Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යහපාලනය යටතේත් ඉඩම් කොල්ලය සිදුවෙනවා

පෙර පැවති සෑම රජයක් යටතේ මෙන්ම මෛත්රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ යහපාලන රජය යටතේද ශ්රි ලංකාවේ ධීවර ප්රජාවන් සතු ඉඩම් සංවිධානාත්මකව රාජ්ය බලය යොදා  අත්පත්කර ගනිමින් සිටින්නේ යැයි ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරය චෝදනා කරයි. 

නොයෙක් නම් වලින් ක්රියාත්මක කරනු ලබන රාජ්ය ව්යාපෘතීන් විසින් ගොවි සහ ධීවර ප්රජාවන් සතු ඉඩම් බලහත්කාරයෙන් රජය සතු කර ගනිමින් සිටිම සම්බන්ධයෙන් JDSවෙත අදහස් පළ කළ සංවිධානයේ ලේකම් හර්මන් කුමාර කියා සිටියේ එසේ අත්පත් කරගත් ඉඩම් විදේශීය ව්යාපාරික සමාගම්වලට විකිණීම හෝ දිගු කාලීන බදු පදනම් යටතේ ලබා දීම ශ්රී ලංකාවේ රාජ්ය පාලනයේ නොවෙනස් ප්රතිපත්තියක් බවට පත්ව ඇති බවයි. 

"පැහැදිලි ලෙසම වත්මන් ආණ්ඩුව මේ කරන්නෙත් ඉඩම් මංකොල්ලකෑමක්. හැම රජයක්ම මේ රටේ ගොවියන්ගේ, ධීවරයන්ගේ ඉඩම් ටික බලහත්කාරයෙන් අයිතිකරගෙන විදේශීය සමාගම්වලට විකුණනවා. එහෙම නැතිනම් මොකක් හරි නමකින් ව්යාපෘතියක් අටවලා ඒක ක්රියාත්මක කරන්න සමාගම්වලට දිගු කාලීන බදු පදනම යටතේ ලබා දෙනවා. මේ සඳහා තමන්ට නීත්යානුකූල බලයක්  ඇතැයි පෙන්වීමට මේ බලධාරීන් සැමවිටම උත්සාහ ගන්නවා. බලහත්කාරයෙන් කරන මේ ඉඩම් මංකොල්ලයට අවශ්ය නෛතික රැකවරණය ලබාගන්නට ආණ්ඩුව මොකක් හරි පනතක්, ගැසට් එකක් ප්රසිද්ධ කරනවා," ඔහු කියා සිටියේය.

රනිල් වික්රමසිංහගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා

බලහත්කාරයෙන් සිදුකරන මෙම ඉඩම් අත්පත්කර ගැනීම් සඳහා බොහෝ විට උපයෝගි කොට ගනු ලබන්නේ නව ව්යාපෘතින් බවත් ඒවායින් බොහෝමයක් විදෙස් ආයෝජනයන් මත පදනම් වන ඒවා බවත් කියා සිටින හර්මන් කුමාර, මේ වන විට මෙම ඉඩම් මංකොල්ලයට වැඩි වශයෙන්ම ගොදුරුව සිටිනුයේ ධීවර ප්රජාව බවද පෙන්වා දෙයි. එසේම ධීවර ඉඩම් බලහත්කාරයෙන් ආණ්ඩු විසින් අත්පත්කර ගැනීමේ ක්රියාවලිය මහා පරිමාණයෙන් ක්රියාවට නැගීම ආරම්භ කෙරුනේ 2001 වසරේ රනිල් වික්රමසිංහ රජය යටතේ සිට යැයි අවධාරණය කරන ඔහු එයින් පසු පත්වු සෑම රජයක්ම එම පිළිවෙත පෙරට ගෙනගිය බව පවසයි.

"මේ ධීවර ඉඩම් මංකොල්ලය මහා පරිමාණයෙන් සැළසුම් සහගතව ආරම්භ කළේ 2001 වසරෙදි රනිල් වික්රමසිංහ ආණ්ඩුවේ 'යළි පුබුදමු ශ්රි ලංකා' ව්යාපෘතිය (Regaining sri lanka) යටතේ දියත් කළ ඒ සංචාරක ප්රවර්ධන වැඩසටහනක එක් අදියරක් විදියටයි. එම ව්යාපෘතියට අනුව ශ්රී ලංකාවේ දකුණ සහ නැගෙනහිර පළාත්වල සංචාරක කලාප 15 නම් කොට ඒ සඳහා අවශ්ය ඉඩම් රජයට පවරා ගැනීමට නීති සකස් කෙරුණා. මේ  පවරා ගැනීම්වලින් වැඩි ඉඩම් ප්රමාණයක් අයත් වුයේ ධීවර කටයුතු සිදුකරන වෙරළ තීරය ආශ්රිතවයි. නමුත් බලහත්කාරයෙන් සිදුකළ  මේ ඉඩම් පවරා ගැනීම් උතුරු පලාතේ සිදු කිරීමට නොහැකි වුයේ එල්ටීටීඊ සංවිධානයෙන් ඒ සඳහා කිසිදු ඉඩක් නොලැබුණු  නිසයි."

ධීවර සහයෝගිතා ව්යාපාරය පෙන්වා දෙන්නේ, 'යළි පුබුදමු ශ්රී ලංකා' ව්යපෘතිය වෙනුවෙන් රනිල් වික්රමසිංහ රජය විසින් දකුණු සහ නැගෙනහිර පළාත්වල ධීවර ඉඩම් පවරා ගැනීමෙන් අනතුරුව එම බිම් තීරු ආශ්රිතව සංචාරක හෝටල් ගොඩනැන්වීමටත්, සංචාරක කලාප නම් කොට ඒවා ධීවර කටයුතුවලට තහනම් කිරීමටත් පියවර ගන්නා ලද බවයි. එසේ අරඹන ලද සංචාරක ව්යාපෘතීන් සඳහා වෙරළ තීරය විදෙස් සමාගම් වෙත විකිණීම වඩාත් පුළුල් සහ සංවිධානාත්මකව ක්රියාත්මක කෙරෙනුයේ මහින්ද රාජපක්ෂ රජය යටතේ ය. ඒ අනුව සකස් කරන ලද ව්යාපෘතින්වල එක් අදියරක් වන්නේ වෙරළ තීරය ආශ්රිතව සංචාරක කලාප ඇති කොට ඒවායෙහි අයිතිය විදේශීය සමාගම් වෙත සම්පුර්ණයෙන්ම විකුණා දැමීම හෝ අනු නව අවුරුදු  බදු පදනම යටතේ පැවරීමයි. 

මහින්ද රාජපක්ෂ රජයේ සංචාරක සැළැස්මට අනුව 2016 වන විට සංචාරකයන් ලක්ෂ 25ක් ලංකාවට ගෙන්වීමටත්, එයින් ඇමරිකන් ඩොලර් බිලියන තුනක ආදායමක් ලැබීමටත්, එසේම 2020 වන විට සංචාරකයන් ලක්ෂ 40 කින් ඩොලර් බිලියන අටක ආදායමක් ලැබීමටත් සැළසුම් කෙරි තිබුණු බවත් ඒ සඳහා  සමස්ත වෙරළ තීරයම ආවරණය වන පරිදිදෙන්  සංචාරක කලාප 45 ක් ඇති කිරිම වෙනුවෙන් ඉඩම් පවරා ගැනීමට විශේෂ ගැසට් නිවේදනයක් පවා නිකුත් කොට තිබු බවත් හර්මන් කුමාර පවසයි. විශේෂයෙන්ම නැගෙනහිර වෙරළ තීරය මෙම ව්යාපෘතින්වල ප්රධාන ඉලක්කයක් බවට පත්වී ඇති බව පෙන්වා දෙන ඔහු මහා පරිමාන සංචාරක නිකේතන, හෝටල්, පිහිනුම් තටාක මෙන්ම අධිවේගී බෝට්ටු ධාවනය කිරීම සඳහා වෙන් කරන ලද මුහුදු තීරයන්ද මේ අනුව පිහිටුවන ලද බව ප්රකාශ කළේය. 2009න් පසු උතුරු නැගෙනහිර වෙළර තීරය නාවික හමුදාවේ පාලනයට යටත්ව පැවති බැවින් මෙවැනි ඉදිකිරීම් හෝ ව්යාපෘතීන්වලට එරෙහිව හඬක් නැගීමට හෝ විරෝධය දැක්වීමට එම ප්රදේශවල ධීවරයන්ට කිසිදු ඉඩක් නොලැබුණි.

ශ්රී ලංකාවේ බලයට පත්වන ආණ්ඩු නිරන්තරයෙන්ම කියා සිටින්නේ තමන් කිසිදු අවස්ථාවක ගොවි සහ ධීවර ප්රජාවන් සතු ඉඩම් විදේශීය සමාගම් වෙත විකිණීමක් හෝ බදු දීමක් නොකරන බවයි. එසේම අදාළ ප්රදේශයන්හි ජීවත්වන සහ වෘත්තීන් හී නියැලෙන ජනතාවගේ විරෝධය නොතකා හරිමින් කිසිදු සංවර්ධන ව්යපෘතියක් ක්රියාවට නන්වන්නේද නැති බවද සෑම ආණ්ඩුවක් කියා සිටියි. නමුත් උතුරු නැගෙනහිර මුහුදු තීරයේ සංචාරක කලාපයන් සහ ආයෝජනයන් සම්බන්ධව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවියෙහි දැක්වෙන කල්පිටිය සංවර්ධන ව්යාපෘතිය සම්බන්ධ තොරතුරුවලට අනුව හෙක්ටයාර් 1672.67 කින් සමන්විත දුපත් 14 ක් සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරිමට නම් කොටතිබේ. එහි දූපත් පහක, එනම් බත්තලන්ගුණ්ඩුව, පල්ලියවත්ත, ඉප්පන්තිවු, පෙරිය අරිච්චාලෙයි හා මුතුවල ආශ්රිත ඉදිකිරීමට යෝජිත තරු පන්තියේ හෝටල් ගණන 10 කි. තරු පන්තියේ නොවන හෝටල් ගණන දෙකකි. එසේම පාසිකුඩා වෙරළ තීරය ආශ්රිත සංචාරක කලාපයක්ද නම් කෙරි ඇති අතර එහිද තරු පන්තියේ හෝටල්  ඉදිකිරිමට යෝජිත ය. එම ව්යාපෘතීන් සඳහා ආයෝජනය කරනු ලබන සමාගම් සඳහා පූර්ණ බදු සහන සහ අනෙකුත් යටිතල පහසුකම් හිමිවන බවද අදාළ වෙබ් අඩවියෙහි දැක්වෙයි. කෙසේ වෙතත් මේ වන විට කල්පිටිය දූපත් 14 න් දූපත් තුනක් එනම් ඉප්පන්තිවු, වෙල්ලෛ සහ මොරොට්ටුආරම සංචාරක ආයෝජකයන් සඳහා විකුණා දමා ඇති බව එහි සඳහන් ය.

යහපාලන ආණ්ඩුවේ ධීවර ඉඩම් කොල්ලය

කෙසේ වෙතත් කලින් පැවති ආණ්ඩුවේ කොල්ලකාරී සංවර්ධන ව්යාපෘතීන්ට එරෙහිව පෙළ ගැසුණු සමාජ බලවේගයන් හා කණ්ඩායම්වල උරමතින් බලයට පැමිණි මෛත්රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ද ගොවි හා ධීවර ඉඩම් කොල්ලය තවදුරටත් පෙරට ගෙන යන්නේ යැයි කියා සිටින ජාතික ධීවර සහයෝගති ව්යාපාරයේ ලේකම්වරයා, ධීවර කටයුතු සඳහා ඉතිරිව තිබු  අවසන් බිම් තීරූ කිහිපයත් විකුණා දැමීමට මේ වන විට සැළසුම් සකස් කර අවසන් බවද පෙන්වා දෙයි.

“අපි දැක්කා පසුගිය මාර්තු මාසයේදි ජර්මනියේ, බර්ලින් නුවර පැවති ජාත්යන්තර සංචාරක වෙළඳ ප්රදර්ශනයේ දි ශ්රි ලංකා ආණ්ඩුවේ නියෝජනය කළ සංචාරක බලධාරීන් ප්රකාශ කළේ මොනවාද කියලා. සංචාරක අමාත්යාංශයේ සහ සංචාරක සංවර්ධන අධිකාරියේ බලධාරින් එම ප්රදර්ශනයේදි ප්රසිද්ධියේම කියා සිටියා ලංකාවේ වෙරළාශ්රිතව ඉඩම් වෙන්දේසි කිරීමට තිබෙන බව. ඒ වගේම කල්පිටිය දූපත් සමුහයෙන් අක්කර 1200කින් සමන්විත තවත් දූපත් 11 ඉතිරිව තිබෙන බවත්, ඒවා මිළදී ගන්නා අයට 99 අවුරුදු හෝ 35 - 55 අවුරුදු යටතේ සියළු බදු සහනයන් හිමිවන බවත් ඔවුන් කියා සිටියා. මීට අමතරව කුච්චවේලි නැගෙනහිර මුහුදු තීරයේ නිලාවේලි දක්වා අක්කර 850 කුත්, මඩකලපුව පාසිකුඩා මුහුදු තීරයේ වාලච්චේන දක්වා අක්කර 150 කුත් විකිණීමට ඇති බව ලංකාවේ සංචාරක බලධාරින් එම ජාත්යන්තර වෙළද ප්රදර්ශනයේදි ආයෝජකයන් හමුවේ කියා සිටියා," යි බර්ලින් ජාත්යන්තර සංචාරක උළෙලට සහභාගී වූ ඔහු ප්රකාශ කරයි.

අවතැන් ධීවර ජනයා

දිගින් දිගටම සිදුවන ධීවර ඉඩම් අත්පත්කර ගැනීම් සහ එයින් පසු සිදුවන සංචාරක කලාපයන් පිහිටුවීම හේතුවෙන් ධීවර ජනයා අවතැන් වෙමින් නිසි පරිදි ධීවර කටයුතු කර ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව සිටින අතර සංචාරක බලධාරීන් හෝ ධීවර අමාත්යාංශයේ මේ කරුණු සැළකිල්ලට ගන්නා බවක් පෙනෙන්නට නොමැත. යුද්ධයෙන් පසු සංචාරක කලාප ඇති කිරීම වෙනුවෙන් ස්වකීය පාරම්පරික ඉඩම් සහ මුහුදු තීරයෙන් පළවා හරින ලද ධීවර ජනයා එක් ප්රදේශයක සිට තවත් ප්රදේශයකට සංක්රමණය වෙමින් ධීවර වෘත්තියේ යෙදීමට උත්සහ ගනු ලැබුවද, ඒ සෑම අවස්ථාවකදීම සංචාරක ව්යාපාර හිමි සමාගම් සහ ශ්රී ලංකා නාවික හමුදාවන්ගේ තාඩන පීඩනයන්ටත් තර්ජනයන්ටත් ඔවුන් ලක් වෙමින් තිබේ. දීර්ඝ කාලයක් යුද්ධය මුවාවෙන් තහනම් කලාපයක් බවට පත්කොට තිබු උතුරු - නැගෙනහිර මුහුදු තීරය, යුද්ධයෙන් පසුවද තවදුරටත් ධීවරයන්ට තහනම් කිරීමේ සැබෑ අරමුණ විදේශිය බහු ජාතික සමාගම් වෙත රිසි පරිදි තම ව්යාපාරික කටයුතු කරගැනීමට අවස්ථාව සැළසීම බව හර්මන් කුමාර පෙන්වා දෙයි. විශේෂයෙන්ම නාවික හමුදාව විසින් ධීවරයන්ට එරෙහි දියත් කරන මෙහෙයුම් පිටුපස ශ්රී ලංකාවේ දේශපාලන බල අධිකාරීත්වයත්,වෙරළ තීරයේ සංචාරක ව්යාපාරයන් පවත්වාගෙන යන සමාගම් ජාලයත් සිටින බව තමන්ට ඉතා පැහැදිලි යැයි කියා සිටින ඔහු මේවන විට කල්පිටිය දුපත් ආශ්රිත ප්රදේශයේ මෙම තත්ත්වය ඉතා බහුල ලෙස සිදුවන බව ද ප්රකාශ කරයි.

“අද වන විට තමන්ගේ පාරම්පරික භූමිය තුළම මේ ධීවර ජනතාව දෙවැනි පෙළ පුරවැසියන් පිරිසක් බවට පත් වී අවසන්. ඔවුන් ධීවර කර්මාන්තයේ යෙදිය යුත්තේත්, ජීවත් විය යුත්තේත් ප්රදේශයේ සංචාරක ව්යාපාරයන් සඳහා ආයෝජනය කොට සිටින සමාගම්වල කැමැත්ත පරිදියි. අද වන විට මේ සමාගම් කොතෙක් බලවත්ව සිටිනවාද යැයි කියනවා නම් ධීවරයන් කලපුවට - වෙරළ තීරයට හා පල්ලියට පමණක් නොවෙයි, ඔවුන්ගේ සුසාන භූමියට යන පාරවල් පවා වසා දමලා. සමාගම් සහ ආණ්ඩුවේ බලධාරීන්ගේ මතය තමයි, සංචාරක කලාපවල ධීවරයන් ගැවසීමෙන් ඒවායෙහි තත්ත්වය බාලවන බව."

මේ යටතේ මුලින් කල්කුඩා ප්රදේශයේ ජීවත් වූ  ධීවර ජනයා පාසිකුඩා ප්රදේශයට තල්ලුකර ඇති අතර මේ වනවිට පාසිකුඩාවලින් ක්රමානුකූලව වෙනත් ප්රදේශයකට පලවා හැරීමට පියවර ගනිමින් ඇති බව පෙන්වා දෙන හර්මන් කුමාර මෙම තත්ත්වය සමස්ත වෙරළ තීරයේ සියළුම ධීවරයන්ට එකසේ බලපාන ප්රශ්නයකැයි කියා සිටියි.

"යහපාලන බලධාරීන් මෙවා සම්බන්ධයෙන් කිසිදු සැළකිල්ලක් නැහැ. ඔවුන්ටත් අවශ්ය ලංකාවම සංචාරක සමාගම්වලට විකුණන්න විතරයි," ඔහු කියයි.☐