The X-FILES Reboot 2016 (X Files ආයෙත් 2016දී!!!)

1993 දී දොරට වැඩුනු X ෆයිල්ස් විද්‍යාප්‍රබන්ධ රූපවාහිණී නාට්‍ය මාලාව ලෝකයේ මෙන්ම ලංකාවේත් ඉතාමත්ම ජනප්‍රියවූ ටී.වී සීරීස් එකක්. දැනට ලොව වැඩිම කාළයක් විකාශණයවූ රූපවාහිණී නාට්‍යමාළාවක් ලෙස වාර්තා තබා ඇති X ෆයිල්ස් 1993දී ආරම්භවී 2002දී අවසන් වනවිට වාර (seasons) 9ක කාලයක් තුල කථාංග (episodes) 202 පුරා විහිදුනා.

කථා නායකයන් වන එෆ්.බී.අයි විශේෂ ඒජන්ත ෆොක්ස් මෝල්ඩර් (ඩේවිඩ් ඩචව්නි ) හා ඩේනා ස්කලී (ජිලියන් ඇන්ඩර්සන්) X ෆයිල්ස් ලෙස හැඳින්වුනු එෆ්.බී.අයි රහස් පොලීසියේ නොවිසඳුනු අපරාධ හා සිදුවීම් ගවේශණය වටා ගෙතී තිබුනා.

කථාමාලාව පුරාවටම නොවිසුඳනු මිනීමැරුම්, මහාපරිමාණ මිනිස් ඝාතකයින්ගේ අපරාධ (serial killers), ජනතාවගෙන් වසන්කරනු ලැබූ අභ්‍යවකශ අණතුරු, අත්බූත ඇදහිලි ආදී ප්‍රධාන ධාරාවේ අපරාධ ගවේශණ වලන් පරිබාහිර ක්‍රියාකාරිත්වයන් පිලිබඳව ගවේෂණය වූවත්, මුළු කථාමාලාවම එකට ගැටගැසූ රිදී හුය වූයේ ෆොක්ස් මෝල්ඩර් තුලවූ, පිටසක්වල ජීවීන් පිලිබඳ ඇති විශ්වසය හා කථාමාලාව තුල පිටසක්වලයින් පෘථිවියට පැමිණීම පිලිබඳ තොරතුරු, ඔවුන්ට පෘථිවිය මත සිය ක්‍රියාකාරකම් කිරීමට අමෙරිකානු රජයේ ඉතා ඉහලම නිළධාරීන්ගෙන් ලැබෙන රහසිගත සහය පිලිබඳ සාක්ශි මෝල්ඩර් විසින් හෙලිකරගැනීමයි.

X Files : Season 1-9 විද්‍යා ප්‍රබන්ධය ඉතා කෙටියෙන්.....


අතිශයින්ම සංකීර්ණවූ X ෆයිල කථාමාලාවට අනුව ෆොක්ස් මෝල්ඩර්ගේ පියා විලියම් මෝල්ඩර් අමෙරිකානු රාජ්‍ය දෙපාර්ථමේන්තුවට අනුයුක්තව සේවය කල, අමෙරිකානු රජයේ අතිශයන්ම රහසිගත නීතිවිරෝධී ක්‍රියාකාරිත්වයන් පිලිබඳව හොඳින් දැන සිටි, එමෙන්ම එම ක්‍රියාන්විතයන් සඳහ සක්‍රියව දායකවූ අයෙක්. ඔහු 1947දී රොස්වෙල්හිදි කඩා වැටුනු පිටසක්වල යානයේ සුන්බුන් හා සිරුරු පිලිබඳ තොරතුරු වසන් කිරීමට අමෙරිකානු රජය විසින් බිහිකල කාර්ය-සාධන කණ්ඩායමේ සාමාජිකයෙකු වූවා.

X ෆයිල්ස් කථාමාලාවේ තවත් ප්‍රභල මෙන්ම ගුප්ත චරිතයක් වන්නේ සිගරට් බොන මිනිහා (cigarette smoking man) ලෙස පමණක් හැඳින්වෙන පුද්ගලයෙක්. ඔහුගේ නියම නම කිසිවිටකත් හෙළිනොවන අතර ෆොක්ස් මෝල්ඩර්ගේ පියා විලියම් මෝල්ඩර් හා සිගරට් බොන මිනිහා අතර කිට්ටු සබඳතාවය 1940 ගණන්වලදී ඔවුන් යව්වනයන් ලෙස අමෙරිකානු රාජ්‍ය සේවයට බැඳුනු කාලය තෙක්ම දිව යන්නක්. 1952දී පැසිෆික් සාගරයට කඩා වැටුනු පිටසක්වල යානයක් නිරීක්ශණය කිරීමට ගිය අමෙරිකානු සබ්මැරීනයක් වන සියුස්-ෆේබර් සබ්මැරීනයේ කපිතාන්වරයා ප්‍රශ්ණ කිරීමට විලියම් මෝල්ඩර් හා සිගරට් බොන මිනිහා
සහභාගීවන දර්ශණයක් එක් X ෆයිල්ස් කථාංගයක තිබෙනවා. තොරතුරු වලට අනුව කටාවැටුනු පිටසක්වල යනය පිලිබඳව සෙවීමට ගිය සබ්මැරීනයේ සියලුදෙනා මිය යන අතර කපිතාන්වරයා පමණක් දිවි ගලවාගෙන කෙසේ හෝ සබ්මැරීනය හවායි දූපතේ පර්ල් හාබර් වරායට ගෙන එනවා. එහිදී සිගරට් බොන මිනිහාට හා විලියම් මෝල්ඩර්ට එම කප්තාන්වරයා භයානක පිටසක්වල වෛරසයකට ගොදුරුවී ඇති බව වැටහෙනවා.

ගුප්තදේ පිලිබඳවත්, පිටසක්වලයින් පිලිබඳවත් ෆොක්ස් මෝල්ඩර් දැඩි උනන්දුවක් ඇතිවන්නේ එක්තරා රාත්‍රියකදී ඔහුගේ නැගනිය සමන්තා අභිරහස් ලෙස අතුරුදහන් වීමත් සමගයි. සිය නැගෙනියගේ අතුරුදහන්වීමෙන් දැඩි ලෙස කම්පණයට පත්වන ෆොක්ස් මෝල්ඩර්ට රාත්‍රි භීභත්සය (nightmare) ඇතිවන අතර එහිදී ඔහුගේ නැගෙනිය දැඩි ආලෝකයක් සමග එන අදෘශ්‍යමාන බලවේගයක් මගින් නිදාසිටි ඇඳෙන් රැගෙන ගිය ආකාරය පෙනෙන අතර ඔහු එය දකිතත් සිය නැගෙනිය බේරාගැනීමට කිසිවක් කල නොහැකිලෙස ඔහුගේ සිරුර ගල්ගැසීමෙන් තිබුණු බව පෙනෙනවා.

සිය නැගෙනිය පිටසක්වලයින් විසින් පැහැරගෙන ගිය බවට ෆොක්ස් මෝල්ඩර් තුල දැඩි විශ්වාසයක් හටගන්න අතර එනිසාම එෆ්.බී.අයි ඒජන්සියට බැඳී ඒවැනි ගුප්ත සිදුවීම් පිලිබඳව සොයාබැලීමට ඔහු වෙහෙසෙන්නේ රැකියාවේදී ඔහුගේ කීර්තිය පරදුවට තබමින්. මානසික ඒකාග්‍රතාවයක් නොමැති, පිටසක්වලයින් අදහන පිස්සෙකු ලෙස එෆ්.බී.අයි එක තුල ප්‍රසිද්ධවන ෆොක්ස් මෝල්ඩර්ගේ රැකියාව අහිමි නොවන්නේ ඔහු අතිදක්ශ රහස් පරීක්ශකයෙකු ලෙස එෆ්.බී.අයි අධ්‍යක්ශකවරයාගේ සිත දිනාගෙන සිටි නිසා බව මුලින් ප්‍රකාශ වුනත් කථාමාලාව දිග හැරෙද්දී පිටසක්වලයින් පිලිබඳව අමෙරිකානු රජය තුල ක්‍රියාත්මක රහසිගත කුමන්ත්‍රණය හෙලිකිරීමට ඔහු ගන්නා වෙහෙසට උපකාරී කරන අමෙරිකානු රජයේ හා ආරක්ශක අංශවල ඉහලම තලයේ නිළධාරීන් කිහිපදෙනෙකු ඔහුගේ අනුග්‍රහයකයින් ලෙස රහසේ ඔහුව ආරක්ශා කිරීම නිසා බව පසුව හෙලිවනවා.

The Cigarette Smoking Man
එමෙන්ම කථාමාලාවේ මැදභාගය වනවිට ෆොක්ස් මෝල්ඩර්ගේ නැගෙනියගේ පැහැරගැනීම ඔහුගේ පියාවන විලියම් මෝල්ඩර්ගේ අනුදැනුම ඇතිව සිදුවූ බව හෙලිවනවා. ඒ වනවිට විලියම් මෝල්ඩර් අමෙරිකානු රජයේ ඉහලම බලසම්පන්න පුද්ගලයින් හා පිටසක්වලයින් පිලිබඳව රහස් එකඟතාවයක් පිලිබඳව දැනුවත් වනවා.
පිටසක්වලයින් හා සබඳතා පවැත්වීම ආරම්භවූ පසු, ඔවුන්ගේ අවසන් අරමුණ පෘථිවිය ආක්‍රමණය කොට, මිනිස් වර්ගයා වනසා දැමීම බව අමෙරිකානු රජය හෙලිකරගන්නා අතර ඒ සඳහා ඔවුන් 1952දී සියුස් ෆේබර් සබ්මැරීනයේ කපිතාන්වරයාට ආසාදනය වූ "කළු තෙල් - black oil " ලෙස හඳුන්වන පිටසක්වල වෛරසය යොදාගැනීමට යන බවත් හෙලිකර ගන්නවා. මේ අනුව ක්‍රියාත්මක වන විලියම් මෝල්ඩර්, සිගරට් බොන මිනිහා ඇතුලු කණ්ඩායම, රජයේ ඉහලම නිළ්ධාරීන්ගේ හා විද්‍යාඥයින්ගේ අනුදැනුම ඇතුව පිටසක්වල වෛරසයට මුහුණදිය හැකි ප්‍රතිජීවකයක් සෙවීමට රහසිගත පර්යේශණ ආරම්භකරණවා. අමෙරිකාව පුරා මිනිසුන්, විශේෂයෙන්ම කාන්තාවන් පැහැරගැනීමට බඳුන්වන්නේත්, ඔවුන්ගේ දරුගැබ් සොරාගන්නේත් ජනතාව විශ්වාසකරන ආකාරයට පිටසක්වලයින් නොව, පිටසක්වල වෛරසයට ප්‍රතිජීවක සොයන අමෙරිකානු විද්‍යාඥයින් විසිනුයි.

විලියම් මෝල්ඩර්, සිය දියණිය සමන්තාවද මෙලෙස පැහැර ගැනීමට අවසර දෙන්නේ කෙසේ හෝ මෙම ප්‍රතිජීවක සොයාගත්විට අනාගතයේ සිදුවන පිටසක්වල ප්‍රහාරයේදී ඇයගේ දිවිගලවා ගැනීමේ ප්‍රාර්ථනයෙන් බව හෙලිවනවා. ඒ පිලිබඳව ෆොක්ස්ගේ මව ටීනා මෝල්ඩර්ද දැන සිටිය බවද හෙලිවනවා.

කෙසේවෙතත්, පිටසක්වලයින් හා සෘජුව සබඳතා තිබු විලියම් මෝල්ඩර් හා සිගරට් බොන මිනිහා ඇතුලත් රහසිගත කණ්ඩායමේ බලසම්පන්න චරිත කිහිපයක්, පිටසක්වලයින්ට පෘථිවිය ආක්‍රමණය කිරීමට උදව් කිරීමට එකඟ වෙනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට පිටසක්වලයින් පාළනය කරන පෘථිවියෙහි, මිනිස්-පිටසක්වල දෙමුහුණුන් (human-alien hybrids) ලෙස පරිවර්තනයවී දිවිගලවා ගැනීමට ඉඩදීමට පිටසක්වලයින් එකඟ වෙනවා. ඒ අනුව විලියම් මෝල්ඩර් සිය දියණිය පවා කැපකරමින් දායකවූ පිටසක්වල වෛරසයට ප්‍රතිජීවකයක් සොයාගැනීමේ විද්‍යාත්මක පර්යේෂණ, ඔහු නොදැනුවත්වම පිටසක්වල-මිනිස් දෙමුහුණුන් බිහිකිරීමේ ව්‍යාපෘතියක් බවට පරිවර්තනය වී ඇති බව හෙලිකරගන්නවා.

X Files 2016 Mini Series

2016 යලි පණගැන්වෙන X-ෆයිල්ස් කෙටි රූපවාහිණී නාට්‍ය මාළාවක් (mini series) ලෙස එලිදැක්වීමට තීරණයවී තිබෙනවා. කථාංග 6කින් සමන්විත වන මෙම "මිනි සීරීස්" එකෙහි ප්‍රධාන චරිත ඩේවිඩ් ඩ්චව්නි විසින් ෆොක්ස් මෝල්ඩර් ලෙසත්, ජිලියන් ඇන්ඩර්සන් විසින් ඩේනා ස්කලී ලෙසත් පණපොවනු ඇති. 2016 ජනවාරි 24වැනි ඉරිදා මංගළ දර්ශණය පැවැත්වුනා.

X ෆයිල්ස් මුල් පිටපත රචනාකල ක්‍රිස් කාටර් මෙවරද තිර රචකයා හා නිශ්පාදකවරයා වන බව ෆොක්ස් රූපවාහිණී නාලිකාව හෙලිකොට තිබෙනවා.

මේ කථාමාලාවල රූගත කිරීම්ද, පෙර X-ෆයිල්ස් කථාමාලාවේ කථාංග 202න් අතිවිශාල ගණනක් රූගත කල කැනඩාවේ වැන්කූවර් නගරයේදී සිදුවනවා. අඳුරු, වැසිබර දේශගුණයක් නිතර පවතින වැන්කූවර් නගරයේ අඳුරු අහස හා තෙතබරිත පසුබිම X-ෆයිල්ස් කථාමාළාවේ ගුප්ත තේමාවට වඩාත් ගැලපෙන බව ක්‍රිස් කාටර් පවසනවා.

කථාමාලාවේ අන්තර්ගතය කෙසේ වේදැයි ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු දෙන ක්‍රිස් කාටර් "අපි මේ X ෆයිල්ස් කථාමාලාවත්, පැරණි X ෆයිල්ස් තේමාවට අනුව, එහෙත් අද පසුබිමට අදාලව දිගහරිනවා. වසර 13කට පසු මෝල්ඩර් හා ඩේනා අතර අන්තර් සබඳතාවය (කථාමාලාව අවසන්වන විට ෆොක්ස් හා ඩේනා අතර ආදර සබඳතාවයක් ගොඩනැගී ඇති අතර, ඩේනා ගැබ්ගෙන සිටිනවා) පෙර කථාමාලාවේ මෙන්ම වනු ඇති..."

"I want to believe..."

මිලියන ගණනක් රසිකයින් අතර cult following එකක් හෙවත් අනුගාමිකත්වයක් බිහිකරගත් රූපවාහිණී කථාමාලාවක් වන X-ෆයිල්ස් විද්‍යාප්‍රබන්ධ වෘතාන්තය කථාංග 202කින් පසුවත් හෙලි නොකල රහස් මෙන්ම පැහැදිලි නොකල සිදුවීම් වලින්ද ගහනයි. එම රහස් වලින් කිහිපයක් හෝ මේ කථාංග 6තුලදී හෙලිවනු ඇතැයි ලොවපුරා X ෆයිල්ස් රසිකයින් බලාපොරොත්තු වෙනවා.

Comments