ස්පන්දනය නොවූ “ස්පන්දන“





සිනමා සිත්තමක ආශ්වාදය ලැබීමට අප සැම සිනමා සිතුවමක් නැරඹිය යුතු වන්නේ සිනමා ශාලාවකදී මිස පරිඝණකය තිරයක හෝ රූපවාහිනියේ නොවේ!
එබැවින් මුදල් ගෙවා සිනමා ශලාවට ඇතුල් වුනු පසු, ඉක්බිති සැප පහසු අසුනක ඈ සමඟ හිඳ ගත් පසු, අනතුරුව පිටුපසින් නාද වන්නා වූ සීනුවට පසු තිරයේ ගලා යන සිනමා සිත්තමේ නාමාවලිය දකින විට ඔබට ඔබේ වටින් මුදල අපතේ යැවූ බවට හැඟුමක් ඇති කරන්නේ නම් එහි අරුත පැහැදිලිය. ලාංකික සිනමාව ගලා යන දිශාවද ඉතා  පැහැදිලි බව තවදුරටත් ඉන් කියවෙනු ඇත. මාධවද මේ ලිපිය ලියනුයේ එවැනි සිත්තැවුලකින් බව ආරම්භයේදීම පවසන්නේ අකමැත්තෙනි.


ස්පන්දන නම් වූ මේ දිනවල ශාලාවන ප්‍රදර්ශනය වන්නා වූ නවතම සිනමා සිත්තම පිළිබඳව යමක් පැවසීමට මාධවට සිත්වූයේ, අද -  එනම් 2015 අ‌ප්‍රේල් මස 09 වැනිදා බ්‍රහස්පතින්දා, මාධව, මාධවගේ ඇය සමග ස්පන්දන නැරඹීමට ගිය හෙයිනි.  මාධවලාගේ ටවුමට අල්ලපු ටවුමේ ඇති සිනමා ශාලාවේ උදෑසන 10.00 දර්ශන වාරයට ඇතුල් වූ දෙදෙනාගෙන් ඈ පිටතට පැමිණියේ තුටින් වියහැකි උනත්, මාධවගේ සිතුවිලි වල තිබුනේ “අයියෝ සල්ලි“ හැඟීම මිසක අන් කිසිවක් නොවේ.


පළමුව කිව යුත්තේ ලාංකික සිනමාවේ ගමන් මඟ වෙනස් කිරීමට “සුනෙත්“ නැමති අධ්‍යක්ෂකවරයා දරා ඇති උත්සහයට මාධවගේ ප්‍රශංසාව ඔහුට පිරි නමන බවය. මක් නිසාද කාම රැල්ල, කොමඩි රැල්ල, රජවරුන්ගේ රැල්ල, ආදරණීය රැල්ල සහ සම්භාව්‍ය රැල්ල තුල ඔහු වෙනස් යමක් කිරීමට උත්සහ දැරීම සැබැවින්ම අගය කල යුත්තකි. එනම් “බය හිතෙන රැල්ල“ ඇතිකිරීමට ඔහු ගත් උත්සහයට මාධවගේ ප්‍රශංසාව! 


නමුත් ප්‍රේක්ෂකයාගේ මුදල සූරා ගැනීම පිළිබඳව අධ්‍යක්ෂක සහ නිෂ්පාදකට සමාව දීම කල නොහැක. ස්පන්දන පුරාම කිසිදු හෘද ස්පන්දනයක ලක් වීමට ප්‍රේක්ෂකයාට අවස්ථාවක් නැත. බිය ඇති කරවන සුලු සිනමාවක් යැයි පැවසූවද එහි ඇති කිසිදු දර්ශණයක බිය ඇති නොවන බව පළමුව කිව යුතුය. කොහෙන් හෝ ගොතා ගත් කතාවක් අනුව “පාලු බංගලාවකට යන්නා වූ මිතුරු කැලකට සිදුවන සිදුවීම් එකතුවක්“ මෙහිදී ඉදිරිපත් වේ. ඊළගට මොකක් වේද යන ගැටලුව මෙහිදී කිසි විටෙක ඇති නොවේ! කුතුහලය යනු මෙවැනි “බය හිතෙන“ සිනමා සිත්තමක සිරාවටම වැදගත් අංගයකි. කෙසේ වුවද දැන් සිනමා ලෝකයේ මෙවැනි ආකාරයේ කතා අපමණ තරම් ඇත. ආසන්නතම නිදසුන ලෙස බොලිවුඩ් සිනමා සිත්තමක් ලෙස ප්‍රදර්ශනය වූ  “රාගිනි එම් එම් එස්“ හින්දි බඩකඩුත්තුව ගත හැක. 


