Tuesday, April 14, 2015

අධිමානසික සිහින පෙරනිමිති


විචිත්‍ර සහජඥාන අත්දැකීම් පිළිබඳ මෙබඳු විස්තර හතර වටින් ගලා එමින් තිබිණ. පොත් සමාජයේ තවත් බොහෝ‍ දෙනකුට සිහින පෙරනිමිති පිළිබඳ අත්දැකීම් තිබිණ. එක් සාමාජිකාවට නාද වන සිය දුරකථනය එසැවීමටත් ප්‍රථම අමතන්නේ කවරකු දැයි කිව හැකි විය. තවත් බොහෝ දෙනකුට ප්‍රබල පෙර දුටු හුරුව (Déjà Vu ) හැඟීම්, සහජඥානමය දැනීම් හා සිය සැමියන් හා සමකාලික ව පහළ වූ සිතිවිලි හා ප්‍රකාශ පිළිබඳ අත්දැකීම් තිබිණි.

එහෙත් වඩාත් සිත් අලවන සුළු කරුණ වූයේ දොලොස් මසක් මුළුල්ලේ රැස් වූ මේ කාන්තා පිරිස මීට පෙර කිසි දිනෙක සිය අධිමානසික අත්දැකීම් පිළිබඳ තොරතුරු කිසිවක් හුවමාරු කැර නොගත් බව යි. තමන් ‍“මනෝ විකාර” වූවන් හෝ “උමතු” වූවන් ලෙස අන් අය විසින් සලකනු ලබතැයි ඔවුන් බිය වූ සෙයක් පෙනේ. ‍එහෙත් ඔවුහු සාමාන්‍ය අධිමානසික සංසිද්ධීන් පිළිබඳ අත්දැකීම් ලැබූ සාමාන්‍ය කාන්තාවෝ වූහ. අප හැම දෙනකුට ම අත්විඳින්නට ලැබෙන මෙවන් අත්දැකීම් වල කිසිදු “මනෝ විකාරයක්” හෝ “උමතුවක්” නැත. බොහෝ විට සිදු වන්නේ අප එ වැනි දෑ පිළිබඳ කිසිවකු හට නො පැවසීම යි. පවුලේ සාමාජිකයන් හෝ සමීපතම මිතුරන් සමඟ ‍පවා අපි මෙ වැනි දෑ ගැන සාකච්ඡා නො කරමු.

එක් අතකින් පූර්ව ජන්ම ස්මරණය යනු, සුලභ වූ ද එහෙත් බොහෝ අගනා වූ ද සහජඥානමය (Intuitive) අත්දැකීම් විසින් අප කැඳවාගෙන යනු ලබන හුදු එක් දිශාවක් පමණි. සැහැල්ලු සම්මෝහන තත්ත්වයක දී ශාන්ත හා ඒකාග්‍ර වූ සිතට, අහඹු හා ස්වයංසිද්ධව සිතුවිලි නිරතුරුව ගලා එන “අවදි වූ” මනසට වඩා හොඳින් සහජඥාන මාර්ගෝපදේශයන්ට හා ප්‍රඥාවේ උපවිඥානමය ගබඩාවන්ට ප්‍රවිශ්ට විය හැකි ය. සැබෑ වූ හෝ යම් වාසියක් අත් කැර දුන් සහජඥාන අත්දැකීමක් කවරදාක හෝ ඔබට ලැබී ඇත් නම් එවැනි අත්දැකීමක කෙතරම් බලයක් හා වටිනාකමක් ඇත්දැයි ඔබ දනී.

පූර්ව ජන්මයන් සිහිපත් කිරීම ද බොහෝ විට දනවන්නේ මෙ වැනි ම හැඟීමකි. විස්තර කිරීමට හෝ සාධනය කිරීමට අවශ්‍ය නොවන්නා වූ ක්‍රමයක් මඟින් කරුණු සිහිපත් කරමින් ද, මග පෙන්වමින් ද තමා සුවපත් කරන අයුරු එහි දී ඔබට දැනෙන හැඟීම යි. එය සරල ව එසේ සිදු වෙයි; නිසල ව ගලා යයි. පූර්ව ජන්ම ස්මරණය තුළින් ලබා ගත හැකි ප්‍රතිඵල වන කායික රෝග ලක්ෂණ සමනය වීම, චිත්ත‍ වේගාත්මක ගැටළුවකට සහනයක් ලැබීම හෝ ඔබේ ජීවිතය හා එහි දිශානතිය පිළිබඳ විශ්වාසයක් හා ප්‍රශාන්තිමත් බවක් දැනීම වැනි යහපත් ප්‍රතිඵල ඇති විටෙක ඔබට කිසි දාක ඒ අත්දැකීමේ තාර්කික වලංගු භාවය පිළිබඳ ප්‍රශ්ණ කරන්නට අවශ්‍ය නො වේ. ඔබේ ජීවන තත්වය උසස් කැර ගැනීමට හෝ ප්‍රත්‍යක්ෂ ආකාරයෙන් ඔබ හෝ අන්‍යයන් පිළිබඳ ප්‍රතිවේදයන් ලබා ගත හැකි වන පරිදි එ මඟින් ඔබ බල ගන්වා ඇති බව සැකයකින් තොර ව ඔබට අවබෝධ වෙයි.

අනාගතය ගැන පෙරනිමිති දක්වන අධිමානසික සිහින වූ කලී අප තුළ නිසගයෙන් ම පවතින හා තව දුරටත් දියුණු කැර ගත හැකි හැකියාවන් පිළිබඳ පොදු නිදසුනකි. ෆ්ලොරීඩා ප්‍රාන්තයේ රාජ්‍ය ලොතරැයිය ආරම්භ කොට නොබෝ දිනෙකින් ම, අසාමාන්‍ය වූ අධිමානසික සිහිනයක් විසින් නිව්ජර්සි හි විසූ පුද්ගලයකු වෙත ඩොලර් මිලියන 10.5 ක දිනුමක් රැගෙන එනු ලැබිණ. ‍ෆ්ලොරීඩා පුවත් පත් විසින් වාර්තා කරනු ලැබූ පරිදි ජයග්‍රාහකයා සම්මුඛ සාකච්චාවකට එක් වෙමින් කියා සිටියේ සිය දියණියගේ මරණයෙන් මසකට පමණ පසු සිහිනයෙන් දර්ශනය වූ ඈ කිසියම් අංකයක් සඳහන් ලොතරැයියක් මිල දී ගන්නා ලෙස ඔහුට දැන් වූ බව යි.

“මගේ දුව ඇසුවා ඇයි ඔබ මගේ අංකය උත්සාහ කර නො බලන්නේ? මට ඕනෑ ඔබට පුංචි හරි සතුටක් ලබා දෙන්න යි”

ඇගේ පියා හැටතුන් හැවිරිදි වියේ පසු වූයේ ය. යට කී සිහිනයට සති ගණනාවකට පෙර නිව්ජර්සිහි දී අඩි දෙසීයක් පමණ වූ ප්‍රපාතයකට වැටුණ සිය විසිතුන් හැවිරිදි දියණියගේ ‍ශෝක ජනක හදිසි මරණයේ කම්පාවෙන් මිදෙනු පිණිස හේ සිය පවුල ද කැටි ව නගරය හැරපියා ෆ්ලොරීඩාවට පැමිණ සිටියේ ය. මෙම විචිත්‍රවත් හා අතිශයින් සැබෑ ලෙස හැඟුණ සිහිනයෙන් පිබිදුණ ඔහුට තම දියණියගේ මෝටර් රථයේ තිබී නිව් ජර්සි ලොතරැයි ටිකට් පතක් හමු වූ බැව් සිහිපත් විය. අතිශයින් සසල වූ සිත් ඇති මුත් හේ නිවසට දුරකථනයෙන් කථා කොට නිව්ජර්සි ලොතරැයියේ අංක වන 2, 6, 11, 14, 31, හා 34 ලබා ගත්තේය. සති පතා සිදු වන දිනුම් ඇදීම පැවති දින උදය වරුවේ පියා, මව, දියණියන් දෙදෙනා හා පුතා එක් ව මේ අංක අඩංගු ෆ්ලොරීඩා ලොතරැයි පතක් සොයා ගැනීමට සමත් වූහ. ලොතරැයිය විකිණී තිබූ ආකාරය අනුව දිනුමක් ලැබීමට තිබූ සම්භාවිතාව මිලියන දහහතරකට එකකි. අවසන දිනුම හිමි වූයේ ඔවුනට ය.

“මට අමුතුම හැඟීමක් දැනුනේ” පියා කීවේය “මම පුදුම වුනා.... ඇත්තෙන්ම කීවොත් පුදුම වුනා‍මත් නොවෙයි.... ඒක පැහැදිලි කරන්න හරි අමාරු යි”

එම මාසයේම අගභාගයේදී ෆ්ලොරීඩාවේ ‍හෝම්ස්ටෙඩ් හි පුද්ගලයෙක් 1, 2, 3, 13, 28 හා 48 යන අංක දරණ ‍යන අංක දරණ ෆ්ලොරීඩා ලොතරැයියක් මිලදී ගෙන ඩොලර් මිලියන 11.2 ක දිනුමක් ලබා ගත්තේය. පනස් අට හැවිරිදි කාර්මිකයකු වූ මේ පුද්ගලයා, මීට පෙර කිසිදාක සිය මව්රට වූ කියුබාවේ දී පවා ලොතරැයියක් මිල දී නොගත් අයකු විය. එහෙත් ශනිදා දිනුම් ඇදීමේ වාරයට පෙර අඟහරුවාදා රැයේ අතිශයින්ම ස්වාභාවික විචිත්‍ර සිහිනයක දර්ශනය වූ ඔහුගේ මිය ගිය මව ලොතරැයියක් මිලදී ගන්නා ලෙස දන්වා සිටියා ය. පසු දින, අසල පිහිටි සුපිරි වෙළඳ සැලින් හේ ටිකට් පත් දහයක් මිල දී ගත්තේය. ජයග්‍රහණය හිමි වූ යේ ඉන් එකකට ය.

අධිමානසික සිහින පෙරනිමිති, සුලභ වශයෙන් දක්නට ලැබෙනවා පමණක් නොව ඒවා බොහෝ කොට සැබෑ ඒවා ද වේ. මේ බව මා සනාථ කරගත්තේ අධිමානසික සංසිද්ධීන් පිළිබඳ මගේ මෑත කාලීන පර්යේෂණ මඟින් පමණක් නොව නින්ද හා සිහින පිළිබඳ පර්යේෂකයකු ලෙස විසි වසක් පමණ වූ මගේ දීර්ඝ පලපුරුද්ද තුළිනි.

(මෙය, කොටස් වශයෙන් පල වන කෘතියක එක් පරිච්ඡෙදයක කොටසක් මිස තනි ලිපියක් ලෙස කියවීම සඳහා සකස් කරන ලද්දක් නො වේ. ලිපියෙහි විස්තර වන විෂය ක්ෂේත්‍රය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට නම් මෙහි කොටස් මුල සිට කියවීම සුදුසු ය)

3 comments:

  1. Patients’ Experiences of NDE
    http://transyl2014.blogspot.ca/2014/10/patients-experiences-of-nde.html

    ReplyDelete
  2. මේ බ්ලොගයට පණ දීම ඉතා ම වැදගත් ... දිගට ම ලියමු.... ඔබේ අනික් බ්ලොග් වගේ ම මේකත් දිගට ම ලියමු

    ReplyDelete