ශිෂ්ඨත්වය යනු කුමක්ද ?

4/09/2015 03:19:00 PM Prageeth Liyanaarachchi 0 Comments


ඔස්ලෝ නගරයට මදක් දකුණු දෙසින් වූ මුහුදුබඩ හෝර්ටන් නගරය වෙත තවත් දීප්තිමත් උදෑසනක් උදා වී තිබුණි. එහි කුඩා නැවු තොටුපල වරායක් තරම්ම කාර්යබහුල බවකින් දිස්විය. තොටුපලේ සිට මාද රැගෙන සැතපුම් කිහිපයක් ඈතින් දිස්වෙන හිරු එළියෙන් නැහැවුණු හරිත වර්ණ බැස්ටොයි දූපත වෙත ගමන් කිරීමට කුඩා නෞකාව දැන් සූදානම්ය.
බැස්ටොයි බොහෝ දෙනෙකුගේ කුතුහලයට සහ නිරන්තර අවධානයට ලක් වූවකි. නමුත් මේ දූපත නිවාඩු නිකේතනයන්ගෙන් සහ මහේශාක්‍ය හෝටල්වලින් හෝ සමන්විත සංචාරක පාරාදීසයක්ද නොවේ. මේ දූපත සිය වාසස්ථානය කරගත් පුද්ගලයන් එකසිය විසිදෙනා නිතර නිතර දූපත සහ ප්‍රධාන ගොඩබිම අතර සංචාරය කරන අය නොවේ. ඇත්ත වශයෙන්ම ඔවුන්ට එසේ යන්නට උවමනාවක් ඇත්තේම නැත.

ඒ වෙනුවට සිය කාලය වැය කළ හැකි බොහෝ දේ ඔවුන්ට මෙහි ඇත. පෙළට වැවුණු පයින් ගස් අතරින් ඇදී ගිය සිය ගණනක් මං මාවත් හරහා එහෙ මෙහෙ යමින්, නැතහොත් සැතපුම් පහක් පමණ වූ වෙරළ තීරයේ ඇවිද යමින් මසුන් අල්ලමින්ද පිහිනමින්ද, එසේත් නැත්නම් ටෙනිස් හෝ පාපන්දු ක්‍රීඩාවේ නියැළෙමින් ද ඔවුන්ට සිය කාලය ගත කළ හැක. මේ සියල්ලටම වඩා වෙනස් වූ අත්දැකීමක් අවශ්‍යය නම් එය හිරු එළියේ සුවය විඳිමින් සුඛෝපභෝගී ලෙස වැතිර සිටීම, හුමාල ස්නානයක් ලබා ගැනීම, සිනමා කෘතියක් නැරඹීම, සංගීතය ඉගෙන ගැනීම හෝ උසස් ගණයේ පොත් පත්වලින් පිරුණු පුස්තකාලයේ දවස ගෙවීම ආදී මේ ඕනෑම දෙයක් මේ දිවයිනේ වාසීන්ට සිය දවස ගත කිරීම සඳහා තෝරා ගත හැක.

දූපත් වාසීන් විසින්ම ගොඩනැගූ කේබල් රූපවාහිනී පහසුකම් ආදියෙන් සමන්විත සිත් බඳනා සුළු නිවාස කිහිපයක් මෙහි වෙයි. දූපත් වාසීන් එක්ව ආහාර ගන්නා භෝජනාගාරයද ඔවුන් විසින්ම ගොඩනගා, සාම්ප්‍රදායික නොර්වීජියානු කලා ශිල්පවලින් අලංකාර කරන ලද ඉඩකඩ සහිත ස්ථානයක් වන අතර මේ සියලු ගොඩනැගිලි මධ්‍යයේ ඔවුන් විසින් ඉදිකරන ලද අඩි 10 කට වඩා දිගින් යුතු නොර්වීජියානු වාණිජ නැවක ආකෘතියක් උත්තුංග ලෙස ඉහළට නැගී සිටියි.

ඉහත කරුණු කියවාගෙන යන අතරතුර ඔබට මදකට හෝ මේ සියල්ල තරමක් අමුතුයයි සිතුණා නම්, ඒ හැඟීම සාධාරණය. නොර්වේ රාජ්‍යයට අයත් බැස්ටොයි යනු එරට දූපතක පිහිටා ඇති එකම බන්ධනාගාරයයි. එය එළිමහන් සිරකඳවුරකි. මේ බන්ධනාගාරය විසින් අපරාධකරුවන් හා ඔවුන්ට දඬුවම් දීම සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත අතිශයින්ම ආන්දෝලනාත්මකය. මාගේ මේ ගමනේ අරමුණ එකී ආන්දෝලනාත්මක බන්ධනාගාර ක්‍රමය මුල සිට අගට පරීක්ෂාකාරීව බලා එහි ප්‍රායෝගිකත්වය ගැන අදහසක් ලබා ගැනීමය. මේ කාර්යයට මා පිවිසෙන්නේ මීට සම්පූර්ණයෙන්ම වෙනස් බන්ධනාගාර පිළිවෙත් ගැන අවබෝධයක් නැතිවම නොවේ. මා වරදකට දඬුවම් ලැබ බන්ධනාගාරයකට ඇතුළත් වූයේ 23 හැවිරිදි මෝඩපහේ සිරකරුවෙක් ලෙසය.

නීති උපාධිය ලබා ගැනීමෙන් පසු මා හඹා ගිය එකම සිහිනය ලෝකය ගවේෂණය කිරීමයි, එවකට සාමාන්‍යය තරුණයෙකු දන්නා ප්‍රමාණයට වඩා වැඩි යමක් ලෝකය ගැන නොදැන සිටි මගේ මේ ගමන අවසන් වූයේ නේපාලයේ අඳුරු සහ බියකරු සිරගෙයක් තුළය. රේගු නීති රීති ගැන නොදැනුවත්ව රට තුළට රත්තරන් කිසියම් ප්‍රමාණයක් ගෙන ඒමේ නීති විරෝධී ක්‍රියාව මා සිරගත කරලීමට හේතුව විය. මා සිරගත කරනු ලැබුවේ දිගු කාලයකට නොවේ. එසේ වුවද එහිදී මා ලද අත්දැකීමේ බියකරුභාවය මගේ මුළු මහත් නොසැලකිලිමත් ජීවිතයම එක රැයින් නිමා කර දමා මා නිවැරදි දිවියකට ඇද දැමීය. සිරකඳවුරක් නම් එවැන්නකියි, යනාදී වශයෙන් සිරගෙවල් ගැන මගේ සියලුම අවබෝධයන් ගොඩනැගුනේ එකී සිදුවීම වටාය. එහෙත් බැස්ටොයි දූපත් සිරකඳවුර මගේ ඒ අවබෝධයෙන් අහසට පොළොව තරම් වෙනස්ය.

මා යාත්‍රවට ගොඩ වූ පසු සිගා(ර්)ඩ් ෆෙඩ්රිකේ ගමන ආරම්භ කළේය. අද දිනය පුරාවට මේ තට්ට හිසක් ඇති බන්ධනාගාර නියාමන නිලධාරියා මාගේ මාර්ගෝපදේශකයා සහ ආරක්ෂකයා වනු ඇත.

