Saturday, March 21, 2015

මාර්තු 14 ශනි වක්‍රවීම,මාර්තු 20 පූර්ණ සූර්ය ග්‍රහණය හා හිටපු රාජකීය දෛවඥයා ඉල්ලාගෙන කෑම...

 2015 මාර්තු 14 ශනි වක්‍ර වීම පිළිබඳව ජ්‍යොතිෂ කෙෂත්‍රය තුල පසුගිය කාලයේ වැඩිපුර කතා බහට ලක්විය. ජ්‍යොතිෂ සිද්ධාන්තයන් අනුව වෘශ්චික වැනි ශනිට සතුරු රාශියකදී ශනි වක්‍රව ගමන් කරන විට ශනිට රාශියෙන් එල්ල වන සතුරු බලපෑම හීනවේ.ඒ අනුව2014 නොවැම්බර් 02 දිනෙන් ශනි වෘශ්චික රාශීයට පිවිසීමත් සමඟ ඒරාශ්ඨක අපල වූ ලග්න වලට ශනිගේ වක්‍ර ගමන ඇති 2015 අගෝස්තු 02 දක්වා කාලය සහනදායි කාලයකි.මෙහි වඩාත්ම වැදගත් සිදුවීමක් වන්නේ ශනි වක්‍රයත් සමඟ ශනි මතට ගුරු දෘෂ්ටිය වැටීමය.ස්වකීය උච්ච රාශිය තුල ගුරු ග්‍රහයාත් වක්‍ර ගමනක බැවින් මෙම සුභඵල වඩාත් ඉස්මතු වන්නේ 2015 අප්‍රේල් 8 ගුරුත් ස්වකීය වක්‍ර ගමන නැවතූ පසුය.
   ග්‍රහයන් ස්වකීය ඉලිප්සාකාර මාර්ගයේ ගමන් කිරීමේදී එම චලිත පථයන් පෘථිවියේ අපට දර්ශණය වන්නේ ඇතැම් විට ආපස්සට ගමන් කිරීමක් ලෙසිනි.(මෙම යූ ටියුබ් වීඩියෝව බලන්න)දෘෂ්ඨි මායාවක් ලෙස ඇතිවුවත් ග්‍රහයන් අතර පරතරය, දර්ශනය,.... විචලනය වීමෙන් මෙහිදී  භෞතික බලපෑමක් ඇති කරයි.

-------------------------------------------------------------------------------------------------------------------------
    2015 මාර්තු 20 වැනිදා ෆාරෝ දූපත් ආශ්‍රිතව පූර්ණ සූර්ය ග්‍රහණයක් විය.මීන රාශිය තුල උත්‍රපුටුප නැකතේ පළමු වැනි පාදය තුල මෙම ග්‍රහණය සිදුවන බැවින් මාර්තු 20 සිට ඉදිරි සති කීපය තුල ලොව පුරා දරුණු ජල විපත් හා දරුණු භූමිකම්පා ඇතිවිය හැකි බව ලෝකායත ජ්‍යොතිෂය අනුව පෙනී යයි.සූර්ය ග්‍රහණ කේන්ද්‍රය ලෙස සලකන මාර්තු 19 දින අමාවක තිථිය ලබන මොහොතේ ලංකාව ආශිතව කන්‍යා ලග්නය උදා වීමත් ග්‍රහණය සිදුවී දින තුනකට පසු එනම් මාර්තු 23 දින අඟහරු මේෂ රාශි ගතවීමත් නිසා ලංකාව ආශ්‍රිතවද මෙම තත්ත්වයන් පුදුම සහගත ලෙස ඇතිවිය හැකි බව ලෝකායත ජ්‍යොතිෂය අනුව පෙනී යයි.

