Thursday, March 19, 2015

මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...


අප ආදරණීය සෝමතිලක ජයමහ විසින් ගායනා කරන මෙම ගීතය, ප්‍රසන්න චන්දන බණ්ඩාර විසින් රචනා කොට එච්.එම් ජයවර්ධන විසින් සංගීතවත් කොට ඇත.

එච්.එම් ජයවර්ධනයන් විසින් මෙම ගීතයට යොදා ඇති තනුව මෙම ගීතයේ සංවේදී බව තවත් තීව්‍ර කිරීමට සමත්වී ඇත. එයටම ගැලපෙන ජයමහ ගායකයානන් ගේ දුක්මුසු කටහඬ රචකයාගේ පදරචනයට ඉහලින්ම සාධාරණයක් ඉටුකර තිබේ.


තම ප්‍රේමය විසින් තමන් හැරයාම නිසා තනිවූ, ඔහු හෝ ඇය තවමත් තමන් ආදරය කරන ඔහුට හෝ ඇයට කියනා කතාවයි මේ.

එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා....
මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියෙනවා...
නුඹ මගේ ළගින් නැති අඩුව මට දැනෙනවා...
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...

ඔවුනොවුන් ඈත්වී යම් කාලයක් විය හැකිය. හැරගිය ඔහු/ඇය නැතත් සියලු දේ ඒ අයුරින්ම පවතී. ඔවුන් එකට තුරුලුවී එක කුඩයෙන් ගියදා ඔවුන්ට ආසිරි සැලූ පොදවැස්ස අදත් ඒ අයුරින්ම ඇද හැලේ. දෙදෙනා දහසකුත් එකක් දේ කතාකල ගස් සෙවන, ඒ ගස් තවමත් මලින් බරවී ඇත. "ගහ ගාව තවම ඉඩ තියෙනවා" යනුවෙන් මෙහිදී ඉඟි කරනුයේ ඔවුන් දොඩමළු වූ ගස් සෙවනේ ඔහු/ඇය වෙන කිසිවකු සමග නොගිය නිසාම පවතින ඉඩ පමණන් නොව, ඔහු/ඇය තවමත් තනිකඩ බවත් ඔහුගේ/ඇයගේ හදවතේ තවමත් ඉඩ ඇති බවත් විය යුතුය.   

තමන්ට ආදරය කල ඊටත් වඩා තමන් ආදරය කල, තමන්ව තේරුම්ගත්, සොයා බැලූ තම පෙම්වතා/පෙම්වතිය අහිමිවීම යනු, ජීවිතයේ වැදගත්ම කොටසක් අහිමි වීමකි. ඔහුට/ඇයට ඒ අඩුව කාගෙන් කෙසේ නම් පුරවන්නද. තමන්ට හිමි නැති බැව් දැන දැනත් තවමත් ඔහු/ඇය තමන් හැරදා ගිය, අතීතයට එක්වූ ඔවුන්ගේ මියැදුනු ප්‍රේමයට පණ දෙන්නට වෙහෙසෙයි.  

දුක පිරුණු මගේ හිත නුඹ හොඳට දන්නවා....
හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා... 
නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා....     
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...

දුකින් ඉන්නා විට දුක තේරුම් ගැනීමේ සිට, හිත හදන්නට ද හැකිවූයේ ඔහුට/ ඇයටය. නමුත් අද මෙසේ දුක් වන විට හිත හදන්නට කවුරුවත් නැත. ඔහුගේ/ඇයගේ ඒ සිත සැනසූ වදන් දෙසවන් සොයන්නේ ඒ නිසාමය. ඔවුන්ගේ කතාවත් අනෙක් කතා මෙන්ම දුක, කරදර, ප්‍රශ්ණ වලින් තොරවූවක් නොවේ. නමුත් ඒ මුහුණ දුන් සියලු දුක් කම්කටොළු එදා දුකක්, කරදරයක් ලෙස දැනුනත් අද නම් සිතෙන්නේ එසේ වී හෝ ඇය/ඔහු සිටියානම් කෙතරම් අගනේදැයි කියාය.

අනාගත වාලුකා කතර මැද තනිවෙලා...
කෙසේ පා ඔසවම් ද සා පවස විඳ දරා....
පුරපසක නොවී නුඹ අවපසක සඳ උනා....
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...

ඔහු/ඇය නැති අනාගතය යනු වාලුකා කාන්තාරයකි. එවැනි කතරක දියබිඳක් වී නම් ඒ ඔහුයි/ඇයයි. මෙතුවක් කල් තමන් රැකබලා ගත් ඔහු/ඇය නැතිව කෙදිනකවත් අනාගතය ගැන සිතිය හැකි නොවේ. දිනෙන් දින තමන් ගෙන් ඔහු/ඇය ඈත්ව යන බවත් දනී. ඒ අවපස (බැසයන) සඳක් ලෙසිනි. නමුත් පැතුම පුරපස 
(මෝදුවන ) සඳක් වී මතු දිනෙක ඔහුගේ/ඇයගේ සිත් අහසේ පුර සඳක් වීමටයි....

ගේය පද : ප්‍රසන්න චන්දන බණ්ඩාර

සංගීතය : එච්.එම් ජයවර්ධන

ගායනය : සෝමතිලක ජයමහ

 




0 comments:

Post a Comment