Main Logo

Tuesday 4 August 2015

ටී එන් ඒ මැතිවරණ ප්‍රකාශය වලංගු නැහැ

ටී එන් ඒ මැතිවරණ ප්‍රකාශය වලංගු නැහැ

අද බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් බවට පත් වී ඇත්තේ දෙමළ ජාතික සංධානයේ මැතිවරණ ප්‍රකාශය ය. එහි දෙමළ ජනයා වෙන ම ජාතියක් බව, ස්වයංනිර්ණ අයිතිය, නිජබිම, උතුරු හා නැගෙනහිර පළාත් එකතු කිරීම වැනි කරුණු අඩංගු වෙයි. මේ එකක්වත් අලුත් කරුණක් නො වේ. තිම්පු යෝජනා, වඩුකොඩෙයි සම්මේලන යෝජනා ආදියෙහි මෙන් ම එයට පෙර ෆෙඩරල් හෙවත් දෙමළ රාජ්‍ය පක්‍ෂයේ (තමිල් අරසු කච්චි) ප්‍රතිපත්ති ප්‍රකාශවල ද ඒ කරුණු යම් ආකාරයකින් දැක ගත හැකි ය. මේ සියල්ලෙහි මූලික අරමුණ වනුයේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය හැකිනම් නැති කර දැමීම ය. නැත්නම් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීම ය.  


ප්‍රශ්නය අඩුම තරමින් 1833 දක්වා විහිදෙයි. එකල සිට දෙමළ ජාතිවාදීහු ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් හා ආශිර්වාදයෙන් විවිධ දේ ඉදිරිපත් කළහ. දෙමළ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කිරීම පළමුවෙනි දේශපාලන ඉල්ලීම විය. ඒ ක්‍රම ක්‍රමයෙන් විකාශය වී දෙමළ බෙදුම්වාදය බවටත් පසුව දෙමළ ත්‍රස්තවාදය බවටත් පත් විය. එහි තිබුණේ සංතතික (අඛණ්ඩ) විකාශයකි. ඒ ඉල්ලීම් සියල්ල අසාධාරණ ඉල්ලීම් විය. සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමේ අරමුණෙන් කරන ඉල්ලීම් සාධාරණ වන්නේ කෙසේ ද?

ඒ අසාධාරණ ඉල්ලීම් ලබා දීමට මායාදුන්නේ ජාතික ව්‍යාපාරයේ සිංහලයෝ මුල සිට ම විරුද්ධ වූහ. එවාට යම් ප්‍රමාණයකට වුව පක්‍ෂපාති වූයේ ජාතික කොංග්‍රසයේ පෙත්සම්කාර ප්‍රභූ සිංහලයෝ ය. මායාදුන්නේ පරම්පරාවේ සිංහලයන්ගේ විරුද්ධතාව බටහිරයන්ට ද ඉන්දියාවට ද ප්‍රශ්නයක් විය. ඔවුහු අවසානයේ දී මායාදුන්නේ සිංහලයන්ගේ තදබල විරුද්ධතාව මැද පෙත්සම්කාර ප්‍රභූ සිංහලයන්ගේ (එවකට ඔවුහු එ ජා පක්‍ෂය වටා සංවිධානය වී සිටියහ) ආධාරයෙන් කුප්‍රසිද්ධ ඉන්දු ලංකා ගිවිසුම ද දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවසථාව ද පළාත්සභා පණත ද අප මත බලයෙන් පැටවූහ. අපට ඒ  පිළිගැනීමට සිදුවූයේ ජේ ආර්, රනිල් ආදීන්ගේ නිවටකම නිසා ය.

දෙමළ ත්‍රස්තවාදය බවට පත් වී සිටි දෙමළ ජාතිවාදය දහතුනෙන් සෑහීමකට පත් නොවී ය. ඔවුහු දහතුනෙන් ඔබ්බට යන ඉල්ලීම් ඉදිරිපත් කළහ. රට බෙදීම කරා යන විසඳුම් ඉදිරදපත් කළහ. ආයුධ අතට ගෙන තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා සටන් කළහ. ඒ සටනට බටහිරයෝ ද ඉන්දීයයෝ ද, පල්ලියේ නායක පූජකවරුද, ඊනියා සිවිල් සාමාජිකයෝ ද,  රාජ්‍ය නොවන පඬියෝ ද දැනුමෙන්, මුදලෙන්, ආයුධවලින් හා වෙනත් ද්‍රව්‍යමය වශයෙන් ආධාර කළහ. එහෙත් සිංහලයෝ අවසානයේ දී මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන නායකත්වයෙන් 2009 මැයි 18 වැනි දා හමුදා මෙහෙයුම්වලින් ඒ සටන පරාජය කළහ. 

ඒ සටනෙන් පරාජය වූයේ කුමක් ද? එතෙක් කළ සියලු ඉල්ලීම් අවසාන සටනට ද වලංගු විය. 1833 සිට සිංහලයන්ට එරෙහිව පැවති සටනක් එදා පරාජය විය. එතෙක් පැවති සියලු ඊනියා සාම සාකච්ඡා ද පරාජය විය. දෙමළ ජාතිවාදයේ ඉල්ලීම්, සාකච්ඡා ආදිය දෙමළ ත්‍රස්තවාදයත් සමග කූටප්‍රාප්තියට පත්විය. නන්දිකඩාල් කලපුවේ දී ඒ සියල්ල පරාජයට පත් කෙරිණි. හමුදා මෙහෙයුුම් (යුද්ධය) මගින් දෙන්නේ ද දේශපාලන විසඳුමකි. හමුදා විසඳුම් හා දේශපාලන විසඳුම් යනුවෙන් විසඳුම් වර්ග දෙකක් නැත. ඊනියා සාම සාකච්ඡා අසාර්ථක වීම ම හමුදා විසඳුමකින් නිරූපණය වෙයි. හමුදා මෙහෙයුම් කෙරුණේ මහින්ද රාජපක්‍ෂගේ දේශපාලනන නායකත්වයෙනි. 

නන්දිකඩාල් පරාජයෙන් පසු දෙමළ ජාතිවාදයේ සියලු ඉල්ලීම් පරාජය වී ඇත. ඒවාට තවදුරටත් වලංගුබවක් නැත. දෙමළ ජාතික සංධානය ඉල්ලන්නේ පරාජය වී ප්‍රතික්‍ෂෙප වූ ඉල්ලීම් ය. මායාදුන්නේ පරම්පරාව ඒවාට කන්දීමක්වත් කළ යුතු නො වේ. මහින්ද රාජපක්‍ෂට ඒ සියලු ඉල්ලීම් ප්‍රතික්‍ෂෙප කිරීමට නෛතික හා සදාචාරාත්මක අයිතියක් ඇත. රනිල්ගේ පෙත්සම් කාරයන් බටහිරයන්ට බියෙන් නැවත දෙමළ ජාතික සංධානයේ ඉල්ලීම් පසුපස යයි. අගොස්තු 17 වැනි දා රනිල් පැරදවිය යුතු ප්‍රධානම හේතුව වන්නේ ද එයම ය.

ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පරාජය වූ නට්සිවාදීන් පසුව එංගලන්තය, ඇමරිකාව හා රුසියාව සමග සාකච්ඡා ඇති කළ යුතු යැයි කීවේ නම් චර්චිල්ගෙන් හොඳවායින් දෙකක් අසාගන්නට තිබිණි. අද දෙමළ ජාතිවාදය පසුපස සිටින කැමරන්ට චර්චිල්ගේ බසින් ම යමක් පැවසිය යුතු ය. 


නලින් ද සිල්වා

2015 අගෝස්තු 04