Main Logo

Thursday 5 March 2015

ඊනියා විශ්ව සේවකයා (විදුසර ලිපියකි)

ඊනියා විශ්ව සේවකයා

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමාගේ යැයි කියන ප්‍රවාදයක් ඉදිරිපත් කරන බවක් කියයි. සැකෙවින් ප්‍රකාශ කළහොත් ඔහුගේ යැයි කියන ප්‍රවාදයෙන් කියැවෙන්නේ මිනිස් ජීවිතයේ අරුත වන්නේ ජාන වර්ධනය සඳහා වාහකයක් සැපයීම බව ය. ජාන වර්ධනය සිදුවන්නේ ජාන විකෘති වීමෙන් බවත් ස්වාභාවික වරණය එහි දී වැදගත් වන බවත් ඔහු කියයි. අමරතුංග මහතාගේ පෙබරවාරි 18 වැනි දා ලිපියෙහි ඒ බව සඳහන් වෙයි. ඔහු එහි දී බුදු දහම සමග ද තම ප්‍රවාදය සංසන්දනය කරයි. එබැවින් ඒ ප්‍රකාශය මා අතින් විකෘති නොවීමට දිර්ඝ වශයෙන් උපුටා දැක්වීමට සිදුවෙයි. එහෙත් එයට පෙර ඔහුගේ පෙබරවාරි 4 වැනි දා ලිපියෙන් ඡෙදයක් උපුටා දක්වන්නේ ස්වාභාවික වරණය ගැන දන්නා අයට ඔහුගේ දැනුමේ තරම වටහා ගැනීම සඳහා ය.

“පෙර කල විසූ වේගයෙන් දුවන්නට බැරි කොටියකුට ගොදුර ඩැහැගන්නට බැරි වූ විට බඩගින්න දැනී ඒ මාර්ගයෙන් ජාන විකෘතියක් ඇති කොට මාශ පේශිවල ජවය වැඩි වී කොටියාට වේගයෙන් දුවන්නට හැකි වූ විට ඒ කොටියා ගේ ප්රවර්ථනය ස්වාභාවික වරණය විසින් සහතික කෙරෙන බව පෙර ලිපියක සඳහන් කළෙමි. බඩගින්න වැනි උත්තේජයකින් ජාන විකෘතියක් ඇති කරන්නේ කෙසේ ද? මෙතැන දී සිදු වන රසායනික හෝ ක්ෂුද්ර භෞතික ක්රියාදාමය කුමක් දැයි සොයාගෙන නැත. එහෙත් එය එසේ සිදු වන බවට සාක්ෂි එමට ඇත.”

කොටියාගේ ජාන විකෘතිය සිදු වන්නේ කෙසේ ද? අමරතුංග මහතාට අනුව බඩගින්න දැනී ඒ මගින් ජාන විකෘතියක් ඇති කොට මාංශ පේශිවල ජවය වැඩි කෙරී කොටියාට වේගයෙන් දුවන්නට සැලැස්වෙයි. මේ ඩාවින්ගේ ස්වාභාවික වරණය හෝ එයට විරුද්ධ මතයක් ඉදිරිපත් කළ ලැමාර්ක්ගේ මතය හෝ නො වේ. මෙය හැඳින්විය හැක්කේ පදික වේදිකා මතයක් ලෙස ය. මේ මතය දරන පළමු තැනැත්තා අමරතුංග මහතා විණි නම් අඩුම තරමෙන් ඔහුට ඒ පිළිබඳ ගෞරවයවත් දිය හැකි ව තිබිණි. එහෙත් අවාසනාවකට ස්වාභාවික වරණය ගැන අසා ඇති, එහෙත් ඒ නෙදන්නා, බොහෝ දෙනා අතර ඒ මතය ඇත. 

