Main Logo

Sunday 29 March 2015

සම්බන්දන් විපක්‍ෂ නායක පදවියට

සම්බන්දන් විපක්‍ෂ නායක පදවියට

දැනට තිබෙන තත්ත්වය  අනුව අප්‍රේල් 7 වැනි දා වන විට කතානායකවරයා විපක්‍ෂ නායක ලෙස කෙනකු පත් කෙරෙනු ඇත. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් නම් තුනක් කියැවෙයි. ඒ දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා හා ආර් සම්බන්දන් ය. පළපුරුද්ද හා සුදුසුකම් අතින් නම් අනෙක් දෙදෙනාට දිනේෂ් ගුණවර්ධනට තරගයක් දිය නො හැකි ය.
එහෙත් පාර්ලිමේන්තුවේ තනතුරුවලට පත්කිරීමේ දී දේශපාලනය බල නොපාන්නේ නම් දේශපාලනය බල නොපන්නේ කොහේ ද? 

දේශපාලනය යනු බලය පිළිබඳ ක්‍රියාවලිය ය. ඒ දේශය පාලනය කිරීම පමණක් නො වේ. එය ඕනෑම ආයතනයක දැකිය හැකි ය. නිවසෙහි ද පාර තොටෙහි ද දේශපාලනය වෙයි. එහෙත් අද දේශපාලනය යනුවෙන් සාමාන්‍යයෙන් ව්‍යවහාර කෙරෙන්නේ පක්‍ෂ දේශපාලනයට ය. ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව හා ජනාධිපතිධුරය දක්වා එය ක්‍රියාත්මක වෙයි. අද වන විට අනෙක් දේශපාලන කටයුතු පක්‍ෂ දේශපාලනයට යට වී අවසන් ය. 

විපක්‍ෂ නායක ධුරය ඉංගිරිසින්ගේ පාර්ලිමේන්තු සම්ප්‍රදායෙහි වැදගත් තනතුරකි. විපක්‍ෂ නායකට හිමි වූ බලතල හා වරප්‍රසාද රාශියකි. ඒ බලතල හා වරප්‍රසාද යොදා ගනිමින් බෙදුම්වාදය වෙනුවෙන් නිල වශයෙන් ක්‍රියාත්මක විය හැකි ය. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අගය කරන රටවල විපක්‍ෂ නායකගේ ප්‍රකාශවලට වැදගත් තැනක් හිමි වෙයි. කලක් විපක්‍ෂ නායක ව සිටි අමිර්තලිංගම් දෙමළ ජාතිවාදය හා බෙදුම්වාදය වෙනුවෙන් ඒ පදවිය යොදාගත් ආකාරය අපි දනිමු.

යම් ආකාරයකින් සම්බන්දන් ජනතා විමුක්ති පෙරමුණේ ද ආධාරයෙන් විපක්‍ෂ නායක වුවහොත් සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳ ව අටුවා ටීකා අවශ්‍ය  නො වේ. එංගලන්තය, ඉන්දියාව හා ඇමරිකාව වැනි රටවල විපක්‍ෂ නායකයා නිතර සංචාරය කරනු ඇත. ඒ සිංහල ජනයාගේ ද මුදලෙන් ය. ජනතා විමුක්ති පෙරමුණ මෛත්‍රිපාල රනිල් නීත්‍යානුකූල නොවන පලනයට සහාය දෙන පක්‍ෂයකි.  ජ වි පෙරමුණ මදිවාට නීත්‍යානුකූල නොවන පාලනයට සෘජුව මැදිහත් වන හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසය ද  සම්බන්දන්ට සහාය දෙයි. මේ පක්‍ෂ විපක්‍ෂයේ පක්‍ෂ නොවන බව පැහැදිලි විය යුතු ය. 

කතානායකවරයාට ප්‍රශ්නය වන්නේ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කවුරුන් දැයි තීරණය කිරීමේ දී ය. ශ්‍රී ල නි පක්‍ෂයේ සමස්ත ලංකා කාරක සභා තීරණය අනුව නම් ඒ පක්‍ෂයේ මන්ත්‍රීවරු විරුද්ධ පක්‍ෂයට අයත් නො වෙති. එවිට කතානායක තේරීමේ ක්‍රියාවලියට ශ්‍රී ල නි ප මන්ත්‍රීන් සහභාගි නොවිය යුතු ය. ඒ තර්කය අනුව දෙමළ ජාතික සංධානය ද රනිල් සිරිසේනට සහාය දෙන  බැවින් ඔවුන් ද විපක්‍ෂය ලෙස සැලකිය හැකි නො වේ.

අද විපක්‍ෂය ලෙස කටයුතු කරන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයේ පක්‍ෂ කිහිපයකි.  ඒ පක්‍ෂ සංධානයේ පක්‍ෂ වුවත් කතානායකට දන්වා වෙන ම පක්‍ෂ ලෙස ක්‍රියාකරයි. එබැවින් ඒ පක්‍ෂ විපක්‍ෂයේ පක්‍ෂ ලෙස සැලකීමට කතානායකවරයාට බාධාවක් නැත. කතානායකවරයා විපක්‍ෂ නායක ලෙස කෙනකු තෝරාගත යුත්තේ මේ පක්‍ෂවලින් ය.

කෙසේ වෙතත් ජ වි පෙරමුණ සම්බන්දන්ට විපක්‍ෂ නායක ලෙස පත්වීමට ආධාර කළහොත් ඔවුන් දෙමළ බෙදුම්වාදයේ නියෝජිතයන් ලෙස ඉතිහාස ගතවනු ඇත. ඔවන්ට මීළඟ   පාර්ලිමේන්තු මැතිවරණයේ දී අත්වන ඉරණම ගැන දැනගැනීමට ජ්‍යෙතිෂවේදියකු විය යුතු නො වේ. 

නලින් ද සිල්වා

2015 මාර්තු 29