කෙසේ වුවද නැන්දනියගේ අවතාරයේ කටයුතු නිසා මහ දවල්ද ඇතුලුව දිවා රාත්‍රී බූත කටයුතු වලින් එක එක පිරිමියා බැගින් අතුරුදන් කරන විට, ඒ බව දන්නා අර කෝවිලේ කපු මහතා (මහේන්ද්‍ර පෙරේරා) ඒ සියල්ල දැන දැන ඔහේ සිටීම, වත්ත බලාගත් දර්ශන්ගේ (දර්ශන් ධර්මරාජ්) ජීවිතය බිලි ගැනීමට මයුමි (ශලනි තාරකා) බංගලාවට එන තෙක්ම කල් මැරීම, පියුමි ඝාතනය වීමට පෙර ලැබෙන දුරකථන ඇමතුම විසන්දි වූ පසු ඒ දුරකථන ඇමතුම ගත් තැනැත්තා පියුමි පිළිබඳව මෙපමණ කල් සොයා නොබැලීම, පළමු මිතුරා අතුරුදන් වීම සාධාරණය කිරීමට “අනුරාධපුරයේදී කල වැඩක්“ ඇද ගැනීම ආදී සිදුවීම් කීපයක් නිසාම සිනමාව අදාල රාමුවෙන් පිටට ගලා යාම, එනම් කතාව නොගැලපීම නිතැනින්ම සිදුවේ! එසේම සිතුම්ට අසීමිතව ආදරය කරනා වූ මයුමි කෝවිලේ සිට ආපසු පපුව අත ගගා සිතුම් සොය දිව යෑමට පෙර ගලවා තැබූ සෙරෙප්පු පළදා ගැනීම පවසන්නේ ඇයට සිතුම්ට වඩා සෙරෙප්පු කුට්ටම වටිනා බවද? එය මෙහි කැපී පෙනෙන ලෙස දුටු මාධවට, සිනමා ශාලාව තුල බියෙන් සලිත වී බෙරිහන් දීමට සිදු වේ යැයි සිතා සිටියද, එකෙන්ම බකස් ගා මහ හඩින් හිනාවක් ගලා ආවේ කකා හිටි අයිස් පලමේ කැබැල්ලක්ද ඩෙනිම මත පතිත කරවමිනි.

