Saturday, August 8, 2015

සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්...















ජීවිතයේ සැඳෑ සමය අභිමුව සිටින පුද්ගලයකු සිදුකරන අතීතාවර්ජනයක් පිලිබඳ කියැවෙන මෙම ගීතය සුනිල් සරත් පෙරේරා විසින් රචනා කරන ලද්දකි. ආචාර්ය දයාරත්න රණතුංගයන් මෙය සංගීතවත් කොට ගායනා කරනු ලබයි. ගීතයේ සුන්දරත්වය සේම ගීතය සැකසුනු පසු බිමද ඉතා සුන්දර නිසා එය මෙහි අවසානයේ දක්වා ඇත.    

සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා
ඈත අතීතෙන්
පියවර නඟමින්
කණ වැල අල්ලන්
කවුදෝ එනවා

මල හිරු බැස යන සැන්දෑවක (මෙහි එන කතා නායකයාගේ ජීවිතයද දැන් සැඳෑ සමයට එලඹ තිබේ) වියපත් මිනිසකු තමන්ගේ තරුණ කාලය ගැන ආවර්ජනයක යෙදෙයි.

ඔහුට කවුලුවකින් බැසයන හිරු පෙනේ. එය ඔහු දකින්නේ කාලය මිය යන ලෙසිනි. කාලය නම් අජීවී දෙයකි. නමුත් මෙහි කාලයට ජීවී ලෙසින් දක්වා ඇත."කාලය කවුළු දොරින් මිය යනවා". මෙය රූපක යොදා ගැනීමට උදාහරණයකි.  ඔහු වියපත් වූවා සේ කාලයද මියයමින් සිටී. ජීවිතයේ ඇති අනියත බව ඔහුට සිහිවේ.

ගෙවී ගිය අතීතයේ ඔහුට ඔහුගේ පෙම්වතිය සිහිවේ. අඳුරු අතීතයේ සිට ඔහුට කණ වැල අල්ලන් එන්නේ ඇයයි. ඔහුට ඇය අහිමි වුවත් ඔහු ඇය දෙස බලන්නේ වේදනාවෙන් හෝ තරහකින් නොවේ. ජීවිතය යනු එක්වීම සහ වෙන්වීම බව දැන් ඔහු අවබොද කරගෙන ඇත. ඇය ඔහු වෙත නො එන බව ඔහු දනී. ඔහුගේ මතක ඔහු වෙත ඇයව නැවත කැන්දාගෙන විත් තිබේ.

ඔහු හැරගිය පෙම්වතිය කෙරෙහි ඔහු දයාවෙන් බලයි. අතීතයේ විප්‍රයෝගයන් ඔහුට එදා දුකක් ගෙනාවත් අද ඔහු ඒ සිදුවීම් මෙනෙහිකොට සතුටක් ලබයි. කලෙක විරහව දුකක් වන සේම කලෙක එය සතුටක් ගෙන දෙන්නටද පිලිවන.

බලාපොරොත්තුව
සිතට තුරුලු වී
ඈ එන පෙර මඟ බලා හිඳිනවා
දුකට මිහිර දෙන
පාළුව තනිකම
මා වට දැවැටී කඳුළු සලනවා

මතකයේ මාවත දිගේ එන ඇය දෙස බලා සිටින්නේ බලාපොරොත්තුවයි. මෙහිදී ද රචකයා අජීවි දේ සජීවි ලෙසින් ගීතය හා මුසු කරයි. ඔහුගේ දුකට මිහිර දෙන නැතිනම් දුක නැමති සිතට රුකුල් දෙන පාලුව සහ තනිකම ඔහු අවට සිටිමින් කඳුලු සලයි. මෙහිදී ද රූපක යොදා ගැනීම මැනවින් සිදු කර ඇත. කඳුලු සලන්නේ ඔහු නොවේ පාලුව සහ තනිකමයි. 

සුනිල් සරත් පෙරේරා ගීතය පිලිබඳ මෙසේ අදහස් දක්වා තිබුනි. 

"මෙය මගේ ගී රචනා ජීවිතයේ මුල් අවධියේ රචනා වූ ගීතයක්. මා මුල සිටම ගීතයක් රචනා කිරීමේ දී කිසියම් දාර්ශනික නැඹුරුවකට ඒ ගීතය ලියන්නට උත්සාහ ගත්තා.

මේ ගීතයත් සරල ගීයක් වුවත් කිසියම් දර්ශනයක්, ජීවිතය පිළිබඳ ගැඹුරක් මතුකරන්නට අත්හදාබැලීමක් කළ ගීයක්. අපේ ගීත රචකයන් බොහෝ දෙනකු මෙවන් අත්හදාබැලීම් කරන්නට නැඹුරු වුණේ නැහැ.

”ඉරට මුවාවෙන් කාලය කවුළු දොරින් මියයනවා.

ජීවිතයේ අනියත බව මින් ධ්වනිත වෙනවා. ඒ වගේම පෙ‍්‍ර්මයේ වින්දනය ලැබූ තරුණයකු සිය ජීවිතයේ සැන්දෑ සමයේ දී අතීතය පිළිබඳ යම් ආවර්ජනයක යෙදීමක් මේ ගීතයෙන් මා කියා තිබෙනවා.

