Saturday, April 25, 2015

කොඩි මෙහෙයුම් කුමන්ත්‍රණය පරදමු!!!

යන්තම් මාසයක් සපිරෙන්නට පෙර යහ පාලන රෙජිමයට එරෙහිව නැඟුණු ජනතා විරෝධය දැන් රට පුරා බුරා බුරා නැඟෙන්නට පටන් ගෙන ඇත. මේ ජනතා විරෝධතාව තුළට ඉතා ම සූක්ෂම ලෙස පිරිසක් විසින් පිළිකාවක් එන්නත් කරන ආකාරය හඳුනාගත හැකි ය. ඒ විවිධ විරෝධතා ව්‍යාපාරවල ජාතික කොඩි වෙනුවට කන්නසාමි කුමාරයා හෙවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1815 දක්වා මෙරට රාජ්‍ය කොඩිය භාවිත කළ සිංහ ලාංඡනය සහිත කොඩිය එසවීමයි. මෙරට බහුතර සිංහල ජනතාව මෙන් ම සෙසු ජන කොටස් ද එම කොඩිය මගින් නියෝජනය වුව ද පසුකාලීන ඉතිහාසය තුළ සිදු වූ එහෙත් නොවිය යුතුව තිබූ යම් යම් සිද්ධි නිසා සිංහල ජනතාව පමණක් සිංහ ලාංඡනයෙන් නියෝජනය වන්නේය යන වැරදි අදහසක් අනුව ඊට දෙමළ මුස්ලිම් ජනතාව නියෝජනය කිරීම සඳහා පාට තීරු දෙකක් එක් කර තිබේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජාතික කොඩිය ලෙස සම්මත කර තිබේ. (ශ්‍රී වික්‍රමරාජසිංහ නමින් රජවූයේ රාජාධි රාජසිංහ රජතුමාගේ නැගණියගේ 18 වියැති පුතු බවත් ඔහු වර්මාන තමිල්නාඩු ප්‍රදේශය ආශ්‍රිත ද්‍රවිඩ රාජ්‍යයේ මධුරා රාජ වංශයට කුමාරයෙකු බවත් එකී වරද කළ ඉතිහාසය අමතක කර දමා තිබේ. කන්නසාමි කුමාරයා සිංහල දේශයට පැමිණ මෙරට සිංහලයකු බවට පත්ව ශ්‍රී වික්‍රමරාජසිංහ නමින් රට පාලනය කළේ ය.) සියලු නීතිවලට ඉහළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පවතින අතර නීති ගරුක පුරවැසියන් වන අප ඊට අවනත විය යුතුය. අනෙක් අතට තමන් සිංහ ලාංඡනය තුළින් නියෝජනය නොවන්නේ යැයි මතයක් මෙරට සෙසු ජන කොටස්වල සිත්වල රෝපණය කර ඇති පසුබිමක  ජාතික කොඩිය ප්‍රතික්ෂේප කර රාජසිංහ රජුගේ කොඩිය අතට ගැනීම එම ජනතාවගේ සිත් රිදවන කාරණයක් වනු ඇත. එහෙයින් මේ පිළිකාව වහා ම ඉවත් කර දැමිය යුතුය. නියපොත්තෙන් කැඩිය හැකි දෙය පොරවෙන් කපා දමන තුරු වැඩෙන්නට ඉඩ නොහළ යුතු ය.

සේද මාවතේ පිහිටි සිංහල ද්වීපයට අතීතයේ ලොව දස දෙසින් විවිධ ජන කොටස් පැමිණියේ ය. ඇමරිකානූ භූමියට යුරෝපයේ විවිධ රටවලින් පැමිණි පිරිස් ඇමරිකානුවන් බවට පත් වූ ආකාරයට ම සිංහලයට පැමිණි පිරිස් පරම්පරා දෙකකින් සිංහලයින් බවට පත් වූහ. එය වසර දහස් ගණනක් පුරා සිදු වූ සංසිද්ධියකි. ඊට අනුගත නොවූ මුස්ලිම් පිරිස් ද මෙරට සංස්කෘතියට අනුගතව සිංහල මුස්ලිම්වරු බවට පත්වූහ. මෙම ක්‍රියාවලිය නතර කළේ යුරෝපීය යටත්විජිතවාදීන් විසිනි. කෙසේ වුව ද උතුරට දුම්කොළ වැවිම සඳහා ද කඳුරට තේ වගාව සඳහා ද රැගෙන ආ තමිල්නාඩු දෙමළ කම්කරු පිරිස් ද තව දුරටත් තමිල්නාඩු දෙමළ නොව සිංහල හින්දු වෙති. ‍වෙළඳාම පිණිස මෙරටට පැමිණි මුස්ලිම්වරු සිංහල ඉස්ලාම් වෙති. ඔවුහු සිංහල බෞද්ධ, සිංහල කතෝලික මෙන් ම සිංහල හින්දු, සිංහල ඉස්ලාම් වෙති. එසේ නොමැතිව ඔවුහු පෘතුගාල් කතෝලික නොවෙති. ඉන්දීය හින්දු නොවෙති. අරාබි හෝ ඉන්දීය මුස්ලිම් නොවෙති. ඒ දැනුම අප සමාජගත කළ යුතු ය. සිංහල බෞද්ධයින් පමණක් නොව ඔවුන් ද සිංහලයින් බව ද එහෙයින් සිංහ ලාංඡනය මගින් ඔවුන් ද නියෝජනය වන බව ද අවබෝධ කර දිය යුතු ය. ඔවුන් සිංහල ලාංඡනයට පිටතින් නොව සිංහ රුව තුළට පැමිණ අප සමඟ සමසුන් ගත යුතු බව එම අභිමාණය බෙදා ගත යුතු බව පෙන්වා දිය යුතු ය. එය ඔවුන්ගේ අභිමාණයට හේතුවක් බවත් පිටත තීරුවක රැඳී සිටීම එම අභිමානයට කැළලක් බවත් අප ඒත්තු ගැන්විය යුතුය. එඑවිට එම ජන කොටස් ඉතා ද ආදරයෙන් අප සමඟ අත්වැල් බැඳගනු ඇත. ශ්‍රී වික්‍රමරාජසිංහ කොඩිය එසවීමට උත්සුක වන පිරිස අවංකව ම ඉතිහාසය තුළ සිදු වූ ඉහත කී වරද නිවැරදි කිරීමට උත්සුක වන පිරිසක් නම් අපට කීමට ඇත්තේ මේ කරුණු ටික ය. 