කෙසේ වුවත් මෙහි පොඩි පොඩි සිත්ගන්නා අනම් මනම් ටිකක් ඇති බව කිය යුතුය. පළමු දේ නම් ප්‍රධාන නිලියගේ ඇඳුම් කැඩුම් පිළිබඳවය. ඇයගේ දෙකකුල් මනාව පෙන්වීම නම් අති උතුම්ය. ඇයට කෙටි ඇඳුම් අන්දවා ඇත්තේ නම් සියලු කොලු ගැටයින්ගේ හෘද සපන්දනය වීමටම බව මාධවගේ අදහස බව කිව යුතුමය. ප්‍රධාන නිළියට මනා වූ දෙපා යුග්මයක් ඇති බව මාධව සිනමාව ආරම්භයේදීම දැන ගත්තේ එහි ඇති ගීත වල දර්ශන නිසාමය. සිතුම්ගේ(රොෂාන් රණවන) ඇඳුම් කැඩුම් වලින් ඔහුගේ ශරීරය ඉස්මතු කිරීමටද උත්සහ දරා ඇත. එසේම අනවශ්‍ය ලෙස ලිංගික කාර්යය උපුටා දැක්වීමට සිතුම් සහ මයුමි අතර “අර වැඩේ“ යන වචන සහික දෙබස්ද හුවමාරු කර ඇති අතර එය මෙම සිනමා සිත්තම යම් අභාග්‍යකට රැගෙ යයි. පාලු බංගලාවල තනි වන ජෝඩු “අරක කරමු“ යැයි කිය කිය කල් මරමින් ඉන්නා ලොවක් නැති (සැබැවින්ම නම් දවස පුරා අරක කර කර සිටිනු ඇත.) බව මාධවගේ විශ්වාසයයි! ඇතැම සිදුවීම් වල මනා ගැලපීමක් ඇති බව නම් කිව යුතුය.එය සාධනීය ලක්ෂණයකි. පියුමි (දිල්හානි ඒකනායක) නම් ඇගේ චරිතයට යම් තරමක සාධාරණයක් කර ඇති බව පෙනේ! එහෙත් චිත්‍රපටය ආරම්භ කරන්නා වූ ඇයගේ ගෙල වැල ලා ගත් මල මිනිය පෙන්වන දර්ශනය කිසිත් ත්‍රාසයක් ඇති නොකරයි. ආරම්භය වෙනත් රෑප රාමුවකින් ලබා ගැනීම සිදු කලේ නම් යෙහෙකියි. කෙසේ වෙතත් ඇයගේ(දිල්හානි ඒකනායක) හැකියාවන් අනුව මීට වඩා වැඩ ගැනීමක් සිදු කල යුතුව තිබුනු බව නම් මාධවට හැඟුනි. ඇය දර්ශන්ගේ සිට සිතුම් දක්වාම සියලු පිරිමින්ට පෙම් බඳිනුයේ ( ඇය nympho කෙනෙක් විය යුතුය) වරහන් තුල දක්වා ඇති හේතුව නිසා විය යුතුය. කෙසේ වුවද කැමරා කෝණ සහ උඩරට පරිසරයේ අලංකාර ස්ථාන තෝරා ගැනීම අගනේය. කැමරා කෝණ සහ දෘෂ්‍ය ප්‍රයෝග භාවිතයද සාධනීය ලක්ෂණ පෙන්වන නමුදු හැකියාව ඇති ලාංකික තරුණයින්ට මීට වඩා යමක් කල හැකි බව නම් මාධව පැහැදිලව දන්නා දෙයකි.


ශළ්‍යකර්මය සිදු කරන අයුරු පෙන්වීමට අනවශ්‍ය කාලයක් වැය කර ඇති බව මාධවගේ හැඟීමයි. එක ක්ෂණික දර්ශණයකින් අවසන් කල හැකිය. එලෙස කී ආකාරයට ඇතැම්  දර්ශන සඳහා අනවශ්‍ය කාලයක් වැය කර ඇති අතර අවශ්‍ය ආකාරයට ප්‍රේක්ෂකයා කුතුහලයෙන් චිත්‍රපටයට ඇඳ බැද තබා ගැනීමට නම් අධ්‍යක්ෂක වරයා අසමත් වී ඇත. අත්‍යවශ්‍ය දර්ශන සඳහා ඇතැම් විට ගෙන ඇති කාලය ඉතා සුළු එකක් බව මාධවගේ හැඟීමය.


කෙසේ වුවද “ස්පන්දන“ නව මගක් විවර කර දී ඇත. ආරම්භය සැම විටම සාර්ථක නොවේ. එබැවින් “බය හිතෙන රැල්ලේ“ මීළග සිනමා සිත්තම නම් ප්‍රේක්ෂකයා විසින් සිනමා ශාලාව දෙදෙරවන තරමේ ස්පන්දනයකට අනිවාර්යයෙන්ම ගෙන යා යුතුය.කුතුහලය සිනමාව පුරාම එක සේ තිබිය යුතුය. හීනෙනුත් පෙනෙන තරමේ කම්පනයකට ප්‍රේක්ෂකයා පත් කල යුතුය. සිදුවන සෑම සිදුවීමක්ම පාසා ඇතිවන හැඟීම එකිනෙක පරයා වැඩිය යුතුය. අවසානයේ ප්‍රේක්ෂකයා තෘප්තිමක් විය යුතුය. නැතිනම් නැත්නම් අවසානයේ “බය හිතෙන රැල්ල“ බාල කාම රැල්ල මෙන් වටිනාකම ශුන්‍ය වනු ඇත.


 --------------------------------------------------------------------------

ලබන්නා වූ සිංහල දෙමල අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසී ඔබ සැමට වාසනාවන්ත, සුභ අලුත් අවුරුද්දක් වේවා!

මාධවගේ කතාන්දර වෙතින් සුභ පැතුම්!

--------------------------------------------------------------------------

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form