Tuesday, March 31, 2015

අන්තරයට කඳුලු ගෑස් දන්සැලක්!


කොල්ලුපිටිය මංසංදිය අසල දී නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා යැයි කියා නිතර කෑ ගසන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට යහ පාලන ආණ්ඩුවේ අණින් යහ පාලන පොලිසිය විසින් යහ පාලන කඳුලු ගෑස් රථවල සිට යහ පාලන කඳුලු ගෑස් දන්සැලක් ලබා දී සාදරයෙන් පිළිගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ද අකිල විරාජ් කාරියවසම් තරුණයා ද මේ අවස්ථාව වන විට බටලන්ද ප්‍රදේශයේ බේකරියකින් ගෙනා උණු උණු බනිස් ධවල පත්‍රිකාවල ඔතා වෙහෙසට පත් තරුණයින් අතර බෙදා දෙමින් ඔවුන්ගේ සැප දුක් අසමින් තරුණයින් අතර සැරිසරණ බව දැන ගන්නට තිබේ. කිරි තේ රැගෙන විත් ඇත්තේ බත්තරමුල්ල ජවිපෙ මහා ගෙදරිනි. පොලිස් නිළධාරීහු ද වෙහෙසට පත් තරුණයින්ට පවන් සලමින් ද පවසට පැන් දෙමින් ද හරි හරියට වෙහෙසෙමින් සිටිති. සෝභිත හිමි සහ රතන හිමි ළමුන්ට ලබා දීමට විශේෂ ජල ප්‍රහාරක රථවලින් එවා තිබූ පිරිත් පැන් ප්‍රීති ඝෝෂා මැද සියලු දෙනාට නොමද ලබා දුනි.

මේ දන්සැල නිසා සතුටින් ඉපිල ගිය තරුණයෝ "අහෝ සැපකි!, අහෝ සැපකී! යහ පාලනය නුඹ මේ තරම් සොඳුරු යැයි අපි සැබවින් තබා සිහිනෙනුදු නො සිතුවෙමු. අපි යහ පාලනය තොල ගෑමට තරම් වාසනාවන්ත වීමූ" යැයි කියා පාර දෙපසට වී ප්‍රීති ඝෝෂා කරති.
අනතුරුව සියලු තරුණ තරුණියෝ මහත් අභිමාණයෙන් සහ දරා ගත නො හැකි සතුටින්
"රටකට ඕනේ අපමණ අගයක්
හෙටක ඕනේ මෛත්‍රී යුගයක්!!!" යැයි ප්‍රශස්ති ගී ගයමින් යහ පාලන ආණ්ඩුවේ නායක ඇත්තන් පමණක් නොව ඒ ඇත්තන්ගේ දෙමාපියන් ද යහ පාලනයට ඡන්දය දුන් තමන්ගේ දෙමාපියන් ද සිහිපත් කරමින් හතර අතේ පිං අනුමෝදන් කරමින් සිටින බව තව දුරටත් වාර්තා වෙයි.

(පසු සටහන: මේ දන්සැල පිළිබඳ හරයාත්මක, විශ්ලේෂණාත්මක, ස්වයං වින්දනීය, කුඩා අන්ත්‍රමය එළඹුමක් ඔස්සේ බහිස්‍රාවීය පසුබිමක සිට කෙරෙන අපක්ෂපාති මධු මේහයමය අභිසාරි විග්‍රහක් යහ පාලන බුද්ධිමතෙකු විසින් කරනු ලබත්වා!!!)

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !