සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන

Share

මම ඉපදෙන්න ඉන්න බව දැනගත්තම අම්මා අඩි දෙක තුන බිම තිබ්බෙත් පරිස්සමෙන් ලු.මම පවුලේ පලමුවැනි දරුවා නිසා අම්මා ගොඩක් පරිස්සම් වෙලා. අම්මටත් අලුත් අද්දැකීමක්. අප්පච්චිත් අම්මාට අවශ්‍ය හැම රැකවරණයම දෙන්න ඇති.මම දුවෙක් ද පුතෙක් ද කියලවත් නොදැනෙ ඒ ගොල්ලො බලපොරොත්තු ගොන්නක් හිතේ පොදි බැදගෙන ඉදල ඉදල මම ඉපදුන වෙලාවෙ මගෙ මූන දැකපුවහම දෙන්නම කදුලු පුරොගත්තෙ සන්තොසෙ දරගන්න බැරි උන නිසා. අප්පච්චි මාව අතට අරන් මගෙ මූණ දිහා බලගෙනම හෙමින් හෙමින් ඇවිදගෙන ගියා කියල අම්මා මට දවසක් කිව්වා. අප්පච්චී අම්මයි  එදා අහස් මාලිගා හදන්න ඇති.
දුවෙක් කියන්නෙ වටිනා සම්පතක්. කවද හරි පවුලෙ ගෞරවය රැදෙන්නෙ දුව නිසා. මගෙ අම්මයි අප්පච්චි මාව මලක් වගේ බලගත්තෙ ඒ නිසා. පුංචි කාලේ කවාගන්න බැරි උනහම අම්මා ඇස් වල කදුලු පුරොගන්නවලු. අම්මාට හරියට කැවෙන්නෙත් නැහැ.

මම ටික ටික ලොකු වුනේ අම්මයි අප්පච්චිගෙයි මහ මෙරක් තරම් ආදරය මැද්දෙ රජ මැදුරක කුමාරියෙක් වගේ. අප්පච්චි මගේ ලොකෙ රජ්ජුරුවො අම්මා රැජින. පොඩි කාලෙ වැරදි වලට බැන්න වෙලාවල් වල ඇස් වල කදුලු පුරවගෙන ඉද්දි හිතුනේ මට ආදරේ අඩුවක් වෙලා කියලා. ඒත් පස්සෙ තමයි අපි කාට කාටත් තේරෙන්නෙ ඒ වෙලාවෙ අම්මල බනින්නෙ ආදරේට කියලා. අඩද්දි ඇවිත් නලවන්නෙත් අම්මමයි.

සමාජය හරිම දරුණුයි. ඒවා තේරුම් ගන්න තරම් අවබෝධයක් ලැබෙන්න සෑහෙන්න අද්දැකීම් තියෙන්න ඔනෙ. මගෙ දෙමවුපියො විතරක් නෙවේ කොයි කාගෙත් අම්මයි තාත්තයි තමන්ගෙ දරුවාව කුරිරු දරුණු සමාජයෙන් ආරක්ශා කරන්නෙ ඇස් දෙක වගේ. අපි තවමත් මොලකැටි සමනල්ලු වගේ. අම්මයි අප්පච්චී හැම දෙයක් ගැනම දකින විදිහ අපිට වඩා වෙනස් වෙද්දි තාරුණ්‍යයේ තියෙන දගකාරකමත් එක්ක අපිට හිතෙන්නෙ එ ගොල්ලො දන්නෙ මොනාද කියලා. ඒත් ඒ දෙන්නා හරි කියලා වැටහෙන්න ටිකක් කල් ගත වුනාට පස්සෙ. ඒ නිසාම අපේ අතින් හිත් රිදීම් වුනත් අම්ම්යි තාත්තයි කියන්නෙ මහා බ්‍රහ්මයො වගේ කියලා බුදු හාමුදුරුවො කිව්වෙ දරුවෙකුගේ මොන වැරද්දකටත් සමාව දීලා සිප වැලද ගන්න ඒ ගොල්ලන්ට පුලුවන් නිසයි. අපි වෙනුවෙන් ලොකෙ වුනත් පෙරලන්න ඒ දෙන්නට පුලුවන්. අපි වෙනුවෙන් ඔනම දෙයක් කරන්න භයක් නැතුව ඉදිරිපත් වෙන්නෙ අම්මයි තාත්ත්යි විතරයි.

කොහොමින් කොහොමොන් හරි කාලය ගෙවිලා අද මම ජීවිතේ ලොකු තැනකට ඇවිල්ල. ඒ ආපු ගමනෙ සම්පූර්ණ අයිතිය මගෙ අම්මටයි අප්පච්චිටයි. කොටින්ම කිව්වොත් අපේ ජීවිතෙ සම්පූර්ණ අයිතිය ඒ දෙන්නගෙ. මොකද අපේ හැම සෛලයකම අයිතිය අම්මගෙයි තාත්ත්ගෙයි. හැම දෙයකදිම පිටි පස්සෙන් ඉදලා දැනමුතුකම් වගේම ජීවත් වෙන්න ගුණ ධර්ම කියලා දීලා අද මම ඉන්න තැනට මාව ගෙනාවෙ ඒ දෙන්නා. අපිට නොපෙනෙන ලෝකය ඒ ගොල්ලන්ට පෙනෙන නිසා තමයි මම ගන්න ගිය සමහර වැරදි තීරණ හැමතිස්සෙම නිවැරදි කලේ. ඒ වෙලාවෙ හිතෙන්න ඇති මගේ තීරණේ හරි කියලා නමුත් ජීවිතේ මුහුකුරා යද්දි තමයි අම්මලා ගත්තු තීරණ වල අගේ දැනෙන්නෙ.

දුවෙක් අම්මත් එක්ක තියෙන සම්බන්දෙ පුදුමාකාරයි. අම්මාට දුවෙක් තරම් වටින මැණිකක් මුලු ලෝකෙම නැතුව ඇති. ඒ වගේමයි දුවෙක් තරම් අම්ම කෙනෙක්ට ආදරේ කරන වෙන කිසිම කෙනෙක් නැතුව ඇති. අම්මා කියන්නෙ දුවෙකුගෙ හොදම මිතුරිය. ගෙදර ගිහාම දවසෙ වෙච්ච හැම දේම අම්මට කියන්න බලන් ඉන්නෙ හරිම ආසවෙන්. අම්මා තරම් මම ගැන දන්න කෙනෙක් වෙන නම් නැහැ. සමහර වෙලාවට මට හිතෙන්නෙ මටත් වඩා අම්මා මම ගැන දන්නවා කියලයි.

තාත්තා කියන්නෙ දුවෙක් ගෙ පලමුවැනි ආදරවන්තයා. තමන්ගෙ ජීවිතේ සහකාරයාගෙනුත් දුවෙක් බලාපොරොත්තු වෙන්නෙ තමන්ගෙ තාත්තගෙ ගති ගුණ.
මට මගේ ලෝකෙ වීරයා මගෙ අප්පච්චි. මම ජීවිතේ තියෙන හැම පියවරකදිම මාව දිරිමත් කලේ අප්පච්චි. මම ලබපු හැම ජයග්‍රහනයකදිම නිහතමානී ආඩම්බරයක් අප්පච්චිගෙ ඇස් දෙකෙන් දැක්කා. අප්පච්චි කියන්නෙ මම දැකපු දක්ෂම මනෝ විද්යාඥයා. අප්පච්චි  තරම් මිනිස්සුන්ගෙ හිත කියවන කෙනෙක් මම තවත් දැකලා නැහැ. වැරදි කරහම සැර වුනාට අප්පච්චි දඩුවම් කලේ හිත තේරුම් අරගෙන. ඒ හැම දෙයකින්ම මම සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙලා.

මට මේ හැම දෙයක්ම කියන්න හිතුනෙ අම්මාගෙයි තාත්තගෙයි වටිනාකම ගැන යමක් කියන්න ඕන නිසා. තවමත් ඒ දෙන්නගෙ වටිනා කම තේරුම් නොගත්ත කෙනෙක්ට දෑස් පාදන්න හිතුන නිසා.
මම මගෙ අම්මාටයි අප්පච්චිටයි ගොඩක් ආදරෙයි. ඒ බව ලෝකෙටම කියන්නෙ හරිම ආඩම්බරයකින්.
ඉතින් මේ මගෙ පුංචි වෑයම මගේ අම්මටයි අප්පච්චිටයි වගේම මේ ලෝකෙ සියලුම දෙමවුපියන්ට උපහාරයක්ම වේවා.

මගේ අවසාන පැතුම
“සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා”

 

 

ref : http://wednesdaywakeup.com/wp-content/uploads/2014/05/parents-and-kids.jpg