“බය වෙන්න දෙයක් නැහැ” ඔහු මගේ අතට අත දෙමින් හිතවත් ලෙස පැවසීය.
“බැස්ටොයි කියන්නේ ඔය වෙන හිර ගෙවල් වගේ නෙවෙයි.”

මෙසේ කියූ ඔහු බෝට්ටුව සිසාරා සිය දෑස් යොමු කළේය. බෝට්ටුවේ ඈත කෙළවර වැඩ කරමින් සිටි නැවියන් තිදෙනාගෙන් එක් අයෙක්ව මට පෙන්වන්නට ඔහුට අවශ්‍යය විය.
“අර අතන ඉන්න මනුස්සයාව පේනවා නේද? එයත් මෙහේ රැඳවියෙක් – එයා වරදකාරයා වුණේ මිනීමැරුමකට.”

යාත්‍රව තව තවත් දූපතට ලං වෙද්දී උසැති පයින් තුරු අතරින් පැරණි කතෝලික පල්ලියක කුළුණක් දිස් වෙන්නට විය. තවත් මද වෙලාවකින් උණුසුම් තනි මහල් නිවාස, වියළි පයින් කොල රොඩුවලින් ගැවසුණු මාර්ග, එහේ මෙහේ දිව යන හීලෑ අශ්වයන් සේම අශ්ව කරත්තද ආදියෙන් සමන්විත පෙර නොදුටු විරූ නොර්වීජියානු ගමක් දිස් වන්නට විය.

දූපතේදී මා දුටු පළමු දූපත්වාසියා නවීන පෙනුමකින් යුතු නිවස ඉදිරිපිට පිහිනුම් ඇඳුමකින් සැරසී, ඉඩකඩ සහිත දැව බංකුවේ වැතිරී හිරු එළිය විඳිමින් සිටියේය. වයස අවුරුදු 36 ක් වූ නීල් නමැති මේ පුද්ගලයා තමන් සමඟ ගණුදෙනු කළ හොර ජාවාරම්කරුවෙකු දිගින් දිගටම තමාට ගෙවිය යුතු ණයක් පැහැර හැරි කල්හි දරුණු ලෙස කෝපයට පත් විය. ජාවාරම්කරුගේ ජීවිතය අවසන් කරමින් මරණීය වෙඩි උණ්ඩයක් යැවූ ඔහු අධිකරණය ඉදිරියේ මනුෂ්‍ය ඝාතනයට වරදකරු වී වසර 16 ක සිර දඬුවමකට නියම විය. දඬුවම් කාලය තවමත් නිමාවී නැතිමුත් දැන් ඔහු බෝට්ටුවක සේවය කර තමාට හිමි දෛනික විවේක කාලය විඳිමින් සිටියි.



“මම අවුරුදු අට හමාරක් සාමාන්‍ය හිර ගෙදරක හිර කුටියක හිටියා, දැන් මාස 09 ක් වෙනවා මම මෙහෙට ඇවිත්, දැන් මම ඉස්සර හිටියට වඩා ගොඩක් හිතේ නිදහසින් ඉන්නවා.” ඔහු මෙහි බොහෝ සේ තෘප්තිමත් දිවියක් ගත කරන බව මට දුටුවනම පැහැදිලි විය.

“මෙහෙට ආවාම මාව බෝට්ටු කාර්මිකයෙක් විදිහට පුහුණු කෙරෙව්වා. මම දැන් විශ්වවිද්‍යාලයේ නාවික යාත්‍රා ශිල්පය ගැන පාඨමාලාවකුත් කරනවා. මට ඕන මගේ දඬුවම් කාලය ඉවර වෙලා මෙතැනින් එළියට ගියාම වෙළඳ යාත්‍රාවක කපිතාන්වරයෙක් වෙන්න. වෙන තැන්වල නම් පරණ ඇඳුට් ටික බෑග් එකක දාගෙන නිකන්ම නිකන් තමයි හිරෙන් එළියට යන දවසක යන්න වෙන්නේ. හරියට නිකන් හිරේ හිටපු මුළු කාලෙම ජීවිතය නතර වෙලා තිබුණා වගෙයි එතකොට දැනෙන්නේ. හිරගෙදරට එනකොට අපේ තිබුණු නරක ගති ගුණ හැමදේම එහෙම්මම ඉතුරු වෙලා තියෙනවා හිරෙන් එළියට යනකොටත්.”

ඇත්තෙන්ම බ්‍රිතාන්‍යයේ අප බොහෝ දෙනෙකුට නම් අධිකරණය මගින් වරදකරු කරනු ලැබූ මෙතරම් භයානක මිනීමරුවෙකු සෙස්සන් අතරේ නිදහසේ ගැවසීම හා ඔහු මෙතරම් නිදහසක් භුක්ති විඳීම හිත හිරිවට්ටන තරම් භයානක කාරණයකි. එයට උදක්ම හේතුව වනුයේ සිරගෙවල් වනාහි මිනිසුන්ට දඬුවම් දීමට සහ අපරාධකරුවන් සෙසු ලෝකයෙන් වෙන් කර තැබීමට තැනූ ගොඩනැගිලිය යන අපගේ පාෂාණීභූත සිතුවිල්ලයි. එසේ හෙයින්ම අධිකරණ කටයුතු පිළිබඳ රාජ්‍යය ලේකම් සහ සාමි මණ්ඩලයේ ප්‍රධානයා වන කෙනත් ක්ලා(ර්)ක් මහතා “බදුගෙවන්නන්ගේ බදු මුදල් යොදවා මේ වරදකරුවන් කුඩා ඉඩකඩක කොටු කර ඔවුන් වදයට ලක් කිරීම අතිශයින් අසාධාරණ දෙයකි” යි ප්‍රකාශ කළ කල්හි ඔහු ඉතා දරුණු සමාජ ප්‍රතිරෝධයකට මුහුණ දුන්නේය.

මීට දින කිහිපයකට ඉහත දී පැවැත්වුණු මත විමසුමකින් සිය රටෙහි සිර ගෙවල්වල තත්ත්වය හා සිරකරුවන් සම්බන්ධ ඇවතුම් පැවතුම් දැනට පවතිනවාට වඩා දැඩි කළ යුතු යයි බ්‍රිතාන්‍යය ජනතාව විශ්වාස කරන බව අනාවරණය කරගෙන ඇත. සිරගෙවල්වල සිරකරුවන් සංඛ්‍යාත්මකව දරා ගැනීමට අපහසු වීම සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රතිචාරයන් සහ සාපේක්ෂව අඩු කාලයකට වරදකරුවන් සිරගත කරලීම හෝ ඔවුන්ගේ පුනරුත්ථාපනය අරමුණු කොටගෙන ඔවුන් සමාජ ක්‍රියාකාරකම්වලට යොමු කිරීම ආදී නව ප්‍රතිපත්තිවලට බ්‍රිතාන්‍යය ජනතාව එකහෙළා විරුද්ධය.

කෙසේ නමුත් ස්කැන්ඩිනේවියානු රටවල් ආශ්‍රිතව කළ පුළුල් අධ්‍යනයකින් හෙළි කර ඇති පරිදි බන්ධනාගාරයෙන් පිටව යන පුද්ගලයන් නැවත අපරාධවල නිරත වීමේ අගය සමස්ත යුරෝපා මහද්වීපයේ නම් 70-75% ක් පමණ ප්‍රතිශතයකි. ඩෙන්මාර්කය, ස්වීඩනය සහ ෆින්ලන්තය යන රටවල මෙම අගය 30%ක් වන අතර නොර්වේහි එය 20% කි. වඩාත් සුවිශේෂී කරුණ වන්නේ ආන්දෝලනාත්මක බැස්ටොයි බන්ධනාගාරය සම්බන්ධයෙන් මේ අගය 16% ක්, එනම් සමස්ත යුරෝපයේම ඉතාම අවම අගය වීමයි.

ඇත්ත වශයෙන්ම නොර්වේ රාජ්‍යය යනු ලෝකයේ ඉතාමත්ම ධනවත් රටකි. එමෙන්ම එය ඉතා අඩු වශයෙන් පැතිරුණු ජන ගණත්වයක් සහිත මිලියන 5ක ජනගහණයකින් යුතු ඉතාම සාමකාමී සහ ස්ථායී රටකි. මෙහි සිටින සිරකරුවන් ගණන 3500 ක් පමණ වේ. ඒ අනුව අවම සිරකරුවන් ප්‍රමාණයක් සිටින යුරෝපා රටවල් අතරින් නොර්වේ රාජ්‍යය දෙවැනි වෙන්නේ අයර්ලන්තයට පමණකි.

නොර්වේ රාජ්‍යය සතු මේ සුවිශේෂතා සලකා බලා සිරකරුවන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව අපට අභියෝගාත්මකව කතා කළ හැක. එහෙත් සිරකරුවන් සම්බන්ධයෙන් ඔවුන් දක්වන ප්‍රතිපත්තිමය සැලකිල්ල පිළිබඳව ප්‍රතිපක්ෂව යමක් කියා අතිශය නොවටනා ලෙස ඒවා පසෙකට විසි කර දැමිය හැකිද? නෝර්වේ තුළ මේ නිදහස් ප්‍රතිපත්තිය වඩ වඩාත් පිළිගැනීමට ලක් වෙමින් තිබේ. බැස්ටොයි මොඩලයේ එළිමහන් සිරකඳවුරු තව තවත් ඉදි කිරීමට නෝර්වේ රජය සැලසුම් කරමින් සිටියි. එසේ වුවත් අප විසින් සිත් දරා සිටින දැවැන්ත ප්‍රතිරෝධය, වරදකරුවන් නිදහසේ වීදි මත ඇවිද යනවා දකින්නට අප තුළ ඇති බලවත් නොකැමැත්ත යන ආදී මිත්‍යාවන්ගෙන් වෙලනු ලැබූ අප බ්‍රිතාන්‍යය තුළ කිසිම දිනක මෙවන් බන්ධනාගාර පද්ධතියක් ඇති කරන්නට මිනිසුන් නිර්භීත නොවනු ඇත.

බැස්ටොයි දූපත යනු හුදෙක් සමාජ විරෝධීන් කිහිප දෙනෙක් කෙටි කාලයකට රඳවා තබා ගන්නා ස්ථානයක් නොවන බව මට ඉතා හොඳින් පැහැදිලි විය.

මේ බන්ධනාගාරයේ පුස්තකාලය. මෙහි පොත්පත්, සංගත තැටිගත කළ පොත් (CD), සංගීත තැටි, චිත්‍රපටි වගේම භාෂා අධ්‍යාපන උපකාරකත් (Language Learning Aid) තියනවා. පුස්තකාලය අැතුලේ පොත් කියවන්න වගේම පොත් පිටතට ගෙනියන්නත් අවසර තියෙනවා.

වරක් අපි දූපතේ පරිපාලන ගොඩනැගිල්ල වෙත යාමට අශ්ව කරත්තයකට ගොඩ වූ අතර රියදුරු අප රථයට ගොඩවූ වහාම අශ්වයන්ට සන් කොට ගමන ඇරඹීය. රියදුරා වූ 48 හැවිරිදි ලාර්ස් උල්මාන් ද හොර බඩු ජාවාරමකට වරදකරු වී වසර 5ක සිර දඬුවමක් ගෙවමින් සිටියෙකි. රථය මාර්ගාවසානයේ වූ පල්ලිය දෙසට ධාවනය වෙද්දී සිගා(ර්)ඩ් ඔහුගේ වෘත්තීය අත්දැකීම් මා සමඟ කතා කරන්නට විය. ඔහු නෝර්වේහි සම්ප්‍රදායික බන්ධනාගාරයක නියාමකයෙකු ලෙස රැකියාව කළේය. ඒ වඩාත් වාසිදායක වූ දේපළ වෙළඳාම්කරුවෙකු ලෙස රැකියාව ආරම්භ කරන්නට වසර 6කට පෙර සිටය. දේපළ වෙළඳාම්කරුවෙකු ලෙස රැකියාව අරඹා වසර 3ක් ගතවූ එක් දිනෙක බන්ධනාගාරයේ රැකියාව කරන සමයේ ඔහුගේ ප්‍රධානියා සිගා(ර්)ඩ්ට දුරකථනයෙන් ඇමතීය. ප්‍රධානියා බෙස්ටොයි හී මේ නව එළිමහන් බන්ධනාගාර සංකල්පය ගැන විස්තර කර එහි බන්ධනාගාර නියාමකයෙකු ලෙස රැකියාව කරන්නට කැමතිදැයි ඇසූ විට සිගා(ර්)ඩ් දේපළ වෙළදාම්කරුවෙකු ලෙස තමා ලබන වැටුප, රථ වාහන පහසුකම් ආදිය එක් ක්ෂණයකින් අමතක කර දමා බෙස්ටොයි හී නව රැකියාවට එකඟ විය.

“බැස්ටොයිවල වැඩ කරනවා කියන්නේ දේපළ වෙළඳාම්කරුවෙක් විදිහට හරි පරණ තාලේ බන්ධනාගාරයක හරි වැඩ කරනවාට වඩා වෙනස් අත්දැකීමක්. මොකද මෙහේ හිරකරුවන්ට ලොකු නිදහසක් දීලා තියෙන්නේ, ඔවුන්ට නිදහසක් දීලා තිබෙන නිසා නියාමකයන් විදිහට අපටත් නිදහසක් තියෙනවා.”

අප පැරණි සුදු පැහැ ගොඩනැගිල්ලක තිබූ කාර්යාල සංකීර්ණය වෙත යන අතරතුර සිරකරුවන් කිහිප දෙනෙකු පල්ලිය ඉදිරිපස වැටී තිබූ කොල රොඩු ඉවත් කරමින් සිටියහ. මෙම කාර්යාල පරිශ්‍රයේ වූ අවන්හලෙහි වූ ආහාර, ඒ ආහාරවල රසය මෙන්ම අවන්හලෙහි අලංකාරත්වය අතින් ගත් කළ ලන්ඩනයේ ඕනෑම ඉහළ මට්ටමේ ආපන ශාලාවකට පහසුවෙන්ම හොඳ තරඟයක් දීමට එයට හැකිය. ගොඩනැගිල්ලේ ඉහළ මහලක වූ සිය අනර්ඝ කාර්යාල කාමරයේදී බන්ධනාගාරයේ අධිපති ආර්නේ ක්වර්න්වික් නීල්සන් මේ පුදුමාකාර බන්ධනාගාරය ගැන කතා කරන්නට පටන් ගත්හ.

