Main Logo

Monday 9 March 2015

මෙරට ඇත්තේ දෙමළ ජාතිවාදයකි (ඉරිදා රිවිර ලිපියකි)

මෙරට ඇත්තේ දෙමළ ජාතිවාදයකි

පඬියන්ට මෙන් ම බොහෝ දේශපාලනඥයන්ට ද හිතේ හැටියට හා බොහෝ අවස්ථාවල ලැබෙන දීමනාව අනුව ඊනියා සිංහල ජාතිවාදයකට තැළිය හැකි ය. රාජ්‍ය නොවන ආයතන යැයි කියාගන්නා ගුබ්බෑයම්වල මෙන් ම ඊනියා සමාජ විද්‍යා පර්යේෂණ ආයතනවල ද සේවය කරන්නෝ අඩු වැඩි වශයෙන් සෘජුව හෝ වක්‍රව හෝ විදේශීය රාජ්‍යවලින් යැපෙති. මේ රාජ්‍ය ඉතා වැඩි වශයෙන් ගත්කල බටහිර රාජ්‍ය වෙයි. ඉන්දියාව ද මේ ව්‍යාපාරයෙහි කොටස් කරුවෙකි.
බටහිර හා ඉන්දීය ඔත්තු සේවා මේ කාර්යයෙහි දී ඒ ඒ රාජ්‍යවලට ආධාර සපයයි. ඒ රටවල ඉගෙනීමට යන ඇතැම්හු ඔත්තු සේවාවල යොදා ගැනෙති. ඒ අතර ඔත්තු සේවාවලට බඳවා ගනු ලැබූවන්ට ඒ ඒ රටවල පුහුණවක් දෙනු ලැබේ. 

පසුගිය ජනාධිපතිවරණයේ දී මේ ඔත්තු සේවා විශාල කාර්යභාරයක් ඉටු කළේ ය. සිංහලයන්ගේ ඡන්දයෙන් පමණක් මැතිවරණයක් ජයගත නොහැකි බවට මතවාද සකස් කිරීමට ඔවුහු උත්සුක වූහ. ඔවුන් තම කාර්යය තවමත් අවසන් කර නැත. ඔවුහු දේශපාලනඥයන්ට උපදෙස් දෙති. ඇතැම්  දේශපාලනඥයෝ ඔත්තු සේවාවල නිරත අයට සවන් දී ඔවුන්ට  පදනමක් නැති විවිධ ආයතනවල තනතුරු ද ලබා දෙති. මෙරට මැතිවරණයක් සිංහලයන්ගේ ඡන්දයෙන් පමණක් දිනිය හැකි ය. එහෙත් ඒ සඳහා අඩුම තරමෙන් සිංහලයන් 65%ක් එකතු කර ගත හැකි සටන් පාඨයක් අවශ්‍ය වෙයි. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ රටට අහිතකර වගන්ති කපා දමමු යන්න එවැනි සටන් පාඨයක් වෙයි. එවැන්නක් කී විගස දෙමළ ජාතිවාදීහු හා පඬියෝ අවි අමෝරා ගෙන එයට විරුද්ධව කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාධ්‍ය සංදර්ශන පවත්වති. එසේත් නැතහොත් ඊනියා මාධ්‍ය සාකච්ඡා පවත්වති. ඒ සියල්ල පිටුපස බටහිර හා ඉන්දීය ඔත්තු සේවා වෙයි.  