එහෙත් අමරතුංග මහතා ඒ අතර වෙනත් මත ද කියයි. උදාහරණයක් ලෙස ඒ මහතා එම ලිපියෙහි ම මෙසේ සඳහන් කර ඇත. “ස්වාභාවික ජාන විකෘති වීම (නඅටඋරඅල මඋටඅටඉඔන) ජීව පරිණාමය සඳහා අත්යවශ්ය ක්රියාදාමයකි. එය සසම්භාවී නො වී විශේෂී ලෙස, උත්තේජනයට ගැලපෙන ප්රතිචාර එකක් ලෙස සිදු වූයේ නම් ජීව විවිධත්වය වෙනුවට පරිසරයට ගැලපෙන ජීවීන් කිහිප දෙනකු පමණක් මුල දී ම නිර්මාණය වීමට ඉඩ තිබිණි.”  මෙහි දී අමරතුංග මහතා කියන්නේ ජාන විකෘතිය සසම්භාවී ලෙස සිිදුවන බව ය. කොටියාගේ කතාවේ දී මෙන් ජාන විකෘතිය උත්තේජනයට ගැලපෙන ප්‍රතිචාරයක් ලෙස සිදුවන්නේ යැයි මෙහි දී අමරතුංග මහතා නො කියයි. මෙරටින් විද්‍යාඥයන් බිහි නොවන්නේ වියුක්තව සිතීමට හැකි අය හා සංගත ව සිතීමට හැකි අය අප අතර ඇත්තේ ම නැති තරම් වීම නිසා ය. මෙරට ඇත්තේ පදික වේදිකා විද්‍යාඥයන් වීම කණගාටුදායක ය. 

දැන් අපි අමරතුංග මහතාගේ පෙබරවාරි 18 වැනි දා ලිපියේ උද්ධෘත කිහිපයකට යමු.  “පළමුව ස්වාභාවික වරණය සහ ජාන විකෘති වීම සැලකිල්ලට භාජන කරමින් අප ගේ මතයක් වන (මෙය බටහිර අදහසක් නො වේ) ජීවිතයේ අරුත වන්නේ ජාන වර්ධනය සඳහා වාහකයක් සැපයීම බව තව ටිකක් දුරට සාකච්ඡා කරමු. මා පවසා ඇත්තේ මිනිසා ජීවත් වන්නේ මිනිසා පිණිස නො ව විශ්වය පිණිස බව ය. මිනිසා ගෙන් විශ්වයට සිදු කෙරෙන සේවය ජාන වර්ධනයට වාහකයක් සැපයීම ය. ස්වාභාවික වරණය සහ ජාන විකෘති වීම යන සංකල්ප තුළින් මේ අදහස අධ්යයනය කිරීමට උත්සාහයක් ගත හැකි ය. ස්වාභාවික ජාන විකෘති වීම මගින් විශාල සංඛ්යාවක් ජාන සංසදයට (ජාන කිටුවට) එකතු වේ. මින් මිනිසාට යහපතක් සිදු වන ජාන ඇත්තේ ස්වල්පයකි. අයහපත් ජාන ඉවත් වන්නේ ය. යහපතක් හෝ අයහපතක් හෝ සිදු නො කරන ජාන රාශියක් ජාන සංසදයට එකතු වේ. සමහර රෝග ගෙන දෙන ජාන ද නැති නො වී පවතී. මේ ජාන ප්රයෝජනයක් නැතැයි නිගමනය කරන්නේ අප ය. ඒ අපට පෙනෙන විධිය ය. එහෙත් විශ්වයට මේ ජානවලින් යම්කිසි ප්රයෝජනයක් නැතැයි අපට කිව නොහැකි ය. එසේ කියන්නට තරම් දැනුමක් අපට නැත. ස්වභාවධර්මය නිකරුණේ කිසිවක් කරන්නේ වත් නාස්ති කරන්නේ වත් නැති බව අප විශ්වාස කළ යුතු ය.”


