Tuesday, May 19, 2015

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ..













අපේ හදවත් වල සදා රැඳුනු  ගීත රචනා ගනනාවකම පද රචකයානන් වූ ලූෂන් බුලත්සිංහල අතින් ලියැවුනු "සිරියහනේ ලණු ඉහිරී.." ගීතය තවත් එක් සුවිසේශී ගීතයකි. විශාරද එඩ්වඩ් ජයකොඩි විසින් ගායනා කරන මෙහි මියුරු සංගීතය එම්.එම්.ජයවර්ධනයන් ගේය.  


මෙහි ඇතුලත් "යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ" යන පදය බොහෝ කතා බහට ලක්වූ අතර ඇතැම් අය මෙයට වැරදි අර්ථ කථන ලබාදී තිබෙනුද දැකගත හැකි විය.

මෙම ගීතය පිලිබඳ ලූෂන් බුලත්සිංහල විසින්ම වරෙක සිළුමිණ පුවත් පත සමඟ පැවති සංවාදයකදී අදහස් දක්වා තිබුනි. එම උපුටා ගැනීම මෙම ලිපියෙහි අවසානයේ දැක්වේ. මෙම ගීතය පිලිබඳ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් කරල ලද ඉතා සිත් ගන්නා සුලු හැඳින්වීමක් ද මෙම ලිපිය අවසානයේ සටහන් කර ඇත.

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ..
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ..
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...

ගීතයේ කථා නායකයා තරුණයෙකි, වෙසෙසින්ම තනිකඩ තරුණයෙකි. විවාහ වියයුතු වයස පසුකරමින් යන තරුණයෙකි. රචකයා එයට හේතු කාරණා දැක්වීම පසෙක තබා අපේ මෙම කථා නායකයා පිලිබඳව විස්තර කරයි. එමගින් ඔහු යම් යම් ඉඟි සැපයීම්ද කරයි.

ඔහුගේ සිරියහන නම් ලණු ඇඳකි. ඔහුගේ ජීවිතය දිනෙන් දින වයසට යන්නා සේම ඇඳේ ලණු ගැලවී යමින් පවතී. ඔහුගේ දුකට අබලන් වූ සිරියහන ද සුසුම් හෙලයි. නිදි නැතිව ඇඳෙහි එහෙට මෙහෙට පෙරලෙන විට චිරි චිරි හඬ ඔහුට දැනෙන අයුරුයි මේ.

මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ..

ඔහුගේ සිරියහනට වියන් බඳින්නේ මකුණු දැල් වලිනි. එයින් කාමරයේ, කොටින්ම ඔහුගේ ජීවිතයේ ඇති අවුල් ස්වභාවය සහ පිලිවෙලක් නැතිවී සියල්ල එපා වූ බව ඉදිරිපත් කරයි. ධම්මික බණ්ඩාරයන් වරක් මෙම ගීතය විග්‍රහ කිරීමේදී මෙම පදයෙන් ඊට අමතරව ඔහු ගොදුරුවී ඇති ආර්ථික දුෂ්කරතා ද විදහා දක්වන බව පවසා තිබුණි. 

යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ..

නාරිලතා මල් හිමාලයේ පිපෙන බවට (අවුරුදු 20කට වරක්) විශ්වාස කරන මල් විශේෂයකි. හැඩයෙන් මෙම මල් නිරුවත් කාන්තා රූපයක හැඩයක් ඇති බව පැවසේ. මෙවා කෙතරම් සුන්දර දැයි කීවොත් බවුන් වඩන තවුසන්ගේ ද දැහැන බිඳින්නට තරම් මේ මල් සුන්දර බව ජනප්‍රවාදයයි. 

මෙහිදී මෙම යෙදුම හුදෙක් ඔහුගේ හුදකලාවත් ඒ හුදකලාව තුල ඔහුගේ මනෝ භාවයන් හැසිරෙන ආකාරයත් පැහැදිලි කිරීමට යෙදූ යෙදුමක් පමණකි. යට ලීයෙන් නාරිලතා මල් පිපෙන්නේ නැත. එසේ වනවා නම් එය හාස් කමකි. ඒ එසේම නම් ඔහුට කාන්තාවක් ලැබී ඔහුගේ තනිකඩ වූ දිවියෙන් මිදීමද එවැනිම වූ හාස් කමක් තරමටම පත්වී ඇති බව මෙයින් කියවේ. ලූෂන් බුලත්සිංහලයන් ගේ විග්‍රහයද මේ සමගාමීය. ධම්මික බණ්ඩාරයන් යන් මෙයට වඩා වෙනස් අර්ථ කථනයක් දෙමින් මෙයින් අදහස් කරනුයේ ඔහු කලින් ඇසුරු කල කාන්තාවන් බව පවසා තිබුනි. එයත් එසේ විය හැකිය.

සදෙන් සඳට මුවා වෙලා...
කල දවසත් ගෙවී ගිහින්...
නෙතට නුහුරු කදුළු බිංදු...
පැදුරට මුහුවෙලා හොරෙන්...

චන්ද්‍ර කලාවට අනුව මාසය මනින ක්‍රමයක් තිබේ. පුර පෑලවියෙන් ආරම්භ වන මෙය අමාවකින් අවසන් වේ. මෙහිදී යොදන,

සදෙන් සඳට මුවා වෙලා...

යන්නෙන් අර්ථ ගන්වන්නේ කාලය (චන්ද්‍ර මාස ) කෙතරම් නම් ගේවී ගොස් ඇතිද යන්නයි. තවද,

නෙතට නුහුරු කදුළු බිංදු...

යන යෙදුමින් මොහුට කඳුළු හුරු පුරුදු නැති බව නැතහොත් ඔහු ජීවිතයේ මේ අයුරින් හඬන්නට නොසිටි බව කියැවේ.

යහන තලා සැප විඳිනා...
පල දී නැතුවා පෙර පින්...
මාල වළලු නොතිත් අයට...
අප අමතක වෙලා ගිහින්...

මෙහි පලමු පද දෙකින් කියැ වෙන්නේ ඔහුට සහවාසයේ යෙදීමට තරුණියක් නැති බවත්,

යහන තලා සැප විඳිනා...
පල දී නැතුවා පෙර පින්...

එය ඔහු හැදී වැඩුනු පරිසරය අනුවම පෙර පිං නැති නිසා යැයි සිත හදා ගැනීමට උපකාර වන ආකාරයයි. නමුත් මෙහිදී ද එසේ වීමට හේතුව රචකයා අපට සිතා ගැනීමට පවරයි. ධම්මික බණ්ඩාරයන් පවසන පරිදි මෙයට ආසන්නතම හේතුව ආර්ථික දරිද්‍රතාවය විය හැක. 

මෙහි අවසාන පද දෙක මෙම ගීතයේ ඇති සුන්දරම පද දෙක ලෙස දැක්විය හැකිය. ව්‍යංගයෙන් රචකයා පවසන්නේ මොහු දැන් තරුණ විය ඉක්මවමින් මැදිවියට එලැබෙන බවයි.

මාල වළලු නොතිත් අයට...
අප අමතක වෙලා ගිහින්...

ඔහුට යහනක යුවතියක් සමඟ සන්තෝස වීමට නොහැකි මක් නිසාදයත් ඔවුන් ඔහු දෙස තව දුරටත් නොබලනා නිසාය. මෙසේ ඔහු දෙස නොබලන්නේ 'මාල වළලු නොතිත්' අයයි. 'නොතිත්' යනු තෘප්තිමත් නොවන යන්නයි. එනම් මාල වලලු වලින් පමනක් ම තෘප්තිමත් නොවන ලඳුන් තවදුරටත් ඔහු දෙස නොබලයි. සාමාන්‍යයෙන් කාන්තාවන් මාල වලලු වලට බොහෝ ප්‍රිය තාවක් දක්වයි. නමුත් යුවතියන් නැතිනම් තරුණ සුරූපිනියන් හුදෙක් මාල වලලු නිසාම තම සිත නොදේ. ඔහු ගේ පෙනුම වයස මේ සියල්ල ඔවුනට වැදගත් වේ. අවසාන පද දෙකින් පවසන්නේ එයයි.

මෙම ගීතය පිලිබඳව ලූෂන් බුලත්සිංහල ගෙන් ඇසූ විට ඔහු පවසා තිබුනේ මෙවැනි අදහසකි.

"නාරිලතා මල් පිපෙන්නේ හිමාලයේ. ඒ මල හරියට නිරුවත් නාරි දේහයක් වගෙ කියලා කියනවා.

ඒ මල දැක්කම භාවනා කරන තාපසියන්ගෙ පවා සිල් බිඳෙනවලු. නවගමුවේ පැරැණි පත්තිනි දේවාලයේ කොස් උළුවස්සක කොස් ගෙඩි පල ගත්තයි කියල කතාවක් මම අහලා තියෙනවා. එයින් පේන්නේ ඒ දේවාලේ තියෙන අනුහස. ඉතින් තනිකඩ මිනිහෙක්ගෙ තනිකම් හිතක තියෙන හාස්කමට යට ලීයකින් නාරිලතා මල් පූදින්න බැරිද?"

මෙම ගීතය පිලිබඳව සුනිල් ආරියරත්නයන් මෙවන් වූ විචිත්‍රවත් අදහසක් දක්වා තිබුනි.

“සිරියහනේ ලණු ඉහිරි” ගීතය තනිකඩයකුගේ ගීතයක්. ලූෂන් විවාහකයකු වුණත් තනිකඩයකුටත් හිතාගන්න බැරි විදියට තනිකඩ දුක ඒ ගීතයට එකතු කරලා තිබෙනවා. ඒ තනිකඩයා දපලා ඉන්නේ දිරච්ච ලණු ඇඳක.

ස්ත්‍රිය අතපත නොගැවුණු බිත්තිවල මකුළු දැල් බැඳිලා. ගේ ඇතුළේ තියෙන්නේ කොච්චර පාළුවක්ද කියනව නම් සිරි සිරි ගාලා මකුළු දැල් සෙලවෙන සද්දෙ පවා කනට ඇහෙනවා. මෙහෙම වෙලාවක ඇඳේ ඉන්නකොට යට ලීයෙන් නාරිලතා මල් පූදිනවා. සමහර කසාද බැඳපු මිනිස්සු අහනවා කොහොමද නාරිලතා මල් පූදින්නේ කියලා. ඒත් තනිකඩයෙක් නම් කවදාක්වත් ඒ ප්‍රශ්නෙ අහන්නෙ නැහැ. අමතක කරන්න එපා. යට ලීයෙන් පූදිනවා කියන්නේ සපත්තු මලවත් සියඹලා මලවත් ඇපල් මලවත් නෙමෙයි. නාරිලතා පුෂ්පයයි.”

මෙහි තවත් අපූරු කතාවක් තිබේ. එනම් මෙම ගීතය ලූෂන් බුලත්සිංහල ලියා ඇත්තේ අමරදෙවයන්ට සහ ඔහු විසින් මෙය එඩ්වඩ් ජයකොඩි ගායකයානන්ට ලබා දී ඇති බවත්ය

පද රචනය : ලූෂන් බුලත්සිංහල

සංගීතය :  එච්.එම්.ජයවර්ධන

ගායනය : විශාරද එඩ්වඩ් ජයකොඩි







0 comments:

Post a Comment