්ස් මගින් පැමිණිලි කලා. 

19. පසු දින, 2015.10.08 දින, ජංගම දුරකථනයකින් හබරාදුව පොලිසියට එන ලෙසට යමෙක් දැනුම් දුන්නා. නමුත් අවිශ්වාස නිසා ගියේ නැහැ.

20. 2015.10.10 දින , පැමිණෙන ලෙසට පොලිසියෙන් දුරකථනය මගින් දැනුම් දුන්නා. එ් අනුව පොලිසියට ගියා. 

21. හබරාදුව පොලිසියට යෑමට පෙර, මා, දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගොස් පැමිණිලි කලා.

22. 2015.10.10 දින, හබරාදුව පොලිසියේදී, මාගෙන් ප‍්‍රකාශයක් ගෙන, ළමයින්ව බාරදෙන් සූදානම් වුනා. නමුත් සැමියාව නැවත වත්තට ගෙනයන්න සූදානම් වුනා.

23. රාත‍්‍රී 7.30 පමණ සැමියාව හා ළමයින්ව මට බාර දුන්නා.

24. එසේ බාරදීමට පෙර, අපගේ උදව්වට පැමිණ සිටි ගමගේ මහතා සමග සිටි තරුණ මහතෙකු ගෙන් ප‍්‍රකාශ්‍යක් ගත්තා. ඔහුගෙ නම දන්නේ නැහැ. අඳුරන්නේ නැහැ.

25. අපව බාර දුන්නේ ඔහුට. ඔහු කිව්වා අප දවස් තුනකින් සල්ලි දුන්නේ නැතිනම්, ඔහු වගකියන්න  ඕනි කියා. 

26. මාගේ පුතුන්ව, ගෙනත් කූඩු කරන බවට, පොලිස් ස්ථානාධිපති හා කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරිණිය තර්ජණය කලා.

27. මා පසුව දැනගත්තා, අපගේ ඉල්ලීම මත ජනසංසදය, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කරන ලද දැනුම්දීම මත විමර්ශණ නිලධාරීන්ගේ දැඩිව මැදිහත්වී, මාගේ සැමියාව හා දරුවන්ව නිදහස් කල බව. 

28. මේ පිලිබඳව ළමා ආරක්ෂක අධිකාරියට කතා කලද, කිසිදු ප‍්‍රතිචාරයක් දැක්වූයේ නැත.

මා ප‍්‍රකාශ කරන්නේ,

1. මේ රටේ ඉංදීය සම්භවයකින් පැවත එන, වතු දෙමළ වශයෙන් හඳුන්වන අපට මේ දක්වා ජාතික හැඳුනුම්පතක්, ඡන්ද අයිතියක්, ස්ථිර පදිංචියක් නැති බව.

2. අප පවුලම, එක් වත්තක අයිතිකරුවකු විසින් තවත් වත්තක අයිතිකරුවකුට විකුණමින් මිනිස් ජාවාරම් කර ඇති බව බව. අප වහලූන් බව.

3. අප ජීවිත කාලය තුල කිසිම කම්කරු අයිතියක් අපට හිමි නැත. වැඩ කරන වේලාවක් නැත. නියමිත පඩියක් නැත. අර්ථසාධක අරමුදලක් නැත.

4. පොලිසිය අපට සැලකුවේ මිනිසුන් වශයෙන් නොවේ.

5. මෙරටේ තවමත් වහල් සේවය පවතිනවා. එය ආරක්ෂා කරන්නේ පොලිසිය ඇතුලූ අනෙකුත් අදාල ආයතන.

මා ඉල්ලා සිටින්නේ,

නොපමා, මිනිස් ජාවාරම් කරුවකුගේ අවශ්‍යතාවයට, නීති විරෝධිව ක‍්‍රියාකල හබරාදුව පොලිසියේ ස්ථානාධිපති ට එරෙහිව නීතිමය හා විනය පියවර ගන්නා ලෙසට,

අවු: 03 දැරියක් ඇතුලූව පස්දෙනෙකුව දින 07ක් පුරා නීති විරෝධිව ර`දවාගෙන සිටි වත්තේ අයිතිනරු වන යු.කේ.ජි. සම්පත් නැමැත්තාට එහෙිව නීතිමය පියවර ගන්නා ලෙසට,

අපට හිමි කම්කරු අයිතීන් ලබා දෙන ලෙසට
අපට ආරක්ෂාව සලසන ලෙසට
මෙයට,
කන්දයියා ඉන්ද්‍රානි

පිටපත්,
1. ලේකම්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය
2 . සභාපතිනි, ළමා ආරක්ෂක අධිකාරිය                
 දැ.ගැ. පි. හා අවශ්‍ය කටයුතු සඳහා

No comments:

Post a Comment