Tuesday, July 28, 2015

ලිබියාවට දිනා දුන් යහ පාලනය

ඩේවිඩ් කැමරන්ලාගේ දේශපාලන ක්‍රියාමාර්ග මොන තරම් විශිෂ්ට ද කියලා පසු ගිය අවුරුද්දක දෙකක ඉතිහාසය අමතක නොකර David Cameron orders plans for military intervention in Libya to take the fight to 'death cult' ISIS  ලිපිය කියෙව්වා නම් අවබෝධ කර ගන්න අමාරු නෑ.

ලිබියාව කියන්නේ ගඩාෆිගේ කාලයේ අප්‍රිකාවේ තිබුණු ධනවත් ම රාජ්‍යය. එකල ලිබියාව හැඳින්වූයේ අප්‍රිකාවේ ස්ව්ට්සර්ලන්තය නමින්. ඇත්තට ම ගඩාෆි තමන්ගේ ජනතාවට ලබා දුන් පහසුකම් ධනවත් යුරෝපා රටවල් පවා තම ජනතාවට ලබා දී තිබේ ද යන්න සැබවින් ම ප්‍රශ්නයක්.

බටහිරට සිතු සේ ලිබියාවේ තෙල් සම්පත කොල්ල කෑම සඳහා පැවති ලොකුම බාධකය ගඩාෆි. ඉතින් එහෙව් ගඩාෆි ඒකාධිපතියා කියලා ඒ රටේ ජනතාව අන්දනවා.

ඉතින් ගඩාෆිගෙන් ලිබියාව බේර ගන්න ලිබියා ජනතාව ගැන උතුරා යන සෙනෙහසින් ජිහාඩ් කල්ලිවලට සියලු අවි ආයුධ සහ ආධාර ලබා දෙන්නේ බටහිර. ගඩාෆි අයින් කළා. අද ලිබියාව කියන්නේ අමු සොහොනක්.

එදා ජිහාඩ් කල්ලිවලට බටහිර ලබා දුන් අවි ආයුධ සහ පහසුකම්වලින් උපන් ISISගෙන් ලිබියාව බේර ගන්න දැන් බටහිර නව සටනක් සුදානම්. එදා ගඩාෆි ඒකාධිපතියා කීවා. අද ISIS කියන්නේ ලෝකය හමුවේ ඇති විශාලතම තර්ජනයක්ලු.

බටහිර යම පාලන ඇම ගිල්ල ලිබියානුවන්ට තව කල්පයකට ඉන් ගොඩ ඒමක් නම් නැත. ඔවුන් තමන්ගේ රට දිව්‍ය විමානයක් කළ නායකයා පමණක් නොව ඒ සියලු සම්පත් සමඟ සිය රටේ අනාගතය ද අහිමි කර ගෙන අවසන් ය.

බටහිර ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස, යහ පාලනය ආදි සියල්ල තමන්ට අවනත නොවන රටවල් ශිෂ්ටාචාර පිටින් මිහිපිටින් අතුගා දමන පරමාණු බෝම්බ පමණි.

මේ යහ පාලන පරමාණු බෝම්බ එදා ඇමරිකාව ජපානය මතට හෙළු පරමාණු බෝම්බවලටව වඩා භයානක ය. ඒ මේ යහ පාලන පරමාණු බෝම්බ පිපිරීමෙන් විනාශයට පත් වන, ඊට ගොදුරු වන රටවල ජනතාව විසින් සතුරා ලබා දෙන බෝම්බ දෝතින් ම බදා ගෙන තමන් විසින් ම පුපුරුවා ගැනීම ය.

3 comments:

අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය said...

වැදගත් ලිපියක්. මේකේ තියෙන කරුණු තේරුම්ගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ රට ගැනත් රටේ අනන්‍යතාවයත් ජාතිකත්වය ගැනත් නිසි අවබෝධය ඇති අයට විතරයි.කොළඹ ඇතුළු නාගරික පෙදෙස් වල ඉන්න මෝඩ සර්වපිත්තල තරුණයන්ට මේව තේරෙන්නේ නෑ. උන්ට නොමිලේ දෙන ඉන්ටර්නෙට් මැක්ඩොනල්ඩ් එකේ කෑම ලාබෙට හම්බ වෙන පාන් පිටි ලඩ වගේ දේවල් රටේ ජාතික අනන්‍යතාවය ආරක්ෂා කිරීමට වඩා වැදගත්. බටහිර විජාතික කුමන්ත්‍රණ යනු මොනවාදැයි මේ බටහිර සර්වපිත්තල ලෝකය තුලම අතරමං වෙලා ඉන්න මේ තරුණයන් දන්නේ නෑ. මේ වගේ පිරිස රටේ බහුතරය වෙච්ච දාට අරාබි වසන්තය වගේ ලංකා වසන්තයක් ගෙනැල්ල මේ රට නැවත යටත්විජිතවාද දඬුකඳේ ගහන්න බටහිර අධිරාජ්‍යවාදියාට පුළුවන්. අධිරාජ්‍යවාදියා තමන්ට දක්වන ආදරේ තරම සර්වපිත්තල ගොන්තඩින්ට තේරුම් යනකොට පරක්කු වැඩියි. එතකොට ගිය නුවන ආපහු අදින්න බෑ.

designtha said...

ඔබ හරි සහෝදරයා.. (මෙම "සහෝදරයා" කියන වචනය මේ කාලෙ සමාජයට වසුරු හෙලන පිම්පි ජෙප්පන්ගෙ වචනෙ නෙමෙයි. හෙට උවදුර අද දකින අයියා හෝ මල්ලි කෙනෙක් ට හද පතුලෙන් අමතන වචනයයි )

අපේ රටේ දැන් වේගයෙන් පැතිරීගෙන යන්නේ දේශපාලනික වශයෙන් "පිම්පි" මතවාදයක්.
ඔබ කියනව වගේ මෝඩ සරුවපිත්තල කාරයන්ට KFC/ Macdonald වලින් කාල Free internet වලින් Facebook ගිහින් මෝඩ ආතල් අරන් කාලය කා දමමින් ඉන්න තියෙනව නම් වෙන මොකවත් ඕනෙ නැහැ.
රටක් ජාතියක් ආගමක් විද්‍යාත්මක දියුණුවක් නව ලෝකයක් දකින්න අවශ්‍ය නැහැ ඒ අයට. (Facebook වලින් ඉතාම හොදින් නිවරදි මතයක් සමාජගත කරන අතලොස්සක් නැතුව නෙවෙයි )
ජාතිකත්වයක්, ධර්මපාල චින්තනයක් වගෙ දෙවල් හිතාගන්නව කියන එක හිතාගන්නවත් ඒ අයට බැහැ.
නමුත් රටකට අපමණ අගයක් ලැබෙන්න අවශ්‍ය එහෙම චින්තනයක්.
මේ ලිපි ලියන "නාමල්" අදහස් දාපු "අජිත්" වගේ අය අතලොස්සක් ඇති.
හිතාගන්න බැහැ මේ ප්‍රපාතයට යන ගමන නවත්වන්න හැකි වේද කියා...
නිවැරදි සමාජ දර්ශනය රට තේරුම් ගනිවිද කියා..
නමුත් මහා ගංගාවක් ඇති වෙන්නේ පුංචි දිය පහරකින් බව පරම සත්‍යක්..
සුභ පැතුම්..!

ඩබ්.කේ said...

දාන්න පහක්................
කතාව සහතික ඇත්ත...මොකක් හරි රටක් මොකක් හරි විදියට ඔළුව උස්සලා ඉන්නවනම්...මොනවා හරි ස්වභාවික සම්පත් තියනිවනම් ඔය රටවල් හරි උනන්දුයි යහපාලනයක් පිහිටවන්න...පුදුමේ කියන්නේ උන් කරපු අළුගුත්තේරු මිනී මැරැම් ගැන හාංකවිස්සියක්වත් උන්ම නොදන්න එක...

 
සිය රට දේ සිරි සැප දේ !