Thursday, July 2, 2015

මුතු කුඩ ඉහළන මල් වරුසාවේ..



විටෙක සිනා විලෙක පිහිනන ඔවුන් තවත් විටෙක කඳුළු ගංගාවක ගිලෙයි. ප්‍රේමයේ මල් වරුසාවට තෙමෙන ඔවුන්ම විප්‍රයෝගයේ මහා කුණාටුවෙන් තෙත බරිත වී යයි. ප්‍රේමය නම් එයමයි. තමන් මුලු හදවතින්ම පෙම්කල ඔහු හෝ ඇය හැරයාම, අද බොහෝ පෙම්වතුන් විඳ ගන්නේ හැරගිය ඔහුට හෝ ඇයට ද විඳවීමට සැලැස්වීමෙනි. නමුත් මෙම තරුණයා ඔහුට අහිමිවූ ප්‍රේමය දෙස උපේක්ෂාවෙන් බලයි. ප්‍රේමයේ සොඳුරුතම විඳීම එයම නොවේද?  

අරුත් පුන් ගීත ගනනාවකටම හිමිකම් කියන ආදරණීය ලූෂන් බුලත්සිංහල විසින් රචිත තවත් එක් සුන්දර ගීතයකි "මුතුකුඩ ඉහළන මල් වරුසාවේ" ගීතය. බොහෝ ගීත වලට පසුබිම් වූ මහනුවර නගරය මෙම අපූරු ගීතයතට ද පාදක වී ඇත. මෙම ගීතය ද අද මෙන් රූපන අවශ්‍ය නොවන, ගීත රචකයා විසින්ම ඉතා අලංකාර වූ චිත්‍රනයක් මවන ගීතයක් .

මුතු කුඩ ඉහළන මල් වරුසාවේ..
උඩ ඉගිළෙන විට වැහිලේනී..
එබී බලා රිය කවුළු දොරින්..
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී..

අදත් වහින්නේ එදා වැටුනු මල් වැස්සමය. කුඩ පිට වැහි බිංදු වැටී මුතු ඇට මෙන් දිලිහෙයි. මහවරුසාවට කලින් අහසෙහි වැහිළිහිණි පියාඹති. මේ සියල්ල ඔහුට හුරු පුරුදු මතකයන්ය. ඔහු වැස්සේම පාරේ අයිනෙන් ඇවිදන් යයි නැතිනම් වැස්ස පායන තුරු පාර අයිනේ සෙවනකට වී සිටී.   

එකවරම ඔහු සිටි තැනින් පසුකර යන මොටර් රථයක කවුළුවක් පහත්වී.. ඔහුගේ දෑස හොඳින් හඳුනන රුවක් පෙනේ. මෙහිදී මොටර් රථයේ ඇය ඔහු දෙස බැලුවා නොව හුදෙක් අවට බැලුවා වන්නට පිලිවන. කෙසේ නමුත් මේ රුව ඔහුට බොහෝ හුරු පුරුදුදුය. ඒ වෙන කිසිවකු නොවේ ඔහු තවමත් ආදරය කරන ඇයයි. ඇය දුටු ඒ නිමේශය ඔහුගේ සිත කෙතරම් සසල කරවන්නට ඇති ද? ඇය රැගත් මොටෝරිය නොපෙනී ගිය වේගයෙන්ම ඔහුගේ සිත සුන්දර මතක ගොන්නකින් පිරුනු ඔවුන් ගේ අතීතයට දිවයයි. 

අඳුරු ලලා...
සෙංකඩගල වැස්සේ
දිය දහරා...
පාටයි දේදුන්නේ..
තෙමි තෙමී ආදර මධු වැස්සේ..
ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ..

මේ මුතු වරුසාව ඔහුට බොහොම පුරුදුය. මේ මාවත් වල ම එදා ඇය සමඟ එකම කුඩේ යටින් උණුහුමට තුරුලුවී ගිය හැටි ඔහුට සිහිවේ. අඳුර ගලන සෙංකඩගල පුරයේ මහ වැසි එදා නම් ඔහුට මධු වැසිම විය. ඒ ඇය ඔහු ලඟින් සිටි නිසාවෙනි. අද බොර පැහැයෙන් ගලායන බොරදිය එදා නම් දේදුනු සප්ත වර්ණයෙන්ම ය ගලා ගියේ. ප්‍රේමයේ සුන්දර බව එයයි. අද මෙසේ වැස්සට මුවාවී සිටන ඔහු එදානම් ඇය සමඟ වැස්සට තෙමුනේ ඉතා කැමැත්තෙනි. මෙසේ වැස්සේ තෙමී නොතෙමී ඔවුන් කී දවසක් නම් මේ මංමාවත් වල ම කොතරම් නම් ඇවිද ඇතිද. එසේ ඇවිදින අතරතුර ඔවුන් ඔවුන්ගේ අනාගතය ගැන කෙතරම් නම් සිහින මවා ඇතිද. නමුත් අද එය සිහිනයක්ම පමණකි. ඇය සමඟ ඒ මොටෝරියේ ගිය අනෙක් පුද්ගලයා ඇයගේ පෙම්වතා හෝ එයටත් වඩා ඇයට අයිතිවාසිකම් ඇත්තකු විය හැකිය. අද ඔහුට ඉතිරිව ඇත්තේ සුන්දර මතකයන් පමණි.    

රිය ඇතුළේ...
උණුසුම ඔබට දිදී
නහවයි මා
රියසක මඩ වතුරේ
නෑ හිත රිදුණේ අදත් එදා සිහිවී
අපේ සබඳ කම් නෑ රිය සක දන්නේ  

මෙම ගීතයේ සංවේදනාත්මකම පද පෙළ නම් ඉහත පද පෙළයි. ඇයව අහිමි වීමෙන් ඔහු පත්ව ඇති අසරණ බව සහ එය ඔහු විඳගන්නා ආකාරය යන දෙකම ඉහත පද පෙළින් ඉතා සුන්දර ලෙස රචකයා ඉදිරිපත් කරයි.

එදා ඔහුට ආදරයේ උණුහුම දුන් ඇය අද වෙනකෙකු සතුය. ඇයට, ඔහු වියෝගය නැමති මහ වරුසාවෙන් තෙත බරිතවී සීතලෙන් ගැහි ගැහී සිටින බව නොවැටහෙයි. වේගයෙන් ඇදී යන රියේ රෝදයෙන් විසිවූ මඩ වතුර පහරකින් ඔහු නැහැවී යයි. ඔහු කෝප විය යුතු වුවත් ඔහුට තරහ නොයයි. ඒ ඇය නොදනිතත්, ඇයගේ සුවිසල් මොටෝරියේ රිය සක නොදනිතත්, ඔවුන් දෙදෙනාගේ සබඳකමේ වටිනාකම් ඔහු දන්නා බැවිනි. උපෙක්ෂාවෙන් එම සිදුවීම ඔහු ඉවසන්නට තරම් ඔහු ඇයට කෙතරම් නම් ප්‍රේම කර ඇතුවා විය හැකිද. 

ඔහු ඇය සමඟ ගෙවූ සෑම තත්පරයක්ම විඳිනවා මෙන්ම ඇය වෙන් වුවද එයද පෙර වූ ස්නේහයෙන්ම විඳී. ඔහු විඳින්නේ හෝඉඳ හිට විඳවන්නේ ඇය නොව ඔවුන් විසින් නිමැවූ මතකයන් පමණකි.

කාලය බොහෝ දේ වෙනස් කරයි. වෙනස් නොවන එක දෙයක් වේ.. ඒ හෘද සාක්ෂියයි.

පද රචනය : ලූෂන් බුලත්සිංහල

සංගීතය සහ ගායනය :  රෝහණ වීරසිංහ

















0 comments:

Post a Comment