අධිතාක්ශණික ලොවේ අප්‍රකට සිටුවරු සිටුවරු හඳුනාගන්න

අධිතාක්ශණික ලෝකය ගැන කතාකරන විට මයික්‍රෝසොෆ්ට් හි බිල් ගේට්ස්, ඇපල් සමාගමේ ස්ටීව් ජෝබ්ස්, ගූගල් සමාගමේ ලැරී පේජ් ගැන නොදන්නා කෙනෙකු නැති තරම්ය. එහෙත් නූතන අධිතාක්ශණය, අද තත්වයට ගෙන එන්නට මහත් වැරවෑයම්ක් දැරූ, දැවැන්ත සමාගම් ගොඩනැගූ, සුපිරි තාක්ශණයන් බිහිකරන්නට මුල්ගල් තැබූ තවත් බොහෝ දෙනෙකු සිටිනවා. ඔවුන් වැඩිදෙනෙකු අදටත් ජීවත් වන අතර සමරුන් විශ්‍රාම සුවය විඳිතත්, තවත් සමහරුන් නිහඬව තාක්ශණික ලොව තම යුතුකම් ඉටුකරමින් සිටිනවා.

ස්ටීව් ජෝබ්ස් නම් සුප්‍රකට සුපිරි මිනිසා පිටුපසින් සිටිමින්, ඔහු නිර්මාණය කරන්නට දායක වුනු අයි-ෆෝන්, අයි-පෑඩ්, අයි-පොඩ් ඔහු බලාපොරොත්තු වූ ආකාරයෙන් නිමවන්නට මෙන් ඇපල් සමාගමට සුපිරි ලාභයක් එනලෙස දශලක්ශ ගණනින් නිපදවන්නට අවශ්‍ය සැපයුම් දාමය නිර්මාණය කල, ඔහුගෙන් පසු ඇපල් සමාගමේ අනාගතය භාරගත් ටිම් කුක් තවමත් අප්‍රකටය.  එපමණක් නොව, ඇපල් සමාගමේ පලමුවැනි නිර්මාණය වන "Apple I" පුද්ගලික් පරිගණකය තනිවම නිර්මාණය කල, එමෙන්ම ඇපල් සමාගම අරම්භවූ කාලයේ එහි "ඉන්ජිනේරු මොළය" වූ ස්ටීව් ජෝබ්ස්ගේ හිත මිතුරු ස්ටීව් වොස්නියැක් ගැන ඔබ අසා තිබේද?

ඇමසන්.කොම් ගැන නොදන්නා කෙනෙක් නැතත්, ඇමසන් ගොඩනැගූ ජෙෆ් බෙසෝස් නම් කාල්පනික ව්‍යවසයකයා (visionary entrepreneur) ගැන් දන්නේ ස්වල්ප දෙනෙකි. එමෙන්ම ඉන්ටෙල් සමාගම ගැන නොදන්න කෙනෙකු නැතත් ඉන්ටෙල් සමාගම ලොව පරිගණක තක්ශණයේ දැවැන්තයෙකු ලෙසට ගොඩනැගූ ඇන්ඩෲ ග්‍රෝව් ගන දන්නෝ විරලය.

ස්ටීව් වොස්නියැක් - ඇපල් I පරිගණකයේ නිර්මාතෲ හා ඇපල් සමාගමේ සම-ප්‍රාරම්භක


ස්ටීව් වොස්නියැක් කැලිෆෝනියාවේ සැන් හෝසේ (San Jose - pronunciation San Ho-zay) කෝරළයේ උපත ලැබීය. ඒ 1950 වසරේදීය.

1971දී එවකට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පලමුවන වසරේ සිසුවෙකු වූ ස්ටීව් වොස්නියැක්ට, හෝම්ස්ටඩ් හයිස්කූල් උසස් පාසලේ ඉගෙනුම ලබමින් සිටි ස්ටීව් ජෝබ්ස්ව හඳුනාගන්නට ලැබුණි. ඒ අන්‍යෝන්‍ය මිතුරෙකුගේ මාර්ගයෙනි.

කෙසේ වෙතත් ජෝබ්ස් හා වොස්නියැක් කළණ මිතුරන් බවට පත්වූයේ දෙදෙනාම හිව්ලට් පැකාර්ඩ් සමාගමේ (අද HP සමාගම) ග්‍රීෂ්ම නිවාඩු කාළයේ කෙටිකාලීන රැකියාවල නිරතව සිටියදීය.

