Wednesday, May 6, 2015

බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම..


















ආචාර්‍ය අජන්තා රණසිංහයන් ගේ තවත් එක් අග්‍රගන්‍ය ගීපද රචනාවක් ලෙස "බොල් වී අහුරු" ගීතය හැඳින්විය හැක. සරත් දසනායක ගේ සංගීතයට පණ්ඩිත් අමරදේවයන් ගේ සුමධුර හඬ මුසුව මෙම ගීතයේ අන්තර්ගත ශෝකය ද රසයක් ම කොට ඉදිරිපත් කරයි.   

බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම..
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම..


කිරිවැදී නොපැසුනු වී බොල් වී නම් වේ. බරෙන් අඩු නිසාම සුලඟට ගසාගෙන යයි. ඔහුගේ කිරි නොවැදුනු, සඵල නොවූ පැතුම් ද සුලඟට ගසාගෙන යන බොල් වී අහුරු මෙනි. ඇය ඔහු හැර ගොසිනි. ඊටත් වඩා ඇය ඔහුට වත් නොකියාම නික්ම ගොසිනි. "නුඹ මටවත් නොකියාම" යන පදයෙන් රචකයා යමක් සියුම්ව ඉදිරිපත් කරයි. එනම් ඔහුත් ඇයත් කිසිවකු නොදනිතත් බොහෝ ලංව ආශ්‍රය කර ඇති බවයි. එය ශාරීරිකව නොව සිතුවිලි වලින් විය යුතුය. අඩුම තරමින් ඇය නොදනිතත් ඔහු ඇයව බොහෝ සමීප ලෙසින් සිතා සිටියාවත් විය යුතුය. අන් අය කෙසේ වෙතත් ඔහුටවත් නොකියා දීග යාම මේ තරම් ඔහුට වේදනා දෙන්නේ ඒ නිසාය. මෙම කතාව වියෝගයෙන් තවත් ඔබ්බට අපව කැඳවාගෙන යයි.ඈ ඔහු හැරදා ගොසින් පමණක් නොවේ. ඇය නැවත ඔහුගේ නොවෙන්නටම ඔහුව හැරදා ගොසිනි.  

මේ සිදුවූ සියල්ල අතරේ ඔහුට ඔවුන්ගේ බාල කාලය සිහිවේ.

දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ..
රංචුව ගැසුණු හැටි මතකද අපි බාලේ..

පිපෙන්නේ මල්ය. කජු පුහුලන් ඉදෙනවා මිස පිපෙන්නේ නැත. මෙහිදී පිපෙනවා යන්න රචකයා යොදනුයේ එකල්හි දුව පැන ඇවිදින ළමයින් අතර ඇති ප්‍රීතිය, ප්‍රමෝදය ඉස්මතු කිරීමට විය යුතුය. ඔහුට එම කාලය සිහිවෙයි. එදාත් ඔහුට ඇය කෙරෙහි යම් කිසි ආකාරයක හැඟිමක් තිබුනු බව සිහිවේ. නමුත් එය කුමක් දැයි එදා ළමා වියේ පසුවූ ඔහුවත් ඇයවත් හඳුනාගත්තේ නොවේ.

මල්වර වියේ නුඹ ඉඳ හිට දුටු වේලේ..
බැරි උනි කියාගන්නට හිත බැඳි ආලේ..

කාලය ගෙවී යයි. දැන් ඇය තවත් ලදැරියක් නොවේ, ඇය දැන් තරුණියකි. එදා මෙන් කොල්ලන් කුරුට්ටන් සමඟ රන්චුව ගැහෙන්නට ඇය පැමිනෙන්නේ නැත. ඔහුට ඇයව හමුවෙන්නේත් ඉඳ හිටය. 

මෙහිදී  රචකයා වක්‍රව ලාංකේය ගැමි සමාජය සහ සංස්කෘතියද අපට කියා දෙයි. "මල්වර වියේ නුඹ ඉඳ හිට දුටු වේලේ" යන පදය තනි පදයක් නොවේ. එමෙන්ම ගැමි තරුණයන් කෙරෙන් දිස්වන සබකෝලය සහ යම් ආකාරයක හික්මුණු  බවත් ඒ නිසාම වන චකිතයත් "බැරි උනි කියාගන්නට හිත බැඳි ආලේ" යන පදයෙන් ගෙන හැර දක්වයි.

මෙහි සුවිශේෂ පද කීපයට පිවිසෙන්නේ ඉන් අනතුරුවයි. අද කාලයේ "ප්‍රේමයත් වෛරයත් අතරේ වෙනස කෙස් ගසකට සමයි.." යන්න නිදසුන් සහිතව ඔප්පු කරන කල්හි ඔහු ඇය ගේ හැරයාම විඳ ගන්නා ආකාරය කෙතරම් සංවේදී දැයි විමසිය යුතුමය. 

නෑ තුන් හිතකවත් අමනාපයක් නඟේ..
මේ අපි ජාති ජාතිත් පැතු ලෙසයි නඟේ..

තුන් සිත යනු පුන්‍ය ක්‍රියාවකදී එහි ආරම්භයේදී, අතරතුරදී සහ අවසානයේ දී ඇතිවන සිත් තුනයි. මෙහි එක් හෝ සිතක නරක සිතිවිල්ලක් ඇතිවීම යනු කරනා කුසල කර්මයේ ආනිසංස අඩුවේයයි විශ්වාසයක් පවතී.

ඇය ඔහුව හැරගොසිනි. ඉතිරිව ඇත්තේ බිඳුනු සිත පමණි. දැන් කලයුතු වන්නේ කුමක් දැයි ඔහු දනී. ඔහුගේ ආගම, සංස්කෘතිය, සාරධර්ම තුලින් වැඩුනු ඔහුට කලයුතු නිවැරදි දෙය උගන්වා ඇත. වේදනාව තුනී කර ගැනීමට ඔහු සිදුවූ මේ සිද්දිය ඔහුගේ කර්මයට බාරදෙයි. රිදුනු සිත හදා ගැනීමට ඇති හොඳම ආකාරය එයම බව ඔහුට කියා දී තිබෙනවා වෙන්නට පිලිවන. 

පිට ගං ගොහින් මා අමතක වුණත් නඟේ..
අත මිට සරුව නුඹ යහතින් හිඳින් නඟේ..

අවසාන වශයෙන් ඔහුගේ ප්‍රාර්ථනය කෙතරම් සුන්දරද. සැබෑ ආදරය මෙය නොවේද? යමක් බලාපොරොත්තු නොවී ආදරය කිරිම.... මෙම ගීතය එදාටත් වඩා වැදගත් වන්නේ අදට නොවේද?   

පද රචනය : ආචාර්‍ය අජන්තා රණසිංහ

සංගීතය :  සරත් දසනායක

ගායනය : පණ්ඩිත් අමරදේව






0 comments:

Post a Comment