Friday, April 3, 2015

අධිමානසික සංසිද්ධීන් යනු “මනෝ විකාරයන්ද”

පූර්ව ජන්මයන් සම්බන්ධයෙන් මිනිසුන් තුළ ඇති වන අනෙක් තැවුල වන්නේ අධිමානසික සංසිද්ධීන් පිළිබඳ විශ්වාස කිරීම “මනෝ විකාරයක්ද” යන කාරණය යි. මේ තැවුල සංසිදුවීම පහසු ය. මන්ද එවන් අත්දැකීම් විශ්වීය ඒවා වන බැවිනි. සිදුවන්නට ඇති යමක් ගැන කලින් පෙන්නුම් කළ ප්‍රාග්–ප්‍රජානනාත්මක සිහින හෝ වෙනත් එ වැනි අධිමානසික අත්දැකීම් ලැබීම පිළිබඳ ඔබේ මිතුරන් හෝ පවුලේ සාමාජිකයන් අතර සමීක්ෂණයක් කර බලන්න. ප්‍රතිඵල ඔබ මවිත කරනු ඇත.

සැබැවින් ම මට ද එසේ සිදු විය. “අනේක ජාති -අනේක ගුරුන්” පල කිරීමෙන් දෙමසකට පසු, මියාමි වෙරළේ වූ කාන්තාවන් දස දෙනකුගෙන් සමන්විත පොත් සමාජයක සංවාදශීලී කථාවකට මට ඇරයුම් ලැබිණ. දොළොස් වසක් මුළුල්ලේ රැස්වුණ මේ කණ්ඩායම පුළුල් පරාසයක වූ පත පොත ගැන විශේෂයෙන්ම ජනප්‍රිය දහරාවේ සාහිත්‍ය කෘති ගැන සංවාද කළහ. පාරභෞතික මාතෘකා ගැන ඔවුන්ගේ විශේෂ උනන්දුවක් නො වී ය. කෙසේ වෙතත් මා ඒ පළාතෙන් බිහි වූ ලේඛකයකු වූ බැවින් ද ඔවුන් සමඟ කතාබහට ලැදියාවක් දැක්වූ බැවින් ද එම පොත් සමාජය සිය දොළොස්වස් සපිරි ඉතිහාසය තුළ කියැවූ ප්‍රථම පාරභෞතික කෘතිය පිළිබඳ සංවාදයකට සැරසුණේ ය.

මා ඊට සහභාගි වූ සන්ධ්‍යාවේ සංවාද මණ්ඩපයට කාන්තාවන් දස දෙනා ම පැමිණ සිටිනු දක්නා ලදි. ඔවුන් සියලු දෙන ප්‍රධාන දහ‍රාවේ සාම්ප්‍රදායික ආකල්ප ඇති මධ්‍යම පාන්තිකයන් වූ අතර එම ප්‍රජාව නියෝජනය කළ හොඳ හරස් කැපුමක් විය.

පුනර්ජන්මය හා මරණින් මතු ජීවිතය පිළිබඳ “අනේක ජාති - අනේක ගුරුන්” කියවීමට ප්‍රථම ඔවුන් දැරූ මතය කුමක්දැයි මම සංවාදය ආරම්භයේ ම සාමාජිකාවන්ගෙන් විමසිමි. සාමාජිකාවන් තිදෙනෙකු (සියයට 30ක්) පුනර්ජන්මය විශ්වාස කළ අතර පළමු තිදෙනා ද ඇතුළු ව හය දෙනෙක් (සියයට 60ක්) මරණින් මතු පැවැත්මක් ගැන විශ්වාස කළහ. සිරුර මියයන විට පුද්ගලයා ද මිය යන බව විශ්වාස කළ සිවු දෙනෙකි (සියයට 40). මෙම සංඛ්‍යාන ප්‍රතිඵල “ගැලප්” ජනමත සමීක්ෂණ ඇසුරින් වාර්තා කරන ලද ජාතික තලයේ මධ්‍ය අගයන්ට බෙහෙවින් ම සමීප වූයේ ය.

කවරදාක හෝ තමා විසින් පෞද්ගලික ව යම් අධිමානසික සංසිද්ධියක් අත් දැක තිබේදැයි සාමාජිකාවන්ගෙන් විමසූ කළ මා ලද ප්‍රතිචාරයේ පුළුල් බව හා තීව්‍රතාව මා විස්මයෙන් ඇළලී ය. සිහි තබා ගත යුතු වැදගත් කරුණ වන්නේ මේ පිරිස පූර්ව සැලසුමකව අනුව තෝරා නො ගත්, අතීන්ද්‍රිය ඥානය (ESP), අධිමානසික සංසිද්ධීන් හා පුනර්ජන්මය වැනි කරුණු ගැන උනන්දුවක් නො දැක්වූ පාරභෞතික ව දිශානුයෝජිත නො වූ කණ්ඩායමක් වීම යි. මේ වූකලී වෙනස් මාදිලියක පොත පත කියවා ඒවා පිළිබඳ සංවාද කිරීමට ගොඩනඟා ගත් කාන්තාවන් දස දෙනකු ගෙන් සුසැදි සාමාන්‍ය කණ්ඩායමක් විය.

එක් සාමාජිකාවකගේ මව දැකීමට වරක් ඇගේ වයස්ගත එහෙත් රෝගාතුර ව නොසිටි මිත්තණිය සිහිනෙන් පැමිණ තිබිණි. සිහිනයේ දුටු මිත්තණිය ස්වර්ණ-ශ්වේතවන් රශ්මි මාලාවක නිමග්න ව සිටි අතර ඈ වටා දිදුලන ඛයාමප්‍රභා මණ්ඩලයක් විය. ඈ සිය මිණිබිරියට මෙසේ කීවා ය “මම හොඳින් ඉන්නවා. මා ගැන දුක් වෙන්න එපා. මට ඔබ ගෙන් වෙන් වී යන්ට සිදුවෙලා තියෙනවා. හොඳින් ඉන්න” ඈත නගරයක වුසූ සිය මිත්තණිය පෙරදා රැයේ මිය ගිය බව පසු දින ඈට සැල විය.

තවත් සාමාජිකාවක් කලකින් නොදුටු එමෙන් ම කල්පනා මාත්‍රයක හෝ නොවූ තලතුනා ඥාතියකු සිහිනෙන් දුටුවා ය. ඥාතියාගේ ලය පෙදෙසේ ලේ තැවරී තිබෙන අයුරු සිහිනයේ දී දර්ශනය විය. ඊට පෙර දිනයේ දී ඔහු විවෘත හදවත් සැත්කමකට බඳුන් ව සිටි අතර සාමාජිකාව ඒ පිළිබඳ කිසිවක් දැන සිටියේ ද නැත.

කණ්ඩායමේ වෙනත් සාමාජිකාවක් සිය පුතණුවන් සම්බන්ධයෙන් යළි යළිත් පුනරාවර්තනය වන්නා වූ සිහිනයක් දුටුවා ය. ඒ වන විට මනා සෞඛ්‍යයෙන් යුතු ව සිටි ඇගේ පුතා සිහිනයේ දී දර්ශනය වූයේ බරපතල ලෙස තුවාල ලබා ඇති අයුරකි. අනතුරු ව තමා ද ඔහුගේ රෝහල් වාට්ටුවේ සිටින අයුරු දුටු ඈට ප්‍රබල හා ගුප්ත හඬකින් කාමරය තුළ නින්නාද වූ මේ වචන ඇසිණ. “ඔහු ඔබ වෙත යළි පැමි‍ණෙමින් සිටිනවා” ඈ විපිලිසර ව සිටියේ සිය පුතු ලෙස සිහිනයේ දුටු ළමයාගේ හිසකේ ඔහුගේ සැබෑ හිසකේ වර්ණයට වඩා බෙහෙවින් ම තද පැහැ වීම පිළිබඳව යි. මේ සිහිනය පුරා මාසයක් ම යළි යළිත් දර්ශනය වූයේ ය.

ඒ මාසය අග දී සිය බයිසිකලය මෝටර් රථයක ගැටීමෙන් ඇගේ පුතා බරපතල ලෙස තුවාල ලැබුවේ ය. රෝගියාගේ තත්වය පිළිබඳ කනස්සල්ලෙන් පසු වූ රෝහලේ වෛද්‍යවරුන්ට මේ සාමාජිකාව පැවසූයේ ඇගේ පුතා ඉක්මනින් ම ප්‍රකෘති සුවය ලබනු ඇති බව යි. සිහිනයේ දී ශ්‍රවණය කළ හඬින් පැවසුණ පරිදි නිසැක වශයෙන් ම එසේ සිදු වනු ඇතැයි ඈ දැන සිටියා ය. ‍වෙළුම් පටි වලින් ඔතනු ලැබූ හිස ඇති ළමයා ක්‍රම ක්‍රමයෙන් සුවපත් වූයේ ය. වෙළුම් පටි ඉවත් කිරීමෙන් අනතුරු ව ඔහුගේ මුඬු කරන ලද හිස මත වඩා තද පැහැයකින් යුතු හිසකේ වර්ධනය වන්නට පටන් ගත්තේ ය. ඉක්බිති ඈ කිසිදාක ඒ සිහිනය නැවත නො දුටුවා ය.

තවත් කාන්තාවක් පැවසුවේ තමන් කිසිදාක ඉගෙන නොගත් විෂයයන් ගැන විශ්වකෝෂයක් බඳු දැනුමකින් යුතු වූ ඇගේ දෙහැවිරිදි පුතා පිළිබඳ ව යි. “ඔහු මීට කලින් ‍‍මෙහේ ඉඳල තිබෙනවා” ඈ සිය මිතුරියන්ට කීවා ය.

තවත් කාන්තාවකගේ ගජ මිතුරකු වූ දන්ත වෛද්‍යවරයා, මාර්ග අනතුරු මඟ හැර යාමේ විශේෂ කුසලතාවයකින් යුතු අයකු විය. එක් සවස් භාගයක සිය මිතුරන් පිරිසක් ද සමඟ අවන්හලකින් පිට වී එමින් සිටි හේ පාර හරහා මාරු වීමට සූදානමින් සිටියේ ය. හදිසියෙන් ම “ඉක්මනට පාර අයිනට පනින්න” යැයි කෑගසමින් හේ පිරිස ඉදිරිපසින් සිය අත් විදහාගෙන ඔවුන් පසුපසට තල්ලු කෙළේ ය. තමා මෙසේ කරන්නේ මන්දැයි ඔහු‍ට ම අවබෝධයක් නො වී ය. තත්පර කිහිපයකින් අනතුරු ව වීදියේ මෑත කෙළවරින් ප්‍රාදුර්භූත වූ මෝටර් රථයක් සැර දමාගෙන ඊයක වේගයෙන් ඉගිලී ගියේ ඔවුන්ට අඩි කිහිපයකට ඔබ්බෙනි.

මේ සිද්ධියෙන් සති කිහිපයකට පසු මේ දන්ත වෛද්‍යවරයා නිවෙසට යන අතරතුර සිය බිරිඳ විසින් පදවනු ලැබූ මෝටර් රථයේ මගී අසුනේ හිඳගෙන අඩ නින්දේ පසු වූයේ ය. විටින් විට නිදි කිරා ‍වැටුණු ඔහු සිටියේ කවුළුවෙන් ඉවත බලාගෙන නොවේ. “සංඥා එළිය වෙනස් වුනාට ඉස්සරහට යන්න එපා” නැවතුම් සංඥාවට අවනත ව තිරිංගය පෑගූ සිය බිරිඳට ඔහු මිමිණුවේ ය. “කෙනෙක් රතු එලිය නොතකා යන්නයි හදන්නෙ” ඔහු තවමත් අඩ නින්දේ පසු වූ අතර කවුළුවෙන් පිටත බලාගෙන නො සිටියේ ය. කෙසේ වුව ද ඔහුගේ අනතුරු ඇඟවීමට බිරිඳ සවන් දුන්නා ය. මාර්ග සංඥා එලිය වෙනස් වී තත්පර කීපයකින් අනතුරු ව ඔවුන් ඉදිරියෙන් වූ හරස් මාර්ගයේ මෝ‍ටර් රථයක් විදුලි වේගයෙන් ඇදි ගියේ හරියට ම ඔවුන් යාමට නියමිත ව තුබූ ගමන් පථය කපාගෙන යි. ඔවුන් භීතියෙන් ගල් ගැසුණේ තවමත් ජීවතුන් අතර සිටින බව සිහිපත් කරමිනි.

පිරිසෙහි වූ තවත් කාන්තාවක් සිය නිවස අමදිමින් සිටිය දී හදිසියේ ම සිය මිතුරියක දිවිනසාගත් බවට ඇති වූ නිශ්චිත හා ඒත්තු යන සුළු සිතුවිල්ලකින් තෝන්තු වූවා ය. මේ මිතුරිය ගැන මාස ගණනකින් සිතිවිලි මාත්‍රයක් පවා නො වූ ඈ මිතුරියගේ චිත්තාවේග ගැටළු හෝ ස්වයං–නාශක සිතිවිලි පිළිබඳ කිසිවක් දැන නො සිටියා ය. එහෙත් මේ සිතිවිල්ල කෙතරම් පැහැදිලි වූවා ද ඒත්තු යන සුළු වූවා ද, ආවේගයන්ගෙන් තොර වූවා ද යත් එය ඉබාගාතේ යන සිතුවිල්ලකට වඩා තත්‍ය වූ දැනුමක් විය. ඈ පසු ව දැන ගත් පරිදි එය සත්‍යයක් ම විය. ඈට ඒ සිතිවිල්ල පහළ වූ දිනයේ ම ඔහු සිය දිවි නසාගෙන තිබිණි.

(මෙය, කොටස් වශයෙන් පල වන කෘතියක එක් පරිච්ඡෙදයක කොටසක් මිස තනි ලිපියක් ලෙස කියවීම සඳහා සකස් කරන ලද්දක් නො වේ. ලිපියෙහි විස්තර වන විෂය ක්ෂේත්‍රය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට නම් මෙහි කොටස් මුල සිට කියවීම සුදුසු ය)

3 comments:

  1. ඉතාම වටිනා ලිපියක්. අපට මේ ගැන සාකච්ඡා කළ හැකියි. සිංහල බ්ලොග් අවකාශය තුල කාපුබීපුවා ගැන කරන කතා වගේම හරවත් සංවාදත් යනවා.
    අප මෙවැනි ලිපි මගින් බ්ලොග් පාඨකයන්ට අලුත් දෙයක් දෙමු. මමත් හරිම ආස සබ්ජෙක්ට් එකක්

    ReplyDelete
  2. Patients’ Experiences of NDE http://transyl2014.blogspot.ca/2014/10/patients-experiences-of-nde.html

    Near Death Experience (NDE) Reply to Dr Ruwan M Jayatunge http://transyl2014.blogspot.ca/2014/10/near-death-experience-nde-reply-to-dr.html

    ReplyDelete
  3. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකේටත් එකතු කරන්න අපට බ්ලොග් එකේ ලින්ක් එක එවන්න. පහතින් අපේ සින්ඩියට පිවිසෙන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete