Main Logo

Thursday 19 March 2015

අර්ජුන් මහේන්ද්‍රන් ලාංකිකයෙක් ද?

අර්ජුන් මහේන්ද්‍රන් ලාංකිකයෙක් ද?

මහා බැංකු අධිපති රනිල්ට කියා නිවාඩු ගොස් ඇත. ඔහු අද ඇත්තේ සිංගප්පූරුවෙහි යැයි ද කියැවෙයි. ඒ පිළිබඳ අපට විශාල ප්‍රශ්නයක් වෙයි. ශ්‍රී ලාංකිකයකුට සිංගප්පුරුවට යෑමට විසා අවශ්‍ය නැත. පසුගිය ජනාධිපතිවරණයට පෙරත් පසුත් එ ජ නි සංධානයට අයත් මන්ත්‍රීවරු සිංගප්පූරුවට ගොස් පැමිණියහ. ඒ ගමන් බිමන්වලින් පසු අදාළ මන්ත්‍රීවරුන්ගේ අදහස් වෙනස් වූ බවත් ඔවුන් මෛත්‍රිපාල සිරිසේනට සහාය දීමට තීරණය කළ බවත් කියැවෙයි.
සිංගප්පූරුවෙහි දී සාමාන්‍ය සිංහලෙන් කියන්නේ නම් අතමාරු වී දැයි අපි නො දනිමු. එහෙත් ඒ අතමාරු බැංකු මගින් කළ යුතු තරමේ මෙගා ඩීල් යැයි ඇතැමුන්ගෙන් පැවසෙයි. මෙගා ඩීල් ගැන බෙරිහන් දෙන අය ද සිංගප්පූරු ගියහ. ඇතැමුන් ගියේ සමීප මිතුරන්ගේ දූ පුතුන්ගේ විවාහ මංගල්‍යවලට ය!

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙහි පුරවැසියෙකි. ඒ බව මුලින් ම කියන්නට ඇත්තේ ආණ්ඩුව යැයි සිතමි. එමෙන් ම ඔහුට ලංකාවේ පුරවැසිකම ද නෛතික ව දුන් බව කියැවිණි. ඒ අනුව අපි ද මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයට දෙන නායකත්වය මැයෙන් වූ ලිපියෙන් ඒ බව සඳහන් කළෙමු. එහෙත් ඇතැමුන් පවසන්නේ අප නිවැරදි නොවන බව ය. අඩුම තරමෙන් අපේ මූලාශ්‍ර නිවැරදි නොවන බව ය. 

මහේන්ද්‍රන් ලංකාවේ ද පුරවැසියකු වී නම් ඔහු ද්විත්ව පුරවැසියකු බවට පත්විය යුතු ය. එනම් ඔහු ලංකාවේ ද සිංගප්පූරුවේ  ද පුරවැසියකු විය යුතු ය. එහෙත් විකිපීඩියාහි සඳහන් වන අයුරෙන් නම් සිංගප්පුරු පුරවැසියකුට ද්විත්ව පුරවැසියකු විය නො හැකි ය. සිංගප්පූරුවේ පුරවැසියකු වෙනත් රටක පුරවැසිභාවය ලබන්නේ නම් ඔහු සිංගප්පූරු පුරවැසිභාවය අත්හළ යුතු ය. එමෙන් ම වෙනත් රටක පුරවැසියකු සිංගප්පූරුවේ පුරවැසියකු වන්නේ නම් ඔහු ඒ අනෙක් රටෙහි පුරවැසිභාවය අත්හළ යුතු ය. විකිපීඩියාව ඇතැම් අවස්ථාවල නිවැරදි නොවන බව ද අපි දනිමු.   

අපට ප්‍රශ්නය වනුයේ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසිභාවය අත්හැරියේ ද යන්න ය. එසේ අත්නොහැර ඔහුට ලංකාවේ පුරවැසියකු විය නො හැකි ය. ඔහු සිංගප්පුරු පුරවැසිභාවය අත්හළ බවට ආණ්්ඩුවට සහතික විය හැකි ද? එමෙන් ම අර්ජුන් මහේන්ද්‍රන්ට ලංකාවේ පුරවැසිභාවය දුන්නේ නම් සිංගප්පූරුව ඒ බව නො දන්නේ ද? අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවට තමාගේ ලාංකික පූරවැසිභාවය ගැන නො දැන්නුවේ ද? 

මහා බැංකු වංචා පරීක්‍ෂණයට පෙර ආණ්ඩුව මේ සම්බන්ධ කරුණු පැහැදිලි කළ යුතු ය. අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවේ පුරවැසියකු නොවී මහා බැංකුවේ අධිපති ලෙස පත්කරනු ලැබුවේ ද? මහා බැංකුවේ ප්‍රථම අධිපති වූයේ සුද්දෙකි. ඔහුගේ පූරවැසිභාවය පිළිබඳ ප්‍රශ්න පැන නොනගින්නට ඇත. එකල ද තිබුණේ එ ජා ප ආණ්ඩුවකි. ජාතික හෙළ උරුමය පමා වී තේරුම් ගත්ත ද  මේ පික්පොකට් ආණ්ඩුව ද ජනවාරි 9 වැනි දා සිට ම  එ ජා ප ආණ්ඩුවකි. 

අපට ඇත්තේ එදා ප්‍රශ්නය නොව මෙදා ප්‍රශ්නය ය. අර්ජුන් මහේන්ද්‍රන්ට සිංගප්පූරු නීතිය අනුව ලංකාවේ හා සිංගප්පූරුව යන රටවල් දෙකෙහි ම පුරවැසියකු විය නො හැකි ය. ඔහු මහා බැංකුවේ අධිපති වූයේ සිංගප්පූරු පුරවැසියකු ලෙස ද? ආණ්ඩුව මෙයට පැහැදිලි පිළිතුරක් දිය යුතු ය. 

නලින් ද සිල්වා

2015 මාර්තු 19