Thursday, February 5, 2015

අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්



ප්‍රේමකීර්ති ද අල්විස් ගේය පද රචකයානන්ගේ තවත් එක් අමරණීය ගීතයක් ලෙස සුන්දර මෙන්ම අර්ථපූර්න වූ මෙම ගීතය හැඳින්විය හැකිය. ආචාර්ය වික්ටර් රත්නායක විසින් සංගීතවත් කොට ගායනා කරනු ලබන මෙම ගීතය, එදාටත් වඩා වර්තමාන සමාජයට වැදගත් බව පෙනේ.

අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳපානේ මඳ අඳුරේ අත් පටලා යමු ආයේ

දිනෙන් දින සංකීර්න වන සමාජයේ මුදල්, වෘත්තීය මූලික වූ ජයග්‍රහනයන් පසුපස හඹා යන අප සැවොම කෙතරම් සංවේදී මිනිසුන් ද? මානව හැගීම් පිලිබඳව අප තකන්නේ කෙතරම් අවම කොටද. කෙටියෙන්ම කියතොත් අපට තවත් මිනිසකුගේ හැඟීම් තේරුම් ගැනීමට තබා අපේ හැගීම් තේරුම් ගැනීමටවත් කාලයක් අවකාශයක් හෝ අවශ්‍යතාවක් තිබේදැයි මොහොතක් සිතිය යුතු කාලයයි මේ.

මෙම ගීතයේ රචකයා ඉදිරිපත් කරන යුවල තාරුණ්‍යය පසුකොට ඇති දෙදෙනෙකි. නමුත් ඔවුන්ට එදා මග හැරුනු එකිනෙකා ගේ හැඟීම් අවබොද කරගැනීම සහ එදා ඔවුන් බොලඳ හරසුන් යැයි විශ්වාස කල ප්‍රේමයේ සුන්දරත්වය සැබෑවටම විඳීමට ඔහු විසින් ඇයට කරන ආරාධනාව මෙම ගීතයේ අඩංගුවයි.  

ඔවුන් දෙදෙනා බොහෝ විට ඔවුන්ගේ එකල්හි සිතෙහි මතු වූ හැගීම් වලට අවස්ථාවක් දී නැතුවා වන්නට ඇත. නමුත් දැන් දිවියේ වියපත් වෙත්ම ඒ සුන්දර සරල එමෙන්ම බොලඳ හැඟීම් වල අගය ඔවුන්ට දැනෙයි. නමුත් දැන් එදා මෙන් හැඟුම් වලට ඉඩදීමට ඉඩකඩ අල්පය. ඉතින් ඔහු ඇයගෙන් මෙසේ විමසයි. "අපි හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක්". කුමක් සඳහා ද යත්... "හඳපානේ මඳ අඳුරේ අත් පටලා යමු ආයේ.." ඔහු බලාපොරොත්තු වන්නේ එදා ඔවුන්ට විඳින්නට නොහැකි වූ ඒ සුන්දරත්වය විඳීමටයි.  

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳපානේ මද අඳුරේ  

සෙවනැල්ල යනු වෙන කිසිවෙක් නොවේ නමුත් ඔබමයි. ඔබ පසුපස ඔබ යන යන තැන ඔබව අනුකරණය කරන ඔබගේ මොඩලයයි. අනෙක් කාරණය නම් සෙවනැලි පවතින්නේ ආලෝකය ඇතිවිට පමනි. මෙහිදී සෙවනැල්ල ලෙසින් උපමා කොට දක්වන්නේ අපව ලෝකයා දන්නා ආකාරයයි. නමුත් ලෝකයා දන්නවාට වඩා ඔවුන් සැබෑ ලෙසින් වෙනස්වූ සංවේදී  මෙහිදී වූ දෙපලකි. නමුත් ඔවුන්ද බහුතරයක් වූ සමාජය මෙන් හුදෙක් බාහිර ජයග්‍රහන ලුහුබැඳ ගියා පමනය. ඔහු ඇයට දැන් පවසන්නේ... "ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී" එනම් ඒ සමාජ සම්මත ඔහු සහ ඇය යන ආකෘතියෙන් මිදී ඔවුන්ට අත හැරුනු ඔවුන්ගේම හැඟීම් වෙනුවෙන් වියතක් තරම් ඉඩක් ලබාගන්නා ලෙසයි. කුමක් සඳහා ද කියතොත්.... හෙමි හෙමින් ඇවිත් රහසින් හඳපානේ මද අඳුරේ මිමිනීමටයි.      

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ

මෙම සමාජ ක්‍රමය තුල ජීවත්වන බහුතරයක් සතුට යන්නෙහි අරුත වටහා ගත්තෝ නොවේ. ඔවුන් දෙපල ද එකල් හි එසේම වන්නට ඇත. ඒ නිසාම දුක් වන්නට නම් කාරණා ඕනෑ තරම් ඇති. එමෙන්ම ඔවුන්ට ජීවිතයේ සතුට සහ සුන්දරත්වය එදා මග හැරුනු නිසා ද ඔවුන් දුක් වනවා විය හැක. එනිසා ඔහු මෙසේ පවසයි... "හිරකර හසරැල්ලෙන් හැඬුම්..අපි හිනැහෙමු සපුරා පැතුම්.." මේ ආත්මයේ දී ඔවුන්ට නැවතත් අතහැරුනු සුන්දරත්වය ලඟා කොට ගත නොහැකි නිසාම... ඔහු මෙසේ ද පවසයි..."මතු ආත්මයේ හමුවන පැතුමින් යමු වෙන්වී හිමිදිරියේ.." 

හෙවනැලි අවදිවීමට කලින් හිමිදිරියේම වෙන්වී යමු... 







0 comments:

Post a Comment