ඔහු සිය අහිමි වූ පෙම්වතිය පිළිබඳව ආවර්ජනය කරන්නේ ඈ පිළිබඳ කෝපයක් සැකයක් හෝ සැහැසිකමක් නැතිවයි. ඉතාමත් උපේක්ෂාවෙන් සංයමයෙන් යුතුව ඇය ගැන ඔහු සිහි කරනවා. එමෙන්ම කරලිය කෙරෙහි පමණක් නොව තමා කෙරෙහිද ආත්ම දයාවක් තරුණයා තුළ පවතිනවා.

”ඈත අතීතෙන් පියවර නඟමින් කණවැල අල්ලන් කවුදෝ එනවා බලාපොරොත්තුව ළයට තුරුලු වී ඈ එන පෙරමඟ බලා සිටිනවා”

ඔහුගේ බලාපොරොත්තුව තවමත් පෙරමඟ බලා සිටිනවා. බලා සිටින්නේ බලාපොරොත්තුවයි. මෙහි දී මා රූපකාර්යයට මුල් තැන දෙමිනුයි මේ ගීතය රචනා කළේ. මේ භාෂාත්මක කාව්‍ය ප‍්‍රයෝග අත්හදාබලන්නට මා උත්සාහ කළා.

’බලාපොරොත්තුව බලා සිටිනවා කාලය කවුළු දොරින් මිය යනවා’ යනාදී යෙදුම් අමුතු භාෂාත්මක ප‍්‍රයෝගයි.

වියෝ වූ පෙම්වතිය පිළිබඳව ඔහු තුළ ඇත්තේ දයාවක්. ඒ වගේ ම මා ‘විරහව‘ රසයක් ලෙස ඉස්මතු කරන්නට උත්සාහ කළා.

මළ හිරු බහින සැන්දෑවක තරුණ විය පිළිබඳ ව ආවර්ජනයක යෙදෙන වියපත් මිනිසකුගේ සිතිවිලි සංයමයෙන් යුතුව මා මේ ගීතයට ඇතුළු කළා. මගේ ගීත රචනාවට විශාරද ආචාර්ය දයාරත්න රණතුංගයන් ගේ කටහඩින් හා සංගීතයෙන් විපුල මෙහෙයක් සිදුවී තිබෙනවා.

ඔහු මේ සඳහා සංගීතය සපයා තිබෙන්නේ යමන් කල්‍යාණ රාගය මුල් කොට ගෙනයි එය ගීතයේ අර්ථයට හා ගීතයෙන් කියැවෙන කාලයට ඉතා උචිත රාගයයි.

යමන් රාගය ඉරානයෙන් ආ “ඉමන්” නම් වූ රාගයයි. ඉන්දියාවට එය ආවේ ඉරාන සංගීතඥයන් ගෙන් මේ රාගයෙන් සැන්දෑ කාලය නිරූපණය වනවාක් මෙන්ම අලුත් පරිසරයකට සිත මෙහෙයවනවා.

මගේ බොහෝ ගීතවල මේ දාර්ශනික නැඹුරුව මෙන්ම රූපක යොදා ගැනීම බහුලව දකින්නට පුළුවන්. මේ ගීතය ගීතයක් ලිවීමේදී රූපක යොදාගන්නා අයුරු පිළිබඳ නිදර්ශන සපනයවා යැයි මට හිතෙනවා.”

දයාරත්න රණතුංගයන්ද මෙම ගීතයේ සහ රචකයාගේ පසුබිමත් මෙසේ මතකයට නගා තිබුණි.

“මේ ගීතය ගැන කතා කරන කොට මගේ හිත 1960 දශකයේ අවසාන භාගය දක්වා දිව යනවා. ගීතයට අදාළ නොවූවත් මේ ටික මට නොකියාම බැහැ.

ඒ කාලේ ගීත ක්ෂේත‍්‍රයට කොහෙත්ම සම්බන්ධයක් නැති හෝටල් ක්ෂේත‍්‍රයේ රැකියාව කළ තරුණයෙක් මට නිතර ඔහු ලියූ ගී පදවැල් ගෙනැවිත් දෙනවා. ඔහු වැඩ කළේ ගෝල්ෆේස් හෝටලයේ.

මා ඔහු සමඟ මිතුරු වුණා. ඉඳහිට මාත් ගෝල්ෆේස් හෝටලය පැත්තට ගොස් ඔහු හමුවුණා. මෙතැන නම් ඔබට කොහෙත්ම ගැලපෙන තැනක් නොවෙයි” කියා මා ඔහුට කීවේ ඔහුගේ දක්ෂතා හඳුනාගත් බැවින්.

මා යෙදූ තනුව නිර්මාණය කළේ රාගධාරී සංගීතය ඇසුරින්. මේ ගීතයේ සුන්දර බව මධුර බව තීව‍්‍ර වන කාලය හෙවත් ගාන සමයට එළැඹී මා ‘යමන් කල්‍යාණ’ රාගය ඇසුරු කොට ගීත තනුව නිම කළා. මේ ගීතය වාදනයට හා ගායනයට සුදුසුවන්නේ සැන්දෑ කාලයයි."

පද රචනය : සුනිල් සරත් පෙරේරා

සංගීතය සහ ගායනය : ආචාර්ය  දයාරත්න රණතුංග
















0 comments:

Post a Comment