Sunday 30 August 2015

ලන්ඩන් අන්ඩග්‍රවුන්ඩ් (The Tube)




ලන්ඩන් අන්ඩග්‍රවුන්ඩ් (London Underground) එහෙම නැත්නම් ටියුබ් (Tube) කියලා කියන්නේ ලන්ඩන් නගරය පුරා පොලොව යටින් දිවෙන දුම්රිය සේවයයි මේ ඒ පිලිබඳ විස්තර ටිකක්. මෙහි ඉතිහාසය ඇරඹෙන්නේ 1830 තරම් ඈත කලකදී. පොළව යටින් දිවෙන දුම්රිය සේවයක් පිලිබඳ යෝජනාව පලවන්නේ එම වසරේදී. නමුත් එම යෝජනාව අනුමත වී නව දුම්රිය මග ඇරඹෙන්නේ 1863 වසරේ. එය ලොව ප්‍රථම භූගත දුම්රිය මග ලෙස මෙය සැලකෙනවා.
දුම්රිය නැවතුම් 270 ක් සහ කි. මි. 402 පමණ දිගු දුම්රිය මගක් මෙයට අයත් වෙනවා. 19,000 කට අධික සේවක පිරිසක් සේවය කරන අතර විදුලි තරප්පු (escalators) 400 කට අධික ප්‍රමාණයක් පවතිනවා. ලොව වටා දෙවරක් ගමන් කලොත් ඔබ ගෙවා දමන කිලෝමීටර ප්‍රමාණය හා සම ප්‍රමාණයක් එම විදුලි තරප්පු දිනකදී ගමන් කරන බවයි සැලකෙන්නේ.

විවිධ දිශාවට දිවෙන දුම්රිය මාර්ග 16 කින් සමස්ත දුම්රිය පද්ධතිය සමන්විත වන අතර ඒවා වෙන්කර හඳුනා ගැනීමට එකිනෙකට වෙනස් වර්ණ 16 ක් යොදාගෙන තිබෙනවා (පහත සිතියම බලන්න)

Tube Map

සමහර දුම්රිය ස්ථාන වල දුම්රිය වේදිකා විශාල ගණනක් තිබෙනවා. වැඩිම වේදිකා ගණනක් තිබෙන්නේ ප්‍රසිද්ධ බේකර් ස්ට්‍රීට් (Baker street) දුම්රිය නැවතුමේ එය ගණනින් 10ක්.
ඔබ ගමන් ගන්නා දිසාව අනුව නැගෙනහිර අන්තය(Eeastbound) හා බටහිර අන්තය (Westbound) හෝ උතුරු අන්තය(Northbound) හා දකුණු අන්තය(Southbound)  ලෙස එක් එක් වේදිකා නැවතත් දෙකකට බෙදෙනවා.


Tube සිතියම ප්‍රවේශමෙන් අධ්‍යයනය කිරීමෙන් ඔබ ගමන් කලයුතු අන්තය තෝරාගැනීම එතරම් අපහසුවක් නොවන බව පැහැදිලිවන්නේ එම පද්ධතිය පිලිබඳ කිසිම පෙර දැනුමක් නැති සංචාරකයන් අති විශාල පිරිසක් දිනපතා කිසිදු අපහසුවකින් තොරව දුම්රිය භාවිතා කරන හෙයිනි. කුඩා ප්‍රමාණයේ Tube සිතියම් සෑම දුම්රිය ස්ථානයකම තබා ඇති අතර ස්මාර්ට් දුරකථන සඳහා භාගත කරගත හැකි සිතියමක් ද ඇත.

19 වන සියවසේ මුල් භාගයේ හැරී බෙක් (Harry Beck) නැමැත්තෙකු විසින් ආරම්භක නිර්මාණය කලා යයි සැලකෙන tube සිතියම විවිධ වෙනස්කම් සිදුවී අදටත් භාවිතා වෙනවා. ඔහුගේ මහන්සිය සඳහා ඔහුට ගෙවන ලද මුදල ගිනි 10 ක් හෙවත් බ්‍රිතාන්‍ය පවුම් ශතයටත් අඩු ප්‍රමාණයක් බව කියවෙනවා.

ලන්ඩන් අන්ඩග්‍රවුන්ඩ් (London Underground) ලෙස හැඳින්වූවත් සමස්ත දුම්රිය පද්ධතියෙන් සියයට 45 ක් පමණක් පොලොව යටින් දිවෙනවා. දුම් පානය තහනම් අතර කි.මි. 40 ක පමණ දුරක් ගමන් කරනවා යනු දුම්වැටි දෙකක් පානය කල හා සම වෙන බව ලන්ඩන් වැසියන් පවසනවා. ඔවුන් එසේ කියන්නේ උමං තුල අති විශාල ලෙස ඇති සියුම් දුහුවිලි නිසයි. සාමාන්‍ය ආශ්වාසයට නොදැනුනත් දුහුවිලි අංශු විශාල ප්‍රමාණයක් උමන් මඟ තුල වාතයේ පවතින බව පර්යේෂකයන සොයාගෙන තිබෙනවා.

මතු පිටට වඩා අංශක 10 ක් උමන් මඟ තුල උෂ්ණත්වය වැඩි අතර ලන්ඩනයේ ඇති ශීත දේශගුණය නිසා එතරම් අපහසුවක් දැනෙන්නේ නැහැ. එනමුත් උණුසුම් කාල වලදී ඔබ ගමන් කළහොත් තරමක අපහසුවක් දැනේවි.



වඩාත්ම කාර්යබහුල දුම්රිය ස්ථානය ලෙස දැනට වාර්තා වී ඇත්තේ සාප්පු සවාරි සඳහා ප්‍රසිද්ධ ඔක්ස්ෆර්ඩ් වීදිය (Oxford street) අසල ඇති ඔක්ස්ෆර්ඩ් සර්කස් (Oxford circus) නවතුමයි. පසුගිය වසරේ මිලියන 98 ක ජනතාවක් එම නැවතුම භාවිතා කර ඇති බව සැලකෙනවා. උදෑසන කාර්යාල වෙලාවේදී පමණක් වොර්ටලූ (Waterloo) දුම්රිය ස්ථානයට 50,000 ක පමණ පිරිසක් ඇතුල් වෙනබව කියනවා. මෙම සේවය කෙතරම් කාර්ය බහුල හා කාර්යක්ෂමද කිවහොත් බිලියන 1.265 ක පිරිසක් 20013/14 වසරවල මුළු දුම්රිය පද්ධතිය භාවිතා කොට තිබීමෙන් පැහැදිලි වෙනවා.



දුම්රිය භාවිතා කරන්නන්ට ගෙවීම් කිරීමට ඉතා දියුණු පෙරගෙවුම් පත් (Oyster card) හා ස්පර්ශ කිරීමෙන් මුදල් කපා ගන්නා බැංකු කාර්ඩ් පත් (contactless smart cards)ක්‍රමයක් භාවිතා වෙන අතර ඔබ පිටවෙන නැවතුම අනුව ගාස්තුව තීරණය වෙනවා.

දුම්රිය සිතියම කලාප(Zone) කිහිපයකට බෙදා ඇති අතර කලාප තුල හා අතර වෙනස් ගාස්තු අය කෙරෙනවා. උදාහරණයක් ලෙස ඔබ කිසියම් දුම්රිය ස්ථානයකින් ඇතුල්වීමේ දී කාඩ්පත ස්පර්ශ කිරීමෙන් විවෘත වෙන කුඩා දොරටුවක් තිබෙනවා. අවශ්‍ය අවම මුදල ඔබේ කාර්ඩ් පතේ ඇත්නම් පමණක් දොරටුව විවෘත වෙනවා. ඉන්පසු ඔබ පිටවෙන දුම්රිය ස්ථානයේද එවැනිම ස්පර්ශ කිරීමකින් විවෘත වන දොරටුවකින් ඔබට පිටතට පැමිණිය හැක.

පිටවන ස්ථානයේදී ගාස්තු අයකිරීම සිදුවන්නේ ඔබ දැන් සිටිනා කලාපය දුම්රිය මඟට ඇතුලුවූ කලාපය හා සංසන්දනය කිරීමෙන්. එකිනෙකට සම්බන්ධ නිසා කිසිදු මුදල් ගෙවීමකින් තොරව මුළු දුම්රිය පද්ධතිය පුරා ඔබට ගමන් කල හැකි අතර ගාස්තු අය වන්නේ පිටවීමේදී පමණයි. මුළු දුම්රිය පද්ධතිය පුරා ඇවිද ඇතුල්වූ දුම්රිය ස්ථානයෙන් හෝ ඔබ ඇතුල්වූ කලාපයෙන් ම පිට උවහොත් ඔබෙන් අයවන්නේ අවම ගාස්තුවයි.


ඉතා දියුණු ආරක්ෂක සේවයක් ලන්ඩන් අන්ඩග්‍රවුන්ඩ් (London Underground) තුල ක්‍රියාත්මක වන අතර දහස් ගණනක ආරක්ෂක කැමරා ඔස්සේ පැය 24 පුරා ආවරණය කෙරෙනවා. මෙය ලොව තෙවැනි විශාලම භූගත දුම්රිය පද්ධතිය වන අතර එය බීජින් සබ්වේ(Beijing subway) හා ශැන්ග්හයි මෙට්‍රෝ (shanghai metro) සේවයන්ට පමණක් පසුපසින් සිටිනවා. ලන්ඩනයේ පැවති 2012 ඔලිම්පික් තරඟාවලිය ලන්ඩන් නගරය තුල විවිධ ක්‍රීඩාන්ගන 9 ක් තුල පැවති  අතර ප්‍රධාන තරඟ ක්‍රීඩාන්ගන අතර මාරුවන විට මිනිතු 20ක් තුල ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාන්ගන අතර හුවමාරු කිරීමේ අභියෝගය සාර්ථකව ඉටු කිරීමට ලන්ඩන් අන්ඩග්‍රවුන්ඩ් අති විශාල මෙහෙයක් ඉටු කරනු ලැබුවා.

උණුසුම් තත්වය පාලනයට අධික පිරිවැයක් දැරීමට සිදුවනු ඇති නිසා ශ්‍රී ලංකාව වැනි රටකට මෙවන් භූගත දුම්රිය පද්ධතියක් උචිත නොවනු ඇති නමුත් කාර්යක්ෂම හා මනාව පැතිරිනු භුමිය මත දිවෙන දුම්රිය පද්ධතියක් අප රටේ ආර්ථිකයට මහත් දායකත්වයක් දෙනු ඇත.



5 comments :

  1. Good one, thanks

    ReplyDelete
  2. දිනෙන් දින දියුණු වෙන ලෝකය ගැන අපිව දැනුවත් කලාට ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට හා කොමෙන්ටුවට ස්තුතියි..

      Delete
  3. අඩේ... එල විස්තරේ..
    ජයවේවා..!!

    ReplyDelete