අපට අවශ්‍ය දෙමළ ජනයා මැතිවරණ දේශපාලනයෙන් පිටත තැබීම නො වේ. එහෙත් බටහිරයන් හා ඉන්දීයයන් විසින් මෙහෙයවෙන දෙමළ ජාතිවාදය මෙරට ස්වෛරීභාවයට මුළුමනින් ම අහිතකර ය. සිංහලයන්් හා මෙරට ජීවත්වන විවිධ ජනවර්ග අතර ඇති  ප්‍රධානතම වෙනස ද එයයි. සිංහලයන්ගෙන් බහුතරය මෙහෙයවීමට විජාතික බලවේගවලට නො හැකි ය. රාජ්‍ය නොවන පඬියෝ, ඔත්තු සේවාවල නිරත අය, බටහිරයන්ට සේවය කරන විවිධ සංසදවල ප්‍රභූහු ආදීහු සිංහලයන් අතර වෙති. එමෙන් ම ඊනියා විකල්ප පුවත්පත්වල කසිකබල් ජනමාධ්‍යවේදීහු ද සිංහල මතය වෙනස් කිරීමට කටයුතු කරති. එහෙත් සිංහල මතය වෙනස් කිරීමට ඔවුන්ට නො හැකි ය. 

මෙය මෙරට ඉතිහාසය පිළිබඳ ප්‍රශ්නයකි. 1815 මාර්තු 02 වැනි දාට පෙර ද පසු ද ඈත අතීතයේ සිට යටත්විජිවාදයට විරුද්ධ ව සටන් කර ඇත්තේ සිංහලයන් ය. අපි අතීතය පසෙකින් තබමු. 1815න් පසු නිදහස දිනාගැනීම සඳහා විවිධ ජනවර්ග විසින් කෙරී ඇති සටන් කවරේ ද?  පිළිතුර කිසිවක් නැත යන්න ය. මෙහි දී ඉංගිරිසි කතාකරන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදීන් විසින් පිහිටුවා ගනු ලැබූ ලංකා ජාතික කොංග්‍රසය ගැන ද වචනයක් කිව යුතු ය. තමන් නිදහස් සටනක් ගෙන ගිය බවත් ලේ බිඳක්වත් නොසෙල්වා නිදහස ලබා ගැනීමට හැකි වූ බවත් ඔවුහු උජාරුවෙන් කියති. එහෙත් ඇත්ත තත්ත්වය කුමක් ද? මොවුන් නිරත වූ නිදහස් සටනක් නැත. ඔවුන් කළේ පෙත්සම් යැවීමක් පමණ ය. ඔවුන්ගේ පෙත්සම්වල කියැවුණේ ඔවුන් සුද්දන්ටත් වඩා හොඳ සුද්දන් බවත් ඔවුන්ට සුද්දන් වෙනුවෙන් රටේ සාමාන්‍ය ජනයා පාලනය කිරීමේ යම් අයිතියක් ලබාදෙන ලෙසත් ය. මේ ව්‍යාපාරයේ නායකත්වය දහනවවැනි සියවස මුල දී ගනු ලැබුයේ බර්ගර්වරුන් විසිනි. දහනවවැනි සියවස අවසාන වන විට ඒ නායකත්වය දෙමළ ප්‍රභූන් අතට පත්විය. පොන්නම්බලම් රාමනාදන් ලා අරුණාෂලම් ලා මුතු කුමාරස්වාමිලා මිස සිංහලයකු නායකත්වයට කිසි දිනෙක පත් නොවන බවට ඉංගිරිසිහු වග බලාගත්හ. එය කිසි දිනෙක නිදහස් සටනක් නො වී ය.

ඉංගිරිසින් විසින් පිහිටුවනු ලැබූ පාසල්වල හා ඉංගිරිසින් අනුකරණය කරමින් පටන් ගත් පාසල්වල ඉගෙන ගත්  මේ ප්‍රභූහු සාමාන්‍ය මිනිසුන් තම ඊනියා නිදහස් සටනට සහභාගි කර ගැනීමෙන් වැළකුණහ. මෙරට සාමාන්‍ය සිංහල ජනයා 1815 සිට වෙන ම නිදහස් අරගලයක නිරත වූහ. 1815 දී තරම කැප්පෙටිපොළ නිලමේ වැනි සිංහල නායකයෝ සාමාන්‍ය සිංහලයන් සමග එක් ව ඉංගිරිසින්ට විරුද්ධව සටන් කළහ. එහි දී ඇත්තට ම සිදුවූයේ සාමාන්‍ය සිංහලයන් ඉංගිරිසින්ට විරුද්ධව සටන් කිරීමට කැප්පෙටිපොළ නිළමේ කැමති කරවා ගැනීම ය. ඒ එදා ඇතැම් සිංහල  නායකයන් 1815 ගිවිසුම අනුව  සුද්දන් ක්‍රියා කරාවි යැයි බලාපොරොත්තු    සහගත ව සිටි බැවින් ය. ඉංගිරිසිහු ඒ සටන දරුණු ලෙස මර්දනය කළහ. ඉන්පසු ඔවුහු ඇතැම් නායකයන් හා ලක්‍ෂ සංඛ්‍යාත සිංහලයන් මරා දමා තව පිරිසකට ඔවුන්ගේ පාසල්වල අධ්‍යාපනය ලබා දී වරප්‍රසාද හා තනතුරු ලබා දී කලු සුද්දන් පිරිසක් බිහි කළහ. එහෙත් සිංහලයෝ  තම සටන අත්නොහළහ. ඔවුහු භික්‍ෂූන් වහන්සේගේ අනුශාසනයෙන් පුරං අප්පු ගොංගාලෙගොඩ බණ්ඩා වැනි නායකයන් පත්කරගෙන 1848 දීත් සටනක් කළහ. මේ සටන් පෙත්සම් යැවීම් නො වී ය. එහි ලේ ගංගා ගලා ගියේ ය. 

සිංහලයන්ට සාම්ප්‍රදායික  නායකයන් නැති වූ නිසා ම ඔවුන්ට පුරං අප්පු වැන්නන් සොයා ගැනීමට සිදු විය. සිංහලයන්ගේ පාරම්පරික නායකයෝ ඒ වන විට ඉංගිරිසින්ගේ තනතුරු ලැබ ඔවුන්ට සේවය කළහ. නායකයන්ගේ දරුවෝ ඉංගිරිසින් පිහිටු වූ පාසල්වල ඉගෙන ගත්හ. අදත් මේ පාසල්වලින් බිහිවන අයගෙන් විශාල පිරිසකට ඇත්තේ සුද්දන්ගේ සපත්තු ලෙවකන මානසිකත්වයකි. ඒ මදිවාට අනෙක් පාසල්වලින් ද සුද්දන්ගේ අධ්‍යාපනයක් ලබා විශ්වවිද්‍යාලවල ඉගෙන ගත් බොහෝ අය සුද්දන්ට අවශ්‍ය ආකාරයට සිතති. අද අප පාලනය කෙරෙන්නේ බටහිර මතවාදවලිනි. බටහිර විද්‍යාව එහි දී ප්‍රධාන තැනක් ගනියි. යටත්විජිතවාදයට එරෙහිව කරන සටනේ එක් පියවරක් වනුයේ අප පීඩාවට පත්කරන බටහිර අධිපතිවාදී දැනුමෙහි, විශේෂයෙන් බටහිර විද්‍යාවෙහි තතු හෙළිදරවු කිරීම ය. මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියන විට එයින් වඩාත් ම පහර වදින්නේ මෙරට අනුකාරක උගතුන්ට ය. ඔවුහු ඉන් කිපෙති. අප බටහිර විද්‍යාව ඉගෙන ගත යුත්තේ ඒ පිළිබඳ ව එහි අවශ්‍යතාව එයින් අප පාලනය කෙරෙන ආකාරය ආදිය ගැන වැටහීමක් ඇති විය. එහි ඊනියා වාස්තවික බවක් නැති බවත් එය ද තවත් සාපේක්‍ෂ  දැනුම් පද්ධතියක්  බවත් අප වටහාගත යුතු ය. 

කෙසේ වෙතත් අනගාරික ධර්මපාලතුමා භාෂා ප්‍රේමීහු මේ නිදහස් සටන තව දුරටත් ඉදිරියට ගෙන ගියහ. ඔවුන්ගේ  සටනෙහි වැඩි බරක් යෙදුණේ සංස්කෘතික සංරචකයට ය. ඒ සටන තවමත් කෙළවර වී නැත. 1956 එහි එක් අවස්ථාවකි. ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවා ගනු ලැබුයේ මේ සටන ඉදිරියට ගෙන යෑමට ය. එහෙත් ඒ පක්‍ෂය වෙනස් කිරීමට විවිධ අවස්ථාවල උත්සාහ ගැණිනි. අද එහි තීරණාත්මක අවධියකට පැමිණ ඇත. ශ්‍රී ල නි පක්‍ෂයෙන් එයට නියමිත ඓතිහාසික කාර්යභාරය නොකෙරෙන්නේ නම් සිංහලයන් වෙනත් පක්‍ෂයක් පිහිටුවා ගනු ඇත. ඒ ජාතික හෙළ උරුමය යැයි මොහොතකටවත්  සිතීම පාපකාරී ය. 

මේ සියල්ල කෙරී ගෙන යද්දී දෙමළ ජනයා කර ඇත්තේ කුමක් ද? ඔවුන් නිදහස් සටනක නිරත වී ඇත් ද? නැත, ඔවුන්ගේ නායකයෝ සුද්දන්ට සේවය කළහ. සුද්දෝ 1833 දී නිල වශයෙන් දෙමළ ජාතිවාදය සිංහල ජාතිකත්වයට එරෙහිව බෞතීස්ම කළහ. දෙමළ නායකයෝ සිංහලයන් ව්‍යවස්ථාදායකයෙහි බහුතරය වීම වැළැක්වීමට සුද්දන් සමග අත්වැල් බැඳගත්හ. එහෙත් ඉංගිරසින්ට 1931 දී බලවත් වරදක් සිිදුවිය. සිංහලයන්ගේ තතු නොදත් සුද්දෝ කලු සුද්දන්ට තමන් වෙනුවෙන් සිංහලයන් පාලනය කිරීමට හැකි යැයි සිතා ලංකාවට සර්වජන ඡන්දය හිමි කළහ. ඉන් පසු සිංහලයන් ව්‍යවස්ථාදායකයෙහි බහුතරය වීම වැළැක්වීමට සුද්දන්ට නො හැකි විය. 

එමෙන් ම රටේ දේශපාලන නායකත්වය දෙමළ ප්‍රභූන්ගෙන් සිිංහල ප්‍රභූන්ට යෑමත් වැළැක්වීමට සුද්දන්ට නොහැකි විය. ශ්‍රී ල නි පක්‍ෂය බිහිවූයේ කලු සුද්දන්ගෙන් සාමාන්‍ය සිංහලයන්ට නායකත්වය ලබාගැනීමට ය. එහෙත් එය සර්වප්‍රකාරයෙන් සාර්ථක වී නැත. ඒ කෙසේ වෙතත් සුද්දන් විසින් ඇති කෙරුණු දෙමළ ජාතිවාදය අද යොදා ගැනෙන්නේ සිංහල ජාතිකත්වයට විරුද්ධව ය. සුන්දරලිගම් ඊළොම ගැන කතා කළේ හතළිහේ දශකයේ මුල ය, නාගනාදන් 1947 දී දෙමළ ජනයා සිංහලයන්ගෙන් නිදහස ලබාගත යුතු යැයි කීවේ ය. මෙරට ඇත්තේ සුද්දන් වෙනුවෙන් සේවය කරන දෙමළ ජාතිවාදයක් හා සුද්න්ගෙන් පුර්ණ නිදහස දිනාගැනීම සඳහා සටන් කරන සිංහල ජාතිකත්වයකි. කලු සුද්දෝ සිංහල ජාතිකත්වයට සිංහල ජාතිවාදය යැයි කියති.


නලින් ද සිල්වා

2015 මාර්තු 08