Main Logo

Wednesday 4 March 2015

විග්නේස්වරන්ට අවශ්‍ය කුමක් ද?

විග්නේස්වරන්ට අවශ්‍ය කුමක් ද?

උතුරු පළාතේ මහ ඇමති විග්නේස්වරන් දැන් දැන් දිගින් දිගට ම කියා සිටින්නේ ඊනියා ජාත්‍යන්තරය 1948 සිට මෙරට දෙමළ ජනයා සංහාරය කිරීම පිළිබඳ සොයා බැලිය යුතු බව ය. බටහිරින් ලංකාවට එන නියෝජිතයන්ට ඔහු ඒ බව කියයි.  උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ගනිමින් ද මේ ඉල්ලීම කර තිබුණේ ය. මේ ඉල්ලීම විසුරුණු දෙමළ ජනයාගෙන් ද ඉදිරිපත් වෙයි. පළාත් සභා මන්ත්‍රිනියක වූ ආනන්දී ද ඒ ඉල්ලයි. ඉතා පැහැදිලිව දෙමළ ජාතිවාදීහු මේ ඉල්ලීම වටා එකතු වී සිටිති. එය විග්නේස්වරන්ගේ ඉල්ලීමක් පමණක් නො වේ.

දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය කුමක් ද?  මෙරට දෙමළ ජාතිවාදයක් ඇති බව කීමට බොහෝ දෙනා මැළිවෙති.  එයට මූලික හේතුව ඔවුන් ලබා ඇති අධ්‍යාපනය යි. ඒ අධ්‍යාපනය අපට ලැබුනේ ද ලැබෙන්නේ ද ඉංගිරිසින්ගෙනි. ඉංගිරිසිහු තමන් අඩුම තරමෙන් 1833 දී ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමත් සමග දේශපාලන වශයෙන් මෙහි ඇතිකළ දෙමළ ජාතිවාදයක් ක්‍රියාත්මක වන බව පිළිගැනීමට අකමැති වෙති. ඔවුහු ඒ වෙනුවට සිංහල ජාතිවාදයක් ගැන ලෝ පුරා ප්‍රචාරය කරති. එය ඊනියා සිංහල බෞද්ධ මතවාදය, බහුතරයේ ආධිපත්‍යය, මහාවංස මානසිකත්වය ආදී වශයෙන් ද හැඳින්වෙයි. 

පසුගිය දා රනිල් වික්‍රමසිංහ පුවත්පත් දෙකකට තර්ජනය කළේ ද සිංහල ජාතිවාදයක් ඇත යන දැඩි උපකල්පනයෙනි. ඒ උපකල්පනය තිබෙන තාක් ඔහුට මැතිවරණයකින් දිනිය හැකි නො වේ. ඔහුට කළ හැක්කේ බලය පික්පොකට් ගැසීම පමණ ය. එහෙත් රනිල්ට ද පසුගිය දා දෙමළ ජාතිවාදයේ රඟ දැනෙන්නට ඇත. දෙමළ ජාතිවාදීන්ට අනුව මෙරට රහස් රඳවා ගැනීමේ කඳවුරු පවත්වා ගෙන යනු ලැබේ. රනිල්ට ඒ එසේ නොවන බවට ප්‍රකාශයක් කිරීමට සිදුවිය. 

එහෙත් රනිල් එතැනින් ඔබ්බට ගොස් දෙමළ ජාතිවාදයට විරුද්ධව කිසිවක් නො කියයි. ඒ ඔහු තමාට ඉංගිරිසින් උගන්වා ඇති ආකාරයට ඇත්තේ දෙමළ ජාතිවාදයක් නොව සිංහල ජාතිවාදයක් යැයි සිතන බැවිනි. ඉංගිරිසින් දෙමළ ජාතිවාදය දේශපාලන වශයෙන් ආරම්භ කළේ ම තමන්ට විරුද්ධව ක්‍රියාත්මක වූ සිංහල ජාතිකත්වයට එරෙහි ව ය. ඉංගිරිසින්ට විරුද්ධව 1817 සිට ම නිදහස වෙනුවෙන් සැබවින් ම සටන් කළෝ සිංහලයෝ ය. ඒ ජාතික කොංග්‍රසය යනුවෙන් හැඳින්වුණු සංවිධානයෙහි සිටි සිංහලයෝ නො වුහ. කොංග්‍රසයට අවශ්‍ය වූයේ නිදහසක් නොව ඉංගිරිසින් වෙනුවෙන් සාමාන්‍ය මිනිසුන් පාලනය කිරීමේ අවසරය ය. 

දෙමළ ජාතිවාදය හතළිස් ගණන්වල දෙමළ බෙදුම්වාදය බවට ද හැත්තෑගණන්වල දෙමළ ත්‍රස්තවාදය බවට ද පත්විය. හතළිස් ගණන්වල සිට දෙමළ නායකයෝ ඊළමක් පිහිටුවීමට කටයුතු කරති. ඒ සඳහා ඔවුන්ට එදා ඉංගිරිසින්ගේ ද අද බටහිරයන්ගේ ද සහාය ලැබෙයි. අද විග්නේස්වරන්ගේ වෑයම දෙමළ බෙදුම්වාදය පුනරුත්ථාපනය කිරීම ය. ඔහු 1948 සිට කෙරෙන්නේ යැයි කියන දෙමළ සංහාරය ගැන සෙවීමට ඊනියා ජාත්‍යන්තර කොමිසම් පත්කළ යුතු යැයි කියන්නේ දෙමළ ජාතිවාදයට නව ජීවයක් ලබා දීම ඔහුගේ අවශ්‍යතාව වන බැවිනි.  

මෙරට හමුදාව ක්‍රියා කර ඇත්තේ රට ආරක්‍ෂා කිරීමට ය. එහෙත් සිංහලයන් මැරූ පක්‍ෂ දෙකක් මෙරට වෙයි. එකක් අද එ ජා පක්‍ෂයේ ඊනියා තරුණ සංවිධානය වූ ජනතා විමුක්ති පෙරමුණ ය. අනෙක කොටි සංවිධානය ය. රනිල් හා මෛත්‍රීපාල දේශීය කොමිසම් පත්කළ යුත්තේ ඔවුන් ගැන සෙවීමට මිස හමුදාව ගැන සෙවීමට නො වේ.      

නලින් ද සිල්වා

2015 මාර්තු 04