අනෙක් අතට මේ අවස්ථාවේ ජාතික සංවිධාන තුළට රිංගා ඇති විවිධ කුමන්ත්‍රණකාරී බලවේගවල නියෝජිතයින් එම සංවිධාන මෙවැනි කටයුතුවලට මෙහෙයවමින් ඒවා විනාශ කිරීම සඳහා ඇතුළතින් ක්‍රියාත්මක වන්නේ දැයි අපට බලවත් සැකයක් තිබේ. මේ ඔස්සේ බොදු බල සේනා සංවිධානය මෙන් ම සෙසු සංවිධාන ද ජාතික බලවේගවල විනාශය සඳහා භාවිත කළ හැකි ය. මුස්ලිම් අන්තවාදයට එරෙහිව නැඟිය යුතු හඬ මතින් බිහි වූ බොදු බල සේනා සංවිධානය අවසානයේ එය මුස්ලිම් විරෝධයක් දක්වා රැගෙන ගොස් ස්වයං විනාශයට පත් විය. ඒ පිටුපස බෞද්ධ විරෝධි කුමන්ත්‍රණකාරී පිරිස් සිටි බව පැහැදිලිය. එහෙයින් තම සංවිධාන මෙවැනි කටයතුවලට යොමු කරමින් වල්මත් කිරීමට ක්‍රියාත්මක සාමාජිකයින් ගැන සෙසු සාමාජිකයින් අවදියෙන් සිටිය යුතුය. ඔවුන් පිළිබඳ වහා සොයා බලා නිසි කල්හි නිසි පියවර ගත යුතු ය. නැතහොත් බොදු බල සේනා සංවිධානය සහ එහි ඇතැම් අවංක සාමාජිකයින් මෙන් සෙසු ජාතික සංවිධානවල අවංක ජාති මාමක කොටස් ද සමාජය අභිමුව අවලංගු කාසි බවට පත්වනු ඇත. රටේ සතුරන් ජය ගනු ඇත. 

මෙම පැරණි කොඩි දකුණේ ඔසවමින් අද දවසේ කිසියම් පිරිසක් කරනු ලබන මේ කුමන්ත්‍රණකාරී ක්‍රියාව ඔස්සේ යහ පාලන රෙජිමය සෙවණේ දලු ලා වැඩෙන බෙදුම්වාදයට අත්තටු ලබා දෙන බව අවබෝධ කර ගැනීම ඉතා වැදගත් ය. දකුණේ සිංහලයින්ට ජාතික කොඩිය නොවන කොඩි එසවිය හැකි නම් උතුරේ දෙමළාට තමන් කැමති ඊළාම් කොඩිය එසවිය නොහැක්කේ මන්දැයි එක්ල්හි රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න, ශිරාල් ලක්තිලක, ඩිලාන් පෙරේරා, වික්‍රමබාහු කරුණාරත්න, අජිත් පී. පෙරේරා, විජේදාස රාජපක්ෂ, රහූෆ් හකීම්, අසාද් සාලි ආදීන් ඔබෙන් ප්‍රශ්න කරනු ඇත. දැන් උතුරේ සිදුවන ඊළාම් කොඩි එසවීම්, යෝජිත අවසන් සටනේ ශෝක සැමරුම්, අධි ආරක්ෂිත කළාප, හමුදා කඳවුරු, පොලිස් කොට්ඨාශ, මුර කපොලු ඉවත් කිරීම් ඒ ඔස්සේ සාධාරණීකරණයට උත්සාහ කරනු ඇත. නැඟෙනහිර ඉස්ලාම්කරණය, වන විනාශය කෙතරම් අහිංසක දැයි රිෂාඩ් බදූර්දීන්, අසාද් සාලි අපෙන් අසනු ඇත. එකල්හි උතුරේ ඊළාම් කොඩිය එසවීම ජාතිවාදී සිංහලයා ලැබූ කනේ පහරක් යැයි ගරු පාඨලි චම්පික රණවක අපට කියනු ඇත. එහෙයින් ජාතිද්‍රෝහී සූක්ෂම කල්ලි විසින් ඔබ කිසිසේත් අපේක්ෂා නොකළ ඉලක්කයන් වෙත දේශ මාමක ඔබ මෙහෙයවා ජාතික ව්‍යාපාරය ද එමගින් රට දැය සමය ද විනාශ කිරීම සඳහා අටවන මර උගුල්හි නොවැටෙන්න. අශ්වයා ගිය පසු ඉස්තාලය වසා කවර නම් ඵලයක් ද? ඉතිහාසයෙන් පාඩම් උගෙන නිවැරදි මාවතේ ගමන් කරන්න.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !