1978 අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන කාලරේඛාව (Timeline)

4/29/2015 12:04:00 PM Prageeth Liyanaarachchi 5 Comments



ශ්‍රී ලංකාව තුල වර්තමානයේ ක්‍රියාත්මක 02 වැනි ජනරජ ව්‍යවස්ථාව හෙවත් 1978 අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාවිතයට පැමිණෙන්නේ 1978 සැප්තැම්බර් 07 වෙනිදා. 

මේ ව්‍යවස්ථාව රට තුළ ක්‍රියාත්මක වීමට අාරම්භය සැපයෙන්නේ 1977 ජූලි 21 වනදා එවකට පැවති ව්‍යවස්ථාදායකය  වන ජාතික රාජ්‍ය සභාවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම ස‍ඳහා පැවති මැතිවරණයෙන්. මේ මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ජේ. අාර්. ජයවර්ධන මහතා විසින් නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය 5/6 ක බහුතර බලයක් ලබාගන්නට සමත්වුනා (අාසන බෙදීයාම: එක්සත් ජාතික පක්ෂය - අාසන 140 දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ - අාසන 08 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - අාසන 08). මේ ලැබුන බහුතර බලයත් සමග එතෙක් පැවති 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව සංශෝධනය කර නව අාණ්ඩුක්‍රමයක් අැතිකිරීම සඳහා නිර්දේශ සැපයීමට ජාතික රාජ්‍ය සභාව තුල තේරීම් කාරක සභාවක් පත් කරන්නට ජේ. අාර්. ජයවර්ධන මහතා කටයුතු කළා

මුලින් සඳහන් කළ තේරිම් කාරක සභාව ඉදිරිපත් කළ නිර්දේශ මත පදනම්ව පළමු ජනරජ ව්‍යවස්ථාවට 02 වැනි සංශෝධනය  ඉදිරිපත් කරන්න ජේ. අාර්. ජයවර්ධන පාලනය කටයුතු කරනවා. මේ සංශෝධනය 1977 ඔක්තෝබර් 04 වනදා ජාතික රාජ්‍ය  සභාව තුල සම්මත වෙමින් ක්‍රියාත්මකවීම අාරම්භ වෙනවාඑයින් එතෙක් රට තුළ ක්‍රියාත්මක වූ නාමික ජනාධිපතිධූරය පූර්ණ විධායක බලතල සහිත ජනාධිපතිධූරයක් බවට පරිවර්තනය කෙරෙනවා. 1978 ව්‍යවස්ථාවෙන් ලංකාවට නිර්මාණය කළේ පූර්ණ බලතල සහිත විධායක ජනාධිපතිවරයෙකු විසින් රටේ විධායක බලය සෘජුවත් අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් හරහා රටේ ව්‍යවස්ථාදායක බලය වක්‍රවත් හසුරුවනු ලබන දෙමුහුම් අාණ්ඩුක්‍රමයක්.

1978 ව්‍යවස්ථාව ඉතා කෙටි කාලයක් තුළ පටු ක්‍රියාවලියක් හරහා සම්පාදනය කර සම්මතකරගත්තක් නිසාවෙන් පසුකාලීනව දිගින් දිගටම එයට සංශෝධන අැතුළත් කරන්නත් සිදුවුනා. මේ අැතැම් සංශෝධන අතිශයින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒවා බව අමුතුවෙන් කිවයුතු නැහැ.

දෙවැනි ජනරජන ව්‍යවස්ථාවේ සංශෝධන කාලරේඛාව
Timeline of amendments of the 2nd Republican constitution 


මෙම කාලරේඛාව ජාවා ස්ක්‍රිප්ට් භාවිතා කර නිර්මාණය කර අැත. කාලරේඛාව Google Chrome සහ Firefox බ්‍රවුසරයන්හිත් Internet Explorer 7 සහ ඊට ඉහල සංස්කරණවලත් නිසි පරිදි භාවිතා කළ හැක. සාපේක්ෂව කුඩා මුහුණත (Screen) අැති ජංගම ඩිජිටල් උපාංගවල කාලරේඛාව නිසිපරිදි පරිශීලනය කිරීමට නොහැකිවීමට ඉඩ අැත. 


02 වන ජනරජ ව්‍යවස්ථාව පසුගිය වසර 36 ක් පුරාම ක්‍රියාත්මකයි. මේ වසර 36 ට අාන්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය වෙලා තිබෙනවා. මෙය 1787 සැප්තැම්බර් 17 වනදා සිට මේ දක්වා වසර 228 ක් පුරා ක්‍රියාත්මක වෙමින් 27 වතාවක් පමණක් සංශෝධනය වී තිබෙන එක්සත් ජනපද ව්‍යවස්ථාවට සාපේක්ෂව සුවිශාල අගයක්. අනෙක් අතට මේ අැතුළත් වෙලා තිබෙන සංශෝධන අති බහුතරයක් මූලික අාණ්ඩුක්‍රමයේ ව්‍යූහාත්මක වෙනස්කම් අැතිකරන්න ගෙන අා සංශෝධන. වෙනත් විදියකින් කියනවානම් Ctrl+Z වර්ගයේ සංශෝධන. ඒ නිසා කෙනෙක්ට බැලු බැල්මටම කියන්න පුලුවන් 1978 ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන් වගේම පසුකාලීන නීති සම්පාදකයනුත් 'වැඩේ අනාගෙන' බව.

1978 ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තිබෙන තවත් සුවිශේෂී කාරණයක් තමයි ඒ සඳහා දැනට ඉදිරිපත්ව තිබෙන සංශෝධන 19 න් මුල් 16 ම ව්‍යවස්ථාව ස්ථාපිත කළ ජනාධිපති ජේ. අාර්. ජයවර්ධන මහතාගේ (1978 පෙබරවාරි 04 - 1989 ජනවාරි 02) ධූර කාලය තුළ සිදුවූ ඒවා වීම. ඊට අමතරව ව්‍යවස්ථාව සංශෝධනය වුනේ ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග, ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන යන අය යටතේ පමණයි. 

දෙවැනි ජනරජ ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසයේ තිබෙන තවත් සුවිශේෂී සංශෝධනයක් වශයෙන් 12 වැනි සංශෝධනය දැක්විය හැකියි. ඒ එය නිසි පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටියට ලක් නොකර අත්හැර දමන ලද්දක් නිසාවෙන්. මෙම ව්‍යවස්ථා සංශෝධනය සරත් මුත්තෙට්ටුවගම මන්ත්‍රීවරයා විසින් කෙටුම්පත් කරනු ලදුව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් 1987 සැප්තැම්බර් 25 වනදා පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණක්. වාර්තා වන විදියට ජනාධිපතිවරයා සහ ඔහුගේ ධූරයේ කටයුතු අධිකරණය ඉදිරියේ විභාග කළ හැකිවන පරිදි ජනාධිපතිවරයාගේ මුක්තිය සංශෝධනය කිරීමත්, අවශ්‍ය අවස්ථාවලදී අගමැතිවරයාට වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කිරීමට ඉඩ සැලසීම වැනි ප්‍රතිපාදනත් මෙම සංශෝධන කෙටුම්පතෙහි යෝජිතව තිබුන බව සඳහන්. 

පාර්ලිමේන්තුව තුල පනත් කෙටුම්පත් සම්මත කිරීමේ ක්‍රියාවලිය නියාමනය කරන පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයක් හරහා මතුවූ කිසියම් අර්බුදකාරී තත්ත්වයක් මේ සංශෝධනය සම්මත කරගැනීමේ ක්‍රියාවලියට බාධාකාරිවූ බව සඳහන්. පාර්ලිමේන්තුවට ඉදිරිපත්වන පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් සම්බන්ධයෙන් මූලිකවම අදාළවන 47 වන ස්ථාවර නියෝගයේ 05 වන උප කොටසෙහි සඳහන් වෙනවා එවැනි කෙටුම්පතක් සභාගත කිරීමෙන් අනතුරුව කෙටුම්පතෙන් කියැවෙන විෂයභාර අමාත්‍යවරයා (හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා  හෝ කතානායකවරයා විසින් නම් කරන වෙනත් අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු) විසින් කෙටුම්පත විශ්ලේෂණය කර පාර්ලිමේන්තුවට වාර්තා කරන තෙක් අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගත යුතු බව. 

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත සම්බන්ධයෙන් මේ කියන අමාත්‍යංශ වාර්තාව නිසි පරිදි ඉදිරිපත්ව නැහැ. ඒ වගේම මේ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත ඉදිරිපත්ව ටික කලකට පසුව අැතිවූ ඉන්දීය ගුවන් හමුදාව ලංකාවේ ගුවන් සීමාවට අනවසරයෙන් අැතුල්වීමත්, ඉන්දීය සාම සාධක හමුදාවන්හි අාගමනය සහ 13 වන සංශෝධනය ඉදිරිපත්වීම වැනි අාන්දෝලනාත්මක දේශපාලන සිදුවීම් රාශියක් මැද්දේ 12 වැනි සංශෝධනය සියල්ලන්ගේම අවධානයෙන් ගිලිහෙනවා. 

දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මුලුමනින්ම පරිච්ඡීන්න කර (අහෝසි කර) ඒ වෙනුවට නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ උත්සාහයක් 2001 වර්ෂයේ අගෝස්තු 03 වැනිදා සිදුවුනා. ජනාධිපතිනී ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම සංශෝධනයට එකල ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය හිමි නොවන ලකුණු පෙනෙන්නට තිබීමත් සෙසු සුලු පක්ෂ දිගින් දිගටම කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමත් මත එම සංශෝධනය සම්මත කරගත නොහැකි එකක් බව අාරම්භයේ සිටම පෙනෙන්නට තිබුනා. ඒ වගේම එයින් දින කිහිපයකට පසුව - එනම් 2000 වර්ෂයේ අගෝස්තු 18 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම අගෝස්තු 03 ව්‍යවස්ථා සම්පාදන කෙටුම්පත අවලංගුවී යනවා. 

2001 වසරේ ජූලි 01 වනදා ජනාධිපති ප්‍රකාශයක් නිකුත් කළ එවකට ජනාධිපතිනිය නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ අරමුණින් 2001 අගෝස්තු 21 වනදාට ජනමත විචාරණයක් සඳහා දින නියම කරා. විවිධ අාගමික නායකයන්, දේශපාලනඥයන් සහ සිවිල් සමාජ නියෝජිතයන් දිගින් දිගටම කළ කරුණු දැක්වීම්වන ප්‍රතිඵලයක් වශයෙන් පෙරකී ජනමත විචාරණය එම වසරේම ඔක්තෝබර් 18 වනදා තෙක් කල්තැබූ ජනාධිපතිනිය එයිනුත් අනතුරුව එම වසරේ සැප්තැම්බර් 02 වැනිදා ජනමත විචාරණය අවලංගුකර දමන්නට කටයුතු කරා. 

1978 අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන කාල රේඛාවේ තවත් අතිශය වැදගත් සංධිස්ථානයක් වශයෙන් 17 වන සංශෝධනය සැලකිය හැකියි. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම හරහා විධායක ජනාධිපතිධූරයේ බලතල තුලනය කිරීමට උත්සාහ කළ මෙම සංශෝධනය 1878 ව්‍යවස්ථාවට ගෙන අා එකම ජනතාහිතවාදී සංශෝධනය වශයෙනුත් අැතැමුන් විසින් හඳුන්වා දී තිබෙනවා. 17 වන සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමෙන්තුවේ පැවති ඡන්ද විමසීමේදී එයට විරුද්ධ වුනේ එක් මන්ත්‍රීවරයෙක් පමණයි - ඒ පාඨලී චම්පික රණවක. 17 වන සංශෝධනය මගින් පිහිටවූ ව්‍යවස්ථාදායක සභාවේ සුළු ජාතින නියෝජනය පිළිබඳ විවේචනාත්මකව අදහස් දැක්වූ ඔහු ඡන්ද විමසීමේදී සංශෝධනයට විරුද්ධව ඡන්දය භාවිතා කළා.

5 comments:

  1. Dilshan PathiranaMay 3, 2015 at 9:58 PM

    Good explanations. Timeline was really helpful. I accessed the article on a samsung core 2 phone. There was nothing wrong in the functionality of the timeline. Worked smoothly.
    Dilshan

    ReplyDelete
  2. මේක ගොඩක් ප්‍රයෝජනවත්... බොහොම ස්තූතියි!!!

    ReplyDelete
  3. please check. we cant see the timeline

    ReplyDelete
    Replies
    1. Thank you for letting me know. I have fixed it now. Hope you would find it useful.

      Delete