Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Wednesday, July 1, 2015

කලාම් තියරියෙන් ජීවිතයට යමක් - ජීවිතය සමබර කරගනිමු.

එදිනෙදා සාමාන්‍ය ජීවිතය ගත කරද්දි අපිට විවිධ අත්දැකීම් තුලින් යමක් අපේ ජීවිතයට එකතු කරගන්න පුලුවනි. තමන් ජීවිතය ගත කරනකොට තමන්ගෙ සාර්ථකත්වය වෙනුවෙන් ඒ ඒ අත්දැකීම් මත පදනම් වෙලා සමහර තීරණ ගන්නා අවස්ථාවනුත් ජීවිතයේ තියෙන්න පුලුවනි. බොහෝවිට තමන් යම් අත්දැකීමක් ලබා ගත්තම ඒ අත්දැකීම තුලින් තමන් ඉගෙනගත්තු දේ අන් අයට දැනගන්න සලස්වන අය අප අතර ඕන තරම්.
තමන් ලබපු අත්දැකීම් අන් අයට ප්‍රකාශ කරලා ඒ අයට තීරණ ගනිද්දි  තමන්ගේ අත්දැකීම් උපකාරයක් කළාට සමහරු ඒ අත්දැකීම් තමන්ටම උපකාරයක් කර නොගන්නා අවස්ථා වුනත් අපි අතර දකින්න පුලුවනි. 

ඉතින් ප්‍රසිද්ධ පුද්ගලයෙක් තමන්ගෙ අත්දැකීම් මත නිර්මාණය කරගත් නියමයන් වෙත සාමාන්‍ය ජනතාව අවධානය යොමු කරනවා වැඩියි. ඒ වගේ ජීවිතයට උපකාර කරගන්න පුලුවන් නියමයන් කීපයක් ඉදිරිපත් කරපු කෙනෙක් තමයි "අබ්දුල් කලාම්" මහතා. ඉන්දියන් ජාතිකයින් පිළිබදව අපේ සමහර අය තුල තියෙන්නෙ හොද ආකල්පයක් නොවුනට කලාම් මහතා කියපු සමහර දේවල් ජීවිතය සාර්ථක කරගන්න වැදගත් වේවි. 

පහත දක්වන්නෙ  රැකියා කරන අයට වැදගත් වෙන්න පුලුවන් ප්‍රකාශ කීපයක්. ඉදිරිපත් කරලා තියෙන්නෙ ආචාර්ය අබ්දුල් කලාම් මහතා.

http://www.chiraag.in/always-leave-office-on-time/

රැකියාවට ආදරය කරන්න. නමුත් ඔබේ ආයතනයට ආදරය නොකරන්න. ඔබේ ආයතනය ඔබට ආදරය කිරීම නවකන දවස ඔබ නොදන්නවා විය හැක. රැකියාවට ආදරය කිරීමත් ආයතනයට ආදරය කිරීමත් දෙකක් විදියටත් එකක් විදියටත් දකින්න පුලුවනි. රැකියාවට ආදරය කරනවා ආයතනයට ආදරය නොකරනවා කියන දෙයින් තමන් රැකියාව කරන ආයතනයේ අනාගතය වෙනුවෙන් හා යහපැවැත්ම වෙනුවෙන් කටයුතු නොකරනවා කියන දේ අදහස් වෙන්නෙ නෑ. මොකද කෙනෙක් රැකියාවට ආදරය කරනවා නම් තමන්ගෙ ආයතනයේ වර්ථමාන හා අනාගත යහපැවැත්ම වෙනුවෙන් අනිවාර්යෙන්ම කටයුතු කරනවා. තමන්ගෙ රැකියාවට ආදරය කරන කෙනා ආයතනය වෙනුවෙන් තමන්ගෙ  වැඩකටයුතු අතපසු කිරීමක් සිදු කරන්නෙ නෑ. ආයතනයට ආදරය කරනවා කියලා මෙතනදි සරලව අදහස් කරලා තියෙන්නෙ තමන්ගෙ ජීවිතේ අනෙකුත් දේ අතපසු කරලා දෛනික ජීවිතේ වැඩි කොටසක් ආයතනය ඇතුලෙම ගතකරනවා කියන එක. ඒ වගේම දෛනිකව තමන්ගෙ ආයතනය වෙනුවෙන් කරන්න තියෙන වැඩ කටයුතු ආයතනයෙන් පිටදිත් කරන්න රැගෙන යන අය අපි දැකලා තියෙනවා. මොකද ආයතනයේ වැඩ වැඩියි,ඉවර කරන්න වෙලාව මදි. ඉතින් ගෙදර අරන් ගිය වැඩ ටික ගෙදරදි ඉවර කරන්නත් බැරිව ආයෙත් පහුවදා රැකියාව කරන තැනටම ගේන්න සිදුවෙන්න පුලුවනි. ඉතින් ගෘහස්ථ ජීවිතයක් නැති තරම්. 

නියමිත වෙලාවට රැකියා ස්ථානයෙන් පිටවන්න. රැකියා ස්ථානයෙන් රාජකාරි වේලාවන් නිර්ණය කර තිබෙනුයේ සේවකයාගේ ජීවිතය සමබර ලෙස ගෙන යාමටත් සේවකයාගෙන් උපරිම ඵලදායිතාවක් ලබා ගත හැකි අන්දමටත්ය. එබැවින් නිර්ණය කරන ලද කාලසීමාවෙන් පිටදී රාජකාරි ස්ථානයේ රැදී සිටිම සේවකයාට මෙන්ම ආයතනයටද අවාසිදායකය. සමහර ආයතන පිරිසිදුකිරීම් හා නඩත්තු කිරීම් සිදු කරනුයේ සේවකයින් වැඩි පිරිසක් ආයතනය තුල නොමැති විට බැවින් ඊට අදාල නොවන සේවකයින් ආයතනයේ රැදී සිටීම එම කටයුතු වලට බාධාවක් විය හැක.

