Wednesday, July 22, 2015

එක්පෙති මලක් විය නුඹ මගේ අත්දෙකට..














සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වූ මේ ලෝකයේ සදාතනික ප්‍රේමය නම් මායාවක් මැයි සිතිය හැකි වුවත් එය සැමවිටම එසේ නොවේ. ආත්ම ගනන් දිගහැරුනු ප්‍රේම වෘතාන්ත ද අපට පන්සිය පනස් ජාතකයේ පවා අසන්නට ලැබේ. නමුත් සැබෑ යථාර්ථය නම් එයට වෙනස් නිසා දෝ මන්දා ආනන්ද අමරසිරි ගේය පද රචකයානන් ට මෙසේ සිතෙයි "සදා කාලික නොවූ ලෝකේ.. සදා කාලික ප්‍රේමයක්,සොයා නෙක ගම් දනවු පීරා.. ගෙවූ කාලය සිහිනයක්". නමුත් සදා කාලික නොවූ ලෝකේ හැඟීම්බර පෙම්වතකු තම පෙම්වතිය අහිමිවීම විඳින නැතිනම් විඳවන ආකාරය අප ආදරණීය ගේය පද රචක බන්දුල නානයක්කාරවසම් මෙසේ පද ගලපයි. ඉතා සංවේදී කට හඬකට උරුම කම් කියන රොහාන් ශාන්ත බුලේගොඩ රෝහණ වීරසිංහයන් ගේ සංගීතය හරහා අප සිතුම් ස්පර්ෂ කරයි.  

එක්පෙති මලක් විය නුඹ මගේ අත්දෙකට..
නෙළා නොගත්තේ මගේ බෝසත්කමට..
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට..
ආවේ ඇයිද විරහින් සිත අද්දරට..

එක්පෙති මල යනු මහනෙල් මලයි. තරුණයා තමන් ඇයට කෙතරම් ප්‍රේම කරනු ලැබුවේද යන්න මෙයින් ඉදිරිපත් කරයි. ඇය ඔහුට පහසුවෙන් නෙලා ගැනීමට නැතිනම් කායිකව සහ මානසිකව පාවිච්චි කිරීමට හැකියාව තිබුනත් ඔහු එසේ නොකරයි. බෝසත් ගුන නම් උතුම් උසස් ගුණ යන්නයි. ඔහුගේ ඒ මිනිසත් කම් පිලිබඳ ඔහු අදටත් සතුටුවෙයි. ඔහු ප්‍රේමයට කෝඩු කාරයකු නොවේ. ප්‍රේමය මෙන්ම විරහවත් ඔහුට හුරුය පුරුදුය. නමුත් ඇය වෙනුවෙන් පෙර නොවූ ලෙස ඔහුගේ සිත වැලපෙයි. ඒ ඔහු ඇයට සත්‍ය ලෙසම ප්‍රේම කර ඇති නිසාය. ඇය හැර යන දින ඔහු ඇය බැලීමට වත් නොයයි. නමුත් ඔහුගේ සිතින් ඔහුට වසන් වීමට නොහැකිය. ඔහු ඔහුගෙන්ම ප්‍රශ්ණ කරන්නේත් එයයි. මේ වැලපීම ශාරීරිකව කඳුලු සලා නොකරන්නක් වුවද මානසිකව සිදුවන මෙම වැලපීමට ද ඔහු අකමැතිය.

විස්මිත ගමන අදහන්නට බෑ තවම...
මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම...
සතු කරගන්න මුල්පෙම නොපිදූ බැවින...
දුක්බර සිතට කීවෙමි නොහඬන ලෙසින...

ඇයගේ හැරයාම ඔහුට කිසිසේත්ම අදහන්නට පුලුවන් දෙයක් නොවේ. මෙහිදී අදහන්නට ඔහුට නොහැකි ඔහුව හැරදමා යාම නොවේ, ඇය ඔහුව හැරදමා යාමයි. නමුත් එය සිදුවී තිබේ. හිත හදා ගත යුතුමය. මේ ඔහුගේ ප්‍රථම ප්‍රේමය නොවේ. ඉතින් එය හේතුවක් කොට ගෙනවත් ඔහු තමන්ගේ වැලපෙන සිත අස්වසාලන්නට වෙර දරයි.


සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්..

මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්...
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්..
තව කුමකට ද දුක් ගී කල්පනාවන්...


මෙහි සුවිසේශී පද කීපය නම් මේ අවසාන පද කීපයයි. අද කාලයේ ප්‍රේමයේ විප්‍රයෝගය ඇසිඩ් පහරකින්, ගඟකින්, මුහුදකින් ගෙලට තදවන පිහියකින් නිවා ගන්නා නොනිවුනු පෙම්වතුන් පෙම්වතියන් සිටින සමාජයක ඔහු නම් අගය කල යුතුමය. ඔහුට හිරිහැර කරන්නේ වෙන කිසිවකුත් නොවේ ඔවුන්ගේ මතකයයි. නමුත් ඇයට එසේ නොවන්නේ නම්, ඔහු පිදූ තරම් ආදරයත් ඇය ලබයි නම් සිතින් ඇයට සුබ පතන ගමන්ම ඔහු ඔහුගේ සිතටද යථාර්ථය පසක් කර දී මේ මානසික පීඩනයෙන් මිදීමට උත්සහ කරයි.

ප්‍රේමයේ සුන්දරත්වය ඇත්තේ හමුවීම තුල පමනක් නොවේ....

පද රචනය : බන්දුල නානයක්කාරවසම්

සංගීතය : රෝහණ වීරසිංහ

ගායනය :  රොහාන් ශාන්ත බුලේගොඩ









0 comments:

Post a Comment