Thursday, April 2, 2015

අපි අයෙත් හමු නොවුනා නම්...








අදටත් එදා මෙන්ම රස විඳිය හැකි, නමුත් එදා තරම් අපට ඇසෙන්නට නොලැබෙන මෙම ගීතය 70 දශකයේ බිහිවූවකි. ආචාර්ය අජන්තා රණසිංහ ගේය පද රචනයෙන් ද, ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ සුමධුර වූ තනුවකින් ද හැඩවූ මෙම ගීතය අප ආදරණීය සෝමතිලක ජයමහ ගායන ශිල්පියා විසින් ගායනා කරනු ලබයි.

අපි ආයෙත් හමුනොවුණා නම්..
ඉස්සර දවසක මියගිය සෙනෙහස..
යළි ඉපදී මා හද හඬවන්නට..
අපි ආයෙත් හමුනොවුණානම්..

ඔබ නාඳුනන විරහ වේදනා..
පෙරදා වින්දේ මා පමණයි..
හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්..
අදත් විඳින්නේ මා පමණයි..

සමුගන්නට නම් අහිමි ආදරෙන්..
ආයෙත් ඇයි අප හමුවන්නේ..
ආදරයේ කඳුළින් මියයන්න ද..
ජීවිත ඉරණම විසඳෙන්නේ..

ඉතාමත් සරළ භාෂාවකින් මෙය රචනා කොට ඇති නිසාම පහසුවෙන් මෙහි අර්ථය ඕනෑම අයෙකුට අවබෝද කරගත හැකිය.

තමාට බෙහෙවින් ආදරය කල තම පෙම්වතා හැරයන්නට යම් හේතුවක් නිසා ඇයට සිදුවී තිබේ. මෙහිදී රචකයා එය හරි හෝ වැරදි දැයි කීමට පෙලඹී නැත. ඔහුට වැදගත් වනුයේ මේ වියෝගය නිසා පෙම්වතා විඳින වේදනාව ප්‍රේක්ෂකයාට දැනවීමටයි. නමුත් රචකයා විශ්වාස කරනුයේ ඇයට නම් මෙම වෙන්වීම කිසිසේත්ම වේදනාවක් නොවූ බවයි, ඇය එයින් එදාවත් මෙසේ හමුවීම නිසා අදවත් වේදනාවන් නොවිදිනා බවයි.

 ඔබ නාඳුනන විරහ වේදනා..
පෙරදා වින්දේ මා පමණයි..
හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්..
අදත් විඳින්නේ මා පමණයි..

වෙන්වී ගිය ඇය නැවත ඔහුට හමුවේ. ගීතයේ මූලික සිද්ධිය එයයි. ඒ හමුවීම අහම්බයක් විය හැකිය. නමුත් ඒ සමඟම ඔහුට තමන් වෑයමකින් වලලා තිබූ අතීතය නැවත මතකයට නැගේ.මේ මතකයන් ඔහුව නැවත නැවතත් දවයි, රිදවයි. ඔහු ඉතා අපහසුවෙන් සකසාගෙන තිබූ ජීවිතය නැවතත් අවුල් වී යනු ඇත. නැවතත් නිදි නැති රාත්‍රින් ඔහු සොයා එනු ඇත.

ගීතයේ සුල මුල සොයා යද්දී හමුවූ සුවිසේශී කාරණා කීපයකි. ඉන් එකක් නම්, ආචාර්ය අජන්තා රණසිංහ විසින් සෝමතිලක ජයමහ වෙනුවෙන් මෙතෙක් ලියූ එකම ගීතය මෙයයි. එමෙන්ම ආචාර්ය වික්ටර් රත්නායක විසින් සෝමතිලක ජයමහ වෙනුවෙන් මෙතෙක් සංගීතවත් කල එකම ගීතයද මෙයයි. එමෙන්ම සෝමතිලක ජයමහ විසින් ගායනාකල ප්‍රථම විරහ ගීතය ද මෙයයි.

මෙම ගීතය පිලිබඳව 2007 අග භාගයේ සිළුමිණ පුවත්පත සමඟ සංවාදයකට එක්වූ  ආචාර්ය අජන්තා රණසිංහයන් ගෙන් විමසූ අවස්ථාවක ඔහු මෙසේ පවසා සිටින ලදී..

"මේ සංකල්පනාව ඇත්තටම මගේ හිතේ පහළ වුණේ අත්දැකීමක් මඟින්මයි. කාටද ඔය වගේ අත්දැකීම් නැත්තේ? අපි ආයෙත් හමුනොවුණානම් කියන මේ ගීතය විතරයි මං සෝමතිලක ජයමහ ගායකයාණන්ට ලියල තියෙන්නෙ. ඒ ඔහුගේ සරල ගී වැඩසටහනකටයි.

ඔහු මේ ගීතය ඉතා විශිෂ්ට අයුරින් ගායනා කොට තියෙනවා. ගීතයේ අරුතට ගැළපෙන නිර්මාණාත්මක තනුව හා සංගීතය මේ ගීතය මෙතරම් ජනප‍්‍රසිද්ධවීමට බලපෑවා. ගීතයේ තනුව වික්ටර් රත්නායක සංගීතවේදියාණන් අතින් නිර්මාණය වී තිබෙනවා.

මට අවශ්‍ය කළ අරුත ගීතයේ පදවලින් මා මතු කළ හැඟීම් ඉතා අපූරුවට සංගීතයෙනුත් ඉස්මතු වී තිබෙනවා. මා ලියූ ගී අතරින් මා ඉතා කැමැති ගීතයක් මේ ගීතය. ඊට හේතුව සෝමතිලක ගේ විශිෂ්ට ගායනය හා වික්ටර් රත්නායකයන් ගේ සංගීත නිර්මාණය.

පේ‍්‍රමයේ විරහව සංගීතයෙන් මොනවට ඔප්නැංවී තිබෙනවා. ඒ වගේම සෝමේ ගේ කටහඬත් ඊට හරිම උචිතයි. මේ මා ලියූ ගී අතරින් ඉතා සාර්ථක ගීයක් ලෙසින් මට හඳුන්වන්නට පුළුවන්.
ඇත්තටම මෙය බිඳුණු ආදරයක ඛේදවාචකයක් ලෙස හඳුන්වන්නට පුළුවන්."

මෙම ගීතය පිලිබඳ සෝමතිලක ජයමහ ගායන ශිල්පියානන් මෙසේ අදහස් දක්වා තිබුනි...

“මේ ගීය මා ලියවාගත්තේ මගේ සරල ගී වැඩසටහනකටයි. හැබැයි මං ආචාර්ය අජන්තාට මට අවශ්‍ය ගීතයේ අදහස මෙසේ විය යුතු යි කියා කීවේ නම් නැහැ. ඒත් ඔහු ලියූ මේ ගීය මගේ හිතට කාවැදුණා

මම මීට පෙර ආදරයේ විරහ වේදනාව ගැන ගීයක් ගයා තිබුණේ නැහැ. 1970 දශකයේ බිහිවුණු මේ ගීතයට මං රුචි කරනවා. වචනවලටම සරිලන මගේ කටහඬට උචිත තනුවක් වික්ටර් රත්නායකයන් ගෙන් නිර්මාණය වුණා.

පේ‍්‍රමයේ වේදනාව ගැන මේ ගීතය ගයන විට මටත් අමුතු දුකක් දැනුණා. ඒත් මට නම් මෙවැනි අත්දැකීමකට මුහුණපාන්නට සිදුවෙලා තිබුණේ නැහැ.

වසර 30 කට අධික කාලයක් ඔය ගීතය පේ‍්‍රමවන්තයන් අතර බොහෝම ජනපි‍්‍රය ආස්වාදජනක ගීයක් වෙලා තිබෙන බව නම් මම දන්නවා."

මෙහි තනුව සකසා දුන් තම මතකය අවදි කරමින් මෙසේ පවසා තිබුනි.

"ඔය ගී පදරචනයට මට කියා තනුවක් දමාගන්නට සෝමතිලක ජයමහ මිත‍්‍රයා මා ළඟට එන්නට ඇත්තේ මා තුළ වූ යම් සංගීත නිර්මාණ කුසලතාවකට ඔහු ඇලුම් කළ නිසා වන්නට ඇති.

කෙසේ වෙතත් අජන්තා ගේ මේ ගීත පදමාලාව අතට ගත් ගමන්ම මට වැටහුණා මෙය විපුලම්භ ගෘංගාරයකින් යුතු ගීතයක් බව. පේ‍්‍රමයේ විරහව දුකක් වුවත් එයිනුත් යම් වින්දනයක් ලැබෙනවා.

මෙය විපුලම්භ ගෘංගාරය හොඳින් වින්දනය කර ගත හැකි ගීයක් නිසා මා ඊට උචිත තනුවක් නිර්මාණය කරන්නට උත්සාහ කළා.

විරහ වේදනාව පෙරදා ද වින්දේ තරුණයා පමණයි. අද ද ඔහු ඒ වේදනාව විඳිනවා. මෙය මට හිතෙන්නේ එක්තරා විදිහකට ගෘංගාරාත්මක වේදනාවක්.

ඒ දුක්ඛ වේදනාවත් සුඛවේදනාවක් කරගන්නට ඔහු උත්සාහ ගන්නවා. එහෙත් ඔහු ආදරයේ කඳුළින් මියයන්නට හෝ අකැමැත්තක් නැහැ.

මා මේ ගීතයේ තනුව නිර්මාණය කළේ ඒ විපුලම්භ ගෘංගාරයේ වේදනාව රසිකයාට වින්දනය වන ආකාරයටයි. එහි දී සෝමතිලක ගේ කටහඬට උචිත වන පරිදි මගේ නාද රටා ගළපන්නට මට හැකිවුණා. එහෙත් මෙහිදී විශේෂිත වූ තාල රටාවන් හෝ විශේෂ ප‍්‍රයෝග නම් මා යොදා ගත්තේ නැහැ. හැඟීමට උචිත සංගීතය පමණක් යොදාගත්තා."

අපට තවමත් විඳින්නට මෙවැනි කෘතීන් බිහිකල ඔවුන්ට අප සදා ණයගැති නොවේද...

පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ

සංගීතය :  ආචාර්ය වික්ටර් රත්නායක

ගායනය : සෝමතිලක ජයමහ



















0 comments:

Post a Comment