Wednesday, December 10, 2014

දොඹ මලින් මලෙක රේණු තලන...!!!



ඉහත ජායාරූපයෙන් දැක්වෙන්නේ දොඹ මල් කිණිත්තකි. බොහෝ දෙනා දැක ඇතැයි නොසිතුව බැවින් එහි සුන්දරත්වය දැකීම පිනිස එකතු කලෙමි.

මෙම ගීතයේ අරුත කිහිප අයුරකින් තේරුම් ගත හැකිය. මා සිතනුයේ තුරුණු වියේ සිටින තරුණයින් ගේ සහ තරුණියන්ගේ සිතෙහි පවතින හැඟීම්, ඔවුන්ගේ කෙලිලොල් බව, ඔවුන් විඳින නිදහස ගෙනහැර පෑමට අප අවට පරිසරයේ උපමා රූපක යොදා ගනිමින් තරුණ තරුණියන්ගේ ජීවිතවල වසන්ත සමය පරිසරයේ වසන්ත කාලය සමඟ මුහුකොට ඉතාමත් සුන්දර අයුරින් රචිත ගීතයක් ලෙසයි.

කුමාරදාස සපුතන්ත්‍රීන් විසින් රචිත, විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා ගායනා කරන මෙම ගීතයේ සංගීතය අප ආදරණීය රෝහණ විරසිංහයන් විසින් සම්පාදනය කරන ලද්දකි.

දොඹ මලින් මලෙක රේණු තලන තුරුණු බඹර රැහේ...
මද මතින් ඉපිල රඟනු බලා මල් මුව රද සැලේ...

මේ ඔවුන්ගේ සමයයි. ඔවුනට නම් මෙය වසන්ත සමයයි. කණ්ඩායම් ගැසුනු කඩවසම් තරුණයින්, තරුණියන්ගේ බැල්මට හසුවන ලෙස ඔබ මොබ සැරිසරයි. ඔවුන් ආඩම්බර කාරයින්ය. මේ ආඩම්බර කඩවසම් තරුණයින් දකින යුවතියන්ගේ  සිතුවිලි ඔවුන් කෙරේ ඇදී යයි. ඒ දොඹ මලින් මලට මාරු වෙමින් පැණි බොන තරුණ බඹරුන් රෑනක් "මද මතින්" එනම් අහංකාරකමින්, තමන්ගේ රංගනය පිලිබඳ ආඩම්බරයෙන් ඔදවැඩී රඟන අයුරු දැක, දොඹ "මල් මුව රද" එනම් මල් මී, මල් පැණි පිරී සැලෙන්නා සේය.

හද සුවය මවෙත රඳන විහඟ ගීතයයි..
සුව සිහින වැලෙක මල් පීදෙන කාලයයි...
නව යෞවනේ පිපි මල් වනේ....
රණ තිසර ලමැද සෙවනේ මධු සාදයයි....  

ඔවුනොවුන් සතුටින් ඉපිල සිටී. ඔවුන්ගේ හදවත් සෙනෙහසින්, ආදරයෙන් පිරී ඇත. කෙසේද යත් කුරුළු ගී හඬකින් සිත සුවපත් කරන්නා මෙනි. මොවුන්ගේ නැවුම් සිත් තුල සිහින නම් කොපමන ඇතිද. මේ ඔව්න් ගේ සිහින් ඉටුවන වසන්තයයි. එනම් සිහින වලින් නිමැවූ වැලක මල් පීදෙන්නා සේය. නව යොවුන් වියට පා නැගූ මේ අය පිවිසෙන්නේ ඔව්න්ගේම පාරාදීසයකටය. එනම් යොවුන් විය නැමති මලින් පිරී ගිය වනයයි. ඔවුන්ගේ ලෝකය කෙතරම් නම් කෙලිදෙලින් සතුටින්, මෙන්ම සෘංගාරයෙන් පිරී ඇතිද යත්, "රණ තිසර" රන්වන් පියාපත් සහිත හංසයන් ගේ පපු තුරුලේ ඇති මීවිත සාදයක් වැනිය. මෙහිදී හංසයන් උපමා කරනුයේ රූසපුවෙන් යුතු තරුණියන් සඳහා විය යුතුය.

වන වදුලු පුරා නිල්ල නිලන කාලයයි...
රණ මොණර කිකිණි හඬින් වැයෙන තාලයයි....
හසරැල් සලා කඳුලැල් නිවා...
සිත නිබඳ සොයන නිමල සොඳුරු ගීතයයි...

වදුල යනු ගස් සහ වැලින් වැසුනු අඳුරු වන පියසයි. නිල්ල ( නිල ) යනු පොළවට කියන සමාන පදයකි. නිලන වා යනු කොල පැහැ ගැනීමයි. ගස් වැල්, මහ පොළව කොල පැහැ ගන්නා වසන්තය මෙන් ඔවුන්ගේ සිත් පිබිදී නව සිතුවිලි වලින් දළුලා ඇත. රණ මොණරුන් "කිංකිණි" පය බැඳි කුඩා ගෙජ්ජි සොලවමින් පිල් විදහා ගෙන රඟදෙයි. මෙහිදී ද මොණරුන් උපමා කොට ඇත්තේ කෙලිදෙලින් පසුවන, නටන, ගයන වයන ලඳුන් වෙනුවෙන් වියයුතුය. කඳුලු පිසදා, සිනා වපුරා සතුටින් මුමුණන ගීතය නම් මේ යෞවනය නැමති ගීතයයි.

මෙම ගීතයේ ඇති අතිශය සුන්දරත්වය නම් අප පරිසරයේ අපට මඟහැරෙන සියුම් සිද්දීන් රච්කයා විසින් ජීවිතයේ අවස්ථාවන් සමඟ සුසංයොජනය කර ඇති අපූර්වත්වයයි. 


    






0 comments:

Post a Comment