-------------------------------------------------------------------------------------------------------------------------
  පසුගිය මාර්තු 12 දින  අයි.ටී.එන්. නාලිකාවේ “සත්‍යාගාරය“ වැඩසටහන ඔස්සේ හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධාන රාජකීය දෛවඥයා ලෙස තමා විසින්ම හදුන්වා ගත් ජ්‍යොතිෂවේදී සුමණදාස අබේගුණවර්ධන මහතා සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් විකාශය විය.ලේඛකයා එම වැඩසටහන සජීවී ලෙස නොනැරඹුවත් පසු දින උදෑසන සිටම බොහෝ දෙනා එම වැඩසටහන පිළිබඳව කල කතාබහ කන වැකීමත් සමඟ ඇතිවූ කුතුහලය නිසාම එම වැඩසටහන බාගත කොට සම්පූර්ණයෙන්ම නැරඹූවෙමි.
    උපුල් ශාන්ත සන්නස්ගල නම් තෙම්පරාදු මාධ්‍යවේදියා විසින් මෙහෙයවූ එම වැඩසටහන අසන්නට දකින්නට හා සිතන්නට අපූරු වැඩසටහනක්ම විය.හිටපු රාජකීය දෛවඥයා එම වැඩසටහනට එන්නට ඇත්තේ තමාගේ මැකී ගිය කීර්තිය යම් තරමකින් හෝ යලි මතුකරගන්නට හෝ තමාට අපහාස වන අයුරින් පලවූ ඇතැම් වාර්තා නිවැරදි කිරීමට හෝ අළුත් ආණ්ඩුවට මොන ක්‍රමයකින් හෝ ලංවීමට විය හැකිය.මින් එහාට ගිය දෙයක් අපහට සිතන්නට නොහැකිය.. 
     සාමාන්‍යෙයන් ලංකාවේ ජ්‍යොතිෂවේදීන් 100%ක්ම වාගේ උපන්ගෙයි උපක්‍රමශ්‍රීලීන්ය.සැබවින්ම දක්ෂ ජ්‍යොතිෂඥයකු සතුව මෙම ලක්ෂණය තිබිය යුතුමය.යම්කිසි අයකු විසින් තමාගෙන් ජ්‍යොතිෂය සම්බන්ධයෙන් ගැටළුවක් විමසූ විට බහුශ්‍රැත අයුරින් සට පට ගා පිළිතුරු දීමේ හැකියාව ඔවුන් සතුය.නමුත් මෙදින හිටපු රාජකීය දෛවඥයා නිවේදකයාගේ ප්‍රශ්ණ හමුවේ දුන් පිළිතුරු පුදුම සහගතය. අසන ලද බොහෝ ගැටළු වලට ඔහු පිළිතුරු දුන් ප්‍රාථමික ස්වභාවය දුටු බොහෝ ප්‍රේක්ෂකයන්ගේ සිතට දැනුනේ  “අනේ මහින්ද මහත්තය ජ්‍යොතිෂ උපදෙස් ගත්තේ මේ වගේ කෙනෙක්ගෙන්ද?“  වැනි උපහාසාත්මක සිතුවිල්ලකි. ජ්‍යොතිෂයේදී භාවිතා වන ග්‍රහයන් හැදින්වීම පවා ඔහු විස්තර කලේ ගොන් නාම්බෙක් ආකාරයෙනි.ජ්‍යොතිෂයේ මූලික සංකල්ප යම් තරමකින් දන්නා ආධුනිකයකුට වුවද පහසුවෙන් පිළිතුරු දිය හැකි ප්‍රශ්නවලටද පිළිතුරු දී ගත නොහැකි විය.
   බොහෝ විට වැඩසටහනට ආරාධනා කරන විට නිවේදකයා විසින් හිටපු රාජකීය දෛවඥයාව හොඳින් අන්දා ඇති බව සිතා ගත හැකි විය.තමාට වැඩසටහනට ආරාධනා කරන්නේ වැටෙන්නටම ගහන්න බව ඔහු දැන සිටින්නට නැත.එසේ දැන උන්නා නම් දෛවඥයා එම වැඩසටහනට එන්න තියා හිතන්නේ වත් නැත
    වැඩසටහන ආරම්භයේදී ප්‍රයෝගකාරී ලෙස නිවේදකයා සුමණදාසට මුරුංගා අත්තක් පෑවේය.ජ්‍යොතිෂය අපගේ සංස්කෘතිය සමඟ බැදී ඇති බවත් තමන්ද එයට අවනත බව පවසමින් ප්‍රශ්න ආරම්භ වන්නේ සුපුරුදු පරිදි නම ගම පවුලේ විස්තර සමඟින්ය.ඉන් අනතුරුව අසන්නේ ජ්‍යොතිෂ කටයුතු මේ දිනවල සිදු කරන ආකාරය පිළිබඳවය.මීට පෙර ආණ්ඩුවේ පුරාජේරු ගැසීමට හොරණෑ පිඹිමින් දේශපාලඥයන් හා ජ්‍යොතිෂවේදීන් ගෙන්වා නිවේදකයා විසින්ම කටට උත්තරය දී සිදු කරන ලැබූ මාධ්‍ය සාකච්ඡා මෙන් මෙම සාකච්ඡාවද සිදුවේ යැයි වැරදියට වටහා ගත් හිටපු රාජකීය දෛවඥයා  මහත් උජාරුවෙන් පැවසූයේ තමන් විසින් තට්ටු හතරක ගොඩනැගිල්ලක ජ්‍යොතිෂ පාසැලක් පවත්වා ගෙන යන බවත් තමා එහි ප්‍රධානියා බවත්ය.එමෙන්ම තමා විසින් රාජ්‍ය බැංකුවකද ඇතුළුව ආයතන කිහිපයකම අධ්‍යක්ෂ තනතුරු හෙබවූ බවත් තමා මේ වනවිටත් ඇතැම් තනතුරු හොඹවන බවත් තමාට මෙම තනතුරු හිටපු ජනාධිපතිතුමා විසින් ලබා දුන් ආකාරයත් විස්තර කලේය.තමා සාමාන්‍ය පෙළ විභාගයේ වැඩ පහක් සමත් වූ බවත් තුනකට සම්මාන ලබා ගත් බවත් පැවසීය.සාකච්ඡාවේ අවසන් කොටසේදී තමාගේ බැංකු අධ්‍යක්ෂ තනතුරේ ආරම්භක වැටුප රු 45000 ක් පමණ වූ බවත් පසුව එය 80000ක් පමන වූ බවත් මසකට රු 50000 ක පමන පෙට්‍රල් දීමනාවක්ද ලබා ගත් බව පැවසූයේ මහත් උජාරුවෙනි.ලංකාවේ එම්.බී.බී.එස් වෛද්‍යවරයකුගේ,ප්‍රාදේශිය ලේකම්වරයකුගේ  මූලික වැටුප ගැන දන්නා අපහට සාමාන්‍ය පෙළ අසමත් මාණ්ඩලික තනතුරකට කිසිදු සුදුසුකමක් නැත්තකු වෙනුවෙන් එවැනි තත්ත්වයක් උදාවීම ලැජ්ජා සිතේ.
     කෙසේ වුවත් ජ්‍යොතිෂවේදීන් ලෙස අපහට සතුටු විය හැකි තත්ත්වයක්ද මෙම සම්මුඛ සාකච්ඡාව සමඟ සිදු විය.වැඩසටහන මෙහෙයවූ උපුල් ශාන්ත සන්නස්ගල ජ්‍යොතිෂය මිත්‍යාවක් ලෙස බැහැර කරන්නෙකි. ඔහු එය වැඩසටහනට පෙර මෙන්ම පසුවත්(දිවයින සංවාද ලිපියකින්) ප්‍රකාශ කොට තිබුණි.ඔහුගේ ප්‍රධාන අරමුණ වූයේ ජ්‍යොතිෂය මිත්‍යා විශ්වාසයක් බවට වැඩසටහන හරහා ප්‍රේක්ෂකයන්ට ඒත්තු ගැන්විමක් වන ආකාරයට වැඩසටහන අවසන් කිරීමය.උපුල් ශාන්ත වැන්නකුට සුමණදාසව මීටත් වඩා හොදින් අපහසුතාවට පත්කිරීමට හැකියාව තිබුනත් ඔහු එය තදින් සිදු නොකලේ එය තම ප්‍රධාන අරමුණට බාධාවක් වග පූර්වයෙන්ම අවබෝධ කරගෙන සිටි බැවිනි . හිටපු ජ්‍යොතිෂ ඇදුරා නූගතකු ශාස්ත්‍රය නොදන්නකු මෝඩ ගොන් තඩියකු ලෙසම සැලකීමට වැඩසටහනට පෙර කිසිවකු සූදානමින් සිටියේ නැත.මෙපමන දුරක් ඔහු පැමිණියේ ශාස්ත්‍රය පිළිබඳව දැනුමක් ඔහු සතුව තිබූ නිසා විය යුතුය.ඇතැම් විට පසුගිය දිනවල සිදුවූ සිදුවීම් සමඟ ඇතිවූ මානසික ආතතිය නිසා එවැනි තත්ත්වයක් ඇතිවී ස්ථානෝචිතව බුද්ධි ඝෝචරව පිළිතුරු දී ගත නොහැකි වන්නටද ඇත.වැඩසටහන අවසාන වන විට “ආපෝ ..මහින්ද මහත්තයා ජ්‍යොතිෂ උපදෙස් ගත්තෙ මේ වගේ කෙනෙක්ගෙන්ද ? යන සිතුවිල්ල ප්‍රේක්ෂකයන්ට ඉබේම පහල වන තත්ත්වයක් ඇති විය.ජ්‍යොතිෂයට ගරු කරන අපට එය සතුටකි.

   අපේ රටේ රජවරු ලග සිටිය පැරණි රාජකීය දෛවඥයන් සුමණදාසලට වඩා කොච්චර වටින අයද කියල තේරෙන්නත් එක්ක පහල තියෙන ලින්ක් වලින් ඒගොල්ලො ගැන විස්තර බලන්නකෝ...
                           1) භරණ ගණිතයා
                           2) කොත්මලේ ගණිතයා
                           3) දොඩම්පෙ ගණිතයා


No comments:

Related Posts Plugin for WordPress, Blogger...