නුදුරු අනාගතයේදී සැබෑවිය හැකි "Real Steel" විද්‍යා ප්‍රබන්ධය

චාලි කෙන්ටන් (හියු ජැක්මන්), මැක්ස් කෙන්ටන්(ඩැකෝටා ගොයෝ) හා ඇටම් - (c) වෝල්ට් ඩිස්නි/ඩ්‍රීම්වර්ක්ස්/ටච් ස්ටෝන් පික්චර්ස්
2011දී තිරගතවූ රියල් ස්ටීල් විද්‍යාප්‍රබන්ධ චිත්‍රපටය ඔබට මතකද? විශ්‍රාමික බොක්සිං ක්‍රීඩකයෙකුවූ චාලි කෙන්ටන් ලෙස හියු ජැක්මන් හා ඔහුගේ කුඩා පුත්‍රයා වන මැක්ස් කෙන්ටන් ලෙස ළමා නළු ඩැකෝටා ගොයෝ රඟන රියල් ස්ටීල් වසර 2020දී සිදුවෙතැයි අපේක්ශිත සිදුවීම් මාලාවක් වටා ගෙතී ඇති අගනා ප්‍රබන්ධයකි.

2020 වන විට බොක්සිං වැනි අණතුරුදායක ක්‍රීඩාවලින් මිනිසුන් ඉවත්ව ඇත. ඒ වෙනුවට රොබෝවරුන්ගේ ද්වන්ධ සටන් ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇත. මෙම සටන්වල ලෝක පූජිතයා වන්නේ  අතිදක්ශ රොබෝ ඉන්ජිනේරුවෙකු වන ජපන් ජාතික ටැක් මෂිඩෝ (කාල් යූන්) නිර්මාණය කල සියුස් (Zeus) නම් සුපිරි රොබෝවායි. අපරාජිත සියුස් හා සටනට එන්නේ මැක්ස් විසින් අපද්‍රව්‍ය අංගනයක (salvage yard) පස්වලට යටවී තිබී සොයාගත් ඇටම් නම් රොබෝවෙකි. තාක්ශණයෙන් පැරණිවුවත්, බිහිසුණු ප්‍රහාර දරාගත හැකිවන ලෙස ඇටම් නිර්මාණය කොට ඇතිබව මැක්ස් වටහා ගන්නවා.


වයසින් කුඩා වුවත් පරිගණක මෘදුකාංග නිර්මාණයේ ඉමහත් දක්ශකමක් මෙන්ම, රොබෝ බොක්සිං දවන්ධ සටන් ගැන ඇති උන්මාදනීය උනන්දුව නිසාම එම සටන්වලින් ජයගත් හා පැරදුනු සියලුම රොබෝවන්ගේ ගතිගුණ හා හැකියාවන් ගැන දන්නා මැක්ස්, අක්‍රියවතිබූ ඇටම් යලි පණගන්වා බොක්සිං ක්‍රීඩා රොබෝවෙකු ලෙස ප්‍රති-මෘදුකාංගගත (reprogram) කරනවා.  මැක්ස් විසින් සටන් හැකියාව ලබාදී දක්ශ බොක්සිං ක්‍රීඩකයෙකු වූ මැක්ස්ගේ පියා පුහුණු කරවන ඇටම් හා ලෝකශූර සියුස් අතර ද්වන්ධ සටන කෙලෙස අවසන් වෙයිද?

