අලුත්ම Star Wars චිත්‍රපටය: Episode VII: The Force Awakens ලඟදීම


සුප්‍රකට හොලිවුඩ් අධ්‍යක්ශක ජේ.ජේ ඇබ්‍රැම්ස් අධ්‍යක්ශණය කල මෙම චිත්‍රපටය ස්ටාර්-වෝස් චිත්‍රපට මාලාවේ සත්වැනි දිගහැරුමයි.  ජේ.ජේ ඇබ්‍රැම්ස් අධ්‍යක්ශණය කල අතිශයින් ජනප්‍රියවූ චිත්‍රපට අතර Mission: Impossible III, Mission: Impossible – Ghost Protocol හා Star Trek Into Darkness ප්‍රධාන වන අතර 2015දී තිරගත වන්නට සැළසුම් කොට ඇති අලුත්ම මිශන් ඉම්පොසිබල් චිත්‍රපටය වන Mission: Impossible – Rogue Nation ද ඔහුගේ අධ්‍යක්ශණයකි.

1977දී මුල්වරට එලිදැක්වුනු මෙය ජෝර්ජ් ලූකස්ගේ නිර්මාණයකි. මුලින් චිත්‍රපට 6ක් ලෙස (Episode 1 - 6) ලෙස එලිදක්වන්නට සැලසුම්කල නමුත් පසුව අවසාන කොටස් තුන, එනම්  Episode 4 - A New Hope (1977)  , Episode 5 - Empire Strikes Back (1980), Episode 6 - The Return of Jedi (1983) යන චිත්‍රපට තුන පමණක් එලිදක්වන ලදී. ලොව පුරා අතිශයින්ම ජනප්‍රිය වූ මෙම චිත්‍රපට මාලාව 1970 හා 1980 දශකයේ ළමා හා තරුණ පරපුරට ඉමහත් වින්දනයක් ලබාදුන් අතර, විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට සඳහා පෙර නොවූ විරූ උනන්දුවක් ඇති කරනලදී.

ඈත අතීතයේ කාළයක, පෘථිවියට ඉතා ඈතින් පිහිට මන්දාකිණියක පැතිරීතිබූ අතිශය දියුණු මානව හා වෙනත් බුද්ධිමත් ජීවී විශේෂ බිහිකරන ලද විශ්ව ශිස්ඨාචාරයක් මෙම කථාමාලාවට පාදකවී ඇත. කථාව දිග හැරෙන සමයේ එම මන්දාකිණියම "Emperor" ලෙසින් හඳුන්වන කුරිරු ආඥාදායකයෙකු විසින් බිහිකරන ලද අධිරාජ්‍යයකට යටත්ව සිටින අතර එම කුරුරු පාලනයට එරෙහිව ජෙඩායි නයිට්වරුන් හා ඔවුන්ගේ පාත්‍රවර්ගයා ගෙන යන නොනවතින සංග්‍රාමයක් විස්තර කරයි. ස්ටාර්-වෝස් හෙවත් තාරකා යුද්ධ යනුවෙන හඳුන්වන්නේ මෙම නොනවතින සංග්‍රාමයේ කථාමාලාවන්ය.


1983දී 6වැනි චිත්‍රපටයෙන් තාවකාලික විශ්‍රාමයකට යැවෙන ස්ටාර්-වෝස් කථාමාලාවේ, කලින් අත්හැරදමන ලද එපිසෝඩ් 1, 2, හා 3 චිත්‍රපට නිර්මාණය කිරීමට කථාමාලාවේ රචක හා නිර්මාණ හිමිකරුවන වන ජෝර්ජ් ලූකස් හා ඔහුගේ ච්ත්‍රපට සමාගම වන ලූක්ස් ෆිල්ම්ස් තීරණය කරන අතර එහි ප්‍රථිපලයක් ලෙස් 1999දී ස්ටාර්-වෝස් වෘතාන්තයේ මුල්ම කථාමාලාව ලෙස එලිදක්වන්නට තිබුණු "Star Wars Episode I: The Phantom Menace" සිනමා ලෝලීන්ට පිලිගැන්වුනි. 2002 වසරේදී දෙවන එපිසෝඩය වන Star Wars Episode II: Attack of the Clones එලිදැක්වෙන අතර 2005දී තුන්වන එපිසෝඩය වන Star Wars Episode III: Revenge of the Sith එලිදැක්වේ.

ස්ටාර්-වෝස් චිත්‍රපටමාලාව, හා චරිතවල නිර්මාණ අයිතිය ඇති Lucas Film සමාගම, එහි අයිතිකරුවූ ජෝර්ජ් ලූකස් විසින් 2012 වසරේදී වෝල්ඩ් ඩිස්නි සමාගමට අලෙවිකරන ලද අතර ස්ටාර්-වෝස් චිත්‍රපටමාලාවට නැවත පණදීමට ඩිස්නි සමාගම තීරණය කරනලදි. 2015දී එලි දැක්වීමට නියමිත Episode 7 මේ තීරණයේ ප්‍රථිපලයකි. මෙම චිත්‍රපටය, අලුත්ම ස්ටාර්-වෝස් චිත්‍රපට 3කින් පලමුවැන්න බව ඩිස්නි සමාගම පවසනවා.

Comments