Monday, May 18, 2015

VE Day හෙවත් යුරෝපා විජයග්‍රාහී දිනය සහ ලංකා විජයග්‍රහණ දිනය

Victory in Europe Day හෙවත් VE Day හෙවත් යුරෝපා විජයග්‍රාහී දිනය යනු හිට්ලර් ප්‍රමුඛ නාසි ජර්මන් හමුදාව කොන්දේසි විරහිතව මිත්‍ර පාර්ශවයේ හමුදා සහ සෝවියට් හමුදාව වෙත යටත් වූ දිනයයි. එය සිදුවූයේ අගෝස්තු 08 වෙනි දා ය. VE Day, 70 වැනි සංවත්සරය මෙවර ද ඉතා උත්සවශ්‍රීයෙන් සැමරිණි. මෙහි දී යුරෝපා විජයග්‍රාහී දිනය යනු තවත් යුරෝපීය (බටහිර යුරෝපීය) රටක නාසි පාලනය පරාජය කිරීමයි. එහි දී ජර්මනියේ නාසි පාලනය ද එම මතවාදය ද සම්පූර්ණයෙන් ම පරාජය කළ අතර හිට්ලර් ප්‍රමුඛ නාසි පාලනයේ සංකේතය වූ ස්වස්තිකය අද පවා තහනම් සලකුණකි. මෙලෙස නාසිවාදය යළි මතු විය හැකි සියලු දලු මුල් මුලිනුපුටා දැමීමෙහි ප්‍රතිඵලය යුරෝපය මෙන් ම ජර්මනිය ද නාසි පාලනය අවසන් කිරීම තම ජයග්‍රහණයක් ලෙස සැමරීමයි. ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්සිස් හොලන්ඩේ ඒකාධිපති මතවාදයක් පරාජය කළ ලද පරමාදර්ශී ජයග්‍රහණයක් ලෙස VE Day අර්ථකතනය කරද්දී ජර්මන් පාර්ලිමේන්තුවේ කතානායක නෝර්බට් ලැමට් VE Day ජර්මන් විමක්ති දිනය යැයි අර්ථකතනය කළේ ය. එමෙන් ම ජර්මන් පාර්ලිමේන්තුවේ විශේෂ සැසි වාරයක් පවත්වා සිය රටේ නාසි පාලනය අවසන් අවසන් කළ බටහිර මිත්‍ර හමුදාවට සහ සෝවියට් හමුදාව වෙත සිය ප්‍රණාමය පුද කිරීමට අමතක නො කළේ ය.

ලෝකයට හිට්ලර් කළ මහා විනාශයට සමාන විනාශයක් කුඩා දිවයනක් වන ලංකාවට සිදු කළ ප්‍රභාකරන් නම් ෆැසිස්ට්වාදියා ඝාතනය කර වසර 6ක් ඉක්ම යන විට අද අපට දැක ගත හැකිව ඇත්තේ කුමක් ද? ලංකාවේ උතුරු නැඟෙනහිර පමණක් නොව ලොව පුරා ප්‍රභාකරන් ප්‍රමුඛ ත්‍රස්ත කල්ලිය මුලිනුපුටා දැමීම පිළිබඳ පහන් දල්වා ශෝක සති ප්‍රකාශයට පත් කර ත්‍රස්තවාදයේ පරාජය සමරමින් ඊට වීරත්වයක් ආරෝපණය කර ත්‍රස්තවාදයෙන් රට විශේෂයෙන් දෙමළ ජනතාව මුදා ගත් සටනට දේශපාලන නායකත්වය සැපයූ මහින්ද රාජපක්ෂ මහතා සහ හමුදාමය නායකත්වය සැපයූ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රණ විරුවන් ද්‍රෝහීන් බවට සමාජ මතවාදයක් නිර්මාණය කිරීමයි. මේ වෙනුවෙන් උතුරේ පැවැත්වෙන උත්සය සඳහා එජාපයෙන් ලංගම බස් ඇතුළු යටිතල පහසුකම් සැපයෙයි. උතුරු මහ ඇමති විග්නේශ්වරන් මහතා වෙල්ලමුල්ලිවයිකාල් සැමරුමට සහභාගී වෙන්නැයි ජනතා නියෝජිතයින්ට ආරාධනා පත් යවා තිබේ. කොළඹ වසර 5ක් පුරා පැවති විජයග්‍රාහී දිනය දියාරු ශෝක දිනයක් බවට පත් කර මාතරට විසි කර තිබේ. එහි දී යුද්ධයෙන් මිය ගිය සියලු දෙනා සමරන බව එනම් ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්තවාදීන් ද සමරන බව රාජිත සේනාරත්න මහතා දැනටමත් පවසා තිබේ. මේ අතර අලුත් පරපුර නම් නළුවන් පිරිස යුද්ධය සැමරිය යුතු නැතැයි ද සැබෑ වීරයින් දෙමළ ජනතාව මැරූ සෙබළුන් නොව සංගීතයෙන් ජනතාව සුවපත් කරන තමන් ද යැයි ද කියමින් සිටිති. මේ ආණ්ඩුව, දෙමළ ඩයස්පෝරාව, වාමාංශික බුද්ධිමතුන්, NGO කල්ලි මෙන් ම NGO මත යැපෙන අලුත් පරපුර නම් කොලු කුරුට්ටන් රෑණ ද කැමති කොටි ත්‍රස්තවාදීන් යනු දෙමළ ජනතාවය යන මතය සමාජගත කරවීමට ය. 

දෙමළ ජනතාව සහ කොටි ත්‍රස්තවාදීන් එකම පිරිසක් යැයි මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාව කිසිදා නොපිළිගත්හ. යුද්ධය පැවති කාලයේ පවා 50%කට වැඩි දෙමළ ජනතාවක් දකුණේ සිංහල ජනතාව සමඟ ජීවත් වීමේ රහස එයයි. එහෙත් උතුරේ පැවති ත්‍රස්තවාදය ජන වාර්ගික අර්බූදයක් ලෙස අර්ථකතනය නොකර දැන් රනිල්-සිරිසේන ලවා උතුරු නැඟෙනහිරට ලබා දීමට සුදානම් වන ෆෙඩරල් විසඳුම බහුතර ජනතාව අතර සාධාරණීකරණය කළ නො හැකි ය. දැන් මේ හැංගි හැංගි වෙස් බඳින සමයයි. ෆෙඩරල් විසඳුම සඳහා ජන මනස සකසන සමයයි. එහෙයින් ඉදිරියේ රටේ හමුදාව උතුරේ ජනතාවට මහා අපරාධයක් කළ බවට මාධ්‍ය භාවිතයෙන් ඉතා ම සූක්ෂම මෙහෙයුම් සිදු කරනු ඇත. හිට්ලර් ආයුධ බලයෙන් පරජයට පත් කර නාසිවාදය මුලිනුපුටා දැමීමෙන් පසු කිසිදු දේශපාලන විසඳුමක් ලබා නොදෙන ලදි. ජර්මන් ජනතාවගේ හිත රිදේ ද යන්න නොසලකා වසර හැත්තෑවක් තිස්සේ එම ජයග්‍රහණය සැමරුවා විනා හිටල්ර් වෙනුවෙන් ඉටි පහන් පත්තු කර ශෝකය ප්‍රකාශයට පත් කිරීමක් කිරිමට ජර්මන් ජනතාවට කිසිදු අවකාශයක් නොලැබිණි. හිට්ලර් විමුක්තිවාදියෙකු නොව ත්‍රස්තවාදියෙකි යන මතය ජර්මන් ජනතාව වෙත ලබා දෙන ලදි. එහි අවසන් ප්‍රතිඵලය ජර්මන් ජනතාව ආර්යයින් බවත් එහෙයින් ශ්‍රේෂ්ඨ බවත් මතවාදයක් සකස් කළ හිට්ලර් සිය හතුරෙකු ලෙස ජර්මන් ජනතාව විසින් ම සැලකීමයි. එහෙත් දැන් සිදුව ඇත්තේ උතුරේ ජනතාව ප්‍රභාකරන් සිය ජාතියේ සතුරාය යන මතවාදය වෙනුවට ඔහු ජාතියේ විමුක්තිවාදියා ලෙස අර්ථකතනය කිරීමයි. ඒ ඔස්සේ උතුරේ තරුණ පරපුර තුළ ප්‍රධාන ජාතිය පිළිබඳ අප්‍රසන්න හැඟීම් ඇති කර සමාජ බෙදුම්වාදය ඇති කිරීමයි. නැවත ඔවුන් ත්‍රස්වාදය වෙත ඇද ගෙන යාමයි. ඒ ඔස්සේ ඊළම සුජාත කිරීමයි. 

මේ සූක්ෂම බෙදුම්වාදී ව්‍යාපාරය ජාතික ව්‍යාපාරය විසින් බැරෑරුම් ලෙස ගත යුතු අතර එය මතවාදීමය වශයෙන් පරාජය කළ යුතු ය. ඒ සඳහා අනුගමනය කළ යුත්තේ හිට්ල්ර්ගේ පරාජයෙන් පසු යුරෝපය ක්‍රියාත්මක කළ දේශපාලන ව්‍යාපාරය මිස අන් කිසිවක් නොවේ. යුරෝපයට, ජර්මනියට හිට්ලර් ම්ලේච්ඡ ඒකාධිපතියෙකු වන්නේ යම් සේ ද කිසිදු අඩුවක් නැතිව ප්‍රභාකරන් ලංකාවට මෙන් ම දෙමළ ජනතාවට ද ම්ලේච්ඡ ඒකාධිපතියෙකි. අප 2009 මැයි 18 වෙනිදා පරාජය කළේ ඒ ඒකාධිපතියා ය. වසර තිහක් සිංහල දෙමළ ලෙයින් මාතෘ භූමිය තෙත් කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදියා ය. අද සිංහල, දෙමළ අප විඳින නිදහස එහි මහරු ඵලය වෙයි. එහෙයින් යුරෝපය මැයි මස 08 වෙනිදා යුරෝපා ජයග්‍රාහී දිනය සමරන්නා සේ ම ලංකාව මැයි 18 ලංකා විජයග්‍රාහී දිනය සැමරිය යුතු මය. ඒ ජයග්‍රහණය වෙනුවෙන් අසීමිත කැප කිරීම් කළ දේශපාලන නායකත්වය සහ සියලු රණවිරුවන්ට මුළුමහත් මහත් ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු ය. ඒ යුතුකම හද දරන කිසිවෙකුට අද සවස විහාර මහා දේවී උද්‍යානයට පැමිණ පහනක් දැල්වීමේ වගකීමෙන් මිදිය නො හැකි ය. ඉර හඳ පවතින තුරු මේ ජයග්‍රහණය මහත් අභිමාණයෙන් සැමරීමේ වගකීමෙන් මිදිය නො හැකි ය. 

  

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !