Saturday, March 28, 2015

උඹලට වැඩ ඇතිනෙ මං ගිහින් එන්නං...


පසන් මැරිලා කියල කෝල් එකක් ආවෙ හසාට. ඌ තව විස්තර දැනගන්න හැදුවට කෝල් එක දුන්න කෙනා ඊට වැඩි විස්තරයක් දැනගෙන හිටියෙ නෑ.

පසන් මැරිලා... හසා මට කිව්වෙ ඊට පස්සෙ.

මාව පස්සට විසිවුනා. එකපාර ආපු තිගැස්මකින් කාලය ටිකක් වෙලා යනකල් නතර වෙලා තිබුණ.
පසන් මැරුණු වග දැනගත්තම මට දැණුන ඒ හිස්තැන මොකක්ද?

මං පසන්ගෙ පරිවර්තන කියවලා නෑ. මට ඒ භාෂාව අල්ලන්නෙ නෑ. පසන්ගේ නාට්‍ය හෝ ඒ ආශ‍්‍රිත කිසිම කලාවකටත් මගේ ආකර්ශනයක් තිබුනෙ නෑ. පසන්ගේ දැනුවත්කම් සහ කලාත්මක තැන් කිසිම දෙයක් එක්ක මගේ සම්බන්දයක් තිබුනෙ නෑ.
ඒත් පසන් මළ ප‍්‍රවෘත්තිය මාව අර්බුදයකට දැම්මා.

හමුවෙන හැම තැනකදිම පසන්ට කතා කරන්න ගොඩක් දේවල් තිබුන. ඒත් ඒ කිසි දෙයක් අහන් ඉන්න මට වෙලාවක් තිබුනෙ නෑ. ඒ හින්දම ඌව දකිද්දි මගඇරලා යන්න මං ගොඩක් ට‍්‍රයි කළා. ඒ කතා බහ මට මහන්සියක් වුනා. ඒ බීම මට බලන් ඉන්න අමාරු වුණා.

ඒත් මං පසන්ව පසන් කියල නොදන්නා කාලෙ ඉඳන් පසන් දිහා බලන් හිටියා. බස් එකේ අයිනක ද`ගර ගැහිලා ඉඳගෙන, නොගැලපෙන තොප්පියක්, නොගැලපෙන ලොකු කමිසයක් ඇඳගෙන, අහම්බෙන් පහලවෙච්ච රුසියානු චරිතයක් වගේ පසන් ඉස්කෝලෙ කාලෙ ඉඳන් මට මුනගැහිලා තියෙනවා. වෙන මොකවත්ම නැතත් ඒ පැවැත්ම මට ලොකු වෙනසක් කළා. ඒ නොගැලපීමෙ මගේ ගැලපීමක් දැණුන. එක වගේ අඳින පළඳින, එක වගේ වේගෙකින් එහේ මෙහේ යන, එක වගේ පැවතුම් ඇති මිනිස් පොදියක් මැද පසන් තනියම වෙනසක් කළා. පොඩි ඉඩක් අරගෙන, ලොකු ලෝගුවක් ඇඳගෙන.

පසන්ගේ කතා තේමා මොකක්වත් අල්ලලා ගියෙ නැතිවුනත් මට, පසන් ඒවා කතා කළ ආශාව, ජීවිතෙන් පිරිලා ඇවිලෙන උගේ ඇස් එක දෙයක් කිව්වා සහතිකව. උගේ ඇතුලෙ තියෙන අව්‍යාජත්වය. ඒක ඉරිසියා හිතෙන තරමෙ දෙයක්.  කිසිම පැවත්මකට සාපේක්‍ෂ නැති තමන්ගෙම ජීවිතේක උද්දාමයෙන් ඌ බිව්වා හැමතැනම.

මං හිතන්නෙ නෑ පසන් නැති එක ලංකාවෙ දැනුමට හරි විෂයකට හරි ලොකු අඩුවක් කියල. ඊට වඩා පසන්ගෙ පැවැත්ම නැති එක ලොකු හිස්තැනක් හදනවා අපේ පැවැත්ම ඇතුලට. එහෙම මිනිස්සු ඉන්නෙ ඇ`ගිලි ගානට. දැකීමෙන්ම අපිව වෙනස් කරන උන්.

උන් හදිස්සියේ යද්දි අපේ ඇතුලෙන් කඩන් වැටෙනවා අපි නොදන්න දෙයක්. ජීවිතයක් උපරිම ආලෝකයෙන් දැල්වීමේ ප‍්‍රහර්ෂය. අපි උන් දිහා බලන් ඉඳීමෙන් පමණක්ම අත්වින්ද ජීවිතේ රමණය.
පසන් මළ එකෙන් මාව පස්සට තල්ලූ කළ හේතුව ඒක.

ලංකාවෙ අපි ගත කරන්නෙ මනුස්සයො විදිහටම දෙවෙනි හෝ තෙවෙනි පංතියෙ ජීවිත. අපි අහන්නෙ වෙන රටවල සිංදු. අපි බලන්නෙ කොපි කරපු චිත‍්‍රපටි. අපි කියවන්නෙ අනුන්ගෙ පරිවර්තන. අපේ දර්ශනය ණයට ගත්ත නම් වැලක් විතරයි. කිසි දෙයක් ඔරිජිනල්  නැති දූපත් ආත්ම උද්දාමයෙන් ගත කරනවා අපි.

පසන් වුනත් එතනදි වෙනස් නෑ. ඒත් ඌට තිබුනා ඔරිජිනල් ජීවිතයක්. නොගැලපීමම ආත්මය කරගත්තු, ඉරි වැටුන පැවැත්මෙන් පිට වැඩුන, කතා කරපු වචන, දර්ශන වලට පිටිපස්සෙන් ජීවත් වීමේ විනෝදයෙන් පෙ`ගුන. ඔරිජිනල් පැවැත්මක් පසන්ට තිබුන.
ඒක අපි ගොඩකට නැති දෙයක්. චාර්ල්ස් බුකොව්ස්කි ස්ටයිල් එකක සහ ෆැෂන් එකක වෙනස කියන්නෙ ඒකට. සමහර විට බල්ලෙකුට තියෙන්න පුළුවන් මිනිහෙකුට වඩා ස්ටයිල් එකක් කියල බුකොව්ස්කි කියන්නෙ මේකට. පසන්ට තිබුන ජීවත් වීමේ ස්ටයිල් එකක්. ඌ නැති වුනාම දැනෙන පාළුව ඒක.

ලංකාවෙ බහුතර හි`ගන කලා-සංස්කෘතික බුරුත්තක් මැද පසන් බොහිමියානුවෙක් වගේ ජීවත් වුණා.
 උගේ කාලය සහ අවකාශය සිස්ටම් එකේ කාල අවකාශ රිද්මයත් එක්ක කවදාවත් සෙට් වුනේ නෑ. සම්මත ඔරලෝසුවක් විසින් කරකවන මගේ වගේ ජීවිත වලට පසන් කටුකඩලා යන අත්දැකීමක් වුනේ ඒ හින්ද වෙන්නැති. මිනිහෙක් විදිහට මං ග`ගක් වගේ ඌ ගලනවා බලන් හිටියා.

හමුවීම, කතාබස් කිරීම, ගත කිරීම, මුහුවීම, සජීවී රමණය පසන්ගේ ජීවිත ක‍්‍රමයේ හැටි. ෆේස් බුක් වලින්, එස්එම්එස් වලින් පැවැත්වෙන මගේ වගේ සම්බන්දකම් ගැන ඌට තිබුනා දරුණු විවේචනයක්.

‘මිනිස්සු මුණගැහෙන්න  ඕන...’ පසන් මට යාලූවෙකුගේ ම`ගුල් ගෙදරක, ගැලවෙන්න බැරි විදිහට මුනගැහුන වෙලාවක චෝදනා කළා. හිනාවෙවී, අතින් අල්ලගෙන උණුහුම් විදිහට.. හේතුවක්, තර්කයක්, වෙලාවක්, කලාවක් හිතාගන්න බැරි හැම මුනගැහීමකදිම මුනගැසීමේ විතරක්ම මනුස්ස ප‍්‍රබෝදෙන් උගේ ඇස් ඇවිලූනා. ඒ සතුට අපෙන් කොච්චර දුරද... ඌව මුනගැහිලා එද්දි මං පුරුදු අභියෝගෙට ලක්වුනා.

මට හන්ටර් තොම්ප්සන්ගෙ කතාවක් මතක් වෙනවා. ‘ඉන්නද නොඉන්නද?’ ඒකයි ප‍්‍රශ්නෙ. දෛවයේ හී පහර සහ කැපුම් දරාගෙන ඉන්න එකද නැත්තං සාගරයක් තරම් කරදර වලට එරෙහිව අවි අමෝරාගෙන බහින එකද?

ඒක තමයි ඇත්තම ප‍්‍රශ්නෙ. රැුල්ල එක්ක පාවෙලා යනවද නැත්තං පීනනවද? ඒක අපි දැනගෙන හෝ නොදැනගෙන ජීවිතේ ගන්න තීරනයක්. ගන්න  ඕනම අනාගතය ගැන තීරණයක් අරන් බලන්න. අන්තිමට එතන තියෙන්නෙ එක දෙයයි.. පීනනවද නැත්තං රැුල්ල එක්ක යන්න දෙනවද?
-හන්ටර් තොම්ප්සන්.

අපි එක`ග වෙන්න තීරණය කරද්දි පසන් පීනන්න තීරණය කළා. කඩාකප්පල්කාරයෙක් වගේ බාර් එකක කොනක, නගරයේ මුල්ලක අපිට මුනගැහිලා ඌ ජීවිතේ පෙන්නලා අපිට කරදර කළා.

‘එක්කො අත්අරින්න, නැත්තං ඇදි ඇදී යන්න..’ කියල සෙන් කියමනක් තියෙනවා. පසන් ජීවිතේට තමන්ව ඔහේ ඇදගෙන යන්න දුන්නෙ නෑ. ඒ වෙනුවට ඌ බය නැතුව ජීවිතේ අත්ඇරියා. පසන්ගෙ ජීවිතේ කියල අපි දැක්කෙ ඒ අත්ඇරීමේ නිදහස. මරණය කියන්නෙ ඒකෙ කූටප‍්‍රාප්තියක් විතරයි.

මිනිහෙකුගෙ ජීවිතේ කරන්න පුළුවන් උත්තුංගම දේ ඒක. කියපු ලියපු කතා දර්ශනවාද හෝ පොත්පත් නිසා මිනිස්සු අතර නොරැුඳී තමන්ගෙම සුවිශේෂ වූ ජීවිතය, පැවැත්ම නිසා මිනිස්සුන්ගෙ හිත්වල ජීවත්වෙන එක. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉබේට සිද්ද වෙන දෙයක්. පිටස්තරයෙක්, පිටුවහලෙක්, දඩබ්බරයෙක්, රස්තියාදුකාරයෙක්, පැවැත්මෙන්ම විප්ලවවාදියෙක් විදිහට පසන් ජීවිතේ සම්පූර්ණයෙන්ම පත්තු වුණා. ඌ ශරීරය අත්ඇරියා මිසක් ශරීරය විසින් ඌව අත්අරින කල් පරණ වුනේ නෑ.

‘මරණය හිතන මගේ යාලූවනි, මට හිතෙන්නෙ අපි ඇත්තටම ප‍්‍රඥාවක් නැතිව ප‍්‍රඥාවන්තයන් වගේ කල්පනා කරන්න හදනවා කියල. අපි නොදන්නා දෙයක් ගැන දන්න විදිහට හිතනවා කියල. කවුරුවත් දන්නෙ නෑ මරණයද මිනිහෙකුට ලැබෙන්න උරුම උපරිම සැපත කියල..’
-ප්ලේටෝ

පසන් වගේ මිනිස්සු මැරුණම අපිට එහෙම හිතෙනවා.

-චින්තන ධර්මදාස

No comments:

Post a Comment