“මම විශ්වාස කරන ආකාරයට, අපි හැමෝම මනුෂ්‍යයන් විදිහට, අපරාධකරුවන් සහ දඬුවම් දීම කියන කාරණා පිළිබඳ අපි බලන ආකාරයේ මූලික වෙනස්කම් ඇති කරගන්නට සූදානම් නම්, අපට විශාල වශයෙන් සිරකරුවන්ගේ පුනරුත්ථාපන කටයුතු වැඩි දියුණු කරන්නත් මේ සිරකරුවන් බන්ධනාගාරයෙන් පිටවුණාට පස්සේ නැවත අපරාධ කරන්නට පෙළඹෙන ප්‍රතිශතය අඩු කරන්නත් හැකි වෙනවා. ඇත්තටම බැස්ටොයි කියන්නේ පර්යේෂණයක්. නමුත් මම බලාපොරොත්තු වෙනවා නුදුරේදීම මේ පර්යේෂණයේ ප්‍රතිපල සමස්ත නෝර්වේ රාජ්‍යයටත් එතැනින් නොනැවතී බ්‍රිතාන්‍යය සහ යුරෝපයටත් ලබා ගන්න හැකි වෙයි කියලා.”

නීල්සන් සතු වෘත්තීය සුදුසුකම් මෙන්ම ඉතා භක්තිමත් ඉවැන්ජලික කතෝලික භක්තිකයෙකු ලෙස ඔහුගේ ආගමික පසුබිමද ඔහුගේ මේ අතිශය මානුෂික සහ හෘදයාංගම බලාපොරොත්තුව ඉටු කර ගැනීම සඳහා මහඟු පිටුවහලක් විය. මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂයෙන් විග්‍රහ කරන ගෙස්ටොල්ට් මනෝචිකිත්සක විද්‍යාව පිළිබඳ විශේෂ අධ්‍යාපනයක් ලැබූ වරලත් මනෝචිකිත්සකවරයෙකු වූ ඔහු වසරක කාලයක් බ්‍රිතාන්‍යයේ ලීවිස් බන්ධනාගාරයේ පාලක මණ්ඩලයේ සේවය කළ අතර ඉන් පසුව නැවත නෝර්වේ වෙත පැමිණ පුනරුත්ථාපන ක්ෂේත්‍රයට වෘත්තීය මට්ටමින් දායක විය. වසර 12ක් පුරා නෝර්වේ අධිකරණ අමාත්‍යංශයේ පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවෙහි වැඩ කිරීමෙන් අත්දැකීම් සම්භාරයක් ලැබූ නීල්සන් 2007 දී බැස්ටොයි බන්ධනාගාරයේ අධිපතිවරයා ලෙස පත් කරනු ලැබිණි.

නෝර්වේ දඬුවම් පද්ධතිය තුළ මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය තෙක් සිරගත කිරීම දඬුවමක් ලෙස ක්‍රියාත්මක නොවේ. එපමණක් ද නොව ඕනෑම වරදකට දිය හැකි උපරිම දඬුවම වසර 21 කට නොවැඩි සිර දඬුවමකි. මේ හේතුව නිසා අතිශයින්ම සාහසික අපරාධයන්ට අධිකරණයක් ඉදිරියේ වරදකරු වී සිරගත කරනු ලැබූවන් පවා යම් දිනෙක අනිවාර්යයෙන්ම නැවත සමාජයට පැමිණෙන බව නෝර්වීජියානුවන් තුළ යම් ආකාරයක බියක් නොතිබුණා නොවේ. ඒ නිසාම නීල්සන් මෙන්ම නීතිගරුක සෙසු සෑම නෝර්වීජියානුවෙක්ම බන්ධනාගාරයෙන් දඬුවම් විඳ පසුව නැවත සමාජගත වන්නන් යළි යළිත් අපරාධ කිරීමට පෙළැඹීමේ සම්භාවිතාව පිළිබඳ නිරන්තර උනන්දුවකින් පසුවිය.

“පොදු සමාජය වගේම තනි තනි පුද්ගලයන්ද අපරාධකරුවන්ගෙන් පළිගන්න තියෙන උවමනාව අත්හැරිය යුතුයි. ඒ වගේම හිරගෙවල් දඬුවම් දීම සහ වධ දීම්වලටම කැපවුණු ස්ථාන ලෙස දැකීමත් ඔවුන් නතර කළ යුතුයි. මිනිසෙක්ව බන්ධනාගාරගත කරනවා කියන්නේ ඔහුගේ නිදහස කිසියම් නිශ්චිත කාලයකට සීමා කිරීමක්. බන්ධනාගාරගතවෙන පුද්ගලයෙකුට තමන් එතෙක් භුක්ති විඳි නිදහස අහිමිවීමම ලොකුම දඬුවමක්, වෙනත් වධදීම් සහ බරපතල කොන්දේසි කිසිසේත් අවශ්‍ය නැහැ.”


බන්ධනාගාර රැඳවූවෙකු බන්ධනාගාර නියාමකයෙකු සමග සුහද කතාබහක

“සාමාන්‍ය සිරගෙයක් තුළ රැඳවියන්ට කරන්න තියෙන්නෙ මොනවද? ඔවුන්ට කිසිම වගකීමක් පැවරෙන්නෙ නැහැ, ඔවුන්ව කුටියකට සීමා කරලා කෑම ටික ලඟටම සපයනවා, හරියට සතුන්ට සලකනවා වගේමයි. මේකෙන් අන්තිමට වෙන්නේ මොවුන් ඇත්තටම තිරිසන් ගතිවලට හුරු වීම. බෙස්ටොයි බන්ධනාගාරයේ ක්‍රමය මීට වඩා හාත්පසින්ම වෙනස්. මෙතැනදී අපි කරන්නේ මේ රැඳවියන්ට විවිධ වගකීම් සහ වෘත්තීමය රාජකාරි පවරලා එතැන් සිට ඉදිරියට එන හැම අභියෝගයකටම මුහුණ දෙමින් තමන්ට පැවරුණු කටයුතු ස්වාධීනව පවත්වාගෙන යන්න ඔවුන්ට ඉඩ සැලසීමයි. අපි මෙතැන ගොඩනගලා තිබෙන්නේ රැඳවියන්ගේ මානසික නිදහස අගය කරන ඔවුන්ගේ ආත්ම විශ්වාසය ගොඩනගන විදිහේ වටපිටාවක්. ඒ හරහා ඔවුන් තමන්ගේ ජීවිතයට වගේම තමන්ගේ අවට සිටින්නන්ගේ ජීවිතවලටත් ගරු කරන්නට හුරුවෙනවා.

මෙතැන යකඩ කූරුවලින් ආවරණය කළ සිර කුටි, තුවක්කු, බැටන් පොලු හෝ CCTV කැමරා පද්ධති නැහැ. අපි නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි මේ එළිමහන් බන්ධනාගාරය ලෝකයේ පාරිසරික හා භූගෝලීය ලක්ෂණ පදනම් කරගෙන සිරකරුවන් රඳවා තබා ගන්නා ප්‍රථම බන්ධනාගාරයයි කියන කාරණය. මෙතැන ඉන්න මිනීමැරුම් සිද්ධිවලට වරදකරුවන්වූවන්ට හා අනෙක් බරපතල ගණයේ අපරාධකරුවන්ට ඔවුන්ගේ වැඩ කටයුතුවලට අවශ්‍යය පිහි, පොරෝ වගේම යාන්ත්‍රික කියත් පවා නිදහසේ පරිහරණය කරන්න ලැබෙනවා. නමුත් ඇත්තටම එය බිය වෙන්න කාරණයක් නෙවෙයි.

මෙපමණ කාලයකට මම මේ දූපත ඇතුළේ ප්‍රචණ්ඩ හෝ කැරළිකාරී සිදුවීමක් දැකලා නැහැ. එකම වතාවක් සිරකරුවෙක් රාත්‍රී කාලයේදී ධීවර බෝට්ටුවක් පැහැරගෙන දූපතෙන් පැන ගියා. අපේ ආරක්ෂක අංශ ඉතා ඉක්මණින් ඔහුව අත්අඩංගුවට ගත්තා. දඬුවමක් විදිහට අපි ඔහු නැවතත් සාම්ප්‍රදායික සංවෘත බන්ධනාගාරයකට යොමු කළා.”

මා බැස්ටොයි බන්ධනාගාරයේ අධිපති ආර්නේ ක්වර්න්වික් නීල්සන් සමඟ කතා බහ කරමින් සිටින අතරතුර පහළ මහලේ දිවා ආහාරය පිළියෙල වෙමින් පැවතිණි. බැස්ටොයිහි උසස් මට්ටමේ කුකුළු ගොවිපළින් නිකුත් කරන කුකුළු මස් මිශ්‍රකර පිසූ ඉතාලියානු රිසොට්ටෝ බත්, ශීත කළ මස් වර්ග සහ විවිධ ආකාරයේ සලාදවලින් කෑම මේසය පිරී තිබිණි. මේ ආහාර සියල්ල ම මුළුතැන් ගෙයි සේවය කළ රැඳවූවන් විසින් සකසන ලද අතර ආහාර කෑම මේස මත පිළිගැන්වීමෙන් අනතුරුව බන්ධනාගාර නියාමකයන්, පරිපාලකයන් පමණක් නොව බන්ධනාගාර අධිපතියා ද රැඳවූවන් සමඟ එක්ව අසුන් ගෙන දිවා ආහාරය භුක්ති විඳින්නට වූහ.

ප්‍රණීත දිවා ආහාරයෙන් පසු නැවතත් අශ්ව කරත්තයට නැඟුණු අපි උස් බිම් පෙදෙසක ගොඩනඟා තිබූ කාමර 18 කින් සමන්විත නිවාස දෙකෙන් එකක් බලා ගමන් ආරම්භ කළෙමු. මේ දූපතට අලුතෙන් පැමිණෙන රැඳවූවන්ට දූපතේ කටයුතු පිළිබඳ පුහුණුවක් ලබා දෙන සතියක කාලය තුළ ජීවත් වීමට තාවකාලික වාසස්ථානවන අතර එම නවකයන් ඉන් පසු අවස්ථාව ලැබෙන පරිදි අනෙකුත් වඩාත් පෞද්ගලික සහ ඉඩකඩ සහිත නිවාස වෙත යොමු කෙරේ.

මින් අනතුරුව අපට හමු වූ රැඳවියා බ්යෝර්න් ඇන්ඩර්සන් ය. බ්යෝර්න් ඇන්ඩර්සන් හිටපු සමාජ විද්‍යා පර්යේෂකයෙකි. නෝර්වේහි වෙනත් ස්ථානයක පිහිටි සම්ප්‍රදායික සංවෘත සිරගෙයක වසර 3ක් දඬුවම් විඳ මීට හරියට ම සතියකට පෙර බැස්ටොයි වෙත එවන ලද ඔහු අප එහි ලඟා වන විට දුම්වැටියක් පානය කරමින් මඳ විවේකයක් ලබමින් සිටියේ ය.

“මම ලස්සන තරුණියක් එක්කයි විවාහ වුණේ. අපි විවාහ වෙලා අවුරුදු 20 ක් සතුටින් හිටියා. අපිට දරුවො පස් දෙනෙක් ඉන්නවා. ඒත් 2008 අවුරුද්දේ දවසක මගේ බිරිඳ එකපාරට ම මට කිව්වා, එයා ජීවත් වෙන්න වෙනම නවාතැනක් මිලට ගත් බවත් මගෙන් වෙන්වෙන්න ඇයට අවශ්‍යය බවත්. මම ඒක අහලා යක්ෂාවේශ වුණා. මම ඇයට දරුණු විදිහට පහර දුන්නා.” ඔහු සෙමෙන් සෙමෙන් තම හිස පිරිමදිමින් කියා සිටින්නට විය.

“දෙවියන්ට ස්තූති වෙන්න ඇයට දරුණු තුවාල සිදු වුණේ නැහැ. ඒත් උසාවිය ඉදිරියේ මම මිනී මැරීමට තැත් කිරීම කියන චෝදනාවට වරදකරු වුණා. මාව මේ බන්ධනාගාරයට මාරු කළ එක ගැන මට ගොඩක් සතුටුයි. අර සිද්ධිය සිදු වුණ කාලයේ මම මගේ සමාජ විද්‍යා පර්යේෂණ නිබන්ධය ලියමිනුයි හිටියේ. මෙහේදි මට පරිගණකය භාවිත කරන්න වගේ ම අන්තර්ජාල පහසුකමත් ලබා දීලා තිබෙනවා. ඒ නිසා මම මගේ නිබන්ධයේ වැඩ කටයුතු නැවත ආරම්භ කළා. මාව ඊළඟ ජනවාරි මාසයේදී නිදහස් කරන්න නියමිතයි. මම හිතනවා එළියට ගියාම මට හිටියාට වඩා හොඳින් ජීවිතය ගත කරන්න හැකියාව තිබෙනවා කියලා. විශේෂයෙන් ම මේ බන්ධනාගාරයේදී මට ඒකට අවශ්‍යය පසුබිම හදා ගන්න ගොඩක් උදව් ලැබෙනවා.”


සිරගතවීම  අධ්‍යාපනය ලැබීම සඳහා අැති අයිතිය අහිමිවීමට හේතුවක් නෙවෙයි. මේ බන්ධනාගාරයේ පාසලේ පරිඝනක විද්‍යාගාරය. නෝර්වේවල තිබෙන ඉහළ පෙලේ විද්‍යාලයක්  වන හෝර්ටන් උසස් පාසල තමයි මේ බන්ධනාගාර පාසලේ අධ්‍යාපන කටයුතු පරිපාලනය  කරන්නේ.

බ්යොර්න් කියා සිටි ආකාරයට සතියේ දිනවල රැඳවූවන් උදෑසනින් ම අවදිව ආහාර ගෙන දිවා ආහාරයක් ද පිළියෙල කොටගෙන උදෑසන 8.30 ට සිය සේවා ස්ථානවලට වාර්තා කළ යුතු ය. රාජකාරී වේලාව පස්වරු 2.30 ට අවසන්වන අතර ඉන්පසු සවස 2.45 ට පමණ ප්‍රධාන ශාලාවේදී ඔවුන්ට ආහාර ගැනීම කළ හැක. ඉන්පසුව මේ රැඳවූවන්ට තම කැමැත්ත පරිදි ඕනෑම කාර්යයක නිරත වීමට නිදහස හිමි වේ. රාත්‍රී 11 වන විට සියලු රැඳවූවන් සිය නවාතැන් වෙත ආපසු පැමිණ සිටිය යුතු ය.


කට්ටිය උදෙන්ම වැඩට යනවා

අප තවදුරටත් ඉදිරියට ගමන් කරද්දී වනාන්තරය දෙසින් යාන්ත්‍රික කියත්වල ශබ්දය උස්ව නැඟ එන්නට විය. වඩාත් පරීක්ෂාකාරීව සොයා බැලූ විට බැස්ටොයි රැඳවූවන් සය දෙනෙකුගේ කණ්ඩායමක් කඩියන් මෙන් දර සඳහා ලී කපන ආකාරය අපට දැක ගත හැක විය. මේ දර ප්‍රධාන ගොඩබිමට ගෙන ගොස් විකුණන බවත් රැඳවූවන්ට ඔවුන්ගේ කැමැත්ත සහ සිරගත වීමට ප්‍රථම ඔවුන් විසින් පුහුණු කරන ලද හැකියාවන් හෝ දූපතට පැමිණීමෙන් පසු ලද අධ්‍යාපනය මත පදනම්ව තම තමන් කළ යුතු රාජකාරිය තෝරාගත හැකි බවත් සිගා(ර්)ඩ් මා හට පැහැදිලි කරන ලදී. මෙසේ තෝරාගත හැකි රාජකාරී සමූහය අතරට සත්ව හෝ භෝග වගාව, යාත්‍රා කාර්මික ශිල්පය, ධීවර කටයුතු, පිරිසිදු කිරීමේ කටයුතු, ස්වේච්ඡා ඉදිකිරීම් කටයුතු, කාර්මික ශිල්පී කටයුතු සහ අපද්‍රව්‍ය කළමණාකරණය යන කාර්යයන් ඇතුළත් වූ අතර සිරකරුවෙකුගේ දෛනික වැටුප සාමාන්‍යයක් වශයෙන් ගත් විට දිනකට ක්‍රෝන 57 ක් (හෙවත් රුපියල් 1350 ක්) පමණ විය.


එම කණ්ඩායමේ ට්‍රුක්ටර් රියදුරා වශයෙන් කටයුතු කළ නෙදර්ලන්ත ජාතික 28 හැවිරිදි පීටර් සිය විවේකය අතරතුර අප හා කතාවට එක් විය. ඔහු සය අවුරුදු සිර දඬුවමකට යටත් කොට බැස්ටොයි වෙත එවීමට පෙර දේශ සීමා අතර ට්‍රක් රථ රියදුරෙකු ලෙස කටයුතු කළහ. හෂීස් මත්ද්‍රව්‍යය කිලෝග්රෑම් 150 ක් සිය ට්‍රක් රථයේ සඟවාගෙන නෝර්වේ වෙත ගෙන ඒමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔහු අධිකරණය ඉදිරියේ වරදකරු වී තිබිණි.

“සම්ප්‍රදායික වෙනත් සිරගෙයක ඉන්න කාලෙ මට සිද්ධ වුණේ දවසෙන් පැය 23 ක් විතර හිර කූඩුව ඇතුළෙම ඉන්නයි. නමුත් මෙහෙදි එහෙම නැහැ. මට මෙහෙදි රැකියාවක් සහ එය කරන්න නිදහසක් තියෙනවා. ඇත්තටම මම මගේ රැකියාව ගැනත් ගොඩක් සතුටෙන් ඉන්නේ. බන්ධනාගාර නිලධාරීන් මට ඉතා හොඳින් සලකනවා. ඒ නිසා මමත් හැම මොහොතකම ඔවුන්ගේ විශ්වාසය ආරක්ෂා කරනවා. හිරේ යනවා කියන්නේ කිසිසේත්ම හොඳ අත්දැකීමක් නෙවෙයි. ඒත් බැස්ටොයි වෙනුවට වෙන තැනකට යන්න සිදු වුණා නම් තත්ත්වය හොඳටම නරක් වෙනවා.”

120 ක් වූ රැඳවූවන් ද බන්ධනාගාර නියාමකයන් 35 දෙනෙකුගෙන් ද සමන්විත 70 ක නිලධාරී මණ්ඩලයකගෙන් ද සමන්විත බැස්ටොයි බන්ධනාගාරය නෝර්වේහි විශාලත ම හා අවම ආරක්ෂාවකින් යුතු බන්ධනාගාරය වන අතර නෝර්වේහි පිහිටා ඇති බන්ධනාගාර 4 න් එකකි. එසේ වුවත් සිරකරුවන්ට රැකියා සැපයීම හා ඔවුන්ගේ දෛනික වැඩ පිළිවෙල සකස් කිරීම සඳහා අවශ්‍ය සම්පත් රජයේ මැදිහත් වීමකින් තොරව එදිනෙදා කාර්යයන් හරහා සපයා ගැනීම සිය අරමුණ බව බන්ධනාගාර අධිපතිවරයා කියා සිටියි.

“බන්ධනාගාරය තමන්ගේ අවශ්‍යතා ස්වේච්ඡාවෙන් නඩත්තු කර ගන්නවා. ඒ වගේම සූර්ය ශක්තිය සහ මෝටර් රථ වෙනුවට අශ්ව කරත්ත ආදිය භාවිතා කිරීම හරහා අපි හැකිතාක් පරිසර හිතකාමී ක්‍රියා පිළිවෙත් සහ ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහන් පවත්වාගෙන යනවා. ඒ නිසා රැඳවියන්ට කරන්න ඇති තරම් රාජකාරී තියෙනවා. ඒ වගේම ඔවුන් හැකි උපරිමයෙන් ස්වභාවික පරිසරය හා සම්බන්ධ කරනවා. සතුන්, ගහකොල, වනාන්තරය සහ මුහුද එක්ක තමයි ඔවුන්ගේ දවස ගෙවෙන්නේ. අපි සිරකරුවන්ට කියාදෙන එක කාරණයක් තමයි මිනිසා කියන්නේ ස්වභාව ධර්මයේ කොටසක් බව. මිනිසා ස්වභාව ධර්මයට හානි කළොත්, එහෙම නැත්නම් තවත් සහෝදර මිනිසෙකුට හානි කළොත් අනිවාර්යයෙන් ම ඔහුට එහි ප්‍රතිඵල ලැබෙනවා කියන කාරණය අපි ඔවුන්ට තේරුම් ගන්වනවා.”

පරිසරයත් සමඟ බද්ධ වූ මේ දෛනික වැඩ පිළිවෙළ නිසා බන්ධනාගාරය තුළ සිටින සියලු දෙනාට අවශ්‍ය ආහාර ආදිය නිපදවා ගැනීම ඉතා පහසු බවත් ඒ හරහා බැස්ටොයි යනු රජයට අවම පිරිවැයක් දරන්නට සිදුව ඇති බන්ධනාගාරය බවත් බන්ධනාගාර අධිපතිවරයා තවදුරටත් පැහැදිලි කළා.

“ඒ ඒ රැඳවියා වෙනුවෙන් රජයට දරන්න සිද්ධ වෙන පිරිවැයක් තියෙනවා. බැස්ටොයි සම්බන්ධයෙන් ඒක ඉතා ම අඩු අගයක්.”

මේ අඩු පිරිවැය සිරකරුවන් සම්බන්ධයෙන් බැස්ටොයි හී නිදහස් ප්‍රතිපත්තියට විරෝධතා එල්ල කරන්නන්ට සහනදායී හැඟීම් ගෙන එන්නකි. 50 හැවිරිදි ගනර් සෝර්බයි පසුගිය පස් වසර පුරාම දෛනිකව දූපතේ රාජකාරී සඳහා වාර්තා කළ අයෙකි. ඒ ඔහු මෙහි සිරකරුවෙකු නිසා නොව බන්ධනාගාරයේ වඩු කාර්මික, ජලනළ කාර්මික හා ස්වෙච්ඡා කාර්මික අංශයෙහි ප්‍රධානියා ඔහු බැවිනි. ඔහු කියා සිටින පරිදි මේ නව බන්ධනාගාර ක්‍රමයේ වාසිය හුදෙක් ඉහත කී පිරිවැය අවම වීම පමණක්ව නොවන්නේ ය.

“මට කවුරු හරි කිව්වොත් හෙට ඔබේ අල්ලපු ගෙදරට හිරෙන් නිදහස් වූ කෙනෙක් පදිංචියට එනවා කියලා, මම වද වෙන එකම කාරණය එයා බැස්ටොයි සිරගෙදර හිටියා ද නැද් ද කියන එක ගැන විතරයි. වෙනත් සිරගෙදරක ඉඳලා නිදහස් වුණ පුද්ගලයෙක් අසල්වැසියෙක් වෙනවාට වඩා බැස්ටොයි සිරගෙදර රඳවා සිටි කෙනෙක් අසල්වැසියෙක් වෙන එක බොහොම සතුටුදායක දෙයක්.

මට කවදාවත් මම මේ වැඩකරන්නේ හිරගෙදරක නේද කියන එක දැනිලා නැහැ. ඒ වගේම මේ මිනිස්සු කවදාවත් මගේ ඉදිරියේ තර්ජනාත්මක විදිහට හැසිරිලත් නැහැ. මම හිතන්නේ සම්ප්‍රදායික සංවෘත සිරකඳවුරු මේ වරදකරුවන් නිසි ලෙස පුනරුත්ථාපනය කරන්න ඇත්තට ම සමත් වෙන්නේ නැහැ කියන කාරණය දැන් නෝර්වීජියානුවන් විශාල වශයෙන් විශ්වාස කරන්න පටන් අරගෙන තියෙනවා.”

මින් අනතුරුව සිගා(ර්)ඩ් විසින් මා හට අමුත්තන්ගේ ශාලාවත්, වෛද්‍ය සාත්තු සේවකයාගේ, පූජකවරයාගේ, දන්ත වෛද්‍යවරයාගේ සහ මනෝ චිකිත්සකවරයාගේත් නාවාතැන් පෙන්වා දුන් අතර කුඩා ළමුන් සඳහා පවත්වාගෙන ගිය විශේෂ ස්ථානය ද ඒ අතර විය. අවම වශයෙන් සතියකට පැය 3 – 4 ක් පමණ කාලයක් රැඳවූවන්ගේ ඥාතීන්ට හා මිතුරන්ට රැඳවූවන් හමුවිය හැකි අතර සමස්ත නෝර්වීජියානු බන්ධනාගාර පද්ධතියෙහි ම දක්නට ලැබුණු අමුත්තන් සමඟ නිදහස් සබඳතා පැවැත්වීමේ අවසරය මේ රැඳවූවන්ට ද පොදු විය. කුඩා දරුවන් සිටින රැඳවූවන්ගේ බිරින්ඳෑවරුන්ට හා පෙම්වතියන්ට දරුවන් සමඟ මුළු මහත් දවසක් ම රැඳවූවන් සමඟ ගත කිරීමේ වාසනාව නිතැතින්ම හිමි ය.

කෙසේ වුව ද බැස්ටොයිහිදී අතිශය වැදගත් වූ මූලික නීති – රීති කිහිපයක් ක්‍රියාත්මක ය. මෙහි ප්‍රචණ්ඩ ක්‍රියා, මත්පැන් හා මත් ද්‍රව්‍යය භාවිතයට කිසිසේත් සමාවක් නොලැබේ. එවන් ක්‍රියාවක නිරත ව නියාමකයන්ට හසුවන රැඳවූවන් වහා ම සංවෘත බන්ධනාගාරයකට මාරු කර යවන අතර එතෙක් ඔවුන් සෙස්සන්ගෙන් මුළුමනින්ම සැඟව පිහිටි යකඩ දොරවල් සහ අඳුරු කරන ලද කවුළුවලින් සමන්විත බියකරු පෙනුමකින් යුත් අඳුරු කුටියක රඳවා තැබේ. සිගා(ර්)ඩ් මා සමඟ කියා සිටි ආකාරයට මේ අඳුරු කුටිය සිය නවාතැන තුළ මත්පැන් භාවිතා කරමින් සිටි රැඳවියෙකු වෙනුවෙන් වසර දෙකකට ඉහත දී විවෘත වූ පසු මේ දක්වාත් නැවත භාවිතා කෙරී නැත.

බන්ධනාගාර අධිපතිවරයා ප්‍රකාශ කරන ආකාරයට බැස්ටොයි බන්ධනාගාරය ගොඩනැගීමට මූලික වූ ප්‍රතිපත්තීන් 17 වන සියවසේ බටහිර ඇමරිකානු ප්‍රායෝගික භාවිතයන් හා දර්ශනයන් හරහා වර්ධනය වූ මනෝ විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක හා පරිසර විද්‍යාත්මක සාධක පදනම් කරගත් ඒවායි. එකී ප්‍රතිපත්තිවල සැබෑ මූලාරම්භය එයිනුත් සියවස් කිහිපයක් එපිටට දිව යයි.

“උතුරු ඇමරිකාවේ වාසය කළ රතු ඉන්දියානු නායකයාගේ ඒ ශ්‍රේෂ්ඨ කියමන – ‛ජීවිතය නමැති වියමන මිනිසා විසින් වියන ලද්දක් නොවේ. ඔහු එහි එක් කුඩා කොටසක් පමණක්වන අතර ජීවිත වියමනට ඔහු කරන කවර හෝ දෙයක් වේ ද එය ඔහු ඔහුට ම කරගන්නා දෙයකි’ යන්න මම නිතර ම උපුටා දක්වන කියමනක්.”


මේ බන්ධනාගාරයේ කාර්මික වැඩපොලේ දක්ෂ මැකැනික් බාස් කෙනෙක්. මෙයා සිරගත වුනේ මත්ද්‍රව්‍ය සහ ළමා අපචාර චෝදනාවලට


දැන් බැටළු පාලකයෙක් ලෙස සේවය කරන 55 හැවිරිදි ෆ්‍රෙඩ් මීලඟට අප හමු වූ රැඳවියායි. ඔහු තම පුෂ්ටිමත් බැටළුවන් පිළිබඳ ඉතා සතුටින් පසුවූවේ ය.

“සිරගත වෙලා ඉන්න මෙතැන ඉතා ම හොඳ තැනක්.” ෆ්‍රෙඩ් සිනාසෙමින් අප හා පැවසී ය.

ෆ්‍රෙඩ්ගේ අසල්වාසියා වූ 48 හැවිරිදි ෆ්‍රෑන්ක් මේ දූපතේ ගවපට්ටි භාරව කටයුතු කළේ ය. කලින් බැංකුකරුවෙක් ලෙස සේවය කළ ඔහු එහිදී බැංකුවේ මුදල් වංචාවකට වරදකරු විය. එසේ ම රෙදි සේදීම් අංශයේ කඩිමුඩියේ වැඩෙහි යෙදී සිටි 36 හැවිරිදි උස මහත එස්පන් මීට පෙර ප්‍රසිද්ධ බැංකු කොල්ලකරුවෙකුව සිටියෙකි.

සිය වැඩකටයුතු අතරින් මෙහොතකට හිස එසවූ ඔහු මා සමඟ වදන් කිහිපයක් කතා කළේ ය.

“මම ඉපදුණේ, හැදුණේ වැඩුණේ අනාථ නිවාසයක. මම මුලින්ම අපරාධ ක්‍රියාවක් කරනකොට මගේ වයස අවුරුදු 15යි. මම එක එක සිරගෙවල්වල අවුරුදු 13ක් සිරගත වෙලා ඉඳලා තියෙනවා. එකපාරක් මට මුණ ගැසුණු මගේ යාළුවෙක් තමයි බැස්ටොයි ගැන මට කිව්වේ. ඉතින් මම මෙහෙට එන්න ඉල්ලුම් කළා. සාධාරණ විදිහට ජීවත් වෙන්න කර්මාන්තයක් වගේම ජීවිතය ගැනත් ඉගෙන ගන්න මෙතන මට ගොඩක් උදව් වුණා. මගේ ජීවිතේ පළමු වතාවට මට මං ගැන ලොකු විශ්වාසයක් දැනෙනවා. මම දන්නවා තවදුරටත් අපරාධ නොකරන්න මට දැන් ශක්තිය තියෙනවා කියලා.”

උදෑසන දහය පසුවී තවත් අඩ හෝරාවක් පමණ ගත වූ තැන මා ද රැගත් බෝට්ටුව මෙතෙක් වෙලා මා අත්විඳි පුදුමාකාර අත්දැකීම්වලට මුළුමනින්ම වෙනස් ලෝකයක් වූ ප්‍රධාන ගොඩබිම වෙත අාපසු ලඟා විය. නිවාඩුව සඳහා සිය නිවෙස බලා යන බන්ධනාගාර අධිපති තැන ද මා සමඟ ඒ බෝට්ටුවෙහිම වූ අතර ඔහු නොනවත්වාම කතා කරන්නට විය.

“බැස්ටොයිවල අපේ ක්‍රමය ගොඩක්ම සාර්ථකයි. ඒ නිසා රජය දැන් අවුරුදු 4 ක් හෝ ඊට අඩුවෙන් සිර දඬුවම්වලට නියම වෙන සිරකරුවන් සෘජුවම බැස්ටොයි වෙත එවන්න හැකි විදිහට නීති සංශෝධනය කරන්න අවධානය යොමු කරලා තියෙනවා. මම කියන දේ වැරදියට තේරුම් ගන්න එපා. සමාජයට ඉතාම භයානක මිනිසුන්ව පාලනය කරන්න දැනට තිබෙන සම්ප්‍රදායික ආකාරයේ සංවෘත සිර කඳවුරු කිහිපයක් අපට ඉදිරියටත් අවශ්‍යය වෙනවා. ඒත් එහෙම අපරාධකරුවන් ගණනින් ඉතාම සීමිතයි. බහුතරයක් රැඳවූවන්ට එවැනි දරුණු වටපිටාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම හිතන්නේ බ්‍රිතාන්‍යය අනුගමනය කරන ක්‍රමය භයානකයි. මේ වරදකරුවන් තුළ නැවත හොඳ මිනිසෙකු වෙන්න අවශ්‍ය ගුණාංග තියෙනවා. ඔවුන් සිරකුටියකට දාලා ඔවුන්ට දරුණු ලෙස ශාරීරිකව හා මානසිකව වද දීමෙන් ඇත්තටම වෙන්නේ හිටියාටත් වඩා දරුණු අපරාධකාරයෙක්ව නිර්මාණය කරන්න අපේ බන්ධනාගාර පද්ධතිය නොදැනුවත්වම දායක වීමයි. ඇත්තටම සමාජයට ලොකුම තර්ජනය එල්ල කරන්නේ සිරකරුවන් නෙවෙයි, බන්ධනාගාර විසිනුයි.

බැස්ටොයිවල ක්‍රමය පහසුවෙන්ම බ්‍රිතාන්‍යය තුළ අත්හදා බලන්න පුළුවන්. මේක මේ නෝර්වේවල එක දූපතක පමණක් සුවිෙශ්ෂ ක්‍රමවේදයක් නෙවෙයි.”

නීල්සන් ගේ මේ කතාව ඉතාමත්ම බුද්ධිමත් එකකි. ඇතැම් විට ඔහු බැස්ටොයි හී ඔහුගේ සාර්ථකත්වය නිසා අතිශය උද්දාමයෙන් යුතුව මේ දේවල් ගැන සිතා සිටිනවා විය හැක. එහෙත් හොඳින් සිතා බැලූවිට ඔහුගේ මේ නව ක්‍රමවේදය, එහි ඇති මානුෂීයභාවය සහ පුනරුත්ථාපනය විෂයෙහි එහි සාර්ථකභාවය යන මේ කරුණු ඇත්ත වශයෙන්ම අප විසින් විමසිල්ලෙන් සාකච්ඡා කර බැලිය යුතු ඒවා නොවේ ද?

මෙම ලිපිය Norway's controversial 'cushy prison' experiment - could it catch on in the UK? යන නමින් ඩේලි මේල් වෙබ් අඩවියේ පළවූ ලිපියේ සිංහල පරිවර්තනයයි. 

0 comments: