Main Logo

Monday 24 August 2015

යමපාවාදීම ඇරඹෙයි

යමපාවාදීම ඇරඹෙයි 

අද කෙරීගෙන යන සියල්ල ම මෙන් අපි කල්තියා දුටුවෙමු. ඒ බව එකල ම කීවෙමු. ඊනියා මහින්ද මෛත්‍රී එකතුව විපතක් මිස ජයග්‍රහණයක් නොවන බව අප කියද්දී, වෙන ම තරග කිරීම සුදුසු ම ක්‍රියා මාර්ගය බව අප යෝජනා කරද්දී අපේ පිළේ පඬියෝ ම අපට සිනහසුණහ. අගොස්තු 17 වැනි දා පැවැත්වීමට නියමිත ව තිබූ මැතිවරණය මෙතෙක් ලංකාවේ පැවැත්වෙන දුෂිත ම මැතිවරණය බව අප කලකට පෙර ප්‍රකාශ කරද්දී යහපාලනයේ අනුශාසකයෝ පෝස්ටර් නැති වීම ගැන කතා කළහ. මැතිවරණයක් දුෂිත ද නැත් ද යන්න තීරණය කෙරෙන ප්‍රධාන නිර්ණායකය පෝස්ටර් ඇත් ද නැත් ද යන්න නොවන බව මැතිවරණ කොමසාරිස් නො දන්නේ ද? මෛත්‍රිපාලගේ නායකත්වයෙන් එ ජ නි සංධානයේ ජාතික ලැයිස්තුවට ඇතුළත්  කළ මගේ නම ඉල්ලා අස්කර ගත්විට බොහෝ දෙනා මට දොස් කීවෝ ය. මෛත්‍රිපාලගේ භූමිකාව මා දැනගත්තේ අද ඊයේ නො වේ. මම චම්පක මෙන් ම මෛත්‍රිපාල ද හඳුනමි. එමෙන් ම තවත් ඊනියා දේශහිතෛශීන් ද හඳුනමි.


තවමත් අසනීප තත්ත්වය තිබිය දී වුව ද,  ලිපියක් ලිවීම අත්‍යවශ්‍ය වෙයි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය විශිෂ්ට මට්ටමක පවතින බවට බටහිර රටවල් හා ඉන්දියාව ලවා සහතික නිකුත් කරවා ගැනීම රනිල්ට හා මෛත්‍රිපාලට අපහසු නොවන්නේ ඔවුන් ඒ ඒ රටවල ඉත්තන් හා ගැත්තන් බැවිනි. මහජනයා විසින් ප්‍රතික්‍ෂෙප කරනු ලැබූ අප්පච්චි මළා කණ්ඩායමේ (මහින්ද විරෝධී ශ්‍රී ල නි ප කණ්ඩායම ම එනමින් හඳුන්වමු) අය ජාතික ලැයිස්තුව මගින් පාර්ලිමේන්තුවට පත්කිරීම ප්‍රජාතන්ත්‍රවදය, යහපාලනය නැත්නම් අහවල් එකදැයි සෝභිත හාමුදුරුවෝ අපට තේරුම් කර දෙන සේක් ද? හැමදාම කරන පරිදි බොරු පුවත්පත් ප්‍රකාශන මගින් සෝභිත හිමියන්ට රනිල් මෛත්‍රි දුස්සංයෝගය ආරක්‍ෂා කරගත නො හැකි ය. ඊනියා යහපාලනය වෙනුවෙන් සො ්භිත
හිමියන්ගේ අපවත්වීමාන්තික උපවාසය ඇරඹෙන්නේ කවදා ද?

මැතිවරණයේ අවසාන සතියේ දී මෛත්‍රිපාල මහින්දට යැවූ ලිපිය, ශ්‍රී ල නි ප මධ්‍යම කාරක සභාව තම හිතුමතයට වෙනස් කිරීම, වාරණ නියෝග ලබා ගැනීමට කටයුතු කිරීම, පක්‍ෂ හා සංධාන ලේකම්වරුන් වෙනස් කිරීම ආදී මෛත්‍රි සහගත නොවන ක්‍රියාමාර්ග මගින් රටේ ජනාධිපති ක්‍රියා කරද්දී මහානායක හිමිවරු යමපාලනය වෙනුවෙන් එක්කෝ මුනිවත රැක්කාහ. නැති්නම් ඒ අනුමත කළහ. සිංහල ථෙරවාද බුදුසසුන මහානාම හිමියන්ගෙන් අවුරුදු එක්දහස් පන්සියයකට පමණ පසුව තම ආයුකාලය අවසන් කරමින් සිටින බව ඊනියා යථාර්ථවාදී බෞද්ධයන්ට වැටහෙන විට ඒ ප්‍රමාද වැඩිවනු ඇත.

අද ලෝකයේ සියළු මහින්ද විරෝධීන්ගේ එකතුවක් දැකිය හැකි ය. බටහිර ලෝකයේ හා ඉන්දියාවේ එවැනි එකතුවක් දැකිය හැක්කේ මහින්ද රාජපක්‍ෂට එරෙහිවීම එක්තරා අතකින් ගත්කල මහින්දගේ ජයග්‍රහණයක් බව ද කියා පාමිණි.  රුසියාවේ පුටින්ටවත් ඒ අතින් ලංකාවේ මහින්ද පරාජය කළ නො හැකි ය. සිංහල බෞද්ධයෝ නැවතත් මහින්ද රැකගත්තෝ ය. ජ වි පෙරමුණ, එ ජ නි සංධානයේ ඡන්ද යම් ප්‍රමාණයකට නොකඩන්නට සංධානය මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට තිබිණි. ජ වි පෙ මොන බයිලා කීව ද ඔවුහු ද තමන්ට විශේෂිත වූ පොතේගුරු න්‍යායකට අනුව මහින්ද විරෝධි වෙති. ජ වි පෙරමුණට මැතිවරණයේ දී ඡන්දය දුන්නෝ ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාලට ජ වි පෙරමුණ වෙනුවෙන් ඡන්දය දුන් අය ම නො වෙති. 

මහින්ද විරෝධය යනු අවසාන විග්‍රහයේ දී යටත්විජිත ගැති බව වෙයි. තිස්ස විතාරණට හා ඩිව් ගුණසේකරට ඇති යටත්විජිත විරෝධය මෛත්‍රිපාල සිරිසේනටවත්, චම්පක රණවකටවත්, අනුර දිසානායකටවත්, වික්‍රමබාහු කරුණාරත්නටවත් නැත. යටත්විජිත ගැති බව එක් අතෙකින් පැන නගින්නේ සිංහල බෞද්ධ විරෝධය මගිනි. මෙයින් කියැවෙන්නේ තිස්ස විතාරණ හා ඩිව් ගුණසේකර සිංහල බෞද්ධයනට පක්‍ෂපාති බව නො වේ. අද මහින්ද විරෝධීන්ගේ කාර්යභාරය වී ඇත්තේ මරා දැමුණු ශ්‍රී ල නි ප වළලා දැමීම ය. එහි දී ඔවුහු මෛත්‍රිපාල සිරිසේන උපරිම ලෙස යොදා ගනිති.

අප බොහෝවිට කියා ඇති පරිදි ශ්‍රී ල නි ප මෙරට ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්වීම ඇරඹුයේ පනහේ දශකයේ මුල මින්නේරිය අතුරු මැතිවරණයෙන් පසුව ය. එයින් පසු එහි ගමන්මග වෙනස්කිරීමට මින්නේරියට පසු කලෙක තරග කළ සිංහල බෞද්ධ විරෝධී විජය කුමාරතුංග, ජනවේග කල්ලියේ කමාර් රුපසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග ආදීහු උත්සාහ කළහ. එහෙත් ඔවුහු අසාර්ථක වූහ. ශ්‍රී ල නි පක්‍ෂය නමැති කැලේ  නැසීමට කැලේ ගසක් යොදා ගැනීම ගැන මෛත්‍රිපාල කදිම උදාහරණයක් සපයයි. එය පිටුපස අප ගැන හොඳින් දන්නා ඉන්දියාව වෙයි.  

ශ්‍රී ල නි ප මරා දමා ඇත. මහින්ද කණ්ඩායම තම මාරයා යටතේ තරග කිරීමට ගොස් වැඩ වරද්දා ගෙන ඇත. ශ්‍රී ල නි පක්‍ෂයේ කණ්ඩායම් දෙකක් ඇති කළේ මහින්ද නොව ඉන්දියාව හා මෛත්‍රිපාල ය. මෝදි ඉන්දියානු ජාතිකත්වයට ගරු කළත් නැතත් ඔහු සිංහල බුද්ධාගමට විරුද්ධ ය. ඉන්දියානු දේශපාලනඥයන් අනුරාධපුර අභයගිරියේ සමාධි පිළිම වහන්සේ ඉදිරියේ කරන ප්‍රකාශ අප සතපහකට ගණන් ගත යුතු නො වේ. අභයගිරිය දුර්වල කෙරී අවුරුදු එක්දහස් පන්සියයකට පමණ පසුව, එකල දඹදිවේ ආධාරයෙන් ලංකාවේ ඇති කෙරුණු බුදුසසුන නැතිකිරීම සඳහා අද ඉන්දියාව බටහිර රටවල ද ආධාරයෙන් යම් ප්‍රමාණයකට සාර්ථක ව ක්‍රියා කරමින් සිටියි. ඉන්දියාව රනිල් මෛත්‍රි ජයග්‍රහණය ගැන ද මහින්ද පරාජය ගැන ද සතුටු වෙයි.

රනිල් පොදුවේ ගත්කල බටහිරට ද මෛත්‍රිපාල පොදුවේ ගත්කල ඉන්දියාවට ද පක්‍ෂපාති වෙති. ඔවුන් අතර විරසක ද වෙයි. ඉන්දියාව හා ලංකාව අතර පාළම ඉදිරි අවුරුදු දෙක ඇතුළත නිම කරගැනීමට ඉන්දියාව උත්සාහ දරනු ඇත. විවිධ වෙළෙඳ ගිවිසුම් මගින් ලංකාව ඉන්දියාවේ සංස්කෘතික පමණක් නොව දේශපාලන හා ආර්ථික යටත්විජිතයක් කර ගැනීමට ඉන්දියාව උත්සාහ දරනු ඇත. අප දැනටමත් එක්තරා ආකාරයකින් දෙමළ සංස්කෘතික ආධිපත්‍යයකට අඩුම තරමින් චිත්‍රපටි නැරඹීම අතින් හසු වී සිටින්නේ සිංහල සිනමාවේ මුල් දකුණු ඉන්දියානු යුගය සිහිගන්වමිනි. පනස්හයේ ලෙස්ටර සරච්චන්ද්‍ර සංස්කෘතික විප්ලවය ව්‍යාජ එකක් බව ඉදිරියේ දී තවත් පැහැදිලි වනු ඇත. එය සිහිගන්වන්නේ මාර්ටින් වික්‍රමසිංහගේ ඊනියා යථාර්ථවාදී ව්‍යාජ සාහිත්‍ය විප්ලවය ය. 

බටහිර හා ඉන්දියාව අතර චීනය සම්බන්ධයෙන් ගත්කල එකඟත්වයක් ඇති නමුත් ඉන්දියාව වඩාත් බලවත් වීම ගැන බටහිර තදබල කැමැත්තක් නො දක්වයි. මේ සියලු පරස්පර අතර රනිල් හා රනිල් අතර පරස්පර ද වෙයි. ලිච්ඡවින්ගේ රනිල් බස්නාහිර පළාත ඉන්දියානු සාගරයේ මෙගානගරය (මහා පතරංග නගරය) බවට පත්කිරීමක් ගැන කතාකරයි. මෙය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවන්නේ මෙරට තරුණයන්ට තවමත් හප හපා සිටීමට චුවිං ගම් හා පැළඳීමට බ්‍රෙස්ට්ලට් ලැබී නොමැති බැවිනි. ඒ කෙසේ වෙතත් ලිච්ඡවි රජදරුවෝ ඉතා කුඩා පාලන ඒකකයක මහාසම්මතවාදී භාරකරුවෝ පමණක් වූහ. ඔවුහු මහා පතරංග නගර ගැන නො සිතූහ. රනිල්ට ලිච්ඡවින් ගැන තව බොහෝ දේ ඉගෙනීමට ඇත. 

අද එ ජා ප හා ශ්‍රී ල නි ප අතර ඊනියා ජාතික ආණ්ඩුවක් නිර්මාණය වෙමින් පවතින්නේ යැයි කියැවෙයි. කණින් කොණින් ඒ ගැන දැන ගන්නා ජනමාධ්‍යවේදීහු පු්‍රළුල් ප්‍රචාරයක් ලබා දෙති. එහෙත් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පක්‍ෂ දෙකක් අතර ජාතික ආණ්ඩුවක් ගැන නො කියැවෙයි. පක්‍ෂ දෙකක් හෝ කිහිපයක් හෝ අතර ඇතිවිය හැක්කේ හවුල් (සභාග) ආණ්ඩුවක් පමණකි. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ 46(5) ව්‍යවස්ථාව අනුව ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගන්නා දේශපාලන පක්‍ෂය හෝ කණ්ඩායම හෝ අනෙක් දේශපාලන පක්‍ෂ හා කණ්ඩායම් සමග පිහිටුවන ආණ්ඩුවකි. මේ පිහිටුවීමට යන ආණ්ඩුවට දේශපාලන පක්‍ෂ කොපමණ අයත්විය යුතු ද? ජාතික ආණ්ඩුවකට විරුද්ධ පක්‍ෂයක් තිබිය හැකි ද? ඒ පිළිබඳ අර්ථනිරූපණයක් ලබා ගැනීමට අධිකරණයට යා යුතු ද? 46(5) ව්‍යවස්ථාවට ඊනියා වාස්තවික අර්ථකථනයක් නමටවත් දිය නො හැකි ය. එය ඒ තරමට ම දියාරු ලෙස කෙටුම්පත් කෙරී ඇත. පසුගිය පාර්ලිමේන්තුව නීති විශාරදයන් අඩු තැනක් වී යැයි කිව නො හැකි ය. ජාතික ආණ්ඩු සංකල්පය රනිල් මෛතී්‍ර යමපාලනයේ තවත් ව්‍යාජයක් පමණකි. එයින් සිදුවන්නේ හවුල් ආණ්ඩුවකට ඊනියා ජාතික ආණ්ඩු සංකල්පයක් පට බැඳී ඇමතිවරුන් සංඛ්‍යාව වැඩිකර යමපාවාදීමකට මග පෑදීම පමණකි. ඊනියා ජාතිවාදයකට විරුද්ධව කතා කිරීමට පටන්ගෙන ඇති මෛත්‍රිපාල සාම්පූර් ඉඩම් බෙදීම දැනටමත් ආරම්භ කර ඇත. අපට මෛත්‍රිපාල ඇතුළු ඊනියා මානව හිතවාදීන්ගෙන් අසන්නට ඇත්තේ එකම එක ප්‍රශ්නයක් පමණකි. එංගලන්තයේ ක්‍රිස්තියානි සංස්කෘතියට හිමි තැන ලංකාවේ කිනම් වුව බෞද්ධ සංස්කෘතියකට තිබේ ද? ඒ ප්‍රශ්නයට දෙන පිළිතුර අනුව අපි ජාතිවාදය ගැන සාකච්ඡාවක් ආරම්භ කරමු. 

මිය ගිය ශ්‍රී ල නි පක්‍ෂයට යළි පණදිය නො හැකි ය. අද නැවතත් ජාතිකත්වයේ පක්‍ෂයක් පිහිටුවීමට අවස්ථාව එළඹී ඇත. එහෙත් එය ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ වූ ජාතිකත්වයේ ව්‍යාජ නායකයන් අතින් සිදුවිය හැක්කක් නො වේ. රනිල් මෛත්‍රී ආණ්ඩුව ඊනියා ජාතික ආණ්ඩුවක් නොවූවත් තුනෙන් දෙකේ බලයක් ලබාගෙන වරදකාර මන්ත්‍රීන් බියගන්වා පළිගැනීම් ක්‍රියා මාර්ගයකට එළඹෙනු ඇත. එහි දී ව්‍යාජ නායකයන් හෙළිදරවු වනු ඇත.  

අද තිබෙන තත්ත්වය අනුව බටහිර නූතනත්වයේ නිව්ටෝනීය සුසමාදර්ශයේ දැනුම් ආධිපත්‍යය මගින් අප පාලනය කරනු ලැබෙයි. මේ සුසමාදර්ශය (paradigm) ථෙරවාදය සමග ගැලැප්පීම කලක සිට මෙරට බෞද්ධ උගතුන්ගේ කාර්යභාරයක් වී ඇත. බටහිරයන්ට කෑලිවලට (කොටස්වලට) නොකඩන සමස්තය ගැන කතාකිරීමට උත්සාහ දරණ ක්වොන්ටම් සුසමාදර්ශය පවා අවබෝධ කර ගැනීමට නො හැකි වී ඇත. ඔවුන් සිංහල බෞද්ධ සුසමාදර්ශයක්, චින්තනයක් ගැන අවබෝධ කර ගැනීම ගැන කවර කතා ද?  සිංහල වෙදකමේ සුසමාදර්ශය බටහිර වෙදකමේ නිව්ටෝනීය සුසමාදර්ශයේ දැනුම් ආධිපත්‍යය හමුවේ දේශපාලනික ව පොඩිපට්ටම් කෙරෙනු මගේ අසනීපය සමග මම නැවතත් අත්විඳිමින් සිටිමි. එය සංස්කෘතික ආධිපත්‍යයේ කොටසකි. 

මගේ ලිපි නාභිගත (focused) නොවන විසිරුණු ලිපි යැයි බටහිර අනුකාරක පඬියකු කියනු ඇත. නාභිගත වීම සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ලක්‍ෂණයක් නොවේ. ඒ බව ධර්මදේශනාවලට සවන් දෙන්නෝ දනිති. අපට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත. පනස්හයේ වැරදුණු තැන් අපට නිවැරදි කර ගැනීමට සිදු වී ඇත. ඒ කළ හැක්කේ කෙසේ ද? කාගේ නායකත්වයෙන් ද? ශ්‍රී ල නි පක්‍ෂය මරා දමා ඇති නමුත් ථෙරවාදය තම  ආයු කාලය අවසන් කරමින් සිටින නමුත් සිංහල බුද්ධාගම මැරී නැත. අප නැවතත් චුල්ලහත්ථිපදොපම සූත්‍රයට (උගත් බෞද්ධයන්ගේ එනමින් හැඳින්වෙන සූත්‍රයට නොව) පමණක් නොව දම්සක් පැවතුම් සූත්‍රයටත් මධ්‍යම ප්‍රතිපදාවටත් ආපසු යා යුතු ය. 

ශ්‍රී ල නි පක්‍ෂය බණ්ඩාරනායක මහතාගේ කාලයෙහි සිට මධ්‍යම ප්‍රතිපදාව ගැන කතා කරයි. චන්ද්‍රිකාට හෝ මෛත්‍රිපාලට හෝ ඇති මධ්‍යම ප්‍රතිපදාවක් නැත. මහින්ද රාජපක්‍ෂගේ කෙතරම් අඩුපාඩුකම් තිබුණත් සිංහල බුද්ධාගමකට වඩා සම්ප ඔහු ය. අද මහින්ද හැඳින්වීම සඳහා බටහිර ගැත්තන් නියෝෆැසිස්ට් බෞද්ධයා ආදී ප්‍රකාශන යොදා ගන්නේ නිකමට නො වේ. මේ ඊනියා ජාතික ආණ්ඩුව සිංහල බෞද්ධ විරෝධී ආණ්ඩුවක් මිස වෙනත් දෙයක් නො වේ. 

අවුරුදු දෙකක් කරගෙන යෑමට බලාපොරොත්තුවන නමුදු සිංහල බෞද්ධ විරෝධී ආණ්ඩුවට එතරම් ආයුකාලයක් නැත. එකිනෙකා අවිශ්වාස කරන පළිගැනීම හා ගසාකෑම මිස වෙනත් අරමුණු නැති ගැත්තන්ගේ ආණ්ඩුවකට පරස්පර විරෝධතා මත වැඩිකලක් පැවතිය නො හැකි ය. බටහිර හා ඉන්දියාව ලංකා වසන්තය මගින් ඉටුකර ගැනීමට බලාපොරොත්තුවන දේ සිංහල බුද්ධාගමට පරාජය කළ හැකි ය. එහෙත් අපි ඒ සඳහා පළමුව සිංහල බෞද්ධ චින්තනය හඳුනාගෙන බටහිර  ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ගැලවිය යුතු ය. මේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයෙන් බිහි වී ඇත්තේ ආත්මාර්ථකාමී කපටි රැළක් මිස මහාසම්මතය ගරු කරන පිරිසක් නො වේ.  මහාසම්මතය යනු කෙසේ නමුත් සියල්ලන් එකතු කිරීම නොවන බව මහින්ද රාජපක්‍ෂ තේරුම් ගැනීම මෙහි දී වැදගත් වෙයි. මහින්ද සමග මුල දී එකතුවන ශ්‍රී ල නි ප මන්ත්‍රීන් සංඛ්‍යාව සුළු විය හැකි ය. එහෙත් ඒ ප්‍රශ්නයක් නො වේ.

නලින් ද සිල්වා

2015 අගෝස්තු 24