Main Logo

Wednesday 4 March 2015

ආණ්ඩුවේ ප්‍රෝඩාවක්

ආණ්ඩුවේ ප්‍රෝඩාවක්

පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේනගේ වේදිකාවෙන් කියැවුණේ අවුරුදු හැට ඉක්මවූ පුරවැසියන්ට ස්ථිර තැන්පතු සඳහා 15%ක පොලියක් ගෙවීමට කටයුතු කරන බව ය. එහි දී කිසිම කොන්දේසියක් ගැන නොකියැවුණු අතර බොහෝ දෙනා සිතන්නට ඇත්තේ යම්කිසි දිනකට පසුව සියළු ස්ථාවර තැන්පත් ගිණුම් සඳහා 15% පොලිය ලැබෙන බව ය. එ වන විට පසුගිය ආණ්ඩුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ක්‍රියාත්මක වුණු විශේෂ පොලී ක්‍රමයක් ද විය.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියකුට ලක්‍ෂ විසිපහකට අඩු මුදලක් 12% පොලියකට රාජ්‍ය බැංකුවල ස්ථාවර තැන්පත් ගිණුම් ලෙස පවත්වාගෙන ගිය හැකි විය. 

මෛත්‍රිපාල සිරිසේනගේ ජනාධිපතිවරණ පොරොන්දුවලින් එකක් වූ 15% පොලී ක්‍රමය ද ඇතැමුනට ඔහුට ඡන්දය දෙන්නට හේතුවක් වන්නට ඇත. එය එසේ වූවත් නොවූවත් අද සිදු  වී ඇත්තේ කුමක් ද? ඒ පොරොන්දුව ද බොරු පොරොන්දුවක්, ප්‍රෝඩාවක් බව තම ජීවිතයේ සැඳෑ සමය ගෙවන්නන් අවබොධ කරගැනීම ය. බැංකුවලට ලැබී ඇති උපදෙස් අනුව 15% පොලිය ගෙවන්නේ ඉතා සීමිත පිරිසකට ය.

ආණ්ඩුව පළමුවෙන් ම කළේ පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක කළ ක්‍රමය කප්පාදු කිරීම ය. එකල ලක්‍ෂ විසිපහක් දක්වා අලුත් ස්ථාවර තැන්පත් ගිණුම්වලට 12%ක පොලියක් ගෙවනු ලැබිණි. පොලිය අඩුකිරීමකින් තොරව පැරණි ගිණුම් පියවා අලුත් ගිණුම් විවෘත කිරීමේ හැකියාව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දී තිබිණි. රනිල් සිරිසේන ආණ්ඩුව එය වෙනස් කර ලක්‍ෂ දහයක ප්‍රමාණයකට පමණක් 12% පොලිය සහිතව ස්ථාවර තැන්පත් ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව ලබාදුණි. අර්ථ සාධක අරමුදල් ඉතිරි කරගෙන එහි පොලියෙන් පමණක් ජීවත්වන්නන්ට එයින් යම් පහරක් එල්ල විය. 

15% පොලිය ගැන ආණ්ඩුව කියන්නේ ඒ ක්‍රමයට අලුතෙන් ස්ථාවර තැන්පත් ගිණුම් ආරම්භ කළ නොහැකි බව ය. 2015 ජනවාරි 31 වැනි දිනට සියලු බැංකුවල එකතුව ලක්‍ෂ දහයකට අඩු ප්‍රමාණයක ස්ථාවර තැන්පත් ගිණුම් හිමි වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණක් මේ 15% පොලිය හිමිවෙයි. මෙයින් සෙතක් සැලසෙන්නේ ඉතා ටික දෙනකුට පමණ ය.  

බැංකුවල ස්ථාවර තැන්පත් ගිණුම් සඳහා විවිධ පොලී ප්‍රමාණ ගෙවනු ලැබෙයි.  දැනටමත් බොහෝ බැංකුවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අනෙක් ගිනුම් හිමියන්ට වඩා 1%ක පමණ වැඩි පොලියක් ස්ථාවර තැන්පත් ගිණුමිවලට ගෙවනු ලැබෙයි. ඒ අනුව ඇතැම් රාජ්‍ය නොවන බැංකුවක ද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 6% - 7%ක පොලියක් ගෙවනු ලැබෙයි. ආණ්ඩුව කර ඇත්තේ ජනවාරි 31 වැනි දිනට සියලු බැංකුවල එකතුව ලක්‍ෂ දහයක හෝ අඩු ප්‍රමාණයක හෝ ස්ථාවර තැන්පතු ගිණුම් හිමියන්ට පමණක් පෙබරවාරි 1 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ පොලිය 15% දක්වා වැඩි කිරීම ය. සෙස්සනට ඉන් කිසිම යහපතක් අත් නො වේ.  මෙය ප්‍රෝඩාවක් නොවේ නම් වෙන කුමක් ද?

නලින් ද සිල්වා

2015 මාර්තු 04