මේ ඡෙදයෙන්් අමරතුංග මහතා කියන්නේ කුමක් ද? අප ගිය සතියේ පෙන්වා දුන් පරිදි ඒ මහතා යම් සාපේක්‍ෂතා දර්ශනයක් මත පදනම් වීම අපේ සතුටට හේතු වෙයි. එහෙත් ඔහුට පරස්පරවලින් තොරව කෙසේවත් සිතිය නො හැකි ය. මෙය මානසික තත්ත්වයක් විය හැකි ය. අපි එයට පරස්පාරය යැයි කියමු. අමරතුංග  මහතා කියනු ඇත්තේ එවැනි මානසික තත්ත්වයක් ගැන බටහිර මනෝ විද්‍යාවෙහි හෝ මනෝ ව්‍යාධිවේදයෙහි හෝ මනෝ විශේලේෂණයෙහි හෝ බටහිර වෙනත් දැනුමක හෝ නොමැති බව ය. මට ඉන් කම් නැති. මෙරට මහාචාර්යවරුන්ගේ අසංගත ලේඛන යම් මානසික තත්ත්වයක් නිසා ඇතිවන්නේ යැයි මම සිතමි. මා සිතන්න ද පට්ටපල් බොරුවක් විය හැකි ය. ඒ කුමක් වුවත් එකී මානසික තත්ත්වය හැඳින්වීමට මම පරස්පාරය යන වචනය නිර්මාණය කරමි. 

මෙහි දී ෆෝටෝනයක ස්කන්ධය ගැන ද වචනයක් කිව යුතු ය. මා කිසිම අවස්ථාවක අංශුවක ස්කන්ධය හා ශක්තිය යනු එකක් ම යැයි කියා නැත. පසුගිය සතියේ ඒ පිළිබඳ විස්තරයක් කළෙමි. එහෙත් ඇතැමුන් සිතන්නේ මා අංශුවක ස්කන්ධය හා ද්‍රව්‍යය යනු එකක් ම යැයි කියා ඇති බව ය. අමරතුංග මහතා එක් ලිපියක ක්‍ෂූද්‍ර අංශු විස්තර කෙරෙන්නේ ස්කන්ධය හා ද්‍රව්‍යය යන ද්වෛතයක් මත පදනම් වී යැයි මොකක් දෝ ජනප්‍රිය පොතක් ආශ්‍රයෙන් ඔහුට තේරෙන ආකාරයට කීවේ ය. මම එයට නම් විරුද්ධ වීමි. එවැනි ද්වෛතයක් ක්වොන්ටම් භෞතිකයෙහි නැත. 

එක් ලිපියක මම ෆෝටෝනයකට ස්කන්ධයක් පැණවීමි. ෆෝටෝනයකට ස්කන්ධයක් නිර්මාණය කළ හැකි යැයි මම සඳහන් කළෙමි. ඒ පරස්පාරය යන්න නිර්මාණය කරන අයුරෙනි. ඒ මගේ ඥානවිභාගය මත පිහිටමිනි. එක් පඬියකුට ඒ පිළිබඳ ප්‍රශ්නයක් ඇති වී තිබේ. බටහිර භෞතික විද්‍යාවෙහි ෆෝටෝනයකට ස්කන්ධයක් නැතැයි ඔහු කීවේ ය. එය සත්‍යයකි. එහෙත් ඒ සමග ඔහු තම නොදැනුවත්කම ප්‍රදර්ශනය කරමින් ෆෝටෝනයකට ශක්තියක් නැතැයි ද කීවේ ය. බටහිර භෞතික විද්‍යාවෙහි ෆෝටෝනයකට ස්කන්ධයක් නැති නමුත් ශක්තියක් ඇත. ෆෝටෝනවලට ශක්ති නැත්නම් බටහිර විද්‍යාවට කොම්ප්ටන් ආචරණය, ප්‍රකාශවිද්‍යුත් ආචරණය පමණක් නොව  ප්‍රභාසංස්ලේෂණය ද නැත. 

ν සංඛ්‍යාතියක් ඇති තරංගයකින් නිරූපණය වන ෆෝටෝනයකට අංශු ගුණ ද වේ. ඒ ඊනියා ද්‍රව්‍යය හා ශක්තිය අතර වූ ද්වෛතයක් නිසා නොව තරංග අංශු ද්වෛතයට එකඟ ව ය. ෆෝටෝනයක් අංශුවක් ලෙස ගත්කල අපට එයට ස්කන්ධයක් පැණවිය හැකි ය. මා මෙහි දී යොදා ගන්නේ බුද්ධඝෝෂ හිමියන්ගේ පඤ්ඤත්ති සංකල්පය ය. උන්වහන්සේ කාලය යනු පඤ්ඤත්තියක් යැයි අත්ථසාලිනියෙහි සඳහන් කළහ. කාලය යනු පැණවීමක් පමණ ය. ෆෝටෝනයක ස්කන්ධය ද පැණවීමකි. ඒ් පැනවීම කරන ආකාරය ද මම පැහැදිලි කළෙමි.  ක්වොන්ටම් භෞතිකයෙහි ν සංඛ්‍යාතියක් ඇති ෆෝටෝනයක ශක්තිය ු =හν  ලෙස දැක්විය හැකි ය. එමෙන් ම විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි සාමාන්‍ය අංශු සඳහා ු = මච2 සමීකරණය ද වෙයි. ඒ දෙක එකට ගැනීමෙන් ν සංඛ්‍යාතියක් ඇති ෆෝටෝනයක් සඳහා ස්කන්ධයක් ම=හ ν /ච2  ලෙස පැණවීමි. 

එක් පඬියකු මට අපහාස කරමින් කියා තිබුණේ අමරතුංග මහතා කියන පරිදි ම මා සාපේක්‍ෂතාවාදය නොදන්නා බව ය. මට සාපේක්‍ෂතාවාදය දන්නා අයකු ලෙස පෙනී සිටීමේ අවශ්‍යතාවක් නැත. එහෙත් මා කරන්නේ කුමක් දැයි මම දනිමි. ෆෝටෝනයකට නැත්තේ  නිශ්චලතා ස්කන්ධයකි. යම් සමුද්දේශ රාමුවක ව ප්‍රවේගයෙන් චලනය වන සාමාන්‍ය අංශුවක ස්කන්ධය ම=ම0/(1-ව2/ච2)1/2 වෙයි. මෙහි ම0 අංශුවෙහි නිශ්චලතා ස්කන්ධය ද ච ආලෝකයේ ප්‍රවේගය ද වෙයි. ෆෝටෝනයක නිශ්චලතා ස්කන්ධය ශූන්‍ය වන බැවින් හා ප්‍රවේගය ආලෝකයේ වේගය වන බැවින් ඉහත කී ප්‍රකාශනය 0/0 ආකාරය ගනියි. එය ශූන්‍ය විය යුතු නො වේ. 0/0 ඕනෑම අගයක් විය හැකි ය. එයට නිශ්චිත අගයක් නියම කිරීම ම=හ ν/ච2  ප්‍රකාශනයෙන්  කෙරෙයි. එහි ඇති වරද කුමක් ද? ෆෝටෝනයක නිශ්චලතා ස්කන්ධය නොමැති බැවින් එයට ශක්තියක් නැතැයි කිව හැක්කේ අඳ බාලයකුට පමණකි. ෆෝටෝනයක ස්කන්ධය පණවන ආකාරයෙන් පරස්පාරය යන්න ද අමරතුංග වැනි අයට ඇති මානසික තත්ත්වයක් ලෙස හඳුන්වා දිය හැකි ය. 

අපි නැවතත් ජාන විකෘතියට යමු. ජාන විකෘතිය කරන්නේ කවු ද? මිනිසා ද එසේත් නැත්නම් ඊනියා ස්වාභාව ධර්මය ද? මිනිසා වුවමනාවෙන් ජාන විකෘති නො කරයි. එසේ නම් ජාන විකෘති මගින් විශ්වයට වන්නේ යැයි කියන ඊනියා  සේවයකට (එසේ සේවයක් වුවත්) මිනිසා උරුමකම් කියන්නේ කෙසේ ද? ඒ මිනිස් සිරුර සැපයීමෙන් ද? එහෙත් මිනිස් සිරුර සපයන්නේ මිනිසා ද? ඊනියා ස්වභාව ධර්මය ද? එසේ නම් මේ වාක්‍යවල තේරුම කුමක් ද? “මා පවසා ඇත්තේ මිනිසා ජීවත් වන්නේ මිනිසා පිණිස නො ව විශ්වය පිණිස බව ය. මිනිසා ගෙන් විශ්වයට සිදු කෙරෙන සේවය ජාන වර්ධනයට වාහකයක් සැපයීම ය.” 

අනෙක් අතට ජාන විකෘතීන් සිිදුවන්නේ මිනිසා මගින් පමණක් නො වේ. සියළු ජෛවීය වස්තු මගින් ජාන විකෘති සිදු කෙරෙයි. සමහර විට පහත සඳහන් ඡෙදයෙන් අමරතුංග මහතා අදහස් කරන්නේ එය විය යුතු ය. “ජාන වර්ධනය සහ එහි ප්රවර්ධනය සාක්ෂාත් කරගැනීම පිණිස ස්වභාවධර්මය විසින් ජීවීන් නිර්මාණය කෙරී ඇත. ලිංගික ප්රජනනය, ලිංගික සම්බන්ධයට ඇති අධික තෘෂ්ණාව, කුඩා පැටවුන් හදා වඩාගැනීමට ඇති ආදරය සහ වුවමනාව වැනි සත්ත්වයන් ගේ ගුණාංග මේ සඳහා යොදාගෙන ඇති බව පෙර ලිපිවල සඳහන් කළෙමි. මේ ක්රියාදාමය ජාන වර්ධනයට නො වේ නම් කුමක් පිණිස ද? ජීවිතයේ අරුත ජාන වර්ධනයට වාහකයක් සැපයීම හැර වෙන කුමක් විය හැකි ද? අප නො දන්නේ ස්වභාවධර්මයට හෝ විශ්වයට ජාන වර්ධනයෙන් ලැබෙන ප්රයෝජනය කුමක් ද යන්න ය.”

මෙහි දී අමරතුංග මහතා සත්ත්වයන් ගැන සඳහන් කරන්නේ යැයි සිතිය හැකි ය. ලිංගික සම්බන්ධයට ඇති තෘෂ්ණාව ආදිය සත්ත්වයන්ගේ ක්‍රියා ද එසේත් නැත්නම් ජානවල ක්‍රියාකාරකම් ද? සත්ත්වයන්ට මේ සම්බන්ධ වගකීම, ගෞරවය හෝ වෙනත් යමක් හෝ පැවරිය හැකි ද? ජාන විකෘතිය ඊනියා විශ්වයට කෙරෙන සේවයක් නම් ඒ සේවය කෙරෙන්නේ ජාන විසින් ම නො වේ ද? සත්ත්ව ශරීරය ද ජානවලින් ම නියම නොවන්නේ ද? මේ අදහස් තමන්ගේ යැයි කීව ද ඒ ඩෝකින්ස්ගේ නිවන් විරෝධී ආත්මාර්ථකාමී ජානය පිළිබඳ අදහසින් වෙනස්වන්නේ කෙසේ ද? අනෙක් අතට අමරතුංග මහතා ශාක ගැන කියන්නේ කුමක් ද? ජෛවීන් වු ශාකවලින් ජාන විකෘති මගින් විශ්වයට සේවයක් නො වන්නේ ද? ඊනියා විශ්ව සේවකයන් වන්නේ සත්ත්වයන් පමණක් ද? ශාකවලට කුඩම්මාගේ සැළකිල්ල ද? 

නලින් ද සිල්වා

2015 මාර්තු 04