වැඩ කියන දේ කවමදාකවත් ඉවරයක් වෙන්නේ නැති ක්‍රියාවලියක්. අපි වැඩිපුර රැදී ඉදලා වැඩ කිරීමෙන් වැඩ අවුල් වීමක් මිසක් අවසන් වීමක් සිදු නොවන්නේ අපේ ජීවිතේ අනෙකුත් දේ අතපසු වීමෙන් ඇතිවන ගැටලු වලට රැකියාව කරන වෙලාව ගතකරන්න සිදුවෙන නිසා. තවද රැකියාව වෙනුවෙන් විශාල කාලයක් ගත කිරීම නිසා රැකියාව ඒකකාරී වීමත් නිර්මාණශීලි බව අඩු වීමත් නිරවද්‍යතාව අඩු වීමත් සිදු විය හැක. ඒකාකාරී වූ රැකියාවක් කිරීමේදී සේවකයා උනන්දුවෙන් කටයුතු කිරීම වෙනුවට යන්ත්‍රයක් මෙන් කටයුතු කරනු ඇත.

ඔබගේ ගණුදෙනුකරු හෝ සේවාදායකයාව දකින්න තියෙන උනන්දුව වගේම  ඔබේ පවුලේ අය දකින්නත් උනන්දු විය යුතුයි. මොකද සේවාදායකයා/ගනුදෙනුකරු ඔබව බලාපොරොත්තු වන විදියටම ඔබේ පවුලේ අයත් ඔබව බලාපොරොත්තු වෙනවා. ගනුදෙනුකරු/සේවාදායකයා තමන්ගෙන් ගිලිහීයාමත් පවුලේ අය තමන්ගෙන් ගිලිහීයාමත් දෙකම සිදුනොවිය යුතුයි. තවද ඔබ රැකියාවක් කරනුයේ තමන්ගේ පවුලේ අය  වෙනුවෙන් තම වගකීම් හා යුතුකම් ඉටුකිරීමටය.

ජීවිතයේ ඇතිවන ප්‍රශ්න, පසුබැසීම් හා හදිසි අවස්ථා වලදී ඔබේ ප්‍රධානියාටත් සහෝදර කාර්යමණ්ඩලයටත් ඔබ වෙනුවෙන් කරන්න පුලුවන් දේ සීමිතයි. නමුත් ඔබේ පවුලේ අයට ඔබ වෙනුවෙන් කළ හැකි දේ අසීමිතයි.

ජීවත් වෙනවා කියනුයේ රැකියාව කරනවා පමණක්ම නොවේ. රැකියාව හැරුණු විට ජීවිතේ තවත් බොහෝ දේ කිරීමට ඇත. සමාජගතවීමට, විනෝද වීමට, සැහැල්ලු වීමට ඒ වගේම තවත් බොහෝ දේ ජීවිතය තුල දී සිදු කිරීමට ඇත. රැකියාවෙන් උපයන මුදල් වැය කළ යුත්තේ ඒ වෙනුවෙනි.

රැකියා ස්ථානය තුල වැඩි වේලාවක් ගත කරනවා කියන්නේ ඒ පුද්ගලයා ආයතනය වෙනුවෙන් කැපවී වැඩ කරනවා කියන දේ නොවේ. එනම් එම පුද්ගලයා තමන්ගේ රාජකාරි වෙලාව තුල තමන්ට පැවරුණු දේ සාර්ථකව නිම කිරීමට නොදන්නා අසමර්ථයෙකි. ඒ තමන්ගේ අසාර්ථකත්වය හා අකාර්යක්ෂමබවයි. රැකියාව තුල සමහර අත්‍යාවශ්‍ය හා හදිසි අවස්ථාවලදී රාජකාරි වේලාවෙන් පිට රාජකාරි කිරීමට සිදුවිය හැකි අතර එසේ වුවත් සෑමදාම එසේ කිරීමට සිදු වේ නම් රාජකාරියේ ගැටලුවක් හෝ ආයතනය අනතුරුදායක තත්වයකට පත්වීම නිසා එලෙස අමතරව වැඩ කිරීමට සිදු වනවා විය හැක. එබැවින් ආයතනයේ ප්‍රධානියාගේ අවධානය ඒ පිළිබදව යොමු කරවීම හා  ඒ පිළිබදව සොයා බැලීම ආයතනයටද වැදගත් විය හැක. මන්ද යත් රාජකාරි වේලාවෙන් පිට කටයුතු කරනවිට ආයතනයට මූල්‍යමය අතින් පාඩු වීම පිළිබදව ප්‍රධානියා අනිවාර්යෙන්ම සැලකිලිමත් වන බැවිනි.

ඔබ මහන්සිවී අධ්‍යාපනය ලබාගෙන ජීවිතය කැප කළේ යන්ත්‍රයක් වීමට නොවේ. එනම් අධ්‍යාපනය ලැබ රැකියාවක් ලබා ගත් පසු යන්ත්‍රයක් ලෙස ජීවත් වී තේරුමක් නැත. මන්ද යත් යන්ත්‍රයකට කිසිවක් සිතාමතා කළ නොහැක. එමෙන්ම යන්ත්‍රයක් වූ විට ලබාගත් අධ්‍යාපනයෙනුත් ජීවිතයෙනුත් තේරුමක් නොමැත.


No comments:

Post a Comment

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails