Main Logo

Thursday 26 March 2015

ශ්‍රී ල නි ප නායක තර්ජන කුණු කූඩයට

ශ්‍රී ල නි ප නායක තර්ජන කුණු කූඩයට

අද (2015 මාර්තු 26) රත්නපුරේ පැවති සංධානයේ පක්‍ෂ කිහිපයක රැස්වීමට ශී්‍ර ල නි ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 28 දෙනෙක් සහභාගි වූහ. ඔවුන් අතර බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, කුමාර වෙල්ගම, සාලින්ද දිසානායක, මහින්දානන්ද අළුත්ගමගේ, ටී බී ඒකානායක ඇමතිවරු ද සිටියහ. එයට අමතරව බස්නාහිර පළාත් සභාවේ මහඇමති ප්‍රසන්න රණතුංග සහ පළාත් සභාපතිවරු පළාත් සභා සභිකයෝ, ප්‍රාදේශීය සභාපතිවරු සහ සභිකයෝ දෙසියයක් පමණ ද රැස්වීමට සහභාගි වූහ.
බන්දුල ගුණවර්ධන හා ප්‍රසන්න රණතුංග එහි දී දේශන ද පැවැත්වූහ. ඒ සියල්ල කෙරුණේ ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකත්වය විසින් රැ්ස්වීමට සහභාගි වන මහජන නියෝජිතයන්ට දඬුවම් පමුණුවන බවට තර්ජනය කරනු ලැබ තිබිය දී ය.    

මෙයින් පැහැදිලි වන ප්‍රධාන කරුණක් නම් නිවට නායකයන්ගේ තර්ජනය චන්ද්‍රිකාගේ වචනවලින් කියන්නේ නම් සත පහකට ගණන් නොගැනීමට ශ්‍රී ල නි පක්‍ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව ය. නුදුරු අනාගතයේ දී තව තවත් ශ්‍රී ල නි ප මහජන නියෝජිතයන් මේ තීරණය සමග එක්වනු ඇත. ශ්‍රී ල නි ප නිවට නායකයන්ගේ තර්ජන වලංගු වන්නේ සාමාජිකත්වය ඒ පිළිගන්නේ නම් පමණකි. ඕනෑම නීතියකට එය පොදු වෙයි. නීතියක වලංගුභාවය රැඳෙන්නේ අදාළ පුද්ගලයන් නීතිය රැකීම මත ය. අදාළ පුද්ගලයන් නීතිය කැඩීමට තීරණය කළහොත් හා ඒ තීරණය බොහෝ දෙනා වැළඳගතහොත් නීතියට වලංගුභාවයක් නො ලැබෙයි. එවිට නීතිය පැනවූවනට නීතිය හකුළා ගැනීමට සිදුවෙයි. 

අද ශ්‍රී ල නි පක්‍ෂයට සිදුවී ඇත්තේ එහි නිවට නායකත්වය සාමාජිකත්වය විසින් සමස්තයක් ලෙස ගත්කල නො පිළිගනු ලැබීම ය. ශ්‍රී ල  නි පක්‍ෂයේ නායකත්වය බටහිර ගැති එ ජා පක්‍ෂය සමග ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කර ඇත. එහෙත් එයට පක්‍ෂයේ බොහෝ අය විරුද්ධ වෙති. ඇතැම් නිවට නායකයන් එ ජා ප ආණ්ඩුවක ඇමති ධුර දරද්දී නිමල් සිරිපාල විපක්‍ෂ නායකයා ලෙස කටයුතු කරයි. මේ ප්‍රතිවිරුද්ධතා ඇතිවන්නේ මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමට සැලසුම් කරද්දී ය.   

ශ්‍රී ල නි ප මහජන නියෝජිතයන් නිවට නායකයන්ගේ තර්ජන කුණු කූඩයට දැමීමට ගත් තීරණය හේතුවෙන් වැඩිකල් නොගොස් ශ්‍රි ල නි ප නායකත්වය තව තවත් දැඩි පියවර ගැනීමට ඉඩ ඇත. එහෙත් එමගින් වනුයේ නායකත්වය තව තවත් පිරිහීම ය.  නීති කැඩීම යනු නීති පනවන්නන්ට කෙරෙන අනතුරු ඇඟවීමකි. ඉන්දීය නිදහස් සටනේ දී සිවිල් නැති කැඩීම මගින් වැදගත් කාර්යභාරයක් ඉටු විණි. බලවත් ඉංගිරිසි පාලනය දෙදරවීමෙහි ලා එය වැදගත් විණි.

අද වන විට ශ්‍රී ල නි ප නිවට නායකත්වය දෙදරා ගොස් ය. ඒ නායකත්වයට වැඩි දුරක් ඉදිරියට  යා නො හැකි ය. නායකත්වය බලයෙන් පහකිරීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණකි. කැඩී ඇති ශ්‍රී ල නි ප තවදුරටත් කැඩීම වැළැක්වීමට නම් පක්‍ෂයේ නිවට නායකත්වයේ වෙනසක් අවශ්‍ය වෙයි. ජනාධිපතිවරණයේ දී ඔත්තු සේවා නියෝජිතයෝ ජනතාවට වෙනසක් අවශ්‍ය බව කියා සිටියහ. ශ්‍රී ල නි පක්‍ෂ සාමාජිකයන් බහුතරයක් ඉල්ලා සිටින්නේ පක්‍ෂ නායකත්වයේ වෙනසකි.

නලින් ද සිල්වා

2015 මාර්තු 26