Saturday, March 21, 2015

මට කඳුළු එන්න කලියෙන්.....


ආනන්ද හේවාරංහිඳගේ ගේය පද රචනාවෙන් ද මහින්ද බන්ඩාරයන් ගේ සංගීතයෙන්ද ඔපවත්ව, දීපිකා ප්‍රියදර්ශනී ගේ හඬින් අප හදවත් වලට සමීප කරවූ මෙම ගීතය ප්‍රේමයේ අපූර්වත්වය සහ එය කෙතරම් අව්‍යාජ ද යන බවත් සිහි ගන්වයි. 

මට කඳුළු එන්න කලියෙන්... මං දමා යන්න...
නෑ හයියක් මට නුඹ දැක දැක පලා යන්න...  
මට කඳුළු එන්න කලියෙන්... මං දමා යන්න...


අද අවසාන දවසයි.. ඇය ඔහුගේම වන. ඇය ඔහුට අසීමිතව ආදරය කරයි. නමුත් ඔහු ඇයට ප්‍රේම කරනුයේ ඇය කෙසේ හෝ ඔහුගේ කරගැනීමට එහා ගිය, ඇයව තේරුම් ගැනීම තුලින් ඇයට සතුට අත්කර දීම වෙනුවෙන්ය. 

යතාර්ථවාදීව සිතන කල මෙහි දක්වන අවසාන හමුවීම ඇතැම් විට ඇය සිතින් පමණක් මවාගත් හමුවීමක් වීමටද පුලුවන්. කෙසේ නමුත් ඇය පවසන්නේ ඇයගේ සිතතුල පවතින පීඩනයයි, ආදරයයි, වේදනාවයි.  

ඇය මේ සැරසෙන්නේ ඔවුන් ගේ ලෝකයෙන් සදහටම ඉවත්ව යාමටයි. නමුත් එය එතරම් පහසු නොවේ. ඇය ඔහුගෙන් කරන ආයාචනයන් එකිනෙක ගීතය පුරා ඉදිරිපත් කරයි.

මට කඳුළු එන්න කලියෙන්... මං දමා යන්න...
නෑ හයියක් මට නුඹ දැක දැක පලා යන්න...  

"මා ඔබව දමා යන්න කලින් ඔබ මා දමා යන්න...මන්දයත් ඔබ මා සමඟ සිටියදී ඔබ හැර යාමට මට ශක්තියක් නැති නිසා". මෙහිදී ඇය තමන්ගේ සිත රවටා ගෙන හෝ, සිත හදා ගැනීමට අහිංසක උත්සහයක නිරතවේ.        
මේ පුර හඳකට පෝය ලැබෙන අන්තිම මොහොතයි....
හෙට අවපස වී මං එනකොට අඬන්න නරකයි... 
තව එපා ඉන්න...ඔය ඇස් බැලුවම මට බැහැ හෙට තැලි අඳින්න...
මට කඳුළු එන්න කලියෙන්... මං දමා යන්න...

පුර හඳ මෙතරම් වටින්නේ හුදෙක් එදින දී සඳ පිරී පවතින නිසාම නොව එදින පෝදාවක් වන නිසාය. ඇය පුර හඳ නම් එයට අර්ථයක් එක් කල ආදරණීයයා ඔහුයි. නමුත් හෙට ඇය නැවත අව පකෂයේ සඳක් මැයි. කාරණාව නම් යලිදු කිසිම දිනයක ඇයගේ ජීවිතයට අර්ථයක් ඇතිව ජීවත්වීමට නොහැකි වීමයි. ඇය මින්පසු පොහොය දිනය නොසමරන රටකට පායන පුන්සඳක් මෙනි. ඉතින් ඇය ආයාචනා කරයි " ඔබේ ඇස් දෙස තවත් මා බල සිටියොත් මට හෙට මංගල ගමනට තැලි අඳින්නට බැරිවේවි. එ නිසා යන්න..."

සඳ වෙන අහසක සුදු සීතල සැමදා නුඹටයි.....
අපි හිනැහී ඉමු හැමදාකම අපි අප ලඟමයි....
දැන් ඉතින් යන්න.... අතැඟිලි වැටුනම බැරිවෙයි මුදු පලඳවන්න....

ඇය සඳයි.. නමුත් දැන් ඇය ඔහුගේ අහසේ සඳ නොවේ, ඇය වෙන අහසක සඳකි. නමුත් ඔහුගේ අහස එකලු කල ඇයගේ සීතළ තවමත් ඔහුගේම බව ඇය පවසයි.මෙහිදී "සුදු සීතල" යනුවෙන් යොදනුයේ ඇය පවසන්නේ ඇයගේ ප්‍රේමය සැමදා ඔහු වෙනුවෙන්ම බවයි. මෙයින් ප්‍රේමයෙන් තොරවූ රාගික හෝ කායික එක්වීමක් අදහස් නොකරයි.එක්වීමට නොහැකි වීම යනු ප්‍රේමයේ අවසානය නොවේ. එය ඇයත් ඔහුත් දෙදෙනාම තෙරුම් ගෙන ඇත. ඔවුන් එක් නොවුනත් වෙන් වීද නැත. ඒ නිසාම ඇය මෙසේ කියයි "සිනාසෙන්න අපි අද මෙන්ම හදවතින් හැමදාමත් අපේමයි".

නමුත්...

දැන් ඉතින් යන්න.... අතැඟිලි වැටුනම බැරිවෙයි මුදු පලඳවන්න....!!!

ඒ තාවකාලික සමුගැනීම සදාකාලික එක් වීමක්ම වේවි...

පද රචනය : ආනන්ද හේවාරංහිඳගේ

සංගීතය :  මහින්ද බන්ඩාර

ගායනය : දීපිකා ප්‍රියදර්ශනී


















0 comments:

Post a Comment