එලෙස දිගහැරෙන Real Steel කථාවස්තුව හුදෙක් ප්‍රබන්ධයක් නොවිය හැකි බව, රොබෝ තාක්ශණයේ හා ඩ්‍රෝන තාක්ශණයේ නිම්වලලු පුලුල්වෙන වේගය අනුව විද්‍යාඥයින් දැන් අනාවැකි පලකරනවා. මිනිස් ක්‍රීඩකයින්ට දැඩි තුවාල හා මරණීය අණතුරු සිදුවිය හැකි ක්‍රීඩා මුලින්ම රොබෝකරණය වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වනවා. රියදුරන්ට මරණීය අණතුරු ගෙන එන නැස්කා (NASCAR), ෆෝමියුලා වන් (Formula One), වර්ල්ඩ් රැලී කවුන්සිල් (World Rally Council - WRC) වැඩි අධිවේගී මෝටර් රථ තරඟ රොබෝකරණයට සූදානම් බව ඔවුන්ගේ අදහසයි. දැනටමත් කිසිදු මිනිස් රියැදුරෙකුගේ සහයක් නොමැතිව "Google Self-drive car" හා තවත් එවැනි පර්යේෂණ මට්ටමේ රොබෝ කාර් කිලෝමීටර් දහස්ගණනක් සාමාන්‍ය මහාමාර්ගවල ධාවනය කොට තිබෙනවා. එම තාක්ශණය නිශ්ච්ත ධාවන පථයක සිදුවන කාර් රේස් සඳහා අණුවර්තනය කරගැනීම ඉතා පහසු බව විශේෂඥයින්ගේ අදහස වනවා.
Google Self-Driving Car  (c) Google
නරඹන්නන්ගේ සතුට වෙනුවෙන් මිනිස් රියදුරන්නේ ජීවිත ලංසුවට තබනවාට වඩා මෙම භයානක ක්‍රීඩාව රොබෝවරුන්ට භාරදීම සුදුසු බව ඔවුන්ගේ අදහසයි. මරණයට පත්වීම හෝ සදාකාලිකව ආබාධිතවීම රැකියාශ්‍රිත උපද්‍රවයක් (occupational hazard) ලෙස සළකන ත්‍රිවිධහමුදාවන් පවා බෝහෝ අණතුරුදායක මෙහෙයුම් රොබෝවරුන් භාරදෙමින් පවතින යුගයක, විනෝදාස්වාදය සඳහා මිනිස් ජීවිත අණතුරට ලක්වෙන ක්‍රීඩාකටයුතුවල නිරත කරවීම මිනිස් ආචාරධර්මවලට (ethics) අනුකූල නොවනබවට ඔවුන් තර්කකරනවා.

මේ පිලිබඳව ලිපියක් සපයන කෝඩි බ්‍රවුන් නම් විචාරකයා, නුදුරු අනාගතයේදී රොබෝ ක්‍රීඩා ජනප්‍රියවීමට හේතුවන කරුණු 5ක් ගෙන හැර දක්වනවා.

1] රොබෝ තාක්ශණය වේගයෙන් වැඩිදියුණුවීම, කෘත්‍රිම බුද්ධිය ජංගම දුරකථනයකට සංගෘහිත කලහැකි ලෙස වර්ධනයවීම (උදා: අයිෆෝනයේ සිරී, වින්ඩෝස් ෆෝනයේ කෝටානා හා ඇන්ඩ්‍රෝයිඩ් හි ගූගල් වොයිස්), රොබෝවන්ගේ හැකියාවන් වේගයෙන් වැඩිදියුණුවීම හා එම වේගයෙන්ම රොබෝ තාක්ශණයේ මිල පහලයාම.

2] සියලුම ආකාරවල ස්වයංක්‍රීය රොබෝ තාක්ශණය සඳහා දියුණු රටවල් මෙන්ම චීනය වැනි රටවල්ද ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කිරීම හා එලෙස වැඩිදියුණුවන රොබෝ තාක්ශණය වැඩිකල් නොගොස් වාණිජකරණයවී වෙළඳපොලට පැමිණීම වාණිජ රොබෝ තාක්ශණය දියුණුවීම.

3] සැමවිටම නවෝත්පාදනයන්ට ආයෝජනය කරන්නට කැමති තරුණ ප්‍රකෝටිපතියන් අතිවිශාල ප්‍රමාණයක් පසුගිය දශක කිහිපයතුල බිහිවීම. උදා: ෆේස්බුක් නිර්මාතෲ මාර්ක් සකර්බර්ග්, ගූගල්හි ලැරී පේජ් හා සර්ගෙයි බ්‍රින්, ස්පෙස් එක්ස්/ටෙස්ලා නිර්මාතෲ ඊලෝන් මස්ක්, වර්ජින් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෲ රිචර්ඩ් බ්‍රැන්සන්, ඇමසන්.කොම් නිර්මාතෲ ජෙෆ් බෙසෝස් ගතහැකියි. මොවුන් බොහෝදෙනෙකු දැනටමත් විවිධ රොබෝ තාක්ශණික ව්‍යාපෘති සඳහා ආයෝජනය කොට තිබෙනවා. නවමු ව්‍යාපෘතියක් ලෙස රොබෝ ක්‍රීඩා තරඟ ජාතික හා ජාත්‍යන්තර තලයට ඔසවාතැබීම අධි තාක්ශණික සමාගම් නිර්මාණයෙන් ප්‍රකෝටිපතියන් වූ මෙම දක්ශ තාක්ශණඥයින් ඉදිරිපත්වන ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පලකරනවා.

