පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, July 1, 2015

පිළිකා රෝගීන්ට සුබ ආරංචියක් - Good News for Cancer Patients

මෙලනෝමා තත්වයන්

අප පිළිකා යනුවෙන් පොදුවේ හඳුන්වන රෝගය ‛මෙලනෝමා’ (melanoma) සහ ‛කාසිනෝමා’ (carcinoma) යන කාණ්ඩ දෙකට වර්ග කෙරෙනවා. එයින් මෙලනෝමා යනු සම මතුපිට ඇතිවන පිළිකා වර්ග වන අතර කාසිනෝමා යනු සිරුර තුළ ඇතිවන පිළිකා වර්ගයි. පොදුවේ සියලු පිළිකා සුවකිරීම සඳහා නිතිපතා විවිධ පර්යේෂණ සිදුවෙමින් පැවතියත් ඒ බොහෝ ඒවායෙන් සියයට සියයක්ම සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට හැකියාව ලැබී නැහැ. නමුත් මෑතකදී බ්‍රිතාන්‍යයේ සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ‛මෙලනෝමා’ වර්ගයේ පිළිකා සුවකරගැනීම සඳහා එක්තරා ප්‍රතිකාර ක්‍රමයක් වර්ධණය කොට තිබෙනවා.

මෙය එක්තරා ප්‍රබල ඖෂධ වර්ග දෙකක සංයෝගයෙන් ලබාදෙන්නා වූ ප්‍රතිකාර ක්‍රමයක් වන අතර එහිදී පිළිකා ටියුමර හැකිලී යන බව සොයාගෙන තිබෙනවා. මෙය පිළිකා රෝගීන්ට සුබ ආරංචියක් බව නම් නිසැකයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ යේල් සරසවියේ ප්‍රධාන වෛද්‍ය පර්යේෂක මහාචාර්ය රෝයි හර්බස්ට් පවසන්නේ මෙම ප්‍රතිකාර ක්‍රමයේදී පිළිකා සෛලවලට  ප්‍රහාර එල්ල කරන්නට යොදාගන්නේ සිරුරේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතියම බවයි. මෙතෙක් පිළිකා රෝග සඳහා භාවිත කළ රසායනික චිකිත්සක ක්‍රම වෙනුවට මෙය යොදා ගත හැකි බවත් ඔහු පවසනවා. 

රෝයි හර්බස්ට්

මෙම පර්යේෂණය සඳහා රෝගීන් 945 දෙනෙකු යොදාගත් අතර ඔවුනට ‛ඉපිලිමුමාබ්’ (ipilimumab ) සහ ‛නිවෝලුමාබ්’ (nivolumab ) යන ඖෂධ භාවිතයෙන් ප්‍රතිකාර කරනු ලැබුවා. මෙම ප්‍රතිකාරවලින් පිළිකාවේ වර්ධණය වසරකට 58% කින් නතර වූ බව නිරීක්ෂණය කරන්නට හැකි වුණා. එහිදී මාස 11.5ක කාලයක් තුළ පිළිකා ටියුමරය එකම ප්‍රමාණයේ පැවතීම හෝ හැකිළීම ද මෙහිදී දක්නට ලැබුණා.

බ්‍රිතාන්‍ය රාජකීය මාර්ස්ඩන් රෝහලේ උපදේශක වෛද්‍යවරයකු සේම එක්සත් රාජධානියේ ප්‍රධාන පෙළේ පර්යේෂකයකු ද වන වෛද්‍ය ජෙම්ස් ලාර්කින් බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවය හමුවේ පවසා සිටියේ මෙම ඖෂධ දෙක වෙන් වෙන් වශයෙන් ලබාදෙනවාට වඩා එකට ලබාදීමෙන් පිළිකාවලට එරෙහිව සටන් කරන්නට ප්‍රතිශක්තිකරණ පද්ධතියට වැඩි ශක්තියක් ලැබෙන බවයි. එමෙන්ම මෙයට පෙර හඳුනා නොගත් පිළිකා ටියුමර හඳුනාගෙන ඒවාට එරෙහිව ප්‍රතික්‍රියා කොට ඒවා විනාශ කර දමන්නටත් හැකියාව ලැබී ඇති බව ද ඔහු  පවසනවා. මෙයට පෙර කළ කිසිදු ප්‍රතිකාර ක්‍රමයකදී පිළිකා ටියුමර 50%කට වඩා හැකිළී යනු තමන් දැක නැති බව ද ඔහු සඳහන් කරනවා.

“පිළිකා සඳහා සිදුකරන ප්‍රතිකාරවල අනාගතය සුබදායක බවයි අපට මෙයින් පෙනෙන්නේ” යැයි ඔහු වැඩිදුරටත් සදහන් කොට සිටියා. 

විකී බ්‍රවුන්

‛ඉපිලිමුමාබ්’ යනු පිළිකා සඳහා භාවිත කරනා වඩාත් උසස් ඖෂධයක් ලෙස බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය විසින් පසුගිය වසරේදී  අනුමත කරනු ලැබුවා. මෙය සෑම මාස තුනකට වරක්ම එන්නත් මාර්ගයෙන් ලබාදිය යුතු අතර ඒ සඳහා වසරකට පවුම් ලක්ෂයක පමණ (රුපියල්  දෙකෝටියකට වැඩි මුදලක්) වැය කරන්නට ඔවුන්ට සිදුවුණා. ‛නිවෝලුමාබ්’ ඖෂධය පිළිකා ටියුමරය අවසන්වන තුරුම සෑම සති දෙකකටම වරක් ලබාදිය යුතු වෙනවා. මේ නිසා ශ්‍රී ලංකාව වැනි දිළිඳු රටක රෝගීන්ට තවමත් මෙම ඖෂධවලින් පිහිටක් කෙටි කලකින් ලබාගත හැකි වේද යන්නත් ගැටලුවක්.

එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනයේ වෛද්‍ය ඇලන් වෝර්ස්ලි පවසන්නේ මෙම ඖෂධ දෙකෙහි එකතුව එක්වර එල්ල කරන පහර දෙකකට සමාන බවයි. මෙම ඖෂධ දෙකෙහි අතුරු ආබාධ ලෙස වෙහෙසකර බව හා පාචනය ඇතිවිය හැකි යැයි පැවසෙනවා.

මෙම ප්‍රතිකාර ක්‍රමය නිසා සහනය ලබාගත් පාසල් ගුරුවරියක ලෙස සේවය කළ කාන්තාවක වන්නේ 61 හැවිරිදි විකී බ්‍රවුන්. 2013 වසරේදී වෛද්‍යවරු පවසා සිටියේ ඇයට ජීවත්වීමට වාසනාව ඇත්තේ තව මාස කිහිපයක් පමණක් බවයි.  ඇයට චර්ම පිළිකාවක් වැළඳී තිබුණු අතර එය ඇගේ පියයුරු සහ පෙනහළු දක්වා පැතිර ගොස් තිබුණා. ඉහත සඳහන් ඖෂධ භාවිත කරමින් රාජකීය මාර්ඩ්සන් රෝහලේ සිදුකළ වෛද්‍ය පර්යේෂණ සායනයට සහභාගීවන්නට පසුගිය අගෝස්තු මාසයේදී අවස්ථාව ඇයට හිමි වුණා. සති කිහිපයක් ඇතුළත ඇගේ පිළිකා ටියුමරය තුරන් කරන්නට මේ ප්‍රතිකාර ක්‍රමයට හැකියාව ලැබුණා. ඉන් පසුව නැවත එම ටියුමරය වර්ධණය වූ අතර ඒ අවස්ථාවේදී ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර ක්‍රමයෙන් එය ඉවත් කරනු ලැබුවා. එය නැවත තෙවැනි වතාවටත් පැමිණ තිබෙන අතර වෛද්‍යවරු පෙර ක්‍රමයම එය ඉවත් කිරීම සඳහා භාවිත කරන්නට බලාපොරොත්තුවෙන් පසුවන බවයි දැනගන්නට ලැබෙන්නේ.

මම මේ ප්‍රතිකාර ක්‍රමය පටන් ගත්තේ 2014 අගෝස්තු මාසයේදී. මෙහිදී දැඩි අතුරු ආබාධ මට ඇති වුණත් ඒවාට ප්‍රතිකාර කොට තවමත් ජීවත්වන්නට මට වාසනාව ලැබී තිබෙනවා” බ්‍රවුන් එසේ පවසා සිටියා.

බකිම්හැම් සරසවියේ වෛද්‍ය විද්‍යාලයේ පිළිකා සම්බන්ධ මහාචාර්යවරයකු වන කැරොල් සිකොරා පවසන්නේ මෙම ආශ්චර්යමත් සොයා ගැනීමක් බවයි.

අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇතැම් පිළිකාවලට යම් ප්‍රතිරෝධයක් වර්ධණය කරගත්තත් පිළිකාව නසා දමන්නට තරම් හැකියාවක් ලබාගත්තේ නැහැ. නමුත් මේ ඖෂධ දෙකෙහි සංයෝගය නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඒ හැකියාව ලැබී තිබෙනවා.

තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මේ ප්‍රතිකාර ක්‍රමය සැබවින්ම පිළිකා රෝගයෙන් පීඩා විඳින් අනන්ත වූ රෝගීන්ගේ සිතට යම් බලාපොරොත්තුවක් ඇති කරන්නක් බව කිව හැකියි. පර්යේෂණ මට්ටමේ පවතින බැවින් ප්‍රතිකාර සඳහා දරාගන්නට බැරි තරම් මුදලක් වැය වුවත් අනාගතයේ මෙයට වඩා සුබ අපේක්ෂාවන් මේ ප්‍රතිකාර ක්‍රමය ගැන තබාගන්නට හැකිවේවි.



5 comments:

  1. Chemotherapy වලට වඩා හොද ඕනම දෙයක්
    ඇත්තටම හොද නිවුස් එකක්. සමහරවිට බලාපොරොත්තුවක්

    ReplyDelete
    Replies
    1. අපි හැම වෙලාවකම පතන්නේ ‘සියලු සත්වයෝ නිදුක් වෙත්වා‘ කියලනේ. ඒ නිසා මේ ප්‍රතිකාර ක්‍රම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමු.

      Delete
  2. දවසක හොදටම හොද කරන්ඩත් පුළුවන් වෙයි!!!

    ReplyDelete
    Replies
    1. අප කාගෙත් පැතුම එයයි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න