1975 ජූනි මාසය වනවිට ස්ටීව් වොස්නියැක් ඇපල් පරිගණකයට පාදකවූ කුඩා පරිගණයකයක් නිර්මාණය කරමින් සිටි අතර ඔහු හා ජෝබ්ස් සාමාජිකයින්වූ හෝම්බෲ පරිගණක සමාජයේ සාමජිකයින්හට ප්‍රදර්ශණය කිරීම සඳහ නිර්මාණය කෙරිනි. 1975 ජූනි මාසයේ 29වැනිදා වොස්නියැක් සිය පරිගණකය හෝම්බෲ සාමාජිකයින්ට පෙන්වූ අතර, විකිපීඩියාවට අනුව කුඩා පරිගණකයක් මගින් සාමාන්‍ය ටෙලිවිශන් යන්ත්‍රයක් මොනිටරය ලෙස භාවිතාකොට ක්‍රියාත්මකවූ පලමු අවස්ථාව එයයි. ඒ අනුව ස්ටීව් වොස්නියැක් ටෙලිවිශනයක් පරිගණක මොනිටරයක් ලෙස භාවිතාකල පලමුවැන්නායි.

1976දී ස්ටීව් වොස්නියැක්, ඔහුව ලෝක ප්‍රකට කල නිර්මාණය සිදුකලේය. එනම් ඇපල් සමාගමේ පලමුවැනි නිර්මාණය වන ඇපල් 1 පරිගණකයේ මදර්බෝඩ් ඇතුලුව සියලුම හාඩ්වෙයාර් මෙන්ම එහි ඔපරේටින් සිස්ටම් එක පවා තනිවම නිර්මාණය කොට ස්ටීව් ජෝබ්ස්ට පෙන්වන ලදී. ඔවුන් එය වාණිජමය වශයෙන් විකිණීමට තීරණය කලේ ව්‍යාපාරික මනසක් තිබූ ස්ටීව් ජෝබ්ස්ගේ අදහසකට අනුවය.  ඇපල් සමාගම ආරභ කිරීමට ප්‍රාග්ධනය වූ ඩොලර් 1300 සොයා ගැනීමට ස්ටීව් ජෝබ්ස් සිය පරණ වොක්ස්වාගන් වෑන් රථය විකුණා දැමූ අතර වොස්නියැක් සිය විද්‍යාත්මක කැල්කියුලේටරය ඇතුලු පුද්ගලික භාණ්ඩ රැසක් විකුණාදැමීය.

1976 අප්‍රේල් පලමුවැනිදා ඇපල් සමාගම බිහිවූ අතර ස්ටීව් වොස්නියැක් එහි පර්යේෂණ හා සංවර්ධන කටයුතු ප්‍රධානියා විය. ඇපල් සමාගමේ දෙවැනි නිශ්පාදනය වූ ඇපල් 2 පරිගණකය නිර්මාණය කලේද ස්ටීව් වොස්නියැක් විසිනි. ඇපල් 2 එවක අලෙවි වාර්තා බිඳදැමූ අතර අදටත් එය ලොව වැඩියෙන්ම අලෙවිවූ පුද්ගලික පරිගණක අතර පවතී.

1981දී වොස්නියැක් සිය කුඩා ගුවන්යානය ගුවන්ගත කිරීමට යද්දී එය කඩාවැටුනු අතර ඔහු ඉන් බරපතල තුවාල ලැබීය. පූර්ණ සුවය ලැබූ පසු නැවතත් ඇපල් සමාගමට එක්වුවද සීග්‍රයෙන් විශාලවෙමින් යන සමාගමේ කළමණකාරි රාජකාරිවල නිරතවීමට ඇති අකමැත්තත්, ස්ටීව් ජෝබ්ස්ගේ නායකත්ව රටාවට ඇති අකමැත්තත් නිසා සමාගමේ කටයුතුවලින් ටිකෙන් ටික ඈත්වූ වොස්නියැක් 1987දී ඇපල් සමාගම සමග තිබූ සියළු සබඳතා අවසන් කලේය.

කෙසේවෙතත් ඇපල් සමාගම සිය ආදි කතෘවරයාව අත් නොහැරිය අතර රාජකාරි නොකලද ඇපල් සමාගම අදටත් ස්ටීව් වොස්නියැක්ට  වසරකට ඩොලර් 120,000ක දීමනාවක් ගෙවන අතර ඔහු ඇපල් සමාගමේ කොටස් හිමියෙකුද වේ.  ඇපල් සමාගමේ කටයුතු වලින් ඉවත්වූ පසු වොස්නියැක් පරිගණක තාක්ශණය පිලිබඳ දේශකයෙකු ලෙස හා විශේෂඥ උපදේශකයෙකු ලෙසද ක්‍රියා කරයි. එමන්ම සමාගම් කිහිපයක අධ්‍යක්ශක මණ්ඩල සාමාජිකයෙකු වන ඔහු අධිතාක්ශණික සමාගම් ගණනාවක් ආරම්භකොට ඇත.

එපමණක් නොව සිරතක් ලෙස ඔහු ඇපල් සමාගමේ අලුත් නිමැයුමක් වෙළඳපොලට නිකුත් කරන සෑම අවස්ථාවකම එය නිකුත්කරන පලමුදිනයේම සිය නිවසට ආසන්නම ඇපල් අලෙවි සැලට ගොස් ඇපල් රසිකයින් සමගම පෝලිමේ සිට අලුත්ම ඇපල් නිශ්පාදනය මිලට ගනී.

ටිම් කුක් - ඇපල් ප්‍රධාන විධායක නිළධාරී


54 හැවිරිදි ටිම් කුක් ඇපල් සමාගමට බැඳුනේ 1998දීය. ඒ ස්ටීව් ජෝබ්ස්ගේ පෞද්ගලික ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙනි. ඇපල් සමාගමේ ලෝක ව්‍යාපත මෙහෙයුම් කටයුතු භාරව කටයුතුකල ඔහු ඇපල් සමාගමේ අයිෆෝන්, අයිපෑඩ් වැනි නිර්මාණ ඉතා ඉහල ප්‍රමිතියකින් චීනය වැනි පිරිවැර අඩු රටවල නිශ්පාදනය කිරීම හා එම නිශ්පාදන සඳහ අවශ්‍ය දහසකුත් එකක් අධිතාක්ශණික උපාංග සැපයෙන සැපයුම් දාමය (supply chain) නිර්මාණය කල තැනැත්තා ලෙස හැඳින්වේ.

1960දී අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ උපන් ටිම් ඇමරිකාවේ ඕබර්න් හා ඩියුක් සරසවිවල උපාධිධාරියෙකි. 2007දී ඇපල් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී (Chief Operating Officer ) ලෙස උසස්වීමක් ලද ටිම්, එවක රෝගීව සිටි ඇපල් නිර්මාතෲ ස්ටීව් ජෝබ්ස් වෛද්‍යප්‍රතිකාර සඳහ නිවාඩු ගන්නා අවස්ථාවලදී වැඩබලන ප්‍රධාන විධායක නිළධාරී ලෙසද පත්විය.

ඇපල් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ලෙස ඇපල් සමාගමේ කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් වසා දැමූ ඔහු, ඒ වෙනුවට චීනයේ සිට ක්‍රියාත්මකවන තායිවාන සමාගමක් වන ෆොක්ස්කොන් (Foxconn) සමාගමට ඇපල් නිර්මාණ නිශ්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුව පැවරීය. ටිම් කුක්ගේ අධීක්ශණය යටතේ සුපිරි ප්‍රමිතියකින් හා අඩු පිරිවැයකින් යුතුව නිශ්පාදන කටයුතු කරගැනීමට හැකිවීම නිසා ඇපල් සමාගම අමෙරිකාවේ ඉහලම ලාභයක් ලබන සමාගමක් බවට පත්විය.

උත්සන්නවන රෝගීතත්වය නිසා 2011 අගෝස්තු මාසයේදී ස්ටීව් ජෝබ්ස් ඇපල් සමාගමේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වූ අතර ඉන් සති කිහිපයකට පසුව ටිම් කුක් ජෝබ්ස් දැරූ ඇපල් ප්‍රධාන විධායක නිළධාරී තනතුරට පත්විය. වසරකට ඩොලර් මිලියන 9.22ක වැටුපක් ලබන ටිම් කුක්ගේ පෞද්ගලික වත්කම ඩොලර් මිලියන 785ක් ලෙස ඇස්තමේන්තු කොට තිබේ.

ජෙෆ් බෙසොස් - ඇමසන්.කොම් නිර්මාතෲ, සභාපති හා ප්‍රධාන විධායක නිළධාරී

51 හැවිරිදි ජෙෆ් බෙසොස් ඇමසන්.කොම් සමාගම ආරම්භකලේ 1994 වසරේදීය. නූතන විද්යුත් වෙළඳාමේ (electronic commerce) නිර්මාතෲවරයෙකු ලෙස සැළකෙන බෙසෝස් අන්තර්ජාලය හරහා වෙළඳාම්කල හැකි සමාගමක් නිර්මාණය කොට එය දැවැන්ත සමාගමක් බවට පත්කල පලමුවැන්නා ලෙස ඉතිහාසගතවී ඇත.

ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ උපත ලැබූ බෙසෝස් ප්‍රින්ස්ටන් සරසවියෙන් පරිගණක විද්‍යාව පිලිබඳව ගෞරව උපාධියක් දිනාසිටී.

1994 වනවිට ඇමරිකාවේ වෝල් ස්ට්‍රීහි දැවැන්ත ආයෝජන සමාගමක පරිගණක විශේෂඥයෙකු ලෙස ඉහල වැටුපක් ලබමින් සේවය කල බෙසෝස් ඒ සියල්ල හැරදමා ව්‍යාපාරික ලෝකයට අත පෙවුවේ අන්තර්ජාලය පිලිබඳව ඔහුට කියවන්නට ලැබුනු තොරතුරු පදනම් කරගෙනය. 1994 තරම් ඈත කාලයේ, එනම් අමෙරිකාව වැනි රටවල පවා සාමාන්‍ය වැසියන් සිය රැහැන් දුරකථනය පරිගණකයේ මොඩෙම් නම් උපාංගයට සවිකොට දුරකථන වයර ආධාරයෙන් ඉතා මන්දගාමී අන්තර්ජාල සේවා ලබාගන්නා කාලයේදී පවා, අනාගතයේ අන්තර්ජාලයේ දියුණුව පිලිබඳවත්, ව්‍යාපාරික අවස්ථා පිලිබඳවත් බෙසෝස්ට පැහැදිලි අවබෝධයක් තිබුණි.

අදවන විට ඇමසන් ලොව විශාලතම සමාගම් වලින් එකක් වන අතර 2014 වසරේ සමස්ත ආදයම ඩොලර් බිලියන 88කි. බෙසෝස්ගේ පෞද්ගලික වත්කම ඩොලර් බිලියන 40 ඉක්මවන බව වාර්තාවේ. ඔහු අද අමෙරිකාවේ සිටින ධනවත්ම බිලියනපතියන්ගෙන් 15වැනි ධනවතාය. 1999දී ටයිම් සඟරාව "වසරේ වැදගත්ම පුද්ගලයා - Time Man of the Year" ලෙස නම්කල බෙසෝස් 2008 වසරේදී අමෙරිකානු සඟරාවක් වන "US News & World Report" සඟරාව මගින් අමෙරිකාවේ සිටින දක්ශතම ව්‍යාපාරික නායකයෙකු ලෙස සම්මානයට පාත්‍රකලේය.

මුලින්ම පොත් හා CD තැටි වෙළඳාම ආරම්භකල ඇමසන් අද වනවිට එදිනෙදා ජීවිතයට අවශ්‍ය බොහෝ දෑ, ඉතා අඩුමිලට, ඉතාමත් ඉක්මණින් පාරිභෝගිකයින් වෙත යැවීම පිලිබඳව නමක් දිනාගෙන ඇත. ඊට අමතරව ඇමසන් සමගම, පොත් ප්‍රකාශකයින් විසින් අත්පිටපත් ප්‍රතික්ශේප කරන නවක ලේඛකයින්ට අතදීම සඳහා ඉලෙක්ට්‍රොණික පොත් (e-book) පලකිරීමේ සේවාවක්ද අරඹා ඇත. ඔනෑම අයෙකුට ඉතා සහන කොන්දේසි යටතේ ඇමසන් ඊ-බුක් සන්නාමයෙන් සිය පොත් ඉලෙක්ට්‍රොණික පොත් ලෙස පලකරවගත හැකිය.  මෙම ඊ-බුක් ව්‍යාපාරය තවත් වැඩිදියුණු කිරීම සඳහා ඇමසන් සමාගම තමන්ගේම ඊ-බුක් රීඩරයක් (e-book reader) කින්ඩල් (Kindle) යන නමින් හඳුන්වාදී ඇති අතර අද එය ලොව ජනප්‍රියම ඊ-බුක් කියවනයයි. එපමණක් නොව අදවනවිට ඇමසන් ලොව විශාලතම "cloud computing" සේවා ලබාදෙන සමාගමක් ලෙසද නමක් දිනාගෙන ඇත.

ඇන්ඩෘ ග්‍රෝව් - ඉන්ටෙල් සමාගමේ හිටපු සභාපති හා හිටපු  ප්‍රධාන විධායක නිළධාරී

1968දී සංගෘහිත පරිපථ ලොවට හඳුන්වාදුන් රොබර්ට් නොයිස් හා ගෝර්ඩන් මුවර් සමග ඉන්ටෙල් සමාගම ආරම්භකිරීමට දායකවුනු ඇන්ඩෲ ග්‍රෝව් 1979දී එහි අධ්‍යක්ශකවරයෙකුද, 1987දී එහි ප්‍රධාන විධායක නිළධාරියාද 1997වසරේදී එහි සභාපතිවරයා ලෙසද පත්විය. 1968 ආරම්භක වසරේදී ඩොලර් 2672ක් තරම් සොච්චම් ආදායමක් ලැබූ ඉන්ටෙල් සමාගම පරිගණක ලොවේ පතාක යෝධයෙකු ලෙසට වර්ධනය වූයේ 1979 වසරේ සිටම විවිධ ජ්‍යෙෂ්ඨ තනතුරු දරමින් ඇන්ඩෲ ග්‍රෝව් එයට ලබාදුන් නායකත්වය නිසාමය.

1997දී ඇන්ඩෲ සභාපති පදවිය පත්වනවිට ඩොලර් බිලියන 20ක් වූ ඉන්ටෙල් සමාගමේ ආදායම 2014දී ඩොලර් බිලියන 55 දක්වා වර්ධනය වී ඇත.

1970 දශකයේ අගභාගය වනවිට DRAM මෙමරි චිප් නිශ්පාදනයේ යෙදී සිටි ඉන්ටෙල් සමාගම පරිගණක ප්‍රොසෙසර් නිර්මාණය වෙත යොමුවීයේ ඇන්ඩෲ ග්‍රෝව් ගේ මගපෙන්වීමෙනි. හිතාචි, ටොශීබා වැනි ජපන් සමාගම් ඉන්ටෙල් සමාගමට වඩා අඩුමිලකට DRAM මෙමරි චිප් නිශ්පාදනය කරමින් වෙළඳපොල අල්ලාගන්නා බව තේරුම්ගත් ඇන්ඩෲ, ජපනුන්හට නිර්මාණය කිරීමට තාක්ශණය නොමැතිවුනු ප්‍රොසෙසර් නිර්මාණයෙන් ඉන්ටෙල් සමාගමට ඉදිරියට ආහැකි බව වටහ ගත්තේය.

1976 වනවිට අයි.බී.එම් සමාගම සිය විප්ලවීය IBM PC පෞද්ගලික පරිගණකය හඳුන්වාදීමට සූදානම් වෙමින් සිටි අතර එම කාලයේම මයික්‍රෝසොෆ්ට් නම් කුඩා මෘදුකාංග සමාගමක නිර්මාතෲ වූ බිල් ගේට්ස් නැමති තරුණයා, සගයන් කිහිපදෙනෙකු සමග අයි.බී.එම්  PC පුද්ගලික පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය වූ MS-DOS පරිගණක මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරමින් සිටියහ. වාර්තා පිට වාර්තා තබමින් අලෙවි වුනු අයි.බී.එම් PC පරිගණකයට ඉන්ටෙල් ප්‍රොසෙසර් පමණක් භාවිතාකරන්නට අයි.බී.එම් සමාගම එකඟකරවා ගත්තේ එවක ඉන්ටෙල් නිශ්පාදන අධ්‍යක්ශකවරයා වූ ඇන්ඩෲ ග්‍රෝව් විසින්ය.

අයි.බී.එම් පුද්ගලික පරිගණකය ලොව ජනප්‍රියම පරිගණකය වනවිට, ඉන්ටෙල් සමාගමද එයට සමගාමීව විශාල වර්ධනයක් ලැබීය. ඇන්ඩෲ ග්‍රෝව්ගේ නායකත්වය යටතේ ඉන්ටෙල් සමාගම සේවකයින් 64,000ක් සේවය කරන, වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 197ක්වන දැවැන්ත අධිතාක්ශණික සමාගමක් බවට පත්විය.

සැමවිටම සිය ඉන්ජිනේරුවන්ට හා කළමණාකරුවන්ට නිර්මාණශීලීව සිතන්නට යොමුකල ඇන්ඩෲ නිරන්තර අත්හදාබැලීම් හා නවනිර්මාණ සිදුකරීමට අතහිත දෙන සංස්කෘතියක් ඉන්ටෙල් සමාගම තුල බිහිකලේය. එමෙන්ම නිරන්තරයෙන් වෙනස්වීමටත්, වෙනස්වීම එකම ස්ථිරදෙය ලෙස සැලකීමට ඇන්ඩෲ නිතරම සිය සේවකයින්ට උපදෙස් දුන්නේ නිරන්තරයෙන් වෙනස්වන පරිගණක ලෝකයේ ඉදිරියාමේ එකම මග එය බැවිනි.




Comments