Wednesday, August 26, 2015

මගේ බිසොවුනේ අසාපන්...

විශිෂ්ඨ ගේය පද රචක රත්න ශ්‍රී විජෙසිංහයන් අතින් ලියැවුනු 'මගේ බිසවුනේ අසාපන්..' වූ කලී වෙස්සන්තර ජාතකයේම තවත් එක් පැතිකඩකැයි සිතේ. එමෙන්ම එය අපූරු නිර්මාණයකි. මේ ගීතයට ඉතා සුන්දර වූත් දීර්ග වූත් පසුබිම් කතාවක් තිබේ. පද රචනයේ අදහස තවත් තීව්‍ර වන ආකාරයෙන් මෙය සංගීතවත්කොට ගායනය කරණු ලබන්නේ විශාරද ගුණදාස කපුගේ විසිනි. ගීතයේ පලමු පද කීපය මෙලෙසින් වෙයි. 

මගේ බිසව්නේ අසාපන්
නුඹ මන්ද්‍රීදේවී නොවුනි
දුෂ්කරවූ ඒ පලාතේ
මට යන්න දෙන්න දේවී

මේ කඳුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විශඝෝර සර්ප භවනේ

ගීතය බිහිවීමට ආසන්නතම හේතුව පසුවට තබා මුලින්ම ගීතයේ පදනම සකස්වූ ආකාරය විමසා බලමු. මෙම ගීතය රචනයට රත්න ශ්‍රී ට නිසැකවම ජාතක කතා පොතෙහි ඇතුලත් ප්‍රේමයේ සියුම් අවස්ථාවන් ස්පර්ශ කරන වෙස්සන්තර ජාතකයේ බලපෑම නොකිව මනාය. පසු කලෙක මෙම ජාතක කතාව නාඩගම්ක් වශයෙන්ද නැවත නීතීඥ ජෝන් ද සිල්වා විසින් නූර්තියක් ලෙසින්ද ඉදිරිපත් කරන ලදී. මෙහිදී ජාතක කතාවට සමාන හෝ එයටත් ඔබ්බට වූ බලපෑමක් වෙස්සන්තර නූර්තිය හරහා රත්න ශ්‍රී ගේ මෙම ගීතයට වී දැයි ඇතැම්විට සිතේ. පහත දැක්වෙන්නේ වෙස්සන්තර නූර්තියේ එන ගීතයක කොටසකි. 

මගෙ මන්ද්‍රි නම් බිසෝගේ
යාඥාව බෝය වේගෙ
නෙක චණ්ඩ ව්‍යාඝ්‍ර ආදී
හිමාල දේසෙ වේවි
නවතින්න මාලිගාවේ
සීදේවි නේනු මාගේ

ගීතයේ පද පෙලට නූර්තියෙන් ලද ආභාෂය පද විමසීමෙන් පැහැදිලි වේ.

ගීතයේ පසුබිම් කතාව නොකීවොත් එය ගීතය විඳීමට යම් ආකාරයක අඩුවක් වේ යැයි සිතන නිසා එය මෙසේ ඉදිරිපත් කරමි. රත්න ශ්‍රී විසින් රචිත බොහොමයක් ගීත වලට ඔහු තම අත්දැකීම් යොදා ගැනීම දැකිය හැක. 'සුදු නෙළුම', 'වෙල්ලස්සේ ගීතය' මෙවැනි නිර්මාණ වලට උදාහරණ කීපයකි. මෙම ගීතයද තමන්ගේම අත්දැකීමක් පසුබිම් කර ගනිමින් බිහිකල ගීතයකි. මෙම කතාවේ වෙස්සන්තර රජු රත්න ශ්‍රී වන අතර මන්ත්‍රී දේවිය ඔහුගේ ආදරණීය බිරිඳ හේමමාලියයි. නමුත් මෙය යම් තාක් දුරකට වෙනස් වූ වෙස්සන්තර කතාවකි.

පලමු ගුරු පත්වීම තෙල්ලඹුරේ පාසලට ලැබුනු රත්න ශ්‍රී ට යම් හේතුවක් නිසා වෙල්ලස්සට නැතිනම් මොනරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටිය විද්‍යා විදුහලට දුෂ්කර මාරුවීමක් ලැබුනි. මේ වනවිට හේමමාලිය සරණ බැඳ සිටි ඔහුට දූ සිඟිත්තියන් ද දමා යන්නට වෙන මේ ගමන සැබැවින්ම වංකගිරියට යෑමක් ම බඳු විය. ඔහුගේ සිත කම්පනය කල මෙම සිදුවීම ඔහු මුලින්ම මෙසේ කවියකට නගයි. මෙම කවිය මුල් වරට 'තරුණී' පත්‍රයේ පලවේ. ඒ 1980 ගණන්වලය.

මගේ බිසොවුනේ අසාපන්
නුඹ මන්ත්‍රි දේවි නොවුණි
මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
විෂ ඝෝර සර්ප භවනේ
නවතින්න කුලී නිවසේ
මේ කර්ණ කටුක නගරේ

තරුණී පත්‍රයේ පලවූ මෙම කවිය දකින ප්‍රවීන ගීත රචක ස්වර්ණ ශ්‍රී බණ්ඩාර විසින් එය මෙසේ ගීතයක් ලෙස සකසා ලියමනක් ද සමඟින් රත්න ශ්‍රී වෙත යවයි. පහත දැක්වෙන්නේ ඔහු විසින් නිර්මාණය කල ගීතය සහ යැවූ  ලියමනෙහි අදහසයි.

මගේ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්‍රි දේවි නොවුණි
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි
මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසව් නගරේ
බුදුවෙන්ට ඕන නුඹලා
මට නිවන් මඟ කියල්ලා
පේලි කපන සතුන් අතරේ
කෙළ ගසන සතුන් අතරේ
බෝ ප්‍රවේසමෙන් ඉන්නම්
මගෙ මෙහෙය මම කරන්නම්

හිතාදරයාණෙනි;

මෙය ලියන අප හමුව ඔබට මතක ඇතැයි සිතමි. නිරතුරුව ඔබේ කටයුතු හා තොරතුරු ලිපි මඟින් දකිමි. සොම්නසට පත්වෙමි. මේ සතියේ ‘තරුණි’ පුවත්පත දැකීමෙන් මෙය ලිවීමට සිදුවුණි. එහි පළවූ කවෙන් ඔබේ අලුත් තොරතුරු දැන ගතිමි. ඒ කවි පෙළ අගය කරමි. ඔබේ අනවසරයෙන් ‍ මම ඒ කවි පෙළ ආස්සරයෙන් ඔබේ නමින් ගීයක් සකස් කොට අප මිත්‍ර ගුණදාස කපුගේ මහත්මාට දුනිමි. ඔහු එයට තනුවක් යොදා ගයන වග කීවා. මේ ඒවග ඔබට දැනුම් දීමකි. කපුගේ මහත්මාත් ඔබට ලියාවි. මෙය මගේ හිතුමනාපයට කළාට කම්නැත. මේ හා මා සැකසූ පිටපත ද ඇත. අනුරාධපුර පළාතේ ආවිටක හමුවෙමු.

ජය හිතාදර
ස්වර්ණ ශ්‍රී බණ්ඩාර

ගුණදාස කපුගේ ගායනා කරනු ලබන්නේ නැවත වරක් රත්න ශ්‍රි සංකරණය කරන ලද ඔහුගේ කවි පෙලින් නිමවූ ගීතයයි. ගීතයේ ආරම්භය මෙසේ වෙයි.

මගේ බිසව්නේ අසාපන්
නුඹ මන්ද්‍රීදේවී නොවුනි
දුෂ්කරවූ ඒ පලාතේ
මට යන්න දෙන්න දේවී

ඇය ඔහුට මන්ත්‍රී දේවියක් ම වෙයි. එනම් සියලු දුක් පීඩා, වේදනා ඉවසා දරා ගෙන ඔහුත් සමඟ ජීවිතය නම් වූ ගංගාව තරණය කිරීමට ඔහු අත් නොහැර ඔහුව තේරුම් ගත් ඇය ඔහුට මන්ත්‍රී දේවියක් මිස වෙන කව්ද? හේමමාලි පිලිබඳ රත්න ශ්‍රී විසින්ම රචිත පහත කාව්‍ය වලින් එය මනාවට ඔප්පුවේ. 

පහත කවි කිහිපය ඔහු විසින් රචිත 'වස්සානේ' ග්‍රන්ථය හේමමාලියට පුද දුන් ආකාරයයි.

කිරි ශිරා සියක්‌ ඉල්පී..
කෘශ ළැමට ඇදී එත්මැයි..
පියයුරෝ දෙදෙන හොරැහින්..
බිම බලාගෙන හඬත්මැයි..

ලේ කඳුළු බිංදු නොසිඳී
ළැම දුකින් තෙත් කරත්මැයි
හාමතේ නොලා දෙදරුන්
රක්‍ෂා කෙරෙත්මැයි   

ඉහත කවියේද 'හාමතේ නොලා දෙදරුන්' යන පදය යෙදී ඇති අන්දම කෙතරම් සුන්දරද. 

ඔහු අයැදින්නේ වෙසතුරු රජු පසු පස පේවී පැමිණි මන්ත්‍රි දේවිය මෙන් ඔහුත් සමඟ දුෂ්කරවූ ඔක්කම්පිටියට යාමට නො එන ලෙසිනි.

මේ කඳුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විශඝෝර සර්ප භවනේ

එහි ගෙවීමට ඇති දුෂ්කර ජීවිතය ඔහු ඉහත පද පෙලින් ඉදිරිපත් කරයි. මෙහිදී වෙස්සන්තර නූර්තියේ ඇති පහත පද දෙපල ද ඒ හා සම වෙයි. 

නෙක චණ්ඩ ව්‍යාඝ්‍ර ආදී
හිමාල දේසෙ වේවි
නවතින්න මාලිගාවේ
සීදේවි නේනු මාගේ

මෙහිදී රත්න ශ්‍රී යන් ද  'හිමය' යන වචනය යොදා ගනී. හිමය යනු හිමාලයයි. ඔහු යන්නේ හිමාලයට නොවේ. නමුත් ගමනේ ඇති දුෂ්කර බව කියා පෑමට ඔහු වෙස්සන්තර නූර්තියෙන් ලැබූ ආභාෂය මැනවින් යොදා ගනී

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසව් නගරේ

මෙම ගීතයෙ එන 'නුඹ චන්ද්‍ර මඬල වැන්නේ..සාපැටව් එහි නිදන්නේ..' යන පද දෙක සුන්දරත්වය අතින් ඉහලම ස්ථානයක ඇති බවට පැහැදිලිය. මෙහිදී සඳ මඬල ලෙස සිය ඹිරිඳ ව උපමා කරන ඔහු සඳ මඬලේ නිදන සා පැටවුන් ලෙසින් දකින්නේ තම දියණියන් දෙදෙනාවයි. ඉහත උපමාවම ඔහු 'චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ..' ගීතයේ දී ද ඉතා සුන්දර ආකාරයෙන් යොදා ගනී. මෙම උපමාවද ඔහු වෙස්සන්තර කාව්‍ය සංග්‍රහය කියැවීමෙන් ලැබූ ආභාෂය හරහා සමීප වූවක් දැයි වෙස්සන්තර කාව්‍ය සංග්‍රහයේ ඇතුලත් පහත කවි පද දෙස බැලීමේදී සිතේ.

ලප සේ සඳ විලසේ දවසක් වෙන්නූ වෙම්මා
එපසේ බුදුකෙනකුන් මෙන් රැකිදැයි නිතිපෙම්මා 

මෙහිදී දරුවන් සහ මව වෙනුවෙන් උපමා රූපක වන්නෙ සඳත් සඳෙහි ලපත් ය.

වරක් ලූෂන් බුලත්සිංහලයන් රත්න ශ්‍රී පිලිබඳ මෙසේ පවසනවා."රත්න ශ්‍රී ගෙ රචනා වල දැකිය හැකි විශේෂම ලක්ෂණයක් වෙන්නෙ තමා තෝරාගන්නා ප්‍රස්තුතයට නව අරුත් සැපයීමට ඔහු දක්වන කුසලතාවයි. ගීතයක් හරහා නව සමාජ අර්ථකථනයක් සැපයීමට ඔහු දක්වන අති විශේෂ හැකියාව ඔහු ගේ සැබෑ අනන්‍යතාවය විදහා දැක්වීමක්". 

නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම්දම්

මෙම ගීතයේ ද ඉහත පද වැල සම්පූර්ණයෙන්ම වෙනම සමාජ කතිකාවතක් ගොඩ නගයි. ඔහු සියුම් ලෙස සමාජයේ පවතින සාකච්ඡාවට බඳුන් විය යුතු මාතෘකාවක් ඉදිරිපත් කරයි. 

නුඹ චන්ද්‍ර මඬල වැන්නේ
සාපැටව් එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ

අවසාන කවියෙන් ඔහු අහිංසක ඉල්ලීමක් කරයි. එයත් ඔහු ඉදිරිපත් කරන ආකාරය කෙතරම් සුන්දර දැයි බලන්න.. 

හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ

ඔහු මොණරාගල සේවය කරන කාලයේ ලියූ කවි ගීත එකතු කර 'වංකගිරිය' නමින් කවි පොතක් ද එලි දකවන ලදී. එම පොතේ මෙම ගීතය හඳුන්වා තිබුනේ 'වංකගිරියට පිටත්වීම' යනුවෙනි. ඔහුගේ මම වංකගිරියට නික්ම යාම තම බිරිඳ ගේ නෙතින් දකින ආකරය පිලිබඳව ද ඔහු විසින් ගීතයක් නිර්මාණය කරන ලදී. එම ගීතය ගැන තවත් දිනෙක කතා කල හැකිය.

රත්න ශ්‍රී විජෙසිංහයන් ගේ ආදරණීය හේමමාලියන්ට නිවන් සුව පතන අතරම රත්න ශ්‍රී විජෙසිංහයන් ට තවත් මෙවැනි සුන්දර නිර්මාණ එලිදක්වන්නට ලැබේවායි පතමු.

පද රචනය : රත්න ශ්‍රී විජෙසිංහ

සංගීතය සහ ගායනය : විශාරද ගුණදාස කපුගේ


















0 comments:

Post a Comment