4] රොබෝ ක්‍රීඩකයින් හරහා පෙර නොවී විරූ ලෙස නරඹන්නන්ට ක්‍රීඩාවට අන්තර්ග්‍රහණයවීමට හැකිවීම. උදාහරණයක් ලෙස දැනටමත් නැස්කා, ෆෝමියුලා වන් වැනි ධාවන තරඟවල සෑම කාරයකම සවිකල කැමරා මගින් ඒ ඒ රියැදුරන්ගේ ක්‍රියාකාරකම් නරඹන්නන්වෙත සජිවීව  ගෙන එයි. එපමණක් නොව ධාවනයේ යෙදෙන සෑම කාරයකින්ම,  telemetry තාක්ශණය ඔස්සේ එම කාරයේ එන්ජිමේ ක්‍රියාකාරිත්වය, වේගය, ත්වරණය, ලිහිස්සි තෙල් පීඩනය (oil pressure), බ්‍රේක් පද්ධතිය, ටයරවල වායු පීඩනය වැනි වැදගත් දත්ත සජීවීව ඒ ඒ කාරයේ තාක්ශණික කණ්ඩායම වෙත එවයි. එමගින් තරඟය සිදුවන අවස්ථාවේදී පවා විවිධ උපක්‍රම හා උපායමාර්ග මගින් සිය රියැදුරාට තත්පරයකින් සීයෙන් පංගුවක හෝ වාසියක් ලබාගත හැකි උපදෙස් ලබාදීමට ඒ ඒ කණ්ඩායමේ තරඟ විශේෂඥයින්ට හැකිවේ. ෆෝමියුලා වන් තරඟ සංවිධායකයින් දැනටමත් මෙවැනි telemetry දත්ත ක්‍රීඩාලෝලීන්ගේ ජංගම දුරකථනයට හෝ ටැබ්ලටය වෙත ගෙනාහැකිදැයි අධ‍යයනය කිරීමට ඉන්දියානු අධිතාක්ශණික සමාගමක් වන ටාටා ඉන්ෆොටෙක් සමාගම හා ගිවිසුමකට පවා එළඹ තිබෙනවා.

නිසාන් සමගමේ "ඉන්ෆිනිටි/රෙඩ් බුල්" ෆෝමියුලා වන් තාක්ශණික කණ්ඩායම ධාවන තරඟහයකදී සිය රථයෙන් ලැබෙන ටෙලිමෙට්‍රි දත්ත නිරීක්ශණය කරමින්
එහෙත් තවමත් ප්‍රේක්ශකයා හුදෙක් නරඹන්නෙක් පමණක් වන අතර තීන්දුගැනීම රියැදුරා හා ඔහුගේ තාක්ශණික කණ්ඩායම සතුවෙනවා. එහෙත් ධාවනයේ යෙදෙන්නේ රොබෝ රියැදුරෙකුනම්, එම රියැදුරා මෙහෙයවීමේ කාර්යය යම් ආකාරයකට ප්‍රේක්ශකයින්ට භාරකල හැක. මෙකල අතිශය ජනප්‍රිය ස්ටාර්ක්‍රාෆ්ට් වැනි බහු-ක්‍රීඩක පරිගණක ක්‍රීඩාවල  (mult-player computer games) මෙවැනි ප්‍රයෝග භාවිතා වනවා. ප්‍රේක්ශකයින් ගණනාවක් ලබාදෙන තීන්දුවලින් වඩාත්ම නිවැරදි තීන්දුව ක්ශණිකව තෝරාගැනීමට රොබෝ රියැදුරා හා එය සම්බන්ධවී ඇති කෘත්‍රිම-බුද්ධි ජාලයට හැකිවනු ඇති. ඒ අනුව ප්‍රේක්ශකයා ක්‍රීඩාවේ සක්‍රිය සාමාජිකයෙකු කරගෙන ඔහු/ඇය ඇඳබැඳ තබාගැනීමට හැකිවනු ඇත. එපමණක් නොව ජයග්‍රහණයකදී එම ජයග්‍රහණයේ තෑගි මුදල් එම ජයග්‍රහණයට නිවැරදි තීන්දුවලින් දායකවූ ප්‍රේක්ශකයින් අතර බෙදාහැරීමද සිදුකල හැක්කේ රොබෝවෙකුට මුදල්වලින් ඇති ප්‍රයෝජනයක් නොමැති බැවිනි.

5] රොබෝ ක්‍රීඩා තරඟ සඳහා ලබාදෙන තෑගිමුදල් හා අනුග්‍රාහක සහය වේගයෙන් වර්ධනයවීම. දැනටමත් ඩ්‍රෝන් රේසිං ලෙස හැඳින්වෙන, කුඩා ක්වඩ්-කොප්ටර් ඩ්‍රෝන යානා තරඟ උන්මාදයක් මෙන් කැලිෆෝනියාව වැනි අමෙරිකානු ප්‍රාන්තවල පැතිරෙමින් පවතින අතර, මෙම තරඟවල නියැලෙස සමහර අති දක්ශ ඩ්‍රෝන නියමුවන් සඳහා විශාල අනුග්‍රාහක මුදල් ලැබෙමින් පවතින අතර සමහර ඩ්‍රෝන නියමුවන්, ඩ්‍රෝන රේස් පියාසර කරවීම සිය පූර්ණකාලීන රැකියාව බවට පත්කරගෙන තිබෙන බව කැලිෆෝනියාවෙන් වාර්තා වනවා. ඒ අනුව ක්‍රිඩා රොබෝවන්, සටන් රොබෝවන් නිර්මාණය කිරීම, ඔවුන් මෙහෙයවීම, මෘදුකාංග නිර්මාණය කිරීම වැනි තාක්ශණික වෘත්තීන් අද පවතින හුදෙක් විනෝදාංශ අවස්ථාවෙන් මිදී පූර්ණකාලීන රැකියා බවට පත්වන කාලය වැඩි ඈතක නෙමෙයි.

Drone Racing - California 2015



Japan vs. USA Mech Battle 2016

Mech ලෙස හැඳින්වෙන් විශාල සටන් රෝබෝවකු නිදවූ මෙගාබොට් නම් අමෙරිකානු සමාගමක් තම මෙක් රෙබෝවා සමග සටනට එන ලෙස එවැනිම යෝධ මෙක් රොබෝවෙකු තනා ඇති ජපානයේ සුයිඩෝබාෂී සමාගමට කල විවෘත් අභියෝගය සුයිඩෝබාෂී මෙක් රොබෝ කණ්ඩායම භාරගත් බව සී.එන්.එන් ප්‍රවෘත්ති සේවය පසුගිය ජූලි 7 වැනිදා වාර්තාකලා. ඒ අනුව අමෙරිකානු, ජපන් මෙක්-රෝබෝ සංග්‍රාමය ලබන වසර මුලදී පැවත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා.


Mark II ලෙස හඳුන්වන අමෙරිකානු මෙක් රොබෝවා නියමුවන් දෙදෙනෙකු විසින් මෙහෙයවන, ටොන් 6ක් බර දැවැන්තයෙකි. පහරදීම සඳහා රාත්තල් තුනක් බර තීන්තබෝල (paint-balls) යොදා ගැනෙන අතර ඒවා පැයට කිලෝමීටර් 160ක වේගයෙන් විදීමට මාර්ක් 2 රොබෝවාට හැකිය.

සුයිඩෝබාෂී හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගමේ රොබෝවා කුරාටාස් ලෙස හැඳින්වෙන අතර එහි රබර් උණ්ඩ විදින අධිබල ගැට්ලිං වර්ගයේ මැෂින් තුවක්කු ආයුධලෙස සවිකොට ඇත. නවීන යුධ ගුවන්යානාවල ඇති Heads Up Display (HUD) එකකින් රොබෝ නියමුවාට දත්ත සැපයෙන අතර ගැට්ලිං මැෂින් තුවක්කු සඳහා ඉලක්කය ලබාගැනීමට නවීන targeting & fire control පද්ධතියක්ද සවිකොට ඇත.

Comments